Print this Article


වේදේහ රජුගේ සිහිනය සේනක පඩිවරයාගේ අර්ථකථනය

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 11

වේදේහ රජුගේ සිහිනය සේනක පඩිවරයාගේ අර්ථකථනය

උම්මග්ග ජාතකයේ විස්තර වන වේදේහ රජු දුටු අරුම පුදුම සිහිනය තුළ, මනෝ විග්‍රහයේ පියා, සිග්මන් ෆ්‍රොයිඩ්, 1900 වර්ෂයේදී “ සිහින අර්ථකථනය” (The INTERPRETATION OF DREAMS) පොතින් විස්තර කළ මනෝවිද්‍යාත්මක සාධක සියල්ලම පාහේ අඩංගු වී ඇත.

මියුලු නුවර වේදේහ රජු දිනක් රෑ අළුයම් වේලෙහි දුටු මෙම සිහිනයෙහි පසුබිම් තලය වූයේ, රජ මාලිගාවේ මිදුල හෙවත් සෙණ්ඩුවාලුව ය. එහි සතර පවුරු කොන තල් කදක උස මහත ඇති ගිනි මැළ සතරක් දැල්වී දිලිහි දිලිහී තිබුණි. වේදේහ රජු බියට පත් කළ එම ගිනිමැළ සතර මැද, මිදුලේ, කනමැදිරියකු තරම් කුඩා ගිනි පුපුරක් පැන නැංගේ ය. මෙම කුඩා ගිනි පුපුර, පවුරු සතර කොනේ ගිනි මැළ සතරෙහි ආලෝකය මැඩගෙන, ක්‍රමයෙන් දීප්තියෙන් සහ ප්‍රමාණයෙන් වැඩි වැඩී මුළු පරිසරයම ආලෝකමත් කරමින් දිලිසෙන්නට විය. මෙම අභිනව ගිනි මැළයේ දැල් , එය තුළින් බිමට වැටුණු අබ ඇටයක් හෙවත් සර්ෂප මාත්‍රයක් වැනි සියුම් දෙයක් පවා දකින්නාට හඳුනා ගැනීමට හැකි වන තරමේ විනිවිද පෙනෙන බවක් ඉසිලීය. සියලු දෙව් මිනිස් සමූහයා, ගඳින් – මලින් පූජා පවත්වමින් එම ගිනි දැල් ඇතුළෙහි ඒ මේ අත සුව සේ ඇවිදිමින් අභිනව ගිනිමැළය වන්දනා කළහ. ඔවුන්ගේ ශරීරයෙහි එක් රෝම කූපයක්වත් එම ගින්නෙන් පිළිස්සුණේ නැත.

රජුගේ පීඩකාබාධය

වේදේහ රජු මෙම සිහිනය දැක අවදි වී බියෙන් එළිවන තුරු නොනිදා සිටියේ ය. රජු පත්ව සිටි තත්ත්වය මනෝ වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන්නේ ‘තීව්‍ර පීඩකාබාධය’ (ACUTE STRESS) යනුවෙනි. මාලිගා මිදුලේ ගිනි දැල් දැක වේදේහ රජු මුළු මාලිගාව ම දැවී විනාශ වේදෝ යි බියට පත් විය.

රජුගේ උපදේශකවරුන් වශයෙන් සේවය කළ කාවින්ද, පුක්කුස, දේවින්ද සහ උපදේශක මණ්ඩලයෙහි ප්‍රධානියා වූ සේනක යන පණ්ඩිතවරු සතර දෙන සිරිත් පරිදි උදෑසනම මාලිගාවට පැමිණ සුවදුක් විමසමින්, ගතවූ රැයෙහි නිදි සුව ලත් නොලත් බව ද විචාළහ. අද වුවද මනෝවෛද්‍යවරයෙක් උදෑසන වාට්ටුවේදී රෝගියකු සමඟ සාකච්ඡා කරන විට නින්ද ගැන විමසයි.

දිසි අරුත

නිදි සුවයට බාධා කරමින් තමා දුටු සිහිනය වේදේහ රජු පණ්ඩිතවරුනට විස්තර කළේය. රජු එසේ විස්තර කළේ මතුපිටින් පෙනුණු දර්ශනය යි.

සිග්මන් ෆ්‍රොයිඩ් එවැන්නක් හැඳින්වූයේ ‘ ව්‍යක්ත විෂයය’(MANIFEST CONTENT)  නමිනි. කුමාරතුංග මුනිදාස සූරීන්ගේ සරල බසින් ඊට ‘ දිසි අරුත’ යන නම යෙදිය හැක. ෆෙ‍්‍රායිඩ් මෙය උපමා කළේ, පුරාණ ප්‍රංශයේ මන්දිරයක් ඉදිරියෙන්, ගොඩනැගිල්ල වැසී යන අන්දමින් ඉදි කරන ලද, එ දෙස බලන්නකුට එක්වරම දිසි වන, මුහුණත  (FACADE ) කොටසට ය.

මෙම දිසි අරුත ඉදි කිරීමට සිහිනය දකින්නා අමු ද්‍රව්‍ය වශයෙන් තෝරා ගන්නේ, පෙර දින නෙතට දිස් වූ සාමාන්‍ය වස්තූන්, පුද්ගලයන් සහ සිද්ධීන්ය. ෆ්‍රොයිඩ් මෙවැනි වස්තූන් ආදිය හැඳින්වූයේ “පෙර දින ශේෂ” (ESIDUE OF THE PREVIOUS DAY)  යනුවෙනි. මාලිගාවේ සෙණ්ඩුවාලුව සහ සතර පවුරු කොන්, වේදේහ රජුට පෙර දින දිසි වූ වස්තූන්ය. ගිනි පුපුරු සහ ගිනි මැළ පවා රජු දැක පුරුදු වස්තූන් ය. දිසි දේ ය. එවැනි දිසි වස්තූන් එදිනෙදා පරිසරයෙන් ඇහිඳ ගෙන අමු ද්‍රව්‍ය හැටියට යොදා, වැසි අරුත ඒ පිටුපස නො පෙනෙන්නට සඟවා, යටිසිත, සිහින කතන්දරය අධ්‍යක්‍ෂණය කර ඉදිරිපත් කරන උපක්‍රම, ෆෙ‍්‍රායිඩ් හැඳින්වූයේ ‘ සිහින කාර්ය (DREAM WORK) යනුවෙනි. ෆෙ‍්‍රායිඩ් හෙළි කළ ‘සිහින කාර්ය’ සියල්ලම පාහේ වේදේහ රජුගේ සිහිනයේ ඇතුළත් වෙයි. ඒ කිසිවක් නොදැන වුවත් සේනක පණ්ඩිතවරයා වේදේහ රජුගේ සිහිනය අර්ථ කථනය කළේ මෙසේය.

සේනක පඬිවරයාගේ අර්ථකතනය

“දේවයන් වහන්ස, නො බව මැනව, මේ නම් සුබ සිහිනයකි, ඉන් ඔබ වහන්සේට වන්නේ යහපතකි. අප පණ්ඩිතවරුන් සතර දෙනාම අභිභවා අපගේ නුවණ යට කොට ඔබ වහන්සේට අභිනව පණ්ඩිතවරයෙක් ලැබෙන්නේය. අප සතර දෙනා මාලිගාවේ සෙණ්ඩුවාලුවේ සතර පවුරු කොන නැගි ගිනි මැළ සතර වැනිය. මිදුල මැද පැන නැගි ගිනි මැළය මෙන් පස් වන පණ්ඩිතවරයෙක් ළඟදී උපදිනු ඇත. එම අභිනව පණ්ඩිතවරයා සියලු දෙව් මිනිසුන් සහිත ලෝකයෙහි අසමාන වන ප්‍රඥාවන්තයෙක් මෙන්ම ගුණවන්තයෙක් ද වන්නේය.”

“ එම අභිනව පණ්ඩිතවරයා කොහිදැ?” යි රජු විමසූ විට,“ ”අද එම පණ්ඩිතවරයාගේ මවගේ කුස තුළ පිළිසිඳ ගැනීම හෝ මව් කුසින් බිහිවීම හෝ සිදුවන්නේ ය” යි සේනක පණ්ඩිතවරයා පිළිතුරු දුන්නේ ය.

එම අර්ථ කථනයෙන් පැහැදිලි වන්නේ සිහිනයෙහි දිසි අරුත සහ වැසි අරුත ගැන නිවැරැදි අවබෝධයක් සේනක පණ්ඩිතවරයාට තුබුණු බව ය. සතර පවුරු කොනේ දැල්වී දිලිහි – දිලිහී තුබුණු ගිනි මැළ සතර සිහිනයෙහි දිසි අරුත ලෙස ද තමා ඇතුළු පණ්ඩිතවරුන් සතර දෙනා වැසි අරුත ලෙස ද, එමෙන් ම මිදුල මැද අභිනව ගිනි පුපුර දිසි අරුත ලෙස ද පහළ වීමට නියමිත අභිනව පණ්ඩිතවරයා වැසි අරුත ලෙස ද, සේනක පණ්ඩිතවරයා නිවැරැදිව අර්ථ කථනය කෙළේය.

සංකේතායනය

පණ්ඩිතවරයකු වෙනුවට ගිනි මැළයක් පෙනෙන්නට සැලැස්වීම, ෆෙ‍්‍රායිඩ් විස්තර කළ සිහින කාර්ය අතුරින් ‘සංකේතායනය’(SYMBOLIZATION) නමින් ඔහු හැඳින්වූ උපක්‍රමයෙහි ප්‍රතිඵලයකි. වේදේහ රජුගේ සිහිනයේ ගිනි මැළය සංකේතයකි.

අප්‍රමාණ කාටුන් චිත්‍ර, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ජවනිකා, ගද්‍ය - පද්‍ය කෘති සඳහා කලාකරුවෝ සංකේතායන යොදවති. උදාහරණ අසීමිත සංඛ්‍යාවක් අතුරින් විමලරත්න කුමාරගම කිවිසුරාණන්ගේ කවියක් මෙසේය.

“මේ ගඟ ගලන්නේ මොන කන්දක සිටද ,
මේ දිය හිඳී යන්නේ මොන දවසට ද
එගොඩින් එහා ඇති මොන වාගේ රට ද
මෙගොඩම වගේ එ ගොඩත් හරියට යට ද ? “

මෙම දාර්ශනික කවියේ අන්තර්ගත ගඟ, කන්ද, දිය, එගොඩ සහ මෙ ගොඩ සියල්ලම සංකේත යි.

අප කියවා පුරුදු ධම්මපදයේ අඩංගු අනන්ත සංකේත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ කවිත්වය විදහා පායි.

අපේ යටි සිතට සංකේත ඈත අතීතයේ, විශේෂයෙන් භාෂාව තැනෙන්නට පෙර, සුපුරුදු හෙයින් යටිසිත සිහින කාර්යයක් හැටියට සංකේතායනය යොදා ගැනීම පුදුමයක් නොවේ.

සංඝනීකරණය

වේදේහ රජුගේ සිහිනයෙහි මිදුල මැද පැන නගින ගිනි මැළය විවිධ අර්ථ රාශියක් නිරූපණය කරයි. කුඩා ගිනි පුපුරෙන් ආරම්භ වී ක්‍රමයෙන් අහස උසට නැගෙන ආකාරය නිරූපණය කරන්නේ ක්‍රමයෙන් වර්ධනය වීමකි. එසේ වර්ධනය වන ආලෝකය කීර්තිය, ජනප්‍රිය භාවය, ප්‍රඥාව වැනි විවිධ අර්ථ නිරූපණය කරයි. එම ආලෝකය පවුරු කොන් සතරෙහි ගිනි මැල එතෙක් පැතිරවූ ආලෝක දුබල කිරීමට තරම් ශක්තිමත්ය. ගින්න පරිශුද්ධතාවය ද නිරූපණය කරයි.

මිදුල මැද ගින්න මහ ජනයාගේ වන්දනාවට සුදුසු බව ඔවුන් ගිනි මැළය ඇතුළට වැද ගඳින් – මලින් කළ පූජාවන්ගෙන් පෙනේ. ගින්නෙන් උණුසුමක් ද නිරූපණ වෙයි. ගිනි මැළය මැදින් ගමන් කරන කිසිවකුට හානියක් නොවේ. සමාජ හිතකාමී බවක් ද ඉන් නිරූපණය වෙයි.

මෙසේ එකම සිහින වස්තුවකින් විවිධ අර්ථ සම්භාරයක් එක් වර නිරූපණය කිරීම, ෆෙ‍්‍රායිඩ් ගේ සිහින කාර්ය අතර හැඳින්වෙන්නේ ‘ සංඝනීකරණය’ (CONDENSATION) නමිනි. මෙය ඇතැම් දුරදක්නවල විවිධ කොටස් එකකට තවෙකක් ඇතුළු කර හකුලා තනි කොටසක් ලෙස පිටින් පෙනෙන්නට සැලැස්වීමකට (TELESCOPING) ෆෙ‍්‍රායිඩ් උපමා කළේය.

විස්ථාපනය

සිහිනය දකිමින් වේදේහ රජු සෙණ්ඩුවාලුවේ සතර පවුරු කොනේ ගිනි මැළ නිසා බියට පත් වූ නමුත්, පසුව පැන නැගි ගිනි පුපුර ක්‍රමයෙන් විශාල වනු දැක විශ්මයටත් අභිනව ගිනි මැළයට ලෝ වැස්සන් කරන වැඳුම් – පිදුම් දැකීමෙන් ඇතිවූ ශ්‍රද්ධාව සහ භක්තිය නිසා මානසික සහනයටත් පත් විය.

සිහිනයේ එක් වස්තුවකට වරින් වර එකිනෙකට වෙනස් හැඟීම් සහ චිත්තවේග ඇතිවීම සිහිනය නිසා ඇතිවන ආතති අවම කිරීමට යටිසිත ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ෆෙ‍්‍රායිඩ් පෙන්වා දුන්නේය. සමහර සිහිනවල එක් සිහින වස්තුවක් කෙරෙහි හටගන්නා චිත්තවේගයක්, වෙනත් වස්තුවකට මාරු වෙයි, ශරීරයේ එක් කොටසක් වෙනත් කොටසක් හැටියට මාරු කර පෙන්වනු ලැබේ. සිහින කාර්ය අතර මෙම උපක්‍රමය හැඳින්වෙන්නේ ‘ විස්ථාපනය’ යනුවෙනි.

ද්විතීයික විස්තාරණය

වේදේහ රජු නිතර දැක පුරුදු, මා මුලින් හඳුන්වා දුන්, ‘ පෙර දින ශේෂ ‘ නමින් ෆ්‍රොයිඩ් හැඳින්වූ, සෙණ්ඩුවාලුව සහ සතර පවුරු කොන් පසුබිම් කර – ගනිමින්, ගිනි මැළ සතරක් මැද කුඩා ගිනි පුපුරක් පැන නැග විශාල වූ පසු මහජනයා ඊට ගෞරව කරන ජවනිකා ඇතුළු කර රජුගේ යටි සිත අපූර්ව ත්‍රාසජනක සිහින කතන්දරයක් අධ්‍යක්‍ෂණය කෙළේය.

ශේෂ එකතු කර, සිහින කාර්ය යොදවා, ඒ ඒ කොටස් සංස්කරණය කර, සිහිනය දකින්නාගේ නින්දට බාධාවක් නො කර, අතරමග නතර නො කර බලා සිටින්නට පහසු නොබිඳී ගලා යන රසවත් කතන්දරයක් අපේ යටිසිත මගින් නිර්මාණය වෙයි. මෙම ක්‍රියාවලිය ෆෙ‍්‍රායිඩ් ද්විතීයික විස්තාරණය (SECONDARY ELABORATION) යනුවෙන් හැඳින්වීය. ( අපේ යටි සිත තුළ නිහාල්සිංහයන්, වසන්ත ඔබේසේකරයන් වැනි දක්ෂ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරුන් සැඟවී සිටින බව සිහින විග්‍රහය හදාරන විට සිතේ ). ෆෙ‍්‍රායිඩ් කල්පනා කළේ සිහින, බොහෝ සත්‍ය කරුණු සඟවා, එම රහස් මනෝවෛද්‍යවරයකුට මනෝ චිකිත්සකවරයකුට හෝ සිහින අර්ථ කථනය අවබෝධ කරගෙන සිටින එවැනි වෙනත් යමකුට හෝ පමණක් හෙළි කරන්නට සූදානමකින් සිටින බවයි.

සේනක පඬිවරයාගේ අඩුලුහුඬුකම්

සිහින අර්ථ කථනය පිළිදඳ යම් අවබෝධයක් ඇතිව සිටි සේනක පණ්ඩිතවරයා, වේදේහ රජුගේ සිහිනය බොහෝ සෙයින් නිවැරැදි ආකාරයෙන් අර්ථ කථනය කළේය. එහෙත් ෆෙ‍්‍රායිඩ් පෙන්වා දුන් එක් කරුණක් පණ්ඩිතවරයා නො දැන සිටි බවක් පෙනේ. ෆ්‍රොයිඩ් පෙන්වා දුන්නේ දවල් සිහින මෙන්ම රෑ සිහින ද යටි සිතේ යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමේ මාර්ගයක් බවය.

සේනක පණ්ඩිතවරයා වේදේහ රජුගේ සිහිනය අනාවැකියක් ලෙස රජුට පැවසුවේ, රජුගේ බලාපොරොත්තුව ගැන නො දැනය. රජු තමාගේ උපදේශක මණ්ඩලයේ පණ්ඩිතවරුන් සතර දෙනා ගැන සම්පූර්ණ විශ්වාසයක් නො දැරූ බව උම්මග්ග ජාතකයේ පසුව විස්තරවලින් පෙනේ. ඔවුන්ගේ උපදේශ අසා සිටි බොහෝ අවස්ථාවලදී රජතුමා “ සේනකයා දන්නේ කුමක්දැ ? ” යි උපහාසයෙන් කියා ඇත.

සිහින අර්ථ කථනය කරද්දී ඉන් තමනට වන්නට තුබුණු අවාසියක් ගැන අදහසක් හෝ, අනාගතයේ අභිනව පණ්ඩිතවරයෙකු පහළ වී තමා අභිභවා යෑම නිසා හීනමානයක් හෝ සේනක පඬිවරයාට නො තුබුණු බව පෙනේ. මේ නිසාම, පසු කලක මහෞෂධ පණ්ඩිතයින් කෙරෙහි දැක්වූ ඊර්ෂ්‍යාව සහ ද්වේෂය ඒ අවස්ථාවේ සේනක පණ්ඩිතවරයාට ඇති නොවී තිබිණි.

ජාතක පාළියෙහි උම්මග්ග ජාතකයේ සමෝධාන කොටසෙහි පූර්වාපර සන්ධි ගැළපීමේදී මෙසේ කියැවෙයි.

අඹඨො ආසි කාවින්දො,
පොට්ඨපාදොසි පුක්කුසො
පිලොතිකොව දෙවින්දො
සෙනකොවාසි සච්චකො”

මෙම සමෝධාන පාඨ අනුව යටගිය දවස කාවින්ද බුද්ධ කාලයේ අම්බට්ඨ නමින් ද, පුක්කුස පොට්ඨපාද නමින් දේවින්ද පිලෝතික නමින් ද, පණ්ඩිතවරුන් සතර දෙනාගේම ප්‍රධානියා වූ සේනක සච්චක නමින් ද ප්‍රසිද්ධ වූ, නොයෙක් විට බුදුරජාණන් වහන්සේ හමුවූ අය වෙති.

දඹදිව ප්‍රකාශව ඇති පන්සිය පනස් ජාතක පොත් සමහරක, විශේෂයෙන් පරිඝණනයට  (COMPUTER) ඇතුළු දිසකවල (DISKS)  යටගිය දවස සේනක පඬිවරයා බුද්ධ කාලයේ කාශ්‍යප නමැත්තකු බව සඳහන් වෙයි). ඒ කෙසේ වුවත් එම නම්වලින් හැඳින්වුණු බුද්ධ කාලයේ සිටි ඒ සියල්ලෝම අග්‍ර ගණයේ ප්‍රාඥයෝ නො වූහ. සේනක පඩිවරයාගේ දැනුමේ අඬු - ලුහුඬුකම අර්ථ කථනය කළ හැක්කේ එම සමෝධාන විස්තරය අනුවය.

සිහින මගින් අනාවැකි ?

අවසාන වශයෙන් කිව යුත්තේ සේනක පඩිවරයාගේ සිහින විග්‍රහය අනාවැකියක ස්වරූපය ගන්නා බවය. එම අනාවැකිය නිවැරදි වූ බව පිළිගත යුතුය. මෙවැනි සිහින පිළිබඳ මගේ පුද්ගලික මතය අනාගතයේ ‘ බුදුසරණ’ ලිපියකින් පළ කරන්නට හැකිවනු ඇත. එතෙක් ෆ්‍රොයිඩ් ලියූ සිරින ‘ අර්ථ කථනය’ ග්‍රන්ථයෙන් පහත සඳහන් ඡේදය උපුටා දක්වන්නෙමි.

“අනාගතය හෙළි කිරීමේ හැකියාවක් සිහිනවලට තිබෙන බවට වාර්තා පළවී ඇත. මේ සම්බන්ධ මත ගැටුමක් පවතියි. එවන් හැකියාවක් ඇතැයි පවසන්නන් එම විශ්වාසයෙහි දැඩි ලෙස එල්බ ඇත. එවන් හැකියාවක් නැතැයි පවසන්නන් ඉදිරිපත් කරන තර්ක බිඳීමට දුෂ්කර මුල් මතයට කිසිඳු පදනමක් නැතැයි නොකියා සිටීම, නුවණට හුරුය. ඒ මන්ද යත්, නුදුරු අනාගතයේ, සිහිනවලට එවැනි හැකියාවක් ඇතැයි වාර්තා වන අවස්ථා රාශියක් විමසන විට, ස්වාභාවික මනෝවිද්‍යාත්මක රාමුවකින් පිටට නොපැන ඊට හේතු පහදා දීමට හැකි වන නිසාය.

තුනුරුවන් සරණයි.


බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව - 11  සිහින විග්‍රහය