Print this Article


ලොව පුරා වෙසෙන බොදුනුවන්ට සම්බුදු දහමෙන් සැනසීම

සම්බුදු දහම වත්මනෙහි ව්‍යාප්තිය පිළිබඳ ප්‍රංශයේ ජේතවනාරාමාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.

බුදුරදුන් ජීවමානව වැඩ සිටි දවස භාරතයේ බොදු සමාජය පිළිබඳ පැහැදිලි කරමින්.....

සම්බුදු දහම එක් රටකට හෝ ජාතියකට පමණක් සීමා වූ දහමක් නොවේ. එබැවින් බුදු දහමේ ආභාෂය පටු භේදාදියෙන් තොර වූ දහමකි. දර්ශනයකි. මේ නිසා ලොව පුරා වෙසෙන විවිධ ජාතීන් සම්බුදු දහම තුළින් සැනසීම ලබන බව රහසක් නොවේ.

ඉන්දුනීසියාවේ ද්‍රවිඩ ආරාමයක් නැරඹීමට වැඩම කළ මෙරට මහ සඟ රුවන

ද්‍රවිඩ බොදුනුවන් ආගමික වතාවත්වල යෙදෙමින්....

ජීවමාන බුදුරදුන් සමයෙහි භාරතය බ්‍රාහ්මණ, ක්‍ෂති‍්‍රය, වෛශ්‍ය, ශුද්‍ර යන සමාජ තලයන්හි සුසැඳි පසුබිමක් දක්නට ලැබුණි. එදා භාරතීයයන්ගේ පිළිගැනීම වූයේ සමහරු උපතින් බ්‍රාහ්මණ වන අතර අන් අය ද ඒ ඒ කුලවලට අයත් බවයි.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී උපතින් අයෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු නොවන බව දේශනා කළහ. එමෙන්ම පුද්ගල ක්‍රියාකාරීත්වය අනුව ඒ ඒ තත්ත්වයන්ට පත්වන බව දේශනා කළහ. එය දේශනාවට පමණක් සීමා නොකර ආදර්ශයෙන් ක්‍රියාවට නැංවූ බුදුරජාණන් වහන්සේ උසස් යැයි සම්මත වංශයනට අයත් උපතිස්ස, කෝලිත වැනි තරුණයන් මෙන් ම සුනීත, සෝපාක වැනි එදා පහත් යැයි සම්මතයේ පිහිටි අයද පැවිදි බිමට පත්වීමට මඟ සලසා උතුම් අර්හත්වයට මඟ හසර විවර කර දුන්නහ. ඒ නිසා සීමාවකින් තොරව සැමටම බුදුදහමින් සැනසීම උදාකරගත හැකි විය. ගංඟා, යමුනා, අචිරවතී ආදී සිව් ගංගාවලින් ගලා බසින ජලය මහ මුහුදට එකතුවීමෙන් ඇති වනුයේ එකම ලවණ රසයකි.

කවර ජාතියකින් සම්බුදු සසුනට ඇතුළත් වුවද සිව්වනක් පිරිසම භික්‍ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන නාමයෙන් හඳුන්වනු ලැබේ.

බුදුදහම විශ්ව ව්‍යාප්ත දහමක් ලෙස

විදේශයන්හි කරන සංචාරවලදී විවිධ රටවල, විවිධ ජාතීන්ට අයත් බොදු පිරිස් හමුවේ. එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඇමරිකාව, ජර්මනිය, ඉන්දුනීසියාව, බංගලිදේශය, නේපාලය, වියට්නාමය, බුරුම, චීනය, කාම්බෝජය, තායිලන්තය, ශශ්‍රී ලංකාව ආදී විවිධ රටවලට අයත් බෞද්ධ ජනතාව ලොව පුරා දකින්නට ලැබේ.

එම ජනතාව, ථෙරවාද, මහායාන, වජ්‍රයාන ආදී සම්ප්‍රදායන්ට අයත් වුවත් අනුගමනය කරනු ලබන්නේ බුදු දහමයි. එහිදී ථෙරවාදී සම්ප්‍රදාය අනුගමනය කරන පිරිස් තුළ දක්නට ලැබෙන පොදු ලක්‍ෂණය වනුයේ ඒ හැම දෙනාම පාහේ ථෙරවාදී සම්ප්‍රදායට අනුකූලව කටයුතු කරන බවයි.

තිසරණ සරණ යාමේ සිට පන්සිල් හි පිහිටුවීම, ඉතිපිසො භගවා..... ආදී බුද්ධ වන්දනාව ප්‍රධාන තෙරුවන් වන්දනාව පිරිත් සජ්ඣායනාව, වස් විසීම, කඨින පින්කම් ආදිය එක් කාල පරිච්ඡේදයක් තුළ සිදු කිරීම ආදිය දක්නට ලැබෙන පොදු ලක්‍ෂණයකි. ඉන්දුනීසියාව අතීතයේ දී බුදුදහම පැතිර තිබූ අතර පසුකාලීනව යම් යම් බලපෑම් මඟින් එය පරිහානියට පත් වූ බව පෙනේ. ‘බෝරෝ බුදුර්’ වැනි ඓතිහාසික ලෝක පූජිත පූජනීය ස්ථාන අද ද එහි දක්නට ලැබේ.

එමෙන් ම ථෙරවාද, මහායාන සම්ප්‍රදායන්ට අනුකූලව ඉදි කළ වෙහෙර විහාරස්ථාන රැසක් එහි දක්නට ඇත.

ලෝක මහා සංඝ සම්මේලනය දෙසැම්බර් 1 වන දා සිට 7 වන දා දක්වා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට අයත් මෙඩාන් නුවර දී පැවැත්විණි. ලොව විවිධ රටවල විවිධ සම්ප්‍රදායට අයත් භික්‍ෂූන් වහන්සේ මෙන්ම ගිහි පින්වතුන් ඇතුළු දහස් ගණනක් එම අවස්ථාවට ඒකරාශී වූහ.

ඉන්දුනීසියාවේ විහාරාරාම

ඉන්දුනීසියාවේ ප්‍රධාන ආගම ඉස්ලාම් දහම ලෙස දක්නට ලැබේ. එමෙන්ම බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු වැනි ආගමික සිද්ධස්ථානද දක්නට ඇත.

ථෙරවාද සම්ප්‍රදායට අයත් බෞද්ධ පිරිස් ඉතා උනන්දුවෙන් සමස්ත සම්ප්‍රදාය අනුගමනය කරති. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඉන්දීය ද්‍රවිඩ ජාතික බොදුනුවන්ට අයත් ආරාම හයක් ඉන්දුනීසියාවේ මෙඩාන්වල දක්නට ලැබීමයි.

එම ආරාම පිළිබඳ දැනීමකින් ක්‍රියා කරන මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ සරණංකර නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ කෝට්ටේ කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි, ආචාර්ය පින්නවල සංඝසුමන හිමි, කථිකාචාර්ය කුඩා ලත්නොරුවේ විනීත හිමියන් ඇතුළු පිරිසට එකී ඉන්දුනීසියාවේ ද්‍රවිඩ ජාතික ආරාම හතරක් නැරඹීමට හැකි විය.

එහිදී ද්‍රවිඩ ජාතික සැදැහැවතුන් ආරාම හයක් පමණ පවත්වාගෙන යන බවද දැන ගැනීමට ඇත. ද්‍රවිඩ ජාතික බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් එක් විහාරස්ථානයක් පවත්වාගෙන යන අතර අනෙක් ස්ථාන සියල්ල පවත්වා ගෙන යනු ලබන්නේ ගිහි බෞද්ධ පිරිස මඟිනි.

සභාපති හා ලේකම්වරයෙකුගෙන් සමන්විත දායක මණ්ඩලයක් මඟින් විහාරස්ථානයේ කටයුතු පවත්වා ගෙන යන අතරතුර ආගමික කටයුතු මෙහෙයවන තැනැත්තා හෝ තැනැත්තිය පණ්ඩිත යන නාමයෙන් හඳුන්වනු ලැබේ.

ඔහුගේ හෝ ඇයගේ මඟ පෙන්වීම යටතේ සෙසු පිරිස් එහි ආගමික කටයුතු පවත්වාගෙන යනු ලැබේ.

පන්සිල්හි පිහිටීම, තෙරුවන් නැමදීම, කරණීය මෙත්ත සූත්‍රය ආදිය පාලි භාෂාවෙන් සජ්ඣායනා කරන අතර ද්‍රවිඩ භාෂාවෙන් ඒවායේ අර්ථ ඇතුළත්ව සජ්ඣායනය කැරේ.

එහි තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වනුයේ ථෙරවාදී සම්ප්‍රදායට මුල් තැන දෙමින් චීන, වියට්නාමි සම්ප්‍රදාය අනුගමනය කරමින් ආගමික කටයුතු සිදු කිරීම ය.

විහාර මන්දිරයෙහි ප්‍රමුඛත්වය බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙත ලැබෙන අතර ලංකාව ඇතුළු විවිධ රටවල සම්ප්‍රදායනට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත මුල්තැන හිමිවන අතර දෙපස වියට්නාමි, චීන සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර ඇත.

සාමාන්‍ය උත්සවයකදී වරකට ද්‍රවිඩ බොදුනුවන් හතළිහක, පනහක පමණ පිරිසක් ඊට සහභාගි වන අතර වෙසක් වැනි සුවිශේෂී උත්සවයකදී දහස ඉක්මවන පිරිසක් එම ආගමික කටයුතුවලට සම්බන්ධ වන බව එහිදී අප වෙත පැවසීය.

ඉන්දුනීසියාවේ දක්නට ඇති එම ද්‍රවිඩ ප්‍රබෝධය ආදර්ශයක් වන අතර නෙත් සිත් ඒ සඳහා යොමු කළහොත් සැමටම යහපතක් උදාවනු ඇත. තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් හා ශ්‍රද්ධාවෙන් සරණ යන සැමටම සම්බුදු දහමෙන් සැනසීම උදාවනු නියතය.