බෝපත් සිසිලස
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
සහකාර කථිකාචාර්ය
හේමමාලි නිලාන්ගනී කරුණාරත්න
අතීතයේ දී බෝධීන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලැබූ තවත් චාරිත්‍ර විධියක්
නම් සෝමනස්ස පූජාවයි. ‘සොම්නස් මහ බෝ මඟුල’ යන පදයෙන් හැඳින්වෙන මෙම
චාරිත්‍රානුකූල උළෙල රටේ සෞභාග්‍යයත්, ජනතාවගේ අභිමථාර්ථ සාධනයත්
අරමුණු කරගෙන පවත්වන ලදී.
මේ ලිපියේ මුල් කොටස ‘රන් බෝ පත්’ මැයෙන් පසුගිය උඳුවප් පුර පසළොස්වක
පෝදා පළ විය.
සිංහල බෞද්ධයා හට ශ්‍රී මහ බෝධිය හුදෙක් වෘක්‍ෂයක් පමණක්ම නොවීය. එය
ජීවමානව වැඩ සිටින බුදුන් වහන්සේ හා සමාන විය. ඒ නිසාම බෞද්ධයන් ශ්‍රී
මහ බෝධිය හඳුන්වන්නට ප්‍රාණවාචී පද භාවිත කොට ඇති බව පෙනේ. ජය සිරිමා
හාමුදුරුවෝ, බෝ රජ්ජුරුවෝ, සිරිමා බෝ හාමුදුරුවෝ, බෝධීන් වහන්සේ සහ
උඩමළුවේ බෝධිසාමි යනු එවැනි ගෞරවාර්ථ පද කිහිපයකි.
ලාංකේය බෞද්ධ ජනයා ජය ශ්‍රී මහ බෝධිය කෙරෙහි දැක් වූ ගෞරවය කෙතරම් ද
යත් ශ්‍රී මහ බෝධියට සබඳකමක් ඇති සියලු වස්තූන් ද පූජනීය තත්ත්වයෙහිලා
සැලකූහ. රන් වැලි, රන් පත්‍ර සහ රන් කඳ පමණක් නොව සිරිමා බෝ
හාමුදුරුවන්ට පැන් ගන්නා තිසා වැවත් ජනතාවට පූජනීය විය. පූජනීය ලෙස
සැලකූ නිසා වැවේ මසුන් නොමැරීමද පුරාණයේ සිට පැවැත එන චාරිත්‍රයකි.
ශ්‍රී මහ බෝධියෙන් රන් පත්‍රයක් ගිලිහී වැටෙනුයේ අවුරුදු හතකට වරක්
බවත් එසේ වැටෙන පත්‍රය වුවද නර සතුනට පෑගෙන බැවින් එයද තිසා වැවට වැටෙන
බවත් බෞද්ධයන්ගේ විශ්වාසයයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කරගෙන පවත්වන්නාවූ චාරිත්‍ර අතර නානුමුර
මංගල්‍යයට ප්‍රධාන තැනක් හිමි වේ. මෙහිදී ශ්‍රී මහා බෝධිය ජලයෙන්
නැහැවීම සිදු කෙරේ. අතීතයේ ජනතාව බෝධිය නැහැවීමෙන් පසු නියඟය දුරුවී මහ
වැසි ඇද හැලෙන බව විශ්වාස කළහ. වර්තමානයේ දී සිදු කරනුයේ බෝධිය නැහැවීම
නොව එහි ඇති විහාරයේ ප්‍රතිමාව නැහැවීමයි.
දරමිටි පෙරහර නමින් හැඳින්වෙන තවත් සුවිශේෂි වූ චාරිත්‍ර විධියක් ශ්‍රී
මහ බෝධිය හා සම්බන්ධව පවතී. දැනුදු වාර්ෂිකව පවත්වන්නාවූ මෙම දරමිටි
පෙරහර නම් වූ චාරිත්‍රයට දීර්ඝ ඉතිහාසයක් ද ඇත. අනුරාධපුරය අරාජික
සමයෙහි එකල ජනතාව ශ්‍රී මහ බෝධිය ආරක්‍ෂා කර ගැනීම උදෙසා දරන ලද
උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් මෙම චාරිත්‍රය උපත ලබා ඇත. වන සතුන්ගෙන්
බෝධියට වන හානිය වළක්වා ලීමට බෝධිය සතර පැත්තේ විශාල ගිනි ගොඩ සතරක්
ගැසීම තුළින් හැකිවිය. වන්දනාවේ එන පිරිස් ද එසේ ගිනි දැල්වීමට අවශ්‍ය
දර සැපයීම සඳහා දර මිටිය බැගින් රැගෙන ආ බව කියැවේ.
ශ්‍රී මහ බෝධිය ඇසුරු කරගෙන ගොඩනැඟී ඇති තවත් චාරිත්‍රයක් වන්නේ බාර
වීමයි. බෝධියේ අනුහස් පිළිබඳ රජරට ගැමියන් තුළ පමණක් නොව ලාංකේය සියලු
බෞද්ධයන් තුළ ද ඇත්තේ දැඩි විශ්වාසයකි. දෛනික ජීවිතයේ දී ගැමි ජනතාවට
මුහුණ පාන්නට සිදුවන විවිධ වූ දුක් කම්කටොලුවලට විසැඳුම් ලබාදෙන ලෙසින්
ඉල්ලා ඔවුහු ජය ශ්‍රී මහ බෝධියට බාරහාර වූහ. මෙම බාරහාර වීමේ අවශ්‍යතා
විවිධාකාර වූවාක් මෙන්ම ඒවා ඔප්පු කිරීමේ ක්‍රම ද එකිනෙකට වෙනස් විය.
කුඹුරු හා සම්බන්ධ විවිධ අවශ්‍යතා උදෙසා බාර වූ විට බොහෝ විට කෙරෙනුයේ
එහි අස්වැන්නෙන් ප්‍රථම භාගය බුද්ධපූජාවට වෙන් කිරීමයි. රජරට ගොවීන්
අතර පාරම්පරිකව පැවැතෙන මෙම චාරිත්‍රය හඳුන්වන්නේ අක්කියාල වෙන් කිරීම
යනුවෙනි. ඇතැම් අවස්ථාවලදී රජරට වැසියන් තම අභිමතාර්ථ ඉටු වූ පසු බෝධිය
වටා රෙදි ඔතනු දක්නට ලැබේ. මෙය කප් රුක් වැසීම යනුවෙන් හඳුන්වනු ලැබේ.
පහන් පූජාවක් පැවැත්වීමෙන් බාර ඔප්පු කිරීමද පුරාණයේ සිට පැවත එන
චාරිත්‍රයකි.
රජරට ප්‍රදේශයේ වසංගත රෝග පැතිරෙන විට ශ්‍රී මහ බෝධි මළුවේ පිරිත් කීමද
පුරාණයේ සිට පැවැත ආ චාරිත්‍රයකි. එසේ පිරිත් කීමෙන් අනතුරුව පැන්
කළයක් ශ්‍රී මහා බෝධියට වත් කිරීමෙන් වසංගත රෝග සමනය වන බව රජරට
වැසියන්ගේ විශ්වාසයයි.
දිව්රීම ද බෝධිය හා සම්බන්ධ වූ තවත් පෞරාණික චාරිත්‍රයකි. ජනතාව අතර
විවිධ කාරණා නිසා හට ගන්නා වූ මතභේද, කුකුස් හා ප්‍රශ්න නිරාකරණය කර
ගැනීම උදෙසාත් තමන්ගේ නිර්දෝශීභාව තහවුරු කිරීම උදෙසාත් මෙසේ දිව්රීම
උපයෝගී කරගෙන ඇත. රාජ්‍ය භාර ගන්නා තැනැත්තා රාජ්‍ය පදවිය භාර ගැනීමේ
දී ඒ පිළිබඳ දිවුරුම් දීම ඉපැරැණි චාරිත්‍රයකි. එසේ දිවුරුම් දීමේ දී
කියවන පාඨයෙහි මුලටම සඳහන්ව ඇත්තේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ ගේ නාමයයි.
අතීතයේ දී බෝධීන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලැබූ තවත් චාරිත්‍ර විධියක්
නම් සෝමනස්ස පූජාවයි. සොම්නස් මහ බෝ මඟුල යන පදයෙන් හැඳින්වෙන මෙම
චාරිත්‍රානුකූල උළෙල රටේ සෞභාග්‍යයත්, ජනතාවගේ අභිමථාර්ථ සාධනයත්
අරමුණු කරගෙන පවත්වන ලදී. වර්තමානය වන විට මෙම චාරිත්‍රය අභාවයට ගොස්
ඇති බව පෙනේ. බෝධිය හා සම්බන්ධ කාරණාවලදී වැළැකිය යුතු යැයි සම්මත වූ
කරුණු රැසක් ද වේ. ඒ අතර ප්‍රධාන කරුණක් වන්නේ බෝධියට හානි කිරීමෙන්
වැළැකී සිටීමයි. බෝ ගසක අත්තක් හෝ කැපීමට අවසර ලැබුණේ එයින් සධාතුක
චෛත්‍යයකට හෝ ආසනඝරයකට බාධාවක් ඇති කල්හි පමණි. එසේ නැතහොත් දිරන හෝ
දුම්මලකාරි වෑස්සෙන අතු කපා දැමීමට අවසර තිබේ. එසේ කැපීමෙන් ගසෙහි
වැඩීමට සහනයක් සැලැසෙන්නේ නැතිනම් එය ද වරදක් වෙයි. චෛත්‍ය දෙසට
විහිදුණු බෝ අතු මත සිට කුරුල්ලන් චෛත්‍ය මත වසුරු හෙළයි නම් එබඳු අතු
කපා දැමීමට ද අවසර තිබේ. මෙම කරුණු ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ.
බෝධි ආගමනය මේ රටේ සමාජ ව්‍යුහය කෙරෙහි බලපෑ අන්දම පැහැදිලි කෙරෙන තවත්
විශේෂිත අංගයක් වන්නේ ඒ ආභාසයෙන් ගොඩනැඟුණු කුල පරම්පරා, නම් ගොත් සහ
ස්ථාන නාම ආදියයි. උදාහරණයක් වශයෙන් බෝධි යන පදය පුද්ගල නාමයන්ට
එකතුවීම දැක්විය හැකි ය. අක්බෝ, කුඩා අක්බෝ සහ සිරි සංඝ බෝධි වැනි
නාමයන් නිදසුන් ලෙස පෙන්වා දිය හැකි ය. සාමාන්‍ය ජනතාව අතරද බෝධි යන
පදය නමට එක්කර ගැනීම බහුල වශයෙන් පැවැති බව බෝධිපක්‍ෂ, බෝධිනායක,
බෝධිපාල සහ බෝධිසේන වැනි නාමයන්ගෙන් පැහැදිලි වේ. ස්ථාන නාම හැඳින්වීමේ
දී ද බෝධි යන පදය භාවිත කරන ලද අවස්ථා ද රාශියක් දැක ගත හැකි ය. උදාහරණ
ලෙස, බෝතලේ, බෝවත්තේ හෙල, බෝ වල, බෝ පිටිය, බෝ ගහවෙල, බෝ ගම්බර සහ බෝ
රුක් ගමුව වැනි ග්‍රාම නාමයන් සමහරක් පෙන්වාදිය හැකිය.
බෝධි සංස්කෘතියේ ආභාසය ලක්දිව කලා ශිල්ප කෙරෙහිද බලපෑම් ඇතිකර ඇති බවට
සාධක හමුවේ. බෝ ගස බෞද්ධ සංකේතයක් ලෙසින් මුලින්ම කලාවට පිවිසෙන්නේ
භාරතයේදී ය. ධර්මාශෝක අවධිය වන විටත් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වී
නොතිබුණු බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. මෙම හේතුව නිසා එකල කලා
ශිල්පීහු බුදුන්වහන්සේ නිරූපණය කරනු වස් බෝ ගස යොදා ගත්හ. ශ්‍රී මහ
බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් පසු සිංහල කලා නිර්මාණ අතරට බෝ රුක
සහ බෝ පත් එකතු වී ඇති ආකාරය මෙරට කලා ඉතිහාසය තුළින් දැක ගත හැකිය.
බෞද්ධයන්ගේ ආගමික කටයුතු අතර බෝධි පූජාවට හිමිවනුයේ විශේෂ තැනකි. එදා
සිට අද දක්වාම බෝධි වන්දනය හා බෝධි පූජා පැවැත්වීම බෞද්ධයන්ගේ
ජනපි‍්‍රය ආගමික ලක්‍ෂණයක් ලෙසින් පවතී. දෙවනපෑතිස් මහ රජතුමාගෙන් පසුව
ලක්‍ෂයක් පමණ ධනය වැය කොට අතිවිශාල බෝධි පූජාවක් දුටුගැමුණු රජු පවත්වා
ඇති බවත් ඉන්පසුව භාතිය, ධාතුසේන, අඹහෙරණ සලමෙවන් සහ දෙටුතිස් යන රජුන්
විසින් ද මෙබඳුම වූ පූජාවන් පවත්වන ලද බවත් ඓතිහාසික බෝධි පූජා පිළිබඳ
තොරතුරු සඳහන් කරන විමල් අබේසුන්දර මහතා පෙන්වා දෙයි.
බෞද්ධයා බෝධි පූජාවෙන් බලාපොරොත්තු වූයේ ශ්‍රද්ධාව සිතෙහි ජනිත කරගෙන ඒ
ඔස්සේ ප්‍රඥාව අවධි කරගෙන කෙලෙසුන් කෙරෙන් මිදී නිවන් අවබෝධ කර
ගැනීමයි. ථෙරවාදී බෞද්ධයෝ බෝධි තුනක් පිළිබඳ කතා කරති. ඒ බුදු, පසේ
බුදු සහ අරහත් නම් බෝධීන් ය. මෙය තුන්තරා බෝධිය නමින් බෞද්ධයෝ ව්‍යවහාර
කරති. මෙකී බෝධි තුනෙන් එක්තරා බෝධියකට පැමිණීමෙන් සංසාර විමුක්තිය
ලැබීම ථෙරවාදි බෞද්ධයන්ගේ අරමුණයි.
ශ්‍රී මහා බෝධින් වහන්සේ නිසා පුළුල් වූ සංස්කෘතික පසුබිමක් මෙරට
ගොඩනැඟුණු බව යථෝක්ත කරුණු කාරණා තුළින් පැහැදිලි වේ. මෙසේ බිහිවුන
බෝධි සංස්කෘතිය ලාංකේය ජන ජීවිත විනිවිද ගොස් ඒ තුළින් ඇතිකරන ලද්දා වූ
පුනරුදය ජන සමාජයේ යහ පැවැත්මට මූලාධාර සපයා ඇත.
|