Print this Article


පුනරුප්පත්ති ලිපි - (06)

පුනරුප්පත්ති ලිපි - (06)

භෞතික කයෙන් වෙන්වන මනෝ කායේ ක්‍රියාකාරීත්වය

මරණය”යනු ශරීරයෙන් සිත වෙන්වීමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී දෙයාකාරයකින් සාකච්ඡා කළ හැකිය. එනම් ස්ථිර වශයෙන් (නැවත නොඑන පරිදි) සිත කයෙන් වෙන්වන අවස්ථාව හා තාවකාලික වශයෙන් සිත ශරීරයෙන් වෙන්වන අවස්ථාව වශයෙනි

පෙර සාකච්ඡාවේ දී මරණය හා මරණාසන්න සිතිවිල්ලේ ඇති බලවත් බව පිළිබඳ කරුණු සාකච්ඡා කෙළෙමු.

අපගේ අවධානය යොමු වන්නේ මරණය සිදු වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට ය.

“මරණය” යනු ශරීරයෙන් සිත වෙන්වීමක්ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී දෙයාකාරයකින් සාකච්ඡා කළ හැකිය. එනම් ස්ථිර වශයෙන් (නැවත නොඑන පරිදි) සිත කයෙන් වෙන්වන අවස්ථාව හා තාවකාලික වශයෙන් සිත ශරීරයෙන් වෙන්වන අවස්ථාව වශයෙනි.

මෙහිදී මරණය ලෙස අපට පෙන්වා දිය හැක්කේ, ස්ථිර වශයෙන් ශරීරයෙන් සිත වෙන්වන අවස්ථාවයි. මෙම අවස්ථාව ධර්මයේ සඳහන් වන්නේ මෙසේ ය.

“යා තේසං තේසං සන්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කලේබරස්ස නික්ඛේහෝ ඉදං චුච්චතාවුසෝ මරණං”

(සච්ච විභංග සූත්‍රය – මජ්ඣිම නිකාය)

ඒ ඒ සත්වයන්ගේ තමා ලත් ජීවිතයෙන් (ශරීරයෙන්) යම් චුතවීමක් හෙවත් ජීවිතයෙන් ගැලවුණ බවක්, පංචස් කන්දයන්ගෙන් වෙන්ව අතහැර දැමීමක් වෙයිද? මෙයට ‘මරණය’ යැයි කියනු ලැබේ.

මෙයින් පෙනී යන්නේ සිත නැවත නොඑන පරිදි ශරීරයෙන් වෙන් වූ අවස්ථාව මරණය යනුවෙන් ව්‍යවහාර වන බවයි.

තාවකාලික වශයෙන් අපේ සිත ශරීරයෙන් වෙන්වන අවස්ථාද අපගේ සාකච්ඡාවට භාජනය කළ යුතු ය.

‘නින්ද’ යනු අප කාටත් අවශ්‍යය දෙයකි. දෛනිකව අප සිදු කරන කටයුතු වලදී ශරීරය මෙන්ම ‘සිත’ ද වෙහෙසට පත්වේ. එම වෙහෙස නිමාවට පත් වන්නේ නින්දක් සමඟය. නින්දේ දි සිදුවන්නේ අපගේ සිත තාවකාලික වශයෙන් භෞතික කයෙන් වෙන්ව යෑමකි. මෙසේ කය අතහැර යන සිත විද්‍යාවේ දී හඳුන්වන්නේ මනෝ කාය (Astral Body) වශයෙනි. නින්දේදී ශරීරය හැර යන සිත ‘ස්වප්න කාය’ වශයෙන් හඳුන්වයි. නින්දේදී භෞතික කය අතහැර යන ස්වප්න කාය තමාට රිසි තැනකට පාවී ගොස් ඒ ඒ තැන්වල හැසිර නැවත අවදිවීමට පෙර භෞතික කය තුළට රිංගයි.

ස්වප්න කාය අවකාශයේ සැරි සරද්දී දකින දේ හා අපගේ සිතේ පෙර පහළ වූ ඇතැම් සිතිවිලි සිහින ලෙස අපට පෙනෙන බව බොහෝ පරීක්‍ෂකයන්ගේ මතයයි.

මෙසේ නින්දේ දී අපගේ භෞතික කාය හැර යන ‘මනෝ කාය’ නැවත ශරීරයට නොපැමිණියහොත් එහිදී ද මරණය සිදුවේ. සමහර අය නින්දේ දීම මිය යන අවස්ථා කොතෙකුත් ඇත. බොහෝ විට වයස් ගත වූවන් මෙවැනි අවස්ථාවන්ට මුහුණ පායි.

මනෝකාය නැවත පැමිණ ශරීරය පවත්වාගෙන යන්නේ එහි දුර්වලතාවයක් නැත්නම් පමණි. හදවත් රෝග, ස්නායු දුර්වලතා, සර්පයන් දෂ්ඨ කිරීම් වැනි අවස්ථාවල සමහර අය නින්දේ දී ම මිය යන අවස්ථා ඇත. මෙවැනි අවස්ථාවල නැවත පැමිණෙන මනෝකාය ශරීරය පවත්වාගෙන යෑමට තරම් සුදුසු තත්ත්වයක නැති නිසා මනෝකාය ශරීරය හැර යයි. එවිට සිදු වන්නේ මරණයයි.

ඇතැම් ශල්‍යකර්ම සිදු කරන අවස්ථා වලදී නිර්වින්දන ඖෂධ ලබා දෙන අවස්ථා කොතෙකුත් ඇත. මෙවැනි අවස්ථාවලදී ද සිදු වන්නේ මනෝකාය අපගේ භෞතික කයෙන් තාවකාලිකව ඉවත්වීමකි.

සමහර පරීක්‍ෂකයන් පවසන පරිදි ඇතැම් ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවල ශරීරයෙන් ඉවත්ව යන මනෝකාය ඉහළට ගොස් ඒ දෙස බලා සිටි අවස්ථාද සැත්කම් වලින් පසුව ඔවුන් පවසා ඇත.

ඇතැම් ශල්‍යකර්ම බරපතළ වූ විට හෙවත් නැවත පැමිණෙන මනෝකායට එය පවත්වාගෙන යෑමට නොහැකි සේ භෞතික කය දුර්වල නම් මනෝකාය පැමිණෙන්නේ නැත. සමහරු දරුණු සැත්කම් අවසානයේ මරණය සිදු වන්නේ මේ අයුරෙනි.

මෝහන ක්‍රියාවලියේ දී ද සිදු වන්නේ තාවකාලික වශයෙන් සිත ශරීරයෙන් වෙන්වීමකි. එය මරණය සිදුවීමට තරම් දරුණු නොවන අතර නොදන්නා අය ඒ පිළිබඳව කටයුතු කිරීමට ගොස් අපහසුතාවන්ට පත් වූ අවස්ථා ඇත.

භෞතික කයෙන් වෙන් වන මනෝකාය ක්‍රියාකාරීත්වය පිළිබඳව වැදගත් සිද්ධියක් අනගාරික සුගනෙ නන්ද නමින් උපාසක දිවියක් ගත කළ ඉංගි‍්‍රසි ජාතිකයෙකුගේ සටහනකින් මෙසේ පැහැදිලි වේ.

මෙම කතාව ඉදිරිපත් කරන්නා ඩබ්ලිව්.මාටින් නමැති බ්‍රිතාන්‍ය තරුණයෙකි.

මාටින් තරුණයා තම ගෙදරින් සැතපුම් බොහෝ ගණනකට ඈත වැඩ කරමින් සිටියේ ය. කඩා වැටෙන බිත්තියක් ඔහුගේ හිස මත වැටී නිසා ඔහුට සිහි නැති විය. ඔහු රෝහලට ගෙන යන ලදී. ඔහුගේ තත්ත්වය පිළිබඳ වෛද්‍යවරු තීරණය කළ නිසා ඔහුගේ දෙමාපියන්ට විදුලි පුවතක් යවන ලදී. ඔවුන් පැමිණෙන විටද රෝගියාට සිහිය තිබුණේ නැත. ටික වේලාවකින් සිහිය ලද රෝගියා විදුලි පුවත යවන විට මව සිටි අන්දම මව්පිය දෙදෙනා අතර ඇති වූ කතාබහ ඔවුන් දුම්රියේ පැමිණි සැටි ආදි සියල්ල සිදු වූ පරිද්දෙන්ම විස්තර කෙළේ ය.

ඔහුගේ විස්තරයට අනුව ඔහු සිරුරෙන් පිට වී තම ගෙදරට ගොස් මාපියන් සමඟ ආපසු පැමිණ ඇත.

ඉතාමත් වැදගත් සිද්ධිය වන්නේ මේ අතර තුර සිදු වූවා යැයි කියා ඇති දෙයකි. එනම් මේ අතර තුරේ දී ඔහු තම අසල්වැසියෙකුගේ ගෙදරට ගොස් තිබේ.

ඊට මොහොතකට පෙර ඒ ගෙදර ස්ත්‍රියක ගැහැනු දරුවෙකු ප්‍රසූත කර තිබුණා ය. මේ දැරිය දුටු වහාම මාටින්ට ඈට ඇතුළු වී නැවත ජීවත් වීමේ ආශාව තදින් ඇති වී තිබේ. ඔහු ආපසු පැමිණ ඇත්තේ දුක්වන තම මාපියන් ගැන සිහි වූ නිසා ය.

මාටින් තම කතාව අවසන් කැර ඇත්තේ මෙසේ ය.

“මා ඒ ළදැරියගේ සිරුරට ඇතුළු වන්නට තීරණය කළානම් මා තව දුරටත් ඩබ්ලිව් මාටින් නොවී මිස් විල්සන් කෙනෙකු විය හැකිව තිබුණු බව මට සහතිකය යනුවෙනි.”