Print this Article


සුදුස්සාම දැරිය යුතු උතුම් කසාවත

ධම්මපදට්ඨ කතා 07

සුදුස්සාම දැරිය යුතු උතුම් කසාවත

අතීතයෙහි බරණැස එක් දඩයක්කාර මිනිසෙක් ඇතුන් මරා දළ කපා ගෙන ගොස් විකුණා ජීවත් වන්නට පුරුදුව සිටියේ ය. මේ කාලයෙහි වනයක විසූ ඇත් රංචුවක් දිනපතා වනයේ සැරිසරමින් ආහාර රැගෙන සන්ධ්‍යාවේ නවාතැන කරා ගමන් කරද්දී පසේ බුදුවරයෙකු දැක සෑම දිනෙකම එතැනින් යද්දී එම පසේ බුදුවරයන් වහන්සේට දණ නමා වැඳවැටී යන්නට සියලුම ඇත්තු පුරුදු වූහ. ඇතුන් මරා දළ කපා ජීවත් වන්නට පුරුදුව සිටි දඩයක්කරුවා ඇතුන්ගේ මෙම ක්‍රියා කලාපය දැක තමන්ද චීවරයක් පොරවා ඇතුන් ගමන් කරන මාර්ගයෙහි පැත්තකට වී සිටින්නට පුරුදු වූයේ ය.

සැරියුත්, මුගලන් අගසවු දෙනම තම පිරිවර භික්‍ෂූන් ද කැටුව බුදුරදුන්ගෙන් අවසර ලබා දෙව්රමින් පිටත්ව රජගහනුවරට පැමිණ අවසර ලබා බොහෝ දෙනාට හිත සුව පිණිස වැඩහුන්හ, රජගහනුවර වැසියෝ උන්වහන්සේලාගේ පැමිණීම තමන්ට ලද මහත් භාග්‍යයක් සේ සලකා උන්වහන්සේලා සියලු දෙනාට අවශ්‍ය පිණ්ඩපාතාදිය සකසා දෙති. එහිදී තනි තනිව නොව බොහෝ දෙනා එක්ව කණ්ඩායම් සෑදී දානමාන ආදිය පිදූහ.

මෙම මහා දානයන් පිළිගත් අගසවු දෙනම ඇතුළු භික්‍ෂූහු රජගහනුවර වැසියන්ට අනමෙවැනි දම් දෙසුම් පැවැත්වූහ. එක් දිනක් එවන් දේශනාවක් පවත්වන සැරියුත් හිමියෝ එහි ආනිශංස ලබන පිළිවෙළ පැහැදිලි කර වදාළහ. ඒ අනුව,

01. ඇතමෙක් තමන් උපයා ගත් දෙයින් බොහෝ දන් දෙති. අන්‍යයන් කිසිවෙකු සම්මාදන් කැර නොගනී. ඔවුහු උපනුපන් භවයන්හි අවශ්‍ය භෝග සම්පත් ඇතිව උපදිති. එහෙත් තමන්ට කිසිදු පරිවාර ජනයන් නොලැබෙයි.

02. ඇතමෙක් උපයන සම්පතින් කිසිවිටෙකත් දන් නොදෙයි. එහෙත් අන්‍යයන් සම්මාදන් කරවයි. හෙතෙම උපනුපන් භවයන්හි භෝග සම්පත් නොලදත් පරිවාර ජනයා ලබයි.

03. තවත් කෙනෙක් උපයන සම්පතින් දන් නොදෙයි. අන්‍යයන් දෙන දෙයකට අන්‍යයන්ට සම්මාදන් කරවීමට ද ඉඩ නොදෙයි. ඔහු උපන් සෑම භවයෙහිම කැඳ ටිකක් පවා නොලබයි. උපකාරයකට කිසිදු පිරිවරක් ද නොලබයි.

04. ඇතමෙක් උපයන දෙයින් හොඳින් දන් දෙයි. අන්‍යයන් ද ඊට සම්බන්ධ කර ගනී. මරණින් මතු භෝග සම්පත්ද පරිවාර ජනයා ද නොඅඩුව ලබයි.

සැරියුත් හිමියන්ගේ මේ දේශනාව අසා සිටි එක් ඥානවන්ත පුරුෂයෙකු හතරවෙනුව කියූ කාරණාව පරිදි භෝග සම්පත් හා පරිවාර ජනයා නොඅඩුව ලැබීම පිණිස එම පුණ්‍ය ධර්මය කළ යුතු යැයි කල්පනා කර එක් තෙරුන් වහන්සේ නමකට තම නිවසට දානයට ආරාධනා කළේ ය. කොපමණ පිරිසක් අවශ්‍යදැයි තෙරණුවන් විමසූ විට දහසක් පිරිස යැයි කීය. මෙම දානපතියා මහත් සතුටින් භික්‍ෂූන් දහසකට දන් පිරිනමන්නට භාරගෙන ආරාධනා කර නගරයේ ඇවිදිමින් ඒ බව නගරවාසීනට දන්වා කැමැති ඕනෑම කෙනෙකුට ඒ සඳහා සහභාගි වන ලෙසට දන්වා සිටියේ ය. නගරවැසියෝද එයින් සතුටුව මෙය තමන්ට ලද මහා භාග්‍යයක් සේ සලකා අඩුපාඩු සියල්ල සම්පූර්ණ කළහ.

එක් කුලපුත්‍රයෙක් ලක්‍ෂයක් වටිනා අගනා කසාවතක් ගෙනැවිත් මේ දානපතියාට දී දන්වැට සම්පූර්ණ කළේ ය. ඔහුගේ ඉල්ලීම වූයේ තමන් කැමැති භික්‍ෂුනමකට ඒ අගනා චීවරය පූජා කරන ලෙසයි. සියලු දාන කටයුතු නිමවා මෙම වටිනා චීවරය කවර භික්‍ෂුවකට පිරිනැමීම සුදුසු ද යන්න බොහෝ දෙනා කතිකා කරගත්හ. තමන්ගේ හැම කටයුත්තකදීම තමන් සමඟ සිටින දෙව්දත් තෙරුන්ට එය පිරිනැමීම සුදුසු බව තීරණය කර උන් වහන්සේටඒඅනුවචීවරය පිදූහ. දෙව්දතුන් මෙය පෙරවා මහත් ආඪ්‍යයෙන් මිනිසුන් අතර හැසිරෙනු දුටු බොහෝ දෙනා කලකිරුණහ. එය සැබවින්ම පූජා කළ යුතුව තිබුණේ සැරියුත් තෙරුන්ට බව කතිකා කරමින් දෙව්දතුන් තමන්ට නොගැළපෙන චීවරයක් දරතියි හැමදෙනා අතර කතා වන්නට වූහ.

මෙම කතාව දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුපියාණන්ට ද ආරංචි වී දෙව්දත් තමන්ට නොගැළපෙන චීවර දරා සිටියේ මේ භවයේ පමණක් නොව පෙරත් එසේ චීවරයදරමින් විනාශකාරී ජීවිතයක් ගත කළ අයුරු ගෙනහැර පෑහ.

අතීතයෙහි බරණැස එක් දඩයක්කාර මිනිසෙක් ඇතුන් මරා දළ කපා ගෙන ගොස් විකුණා ජීවත් වන්නට පුරුදුව සිටියේ ය. මේ කාලයෙහි වනයක විසූ ඇත් රංචුවක් දිනපතා වනයේ සැරිසරමින් ආහාර රැගෙන සන්ධ්‍යාවේ නවාතැන කරා ගමන් කරද්දී පසේබුදුවරයෙකු දැක සෑම දිනෙකම එතැනින් යද්දී එම පසේ බුදුවරයන් වහන්සේට දණ නමා වැඳවැටී යන්නට සියලුම ඇත්තු පුරුදු වූහ. ඇතුන් මරා දළ කපා ජීවත් වන්නට පුරුදුව සිටි දඩයක්කරුවා ඇතුන්ගේ මෙම ක්‍රියා කලාපය දැක තමන්ද චීවරයක් පොරවා ඇතුන් ගමන් කරන මාර්ගයෙහි පැත්තකට වී සිටින්නට පුරුදු වූයේ ය.

පසේ බුදුරදුනට දණ ගසා වැඳ යන මේ ඇත්තු චීවරයක් පොරවා මාර්ගයේ සිටි දඩයක්කරුවා ද පසේ බුදුවරයෙකු යැයි සිතා ඔහුට ද වැඳ යන්නට පුරුදු වූහ. ආයුධයක් අතැතිව සිටි මේ චීවරධාරියා ඇත් රැළ තමන්ට වැඳ යද්දී අවසානයට ගිය ඇතා අල්වා මරා දළ කපා විකුණා පහසුවෙන් ජීවත් වන්නට පුරුදු වූයේ ය.

කල්යාමේ දී ඇත් රැළෙහි ඇතුන් දිනෙන් දින අඩු වන කල මේ ඇත් රංචුවට නායකත්වය දුන් බෝසත් හස්තියාගේ අවධානයට යොමු වූහ. බෝසත් හස්තියා තම පිරිස අඩු වන්නේ කෙසේදැයි කල්පනා කර කුමක් හෝ උපද්‍රවයක් ඇතැයි සිතා සියලු ඇතුන් පෙරටුව යවා තමන් අන්තිමට යාමට එක් දිනක් කල්පනා කළේ ය.

සියලු ඇතුන් මේ සොර චීවරධාරියාට වැඳ ගිය පසු ඔහු සිවුර ගළවා වීසි කොට ආයුධය අමෝරාගෙන අවසානයට පැමිණි බෝසත් හස්තියා මරන්නට ඉදිරියට පැන්නේ ය. සිහි උපදවා ගෙන පැමිණි බෝසත් හස්තියා ආයුධ පහරින් මිදෙන්නට පසු පසට පැන්නේ ය. තම වර්ගයා නසන චෞරයාමොහු බව දැනගත් බෝසත් හස්තියා ඔහු නසන්නට ඉදිරියට පැන්නේ ය. මෙම චෞරයා ඇතාගෙන් බේරීමට ගසකට මුවා වූයේ ය. හස්තියා සොඬෙන් ගස කරකවා උදුරා පොළොවේ ගසන්නට සූදානම් වූයේ ය. මෙයින් බියට පත් වූ සොර චීවරධාරියා තම සිවුර පෙන්වා තමා නොමරන්නැයි ආයාචනා කළේ ය. එවිට බෝසත් හස්තියා විමසා සිටියේ තම වර්ගයා කොපමණ විනාශ කළා ද යන්නයි. එවිට මෙපමණ ප්‍රමාණයක් නැසූ බව කියා සිටියේ ය. එවිට බෝසත් හස්තියා කියා සිටින්නේ රහතුන්ගේ වස්ත්‍රයක් පොරවා මෙබඳු බැරෑරුම් පාප කර්මයක් සිදු කරගත් බවයි. මෙම උතුම් වස්ත්‍රය තා වැනි පාපතරයන්ට පොරවන්නට කිසිසේත් නුසුදුසු බවයි.

මෙම කතාව ගෙන හැර දක් වූ බුදුරදුන් මෙසේ කාසාය වස්ත්‍රයක් පොරවා ඇතුන් ඝාතනය කළේ දෙව්දත් බවත් ඔහුට නිග්‍රහ කොට හස්ති සේනාව බේරා ගත් හස්ති රාජයා තමන් වහන්සේ බවත් වදාළහ. මේ අනුව දෙව්දතුන් මෙකල මෙන්ම පෙර භවයන්හි තමන්ට නොගැළපෙන උතුම් චීවරය දරා ගනිමින් විනාශකාරී ක්‍රියාවන්හි යෙදුණු බව තහවුරු විය. කෙලෙස්වලින් පිරුණු ඉන්ද්‍රිය දමනයත් නැති අසත්‍යවාදී මිනිසුනට මේ උතුම් චීවරය කිසිසේත් නොගැළපෙන බව වදාළ බුදුහිමියෝ කෙලෙස් මලදුරු කිරීමේ වීර්ය ඇති සිල්වත් ඉන්ද්‍රිය දමනයෙන් යුතු අයම මේ චීවරය දැරිය යුතු බව වදාළහ. බුද්ධ කාලයට මෙන්ම මෙම උතුම් අනුශාසනාව වත්මනට ද ඔබිනය. කවර කාලයක වුව චීවරය ඔබින්නේ ඊටම සුදුසු වූ පුද්ගලයාට පමණි. නුසුදුසු පුද්ගලයෙකු මෙය දරන්නේ නම් එයින් ඔහු කර ගන්නේ පාපයක්ම ය.