Print this Article


සසර දුකෙන් එතෙර වන්නේ කොහොමද?

සසර දුකෙන් එතෙර වන්නේ කොහොමද?

ඔබට දවසේ පැය විසිහතරම සිල්වත් වෙන්න කියලා අපි යෝජනා කරන්නේ නැහැ. පැය දොළහක්, පැය හයක්, සිල්වත් වන්න කියා කියන්නෙත් නැහැ. පැය විසි හතරෙන් එක පැයක් සිල්වත් වන්න කියලයි මම කියන්නේ. සිල්වත් වෙනව කියනකොට අපට සිතෙනවා සිල් රෙදි ඇඳගෙන පැත්තක වාඩිවෙලා කරන්න ඕන ක්‍රියාවක් කියලා. ඒ සංකල්පය අතහැර දාන්න. සිල්වත් වෙන්න සුදු රෙදිම ඕන නැහැ. ඔබ රැකියා ස්ථානයත් ඒ සඳහා සුදුසුයි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අපට සසර දුකින් එතෙර වන පාර කියා දෙනවා. උන්වහන්සේලා අකුසල් සිත බැහැර කර කුසල් සිතක් උපදවා ගන්නට අපට උපකාර කරනවා. අප තුළ සැඟවිලා තිබෙන හැකියාව මතුකර ගන්න තිබෙන වැඩපිළිවෙල වන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව කියා දෙනවා. ඒවා පුරුදු කිරීම තුළින් එක පැත්තකින් ඒ සුදුසුකම මතුවෙන අතර තව පැත්තකින් අප ඒ ගත කරන ජීවිතය වාසනාවන්ත වෙනවා.

තථාගතයන් වහන්සේ අපට දාන, ශීල, භාවනා තුන් පුණ්‍ය කර්ම පුරුදුකර ගන්නයැයි දේශනා කළේ මහ කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් මේ කරුණු කෙතරම්ගැඹුරුද කියලා ධර්මය පුරුදු කරවිට අපට වැටහෙනවා.

ඔබ තේරුම් ගන්න ඔබේ ජීවිතයේ වටිනාකම ගොඩනගා ගෙන අර්ථවත් කරගෙන සුදුස්සන් බවට පත්වෙලා මේ සසර දුක්ගිනි ගෙවාගන්න සසර දුකින් එතෙරවන්න මඟ පිළවෙල සකසා ගන්නේ කොහොමද? මොනවද ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම කියා.

අප අංගවිකල නොවී, මන්ද බුද්ධික නොවී ආබාධිත නොවී, සම්පූර්ණ මිනිසෙකු ලෙස මේ ලොව ඉපදීමට විශාල පුණ්‍ය ශක්තියක් අවශ්‍ය බව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. උන්වහන්සේ මහ ප්‍රඥාවෙන් මේ මිනිස් ජීවිතයේ අර්ථවත්බව, අංග සම්පූර්ණ බව ලබල දෙන්නෙ කිනම් හේතුවකින් ද කියා සොයා, විමසා බැලුව. උන්වහන්සේ දැක්කා ඇයි මේ අංගවිකල වෙන්නේ. මන්ද බුද්ධික වන්නේ ඇයි? ආබාධිත ලෙස රෝගීන් ලෙස ඉපදින්නේ ඇයි? මන්දායුෂ වෙන්නේ, දුර්වර්ණ වන්නේ ඇයි? එයට හේතුව මේ කාය කර්මයේ, වාග් කර්මයේ මනෝ කර්මයේ දෝෂය බව උන්වහන්සේ අවබෝධ කර ගත්තා. ඒ දෝෂය ඉවත්කර ගත්තේ නැත්නම් මේ අඩුව මීටත් වැඩියෙන් අපේ ජීවිතවලට මතු දවසක උදාවෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ අපට අවධාරණය කොට දේශනා කළා සිල්වත් වෙන්න කියලා. දැන් සිල්වත් වෙන්න කියලා කිවුවම ඔබ සිතයි, කාටනම් මේ වැඩය කරන්න පුළුවන්ද? අඹුදරුවො රැකී රක්‍ෂා නිසා, විවිධ හේතු නිසා සම්බාධක සහිත ජීවිත අපි ගෙවන්නෙ. එබඳු ජීවිත ගෙවන අපට කොහේද සිල් සමාදන්වෙලා නිදහසේ ටිකක් මේ කය, වචන රැකගෙන ඉන්න ඉඩක් තිබෙන්නේ කියලා. ලෝකයේ හුඟාක් අයට සිල්වත් වෙන්න කියපු ගමන් ඒ මානසික අඳුරුභාවය ඒ අඳුරු ඍණාත්මක සංකල්පය තමයි මනසට ඇතුළු වන්නේ.

ඔබට දවසේ පැය විසිහතරම සිල්වත් වෙන්න කියලා අපි යෝජනා කරන්නේ නැහැ. පැය දොළහක්, පැය හයක්, සිල්වත් වන්න කියා කියන්නෙත් නැහැ. පැය විසි හතරෙන් එක පැයක් සිල්වත් වන්න කියලයි මම කියන්නේ. සිල්වත් වෙනව කියනකොට අපට සිතෙනවා සිල් රෙදි ඇඳගෙන පැත්තක වාඩිවෙලා කරන්න ඕන ක්‍රියාවක් කියලා. ඒ සංකල්පය අතහැර දාන්න. සිල්වත් වෙන්න සුදු රෙදිම ඕන නැහැ. ඔබ රැකියා ස්ථානයත් ඒ සඳහා සුදුසුයි.

රැකියා ස්ථානයේ ඔබ මෙහෙම සිතන්න. ඔබ එක පැයක් ලකුණු කර ගන්න. මම මේ පැය මගේ කයෙන් කාගෙවත් ජීවිතයට හානියක්, අනතුරක් කරන්නේ නැහැ. රිදවීමක් කරන්නේ නැහැ. අන්සතු දෙයක් පැහැර ගන්නේ නැහැ. කොළයක්, පෑනක් හෝ ගන්නේ් නැහැ. මම මේ පැයේ බිම වැටී, තිබුණත් කාගෙවත් දෙයක් ගන්නේ නැහැ. කයින් නොව සිතින්වත් මම කෙනෙකුගේ අනියම් ඇසුරක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.

මම මේ පැයේ මට මොන අලාභය වුවත් බොරුවක් කියන්නේ නැහැ. මම මේ පැයේ කාවවත් බිඳවන භේද කරවන, කේලම් කියන්නේ නැහැ. අනුන්ගේ සිත් රිදවන තලන ඵරුෂ වචනයක් නපුරු වචනයක් භාවිතා කරන්නේ නැහැ. අනුන්ගේ වැඩ ප්‍රමාද කරන හිස් වචන මේ පැයේ කියන්නේ නැහැ. මම මේ පැයේ සිල්වත් වෙනවා. ඒක ඔබට අමාරු නැහැ නේ. ඔබට නිසැකව මේ පැය තුළ කයත් වචනයත් සිතත් රැක ගන්නට පුළුවනි.

ඒ සඳහා අමුතුවෙන් කාලයක් වැය වුණේ නැහැ. සිල් රෙදි වුවමනාත් නැහැ. පන්සල් යන්න ඕනත් නැහැ. රැකියාව කරන ගමන් සිල්වත් වුණා. ඔබ සිතන්න දවසට එක පැයක් සිල් රැක ගත්තොත් මාසයකට පැය හතක් සිල් සමාදන් වෙන්න පුළුවන්. හැබැයි මේ පැය ඔබේ සිතට එකඟව අවංකවම එය කළ යුතුයි. කාලයක් වනවිට ඔබටම වැටහේවි මේ පැය යි ඉතිරි පැය විසිතුනෙයි වෙනස. ජීවිතයට අවශ්‍ය සංසිඳීම තිබෙන්නෙ කොතැනද කියලා. කාලයක් යද්දී ඔබට ලෙහෙසියෙන්ම, පහසුවෙන්ම පුළුවන් වේවි තව පැයක් ඒ සඳහා වෙන්කර ගන්න. එවිට මාසයකට පැය හැටක් මම සිල් රැක්කා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ටික කලකදී මුළු දවස පුරාම ඒ සිල්පද ආරක්ෂා කරන්න ඔබගේ් සිත ඔබට ඉඩ දේවි. අනුබල දේවි. එනිසා අද පටන් මේ රාත්‍රියේ පටන් දවසකට එක් පැයක් මේ කයෙන් වචනයෙන් වරදක් කරන්නේ් නැහැ කියලා අධිෂ්ටානයක් ඇතිකර ගන්න.

ඒවගේම ඔබ රැකියාව කරන ආයතනයේදීම සත්පුරුෂයන් හඳුනා ගන්න. යම් කෙනෙකුගේ් ගුණයක් දකින්න. ඒ ගුණවන්තකම දැකල මේ පුද්ගලයා මේ ගුණයෙන් යුක්තයි කියලා ගුණ වර්ණනා කරන්න. ඔහුගේ් තව අගුණ තිබෙන්න පුළුවන්. නමුත් ඔහුගේ තිබෙන එක ගුණයක් සළකන්න. ඒ ගුණවන්ත බව සලකල ඔබට පුළුවන් ආත්මභාව ලක්ෂයක් දෙව් මිනිස් සැප ගෙනදෙන පින්කමක් කර ගන්න.

දැන් ඔබ ඔබේ සිත ගැන අවධානයෙන් බලන්න. ඇයි මගේ් සිතේ ලෝභය හට ගන්නේ. ඇයි ද්වේෂය හටගන්නේ. එවිට ඔබට පෙනේවි මේ ඇසට පෙනෙන රූප ඔස්සේ මට ලෝභය ඇතිවෙනවා. ඇහැට මම අකැමැති රූපයක් පෙනෙන විට මට ද්වේශය ඇතිවෙනවා. කනට යම් ශබ්දයක් ඇසන විට මට ආශාව ඇතිවෙනවා නැතිනම් කෝපය ඇතිවෙනවා. දිවට රසයක් දැනෙන කොට කැමත්ත හෝ අකැමැත්ත උපදිනවා. එබඳු කැමැති අකැමැති දේ උපදවන පරිසරයක ඉඳගෙන ඇස, කණ, නාසය, දිව, කය, මනස ආරක්ෂා කරන එක ඉතාමත් අසීරුයි. ඒ නිසාම ඔබ එයට වඩාත් වීර්යයක් යෙදිය යුතු වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇතිවනවිට ඉබේම හිත වැඩෙනවා. ඔබ මේ ජීවිතයේ දී නැණ, නුවණ, දැන උගත්කම ලැබුවේ නිකන් නොවේ. ඔබ සසරෙ හිත වැඩපු නිසා. හිත පුරුදු කළ නිසා. එහෙමනම් අද ඒ හිත නො වැඩුවොත්, ඒ හිත පුරුදු නො කළොත් ඊළඟට ජීවිතයේ දී ඔබට අහිමිවේවි මේ දැන උගත්කම සහ නැණ නුවණ.

ඒ නිසා මිනිස් ජීවිතය අර්ථවත් වෙන්න ලොව්තුරු මගට සුදුස්සෙක් බවට පත්වන්න සැඟවී තිබුණ සුදුසුකම් ටික මතුකර ගන්න මේ කරුණු ඔබට මහඟු උපකාරයක් වේවි. එබඳු සුදුස්සෙකු නිර්මාණය වෙලා වහ වහා සසර දුක් ගෙවා ගන්නට ඔබට ලොවුතුරු මඟ කියාදෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සත්පුරුෂ ඇසුර, මේ ජීවිතයේදීම අද අදම ලබා සසර දුක් ගිනි නිමා වීමට ශක්තිය ලැබේවා කියා අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.