Print this Article


මම, මගේ නම් කිමද ගිලන් වුණේ?

මම, මගේ නම් කිමද ගිලන් වුණේ?

ජීවිතය ගැඹුරින් අවබෝධ කර ගැනීමට නම් අපගේම ජීවිත පැවැත්ම කෙරේ මනාවූ අවධානය යොමු කිරීම අවශ්‍යය. එනම් සති සම්පජඤ්ඤය පුරුදු කිරීම කළ යුතු ය. මගේය, මමය, ස්ථිර වූ පැවැත්මක් ය, යනුවෙන් සිතෙහි ඇතිකරගෙන තිබෙන වැරැදි දැක්ම බැහැරකොටගෙන, මගේ නොවේමය, මම නොවේමය, ස්ථිර වූ පැවැත්මක් නොවේමය නම් වූ නිවැරැදි දැක්ම ඇතිකරගත හැකිවනු ඇත. මේ සඳහා සූත්‍ර දේශනාවක් ඇසුරු කරගනිමු.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසති. දිනක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පැමිණ වැඳ නමස්කාර කොට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කළේ ය. ‘අසවල් වෙහෙරෙහි නවක වූ අප්‍රසිද්ධ එක්තරා භික්‍ෂුවක් හටගත් රෝග ඇතිව, දුකට පැමිණ දැඩි ගිලන්ව වාසය කරයි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ භික්‍ෂුව වෙතට වඩින්න.’ භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ඒ නවක වූ ගිලන් භික්‍ෂුව වෙතට වැඩම කොට පනවන ලද ආසනයෙහි වැඩ සිටියහ. අනතුරුව මෙසේ වදාළහ. ‘මහණ, කුමක්ද ඔබට ඉවසිය හැකිද? කුමක්ද ඔබට දැරිය හැකිද? කුමක්ද දුක් වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙද්ද, මේ වේදනාවන්ගේ අඩුවීමක් මිස වැඩිවීමක් නොදැනේ ද?”

එම භික්‍ෂුව මෙසේ පිළිතුරු දුන්නේ ය. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය නොහැකි ය. දැරිය නොහැකිය. මාගේ දැඩි දුක්ඛ වේදනාවෝ වැඩිවත්, අඩු නොවෙත්. මේ වේදනාවල වැඩි වීමක් මිස අඩුවීමක් නොපෙනේ.” කයින් වේදනා විඳින මෙම භික්‍ෂුවගේ මනස සුවපත් කිරීමට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරති. නැවතත් මෙසේ ප්‍රශ්න කරති. “භික්‍ෂුව, නුඹට කිසියම් සැකයක් නොවේද? පසුතැවීමක් නොවේද? භාග්‍යවතුන් වහන්ස, මට ඒකාන්තයෙන්ම සැකයක් වෙයි. පසුතැවිල්ලක් වෙයි. භික්‍ෂුව නුඹට ශීලයෙන් දොස් නොකියාද? භාග්‍යවතුන් වහන්ස, මට මම ශීලයෙන් දොස් කියාගන්නේ නැත. භික්‍ෂුව, නුඹ නුඹට සීලයේ වැරැද්දක් ඇතැයි දොස් නොකියා නම්, නුඹගේ සැකය කුමක්ද? පසුතැවිල්ල කුමක්ද?

මෙම ගිලන් භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ පිළිතුරු දෙති. “භාග්‍යවතුන් වහන්සේ විසින් ශීල විශුද්ධිය පිණිස දහම් දේශනා කොට ඇතැයි මම නොදනිමි. භික්‍ෂුව, මා විසින් ශීල විශුද්ධිය පිණිස දහම් දේශනා කරන ලදැයි දන්නේ නොමැතිනම්, මා විසින් කුමක් පිණිස දහම් දෙසන ලද්දැයි නුඹ දන්නේද? භාග්‍යවතුන් වහන්සේ විසින් රාග විරාගය පිණිස දහම් දෙසන ලදැයි මම දනිමි.”

මහා කරුණාවෙන් පිරි තථාගත බුදුරජාණන් වහන්සේ, ගිලන් භික්‍ෂුවගේ සිත නොගිලන් කොට, අමා දහමින් සුවපත් බව ලබාදීමට කටයුතු කරන ආකාරය බලන්න. “භික්‍ෂුව, මැනවි, මැනවි, ඔබ, රාග විරාගය පිණිස මා විසින් දහම් දෙසන ලදැයි දැනගෙන සිටින්න. භික්‍ෂුව, මා විසින් දහම් දෙසන ලද්දේ රාග විරාගය පිණිසමයි.” කයින් ගිලන් වූ භික්‍ෂුවගේ සිත නොගිලන් කිරීමට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසති.

“භික්‍ෂුව කුමක්ද සිතන්නේ? ඇස නිත්‍යද? අනිතයද? ස්වාමීනි, අනිත්‍යයයි, යමක් අනිත්‍ය නම් එය සුවද, දුක්ද? ස්වාමිනී දුකකි, යමක් අනිත්‍ය නම්, දුක් සහගත නම්, වෙනස් වන සුළු නම්, මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දකින්නට සුදුසුද? ස්වාමීනි, එය සුදුසු නොවේමය. මේ ලෙසින්ම කණ, නාසය, දිව, කය සහ සිත පිළිබඳවද භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කරති. ඒ සියල්ලටම පිළිතුරු වූයේ යමක් අනිත්‍යය නම් එය දුකක් බවය. යමක් අනිත්‍ය නම්, දුක් සහගත නම්, සෑම මොහොතක් පාසාම වෙනස් වේ නම්, එය මගේ නොවන බවය. මම නොවෙමි බවය. එය කිසිදු ආකාරයකින් ස්ථිර ආත්මයක් හෝ පැවැත්මක් නොවන බවය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. “භික්‍ෂුව, එය එසේ අවබෝධ කරගන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇසෙහි කලකිරෙයි. කනෙහි කලකිරෙයි. නාසයෙහි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. කයෙහි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුනේ උපාදානය හෙවත් අල්ලා ගැනීමෙන් මිදෙයි. මිදුනු විට මිදුනේ යයි අවබෝධය ඇතිවෙයි. ජාතිය හෙවත් ඉපදීම අවසන් විය. බ්‍රහ්මචර්යාවෙහි යෙදී නිමවන ලදී. සියලු කටයුතු කරන ලදී. මේ රහත් බව පිණිස වෙන කළ යුතු කිසිවක් නැතැයි දැනගනී.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි සතුටු සිතැති ඒ භික්‍ෂුව, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ විස්තර සහිත සූත්‍ර දේශනා කරන විට ඒ භික්‍ෂුවට, යමක් හටගන්නේ නම්, ඒ සියල්ල නැසෙන සුළුය.” යයි බැහැර වූ කෙලෙස් ඇති පහවූ කෙලෙස් මල ඇති දහම් ඇස පහළ වූයේ ය.”

මෙම උතුම් වූ සූත්‍ර දේශනාව ඔස්සේ පරමාර්ථ ධර්ම විස්තරයක් ඇති කර ගනිමු. සල්ල සූත්‍ර දේශනාවේ දී, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, සෝක, පරිදේව, දුක් දොම්නස් නම් හුලක් කයෙහි ඇනී වේදනා ඇති වුවත්, එම හුල් සිතේ නොඇන ගන්නා ලෙසය. එනම් දුක්ඛ වේදනාවක් ලෙස සිතට නොගන්නා ලෙස ය. මෙය කළ හැක්කේ පරමාර්ථ ධර්මය පිළිබඳ මනා වූ අවබෝධයෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙම ගිලාන සූත්‍ර දේශනාවේ සිදු කළ විග්‍රහයම අපි විමසා බලමු. පළමු කොට සඳහන් කළේ රාගවිරාගය පිණිස දහම් දෙසන බවය. රාගය නම් ඇලීමයි. විරාගය නම් නොඇලීමයි. භාග්‍යවතුන් වහන්සේ දේසනා කරන්නේ මෙම ඡන්ද රාගය බැහැර කරන ලෙසය. මෙම රාගය නම් වූ ඇලීම නිසා සියලු කෙලෙස් උපදී. ඉන්ද්‍රියන් පිනවීමට ගන්නා උත්සාහයේ දී ද්වේෂය, වෛරය, ක්‍රෝධය, පළිගැනීම් ආදී කෙලෙස්ද පස්පව් දස අකුසල් ද සිදුකෙරේ. මෙය සසරෙහි දුක්සහගත පැවැත්මට හේතු වෙයි. මේ නිසා, සම්මුතියට මම, මගේ කියාඇස ආදී ඉන්ද්‍රියන් රූප ආදී අරමුණු සමග පරිහරණය කළත්, ඒවා පරමාර්ථ ධර්මය පිළිබඳ අනවබෝධයෙන් පරිහරණය කිරීම නිසා කෙලෙස් හෙවත් තෘෂ්ණාව උපදින බවද එයම දුකෙහි සම්භවය බවත් තේරුම් ගත යුතු ය. පරමාර්ථ ධර්මය නම් සංඛත නම් වූ සවිඤ්ඤාණ, අවිඤ්ඤාණක සෑම වස්තුවක්ම අනිච්ච, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් බවය. මේ නිසා ඇස ආදී ඉන්ද්‍රියන් සම්මුතියට අනුව මගේ යයි කියා, ආරක්‍ෂා කරගෙන පරිහරණය කළ ද පරමාර්ථයට අනුව මම හෝ මගේ නොවේ. ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නා වූ රූප ආදී අරමුණු ද සම්මුතියට පි‍්‍රය භාවයෙන් පැවැත්වුවද, ඒවාද පරමාර්ථ ධර්මය හෙවත් අනිච්ච, දුක්ඛ, අනත්ත නම් ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් බව අවබෝධයෙන් දත යුතු ය. මෙම මනා වූ අවබෝධය විරාගයයි.

භාග්‍යවතුන් වහන්සේ ගිලන් භික්‍ෂුවට දෙසූ දහම්, ඔබද නැවත සිහිපත් කරන්න. යමක් අනිත්‍ය නම් එය දුකකි. යමක් දුක් බවින් යුතු නම් මොහොතක් පාසා වෙනස්වේ නම් එය මගේය, මම වෙමි, ස්ථිර වූ ආත්මයක් හෝ පැවැත්මක් කියා දැකිය හෝ සිතිය නොහැකි ය. මම ඔබෙන් මෙසේ ප්‍රශ්න කරන්නෙමි. ඔබ දවසට කවර වතාවක් ඔබගේ ශරීරයට කවා, පොවා, සෝදා පිරිසුදු කොට උපස්ථාන කරන්නේද? ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ගෙන් රූප, ශබ්ද ආදී තමා කැමතියි සිතන දෑ කොපමණ නම් දෙන්නේද? ඒවා රහසින් හෝ දීමට උත්සාහ ගන්නේද? “මම” කියා හඳුන්වා ගන්නා මම, මේ ආකාරයෙන් කොපමණ පෝෂණය කළත්, සතුටු කළත්, අපට හැබෑ අයිතියක් හෝ පාලනයක් තිබේද? එනම් දිරාගෙන යාම, ලෙඩවීම, අපමණ වූ වේදනා මුළුමනින්ම නතර කරගැනීමට හැකියාවක් අපට තිබේද? කවර උපස්ථාන මේ ශරීරයට ලබා දුන්නත්, දිරාගෙන යාම, ලෙඩවීම්, මරණය ඉදිරියේ, අපි, අප ඉදිරියේම අසරණය. එසේ නම් ජීවිතයෙහි යහපැවැත්ම පිණිස, ශීලයෙහි පිහිට මෙම ජීවිතය පරිහරණය කරන අතර, ‘අබමල් රේණුවක්’ තරම් අයිතියක් හෝ පාලනයක් අපට නැති බව තේරුම් ගැනීමට ඔබට පුළුවනිද?


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.