Print this Article


ජීවිතය දැකීම

ජීවිතය දැකීම

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - හාවෙතබ්බඤ්ච භාවිතං
පහාතබ්බං පහීනං මෙ – තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ

මෙම ගාථාව ඇතුළත් වනුයේ සුත්ත නිපාතයේ මහා වග්ගයේ සේල සූත්‍රයේ ය. බුදුන් වහන්සේ එහි දී මෙසේ දේශනා කරති.

පහාතබ්බං පහීනං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණාති

මම දැනගත යුතු දේ දැන ගතිමි. මම වැඩිය යුතු දේ වැඩුවෙමි. මම ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළෙමි. ඒ නිසා මම බුද්ධ වෙමි යනුවෙන් ප්‍රකාශ කර ඇත. බුද්ධත්වය කුමක්ද? යන්න අද බොහෝ දෙනා විමසන ගැටලුවකි.

පුණ්ඩරීකං යථා වග්ගු - තොයෙ නූපලිප්පති
ඒවං පුඤ්ඤෙ ච පාපෙ ච – උභයෙතත්වං න ලිප්පති

පුණ්ඩරිකං යථා වග්ගු - සුදු නෙළුමක් මඩෙන් මතු වී දිය මතු පිටට විත් ජලයෙහි නොතැවරේ ද, එසේ පින් හා පව් යන දෙකෙහි උන් වහන්සේ නොතැවරෙන සේක. සුදු නෙළුමක් මඩෙන් මතු වී දිය මතුපිටට විත් මතුපිට සුවඳවත් කරමින් ආලෝකවත් කරමින් බබළයි ද එමෙන් මෙ මිනිස් සමාජය නමැති මඩ ගොහොරුවෙන් ඉපිද මනුෂ්‍යත්වය උත්තරීතර මට්ටමට සංවර්ධනය කොට උත්තරීතර මිනිසෙක් ලෙස පැවතීම සම්බුදුරජාණන් වහන්සේ ගේ ස්වභාවයයි. සමාජය නමැති කසළ ගොඩෙන් මතු වී ඉහළ ආ සුදු නෙළුමක් ලෙස උන් වහන්සේ පිළි ගැනේ.

දසබලධාරී බුදුරජාණන් වහන්සේ බෞද්ධයා පිළිබඳ අපේක්‍ෂා කළේ මෙවන් පිරිසුදු තත්ත්වයකි. ඒ පිළිබඳව උන්වහන්සේගේ කල්පනාව මෙසේ විය.

යථා සඞකාරධානස්මිං - උජ්ඣිතස්මිං මහාපථෙ
පදුමං තත්‍ථ ජායෙථ - සුචිගන්ධං මනොරමං

යම් සේ මහාමාර්ගයක් අසල දමා ඇති කුණුවලක පියුමක් පිපේ ද, එය ඉතා සුවඳවත් වූයේ ද මනරම් වූයේ ද වෙයි.

එමෙන්ම

ඒවන් සඞකාරභූතෙසු - අන්ධභුතෙ පුථුජ්ජනෙ
මෙසේ කුණු ගොඩක් වන් අන්ධ බාල පෘථජ්ජන ලෝකයේ,

“අතිරොචති පඤ්ඤාය සම්මා සම්බුද්ධසාවකො”
සම්බුද්ධ ශ්‍රාවකයා සෙසු අය ඉදිරියේ ප්‍රඥාවෙන් බබළයි යනු යථොක්ත ගාථාවේ අදහසයි.

ඒ නිසා ජිනේන්ද්‍රයාණන් වහන්සේ දෙවියෙක්, යක්‍ෂයෙක්, වෙනත් උසස් ලොවකින් අපට ආ විශේෂ පණිවුඩකරුවෙක් හෝ විශේෂ ශාස්තෘවරයෙකු ලෙස නොව මනුෂ්‍යයෙක් වශයෙන් ඉපැදී මනුෂ්‍යත්වය මුහුකුරවාලිය හැකි උපරිම මට්ටමට මුහුකුරවා උතුම් සම්බෝධියට පත් උත්තරීතර මිනිසෙකු ලෙසින් සැලකිය යුතු ය.

මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ එදා බෝමැඩ දී අවබෝධ කළ ධර්මය කුමක්ද?

මේ බියකරු සසරේ අප දිගින් දිගට ගමන් කරන හේතුව ලෙස එදා නර ශ්‍රේෂ්ඨයාණන් වූ බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන ලද්දේ තෘෂ්ණාවයි. බුද්ධත්වය ලෙස අප සාකච්ඡා කරනුයේ තෘෂ්ණාව නැති කිරීමෙන් උන්වහන්සේ ලබාගත් විමුක්තිය අත්දුටු අවස්ථාවය. උන්වහන්සේ එදා අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය හෙවත් දුක ඇති වීම, දුක නැතිවීම හා ඒ කාරණා දෙකට සම්බන්ධ හේතු ප්‍රත්‍යයන් දෙස බලමු.

දුක්ඛ සත්‍යය – පවත්නා තත්ත්වයයි. අපි හැම කෙනෙක්ම දුක්ඛ යන ස්වභාවයට මුහුණ දෙමින් ජීවත් වෙමු. දුක යන ස්වභාවය චක්‍රවර්ති රජුටත් ඉක්ම විය නොහැක.

“දුකේඛ ලොකො පතිටිඨිතො”

මුළු මහත් ලෝකය ම දුක මත පිහිටා ඇත. ඒ හෙයින් සැප යැයි අප කල්පනා කරන කාරණාවලට දුක ඉක්මවිය නොහැක.

“ජාතිපි දුක්ඛා, ජරාපි දුක්‍ඛා, ව්‍යාධිපි දුෙක්‍ඛා, මරණම්පි දුක්‍ඛං, අප්පියෙහි සම්පයොගො දුෙක්‍ඛා, පියෙහි විප්පයොගො දුෙක්‍ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්‍ඛං”

“ජාතිපි දුක්‍ඛා - ඉපදීම දුකක් ලෙස පෙන්වයි. සච්ච විභංග සූත්‍රයේ මෙම කාරණාව මෙසේ පැහැදිලි කෙරේ.

“සඤ්ජාති අභිනිබ්බත්ති” හටගැන්ම, මතුවීම, සත්ත්වයෙක් ලෙස බිහිවීම ජාති නම් වේ. ඉපදීම දුකක් වුව ද සත්‍ය වශයෙන් සාමාන්‍ය ලෝකයේ උපත දුකක් ලෙස නොසැලකේ. උපන් දිනයේ දී විවිධ උත්සව පැවැත්වේ. උපන් දිනය විවිධාකාරයෙන් සමරති. එහෙත් බුදු දහමේ සඳහන් පරිදි ජරා මරණ ව්‍යාධි ආදී සියල්ල අපට හිමිවනුයේ උපත පදනම් කර ගනිමිනි. ඒ හෙයින් උපත දුකකි. උපත සැමරිය යුත්තේ එහි දුක අවබෝධ කොටගෙන උපත අවසන් කිරීමට හේතු භූත වන කරුණු ක්‍රියාත්මක කරමිනි.

ජාතිපි දුක්‍ඛා ගණයට අයත් වන දුක් ලෙස,

ගබ්භොක්කන්ති මූලකාදිභෙදං දුක්ඛං”

ගැබ පිළිසිඳ ගැනීමේ දුක, මා හා ඔබ හැම උපරිම වශයෙන් මාස නවයක් පුරා ගැබක හිර වී සිටියෙමු. උපත නන්දනීය කරුණක් ලෙස සැලකුව ද, මාංශමය ශරීරයක් තුළ එනම්, මවගේ කුස තුළ අප කෙතරම් පීඩාවට ලක් වී ඇත්ද? යන්න අපට අනුමානයෙන් සිතිය හැකි ය.

“ගබ්භපරිහාරක මූලකං දුක්‍ඛං”

මව ගැබ පරිහරණය කිරීමේ දී විශාල දුක් කන්දරාවක් ඇති වේ. මවගේ හැසිරීම් පෙරළීම් ආදී හැසිරීම් රටාව තුළ අපට පීඩා ගෙන දේ.

“විජායනමූලකං දුක්‍ඛං”

මව දරුවා ප්‍රසූත කිරීමේ දී දුක හට ගනී. උපතින් පසුව ඇතිවන සියලු දුක් ජරා හා ව්‍යාධි ආදී දුක් ගණයට අයත් වේ.

ජරාපි දුක්‍ඛා - දිරීම, වයසට යාම (උපන් දා සිට සිදුවන්නකි)

ව්‍යාධිපි දුකේඛා - රෝගී වීම.

එක් භවයක දී මරණයෙන් එම භවයට පමණක් මේ දුක් අවසන් වේ. අපට ඇති දුක් ඉහත කී කොටස් පමණක් ම නොවේ. එම දුක් මොනවාදැයි බලමු.

“අප්පියෙහි සම්පයොගො දුකේඛා ”

අපි‍්‍රයයන් හා එක්වීම දුකකි. අපි හැම පින්කමක් ම කොට ‘මාමෙ බාල සමාගමො’ යනුවෙන් නිතර සජ්ඣායනා කරමු. මට දුර්ජනයන්ගේ හෝ බාලයන්ගේ ඇසුරක් නොවේවා! යනු එම ධර්ම පාඨයේ අදහසයි. මෙලොව කුමන මට්ටමේ කෙනෙකුට වුව ද අපි‍්‍රයයන්ගේ එක්වීම, හමුවීම දුක් වේදනා විඳීමට හේතු වන කරුණකි.

“පියෙහි විප්පයොගො දුකේඛා ”

පිය විප්පයෝගය ද දුකකි. අපගේ පි‍්‍රයයන් වෙන්වීම දුක අත්වීමට හේතු වන කාරණාවකි.

හිතවත් පිරිස සංවාදයක යෙදී සිටින අතර තුර ඉන් කෙනෙක් මම දැන් මැරුණහොත් ඔබ මොකද කරන්නේ යැයි විහිළුවට මෙන් අසන අවස්ථා අප අසා ඇත. එවන් අවස්ථාවක අනේ ඔයාට එහෙම වෙන්නේ නැතැයි කියනු ද අප අසා ඇත. එහෙත් එහෙම නොවී නැතහොත් මරණයට පත් නොවී අප සිටින්නේ කෙසේද? සත්‍ය නම් එයයි. මෙම කාරණාවට ජපන් සෙන් සාහිත්‍යයෙහි දැක්වෙන රසවත් උදාහරණයක් මෙසේ දක්වමු.

එක් ධනවත් ව්‍යාපාරිකයෙක් ඉතා විශාල අලංකාර නිවසක් තනා එහි ඉදිරියේ රන් ඵලසක් සවි කිරීමට අදහස් කොට, තමන්ගේ විහාරයේ ස්වාමීන් වහන්සේ වෙත ගොස් එම රන් ඵලකය භාර දී එහි සුදුසු ප්‍රකාශයක් සටහන් කර දෙන්නැයි ඉල්ලීමක් කළේ ය. එවිට එම හාමුදුරුවෝ ඔබගේ නිවසේ සිටින්නේ කවුරුන්දැයි විමසූහ. තමා, තමාගේ භාර්යාව, පුතා හා දුව පවුලේ සාමාජිකයන් ලෙස ව්‍යාපාරිකයා හඳුන්වා දුන්නේ ය. ඔවුන්ගේ වයස් පිළිවෙළ කියන්නැයි හාමුදුරුවෝ ප්‍රකාශ කළ කල්හි ඔවුන්ගේ වයස් අනුපිළිවෙළ ද දන්වා සිටියේ ය. පසුදින රන් ඵලකය ලබා ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා එය ගෙන බැලූ කල එහි ලියා තිබුණේ පහත සඳහන් පරිදි ය. පියා මැරේ, මව මැරේ, පුතා මැරේ, දුව මැරේ යනුවෙනි. එම කාරණාව අදහා ගත නොහුණු ව්‍යාපාරිකයා ඒ පිළිබඳව මෙසේ විමසීය. හාමුදුරුවනේ මම ලියන්න කීවේ ආශිර්වාදාත්මක පද කිහිපයක්. ඇයි මෙසේ ලියා තිබෙන්නේ? මෙය ශාපයක් නේද? එවිට හාමුදුරුවන්ගේ පිළිතුර වූයේ.

මේ ලියා ඇති ක්‍රමය තමයි හොඳම විදිහ. ඔබට අවශ්‍ය එය අනිත් පැත්තට ලියන්න ද? මුලින් ම දුව මැරේ. ඊළඟට පුතා මැරේ, ඊළඟට භාර්යාව මැරේ. ඊළඟට ඔබ මැරේ වශයෙන් ලිවීම ද ඔබට අවශ්‍ය වන්නේ යැයි පවසා ගෙදරකට ඇති ලොකු ම ආශිර්වාදය අනුපිළිවෙළට මියයන එකයි. උපදින අය කවුරුත් මියයන බව හාමුදුරුවෝ පවසා සිටියහ.

අප්පිය සම්පයොගය හා පිය විප්පයොගය අපට උරුම දෙයකි. එහෙත් ඒ තුළ මනස සකස් කර ගැනීමෙන් විශාල ආධ්‍යාත්මික සුවයක් ලැබිය හැකි වේ.

“යම්පිච්ඡං න ලභති තම්පි දුක්‍ඛං”

යමෙක් යමක් අපේක්‍ෂා කරයි ද? බලාපොරොත්තු ගොඩනගා ගනියි ද? එය නොලබයි ද? ඉන් දුක හට ගනී.

“ජයං වෙරං පසවති – දුක්‍ඛං සෙති පරාජිතො”

ජයග්‍රහණය කරන්නාට වෛරක්කාරයින් ඇති වන බවත් පරාජය වන අයට දුකෙන් සිටීමට සිදුවන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.

“හිත්වා ජයපරාජයං - උපසන්තො සුඛං සෙති”

පුද්ගලයෙක්ට ඇති ලොකු ම සහනය උපශාන්ත වීමයි. ජය පරාජය දෙකම අතහැර දමමින් උපශාන්ත පුද්ගලයා සුවසේ වෙසේ. අපි කුමක් ජය ගත්ත ද ජයග්‍රහණය පරාජයේ ආරම්භය බව ධර්මානුකූලව තේරුම් ගෙන කටයුතු කළ යුතු ය. සදාකාලික ජයග්‍රහණ ලොව නොමැත.

“සබ්බෙ සඞඛාරා අනිච්චා”

සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප ලබා ඇති සියලු සැප සම්පත් අතහැර යාමට අවස්ථාවක් දිනෙක උදාවනු ඇත.

බුදු දහමේ දුක තෙයාකාරයකින් පෙන්වයි.

1. දුක්ඛ දුක්‍ඛ – අප නිතර කථා කරන දුක්,
2. සංඛාර දුක්‍ඛ - සංස්කාර පදනම් කොට ඇති වන දුක්,
3. විපරිණාම දුක්‍ඛ - වෙනස්වීම නිසා දුක් බවට පත් වීම.

විපරිණාම දුක්‍ඛන්තිඛො භික්‍ඛවෙ සුඛස්සෙතං අධිවචනං”

විපරිණාම දුක්‍ඛ යනු සැපය හඳුන්වන තවත් නමකි. පෙරළීම, වෙනස්වීම නිසා ඇතිවන දුක් මේ ගණයට අයත් වේ. දුකත් දුකකි. සැපත් දුකකි. දුකට ඇති පැහැදිලි ම අර්ථ කථනය අතෘප්තියයි. මිනිසාට කොපමණ කාරණා සම්පූර්ණ වුවත් අඩුවක් දැනේ. ඒ දුකෙහි ස්වභාවයයි.

“ඌනො ලොකො අතිත්ථො - තණ්හා දාසො”

ලෝකය ඌනය. මදිකමින් පෙළේ. අතෘප්තියෙන් පෙළේ. තණ්හාවට දාසකම් කරයි. අප මිදිය යුත්තේ දිළිඳු කමින් නොව තෘෂ්ණා දාසකත්වයෙනි. තෘෂ්ණා දාසකත්වයෙන් මිදුණ තැනැත්තා දිළින්දෙක් නොවේ. බුදු දහම අනුව දුක ඉතා විශාල පරාසයක් තුළ සාකච්ඡා කෙරෙන කාරණාවකි. දුක හටගන්නේ ඇයි?

බුදුන් වහන්සේ දුක හට ගැනීමේ හේතුව අවබෝධ කර ගත්තේ දුක්‍ඛ සමුදය සත්‍යය ලෙසිනි.

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.