Print this Article


රටට ජීවය දුන් සංඝමිත්තාගමනය

රටට ජීවය දුන් සංඝමිත්තාගමනය

කාන්තා පැවිද්ද රජ පවුලේ සිට සෑම සමාජ කුලයකටම අයත් කාන්තා පිරිස් දිනා ගත්හ. දාසිය පැවිද්ද ලැබූ පසු ඒ නිසාම පූජනීයත්වයට පත් වූවාය. සමන්තා සහ මහිලා යන තෙරණිවරුන් කාවන්තිස්ස රජුගේ දූවරුන් වශයෙන් පැවිදි බව ලබද්දී ගම් සභිකයකුගේ දියණියක වූ රේවතියද පැවිදි වීමෙන් පූජනීය බව ලැබුවාය. මහාදාඨික මහරජුගේ (ක්‍රි.ව.7 –19) අවධියේ පැවිදි බව ලද සුමනා තෙරණිය ගිහිකල සාමාන්‍ය දුප්පත් ගැමි කතක් වූවාය. සිහලවත්ථූවේ සඳහන් පුවත් බොහොමයකින් පැවිදි බව ලද මෙවැනි ගැමි කාන්තාවන් රැසක් පිළිබඳ තොරතුරු ඉස්මතු වේ. මෙබඳු කාන්තාවන් පැවිද්ද නිසා කායික මානසික වශයෙන් සුවපත් වූ බවත් තවදුරටත් පැවිදි බවෙහි ඵල ලබමින් සංසාර විමුක්තිය ලැබීමට තරම් ශක්තිසම්පන්න වූ බවත් පැහැදිලිය.

අප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් සියවස් දෙකකට පමණ පසුව දඹදිව ධර්මාශෝක මහරජුගේ (ක්‍රි.පූ. 269 –234) පුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය නිසා ඇති වූ අතුරු ඵලයකි, සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ සම්ප්‍රාප්තිය. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසු රාජකීයයන් ඇතුළු පිරිස් පැවිදිබව ලබා මෙරට ගම් නියම්ගම් සිසාරා ශ්‍රී සද්ධර්මය ව්‍යාප්ත කරද්දී දෙවනපෑතිස් රජුගේ දේවිය වූ අනුලා බිසව ඇතුළු සිය ගණන් කාන්තාවන්ටද පැවිදි බව ලබා ගැනීමේ අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය.

ඔවුහු ඒ බව දෙවන පෑතිස් මහරජුට සැළ කළහ. රජු ඒ බව මිහිඳු මහරහතන් වහන්සේට දැනුම් දීමෙන් පසු රජුට දැන ගන්නට ලැබුණේ කාන්තාවන්ට පැවිද්ද ලබා දීම භික්ෂූන් වහන්සේට අකැප වූවක් බවයි. එබැවින් මිහිඳු හිමියන්ගේ මඟපෙන්වීම අනුව මෙම කරුණ දඹදිව ධර්මාශෝක මහරජුට දැනුම් දීමෙන් පසු එතුමා විසින් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේ පිරිසක් ශ්‍රී‍්‍ර ලංකාවට පිටත් කර එවනු ලැබිණි. එම මහතෙරණිය සමඟ ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබූ භික්ෂුණීන් වහන්සේගේ් නම් පිළිබඳ සුළු වශයෙන් මතභේද තිබුණද උත්තරා, හේමා, මසාරගල්ලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, මල්ලා සහ ධම්මදාසි වශයෙන් එම භික්ෂුණීන් වහන්සේගේ නම් ප්‍රකාශ කළ හැකිය. මෙම ආගමනය නිසා ශ්‍රී ලාංකේය කාන්තා සමාජය කෙරෙහි පමණක් නොව මෙරට සමස්ත සංස්කෘතිය කෙරෙහිද ඇති කළ බලපෑම සුළු පටු නොවේ. එමෙන්ම එතෙක් වූ සමාජ වටපිටාව තුළ කාන්තා විමුක්තිය උදාවීම ඓතිහාසික වූවක්ම විය.මේ තත්ත්වය ලාංකේය සංස්කෘතිය නවමු මාවතකට පිවිස වීමට ද සමත් විය.

කෙටි කාලයක් තුළ කාන්තාවෝ සිය දහස් ගණන් පැවිදි බව ලැබූහ. දුටුගැමුණු රජු දවස (ක්‍රි.පූ. 161 – 137) මිරිසවැටි පූජෝත්සවයට පමණක් සහභාගි වූ භික්ෂුණීන්ගේ සංඛ්‍යාව ලක්ෂයක් පමණ වූ බව මහාවංසය පෙන්වාදෙයි. රුවන්මැලිසෑ පූජෝත්සවයට තිස්දහසක් භික්ෂුණීන් සහභාගි වූ බව ද එහි සඳහන් වේ. මෙම සංඛ්‍යා කෙසේවතුදු මෙයින් පැහැදිලි වන කරුණ වන්නේ භික්ෂුණී ශාසනයේ ක්ෂණික ව්‍යාප්තිය සමඟ ලාංකේය කාන්තාවන් එතෙක් පැවැති සමාජ ක්‍රමය තුළ ලද සීමිත නිදහස පිළිබඳවූ වාරණයන් ඉවත්වීම නිසා ලද විමුක්තියයි. මෙයින් සංස්කෘතියේද විශාල පෙරැළියක් ඇති විය.

එපමණක් නොව මෙම කාන්තා පැවිද්ද රජපවුලේ සිට සෑම සමාජ කුලයකටම අයත් කාන්තා පිරිස් දිනා ගත්හ. දාසිය පැවිද්ද ලැබූ පසු ඒ නිසාම පූජනීයත්වයට පත් වූවාය. සමන්තා සහ මහිලා යන තෙරණිවරුන් කාවන්තිස්ස රජුගේ් දූවරුන් වශයෙන් පැවිදි බව ලබද්දී ගම් සභිකයෙකුගේ දියණියක වූ රේවතියද පැවිදි වීමෙන් පූජනීය බව ලැබුවාය. මහාදාඨික මහරජුගේ (ක්‍රි.ව.7 –19) අවධියේ පැවිදි බව ලද සුමනා තෙරණිය ගිහිකල සාමාන්‍ය දුප්පත් ගැමි කතක් වූවාය.සිහලවත්ථූවේ සඳහන් පුවත් රැසකින් පැවිදි බව ලද මෙවැනි ගැමි කාන්තාවන් රැසක් පිළිබඳ තොරතුරු ඉස්මතු වේ.ඇතැම් කාන්තාවන් පැවිදි බව ලබා ගෙන ඇත්තේ තම ස්වාමිපුරුෂයාගෙන් එල්ල වූ අධික දුක්ගැහැට වධහිංසා විඳීමෙන් දැඩි පීඩනයට පත්වීම නිසාය. මෙයින් ප්‍රකට වන්නේ මෙබඳු කාන්තාවන් මෙම පැවිද්ද නිසා කායික මානසික වශයෙන් සුවපත් වූ බවත් තවදුරටත් පැවිදි බවෙහි ඵල ලබමින් සංසාර විමුක්තිය ලැබීමට තරම් ශක්තිසම්පන්න වූ බවත් ය. ඔවුන් පුරුෂ පක්ෂය හා සමාන කුශලතා පිරි පිරිසක් බව සමාජය විසින් පසක් කර ගනු ලැබ තිබිණි. ඇතැම් කුශලතාවන්ගෙන් භික්ෂුණීන් වහන්සේ භික්ෂුන් වහන්සේ හා සමාන තත්ත්වයෙන්ද ක්‍රියා කළහ. එම භික්ෂුණීහු ධර්මකථික භාවය ලදහ. ධර්ම විනයධර වූහ.

දුටුගැමුණූ රජ සමයෙහි සද්ධර්මය ඉගැන්වූ සුමනා නම් භික්ෂුණියක ගැන සඳහන් වේ. වළගම්බා රජු දවස ඉන්දියාවෙන් මහාරුහා යනාදී ඉන්දීය භික්ෂුණීන් ලංකාවට වැඩම කර ඇත්තේ ඉතිහාසඥයන් ලෙසයි.මෙයින් ප්‍රකට වන්නේ ඉතිහාසය වැනි විෂයයන් පිළිබඳ පවා අධ්‍යයනය කළ භික්ෂුණීන් වහන්සේ එකල සිටි බවයි. විනය විශාරද හා ආභිධම්මික යන තත්ත්වයේ භික්ෂුණීන්ද සිටි බව ප්‍රකට වේ. එමෙන්ම එම භික්ෂුණීන් වහන්සේ ත්‍රිපිටක ධර්මය හදාරමින් අනෙකුත් ආධුනික භික්ෂුණීන්ට ද ඉගැන්වීමෙහි නියුක්ත වී ඇත. දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජකීයයෝ මෙන්ම පසුකාලීනව රජපත් වූ බොහෝ රජවරු ද භික්ෂුණීන්ට ආවාස ගෘහ ඇතුළු සිවුපසය පූජා කළහ.මෙසේ සංඝමිත්තා මහරහත් මෙහෙණිය විසින් භික්ෂුණී ශාසනය හඳුන්වා දෙනු ලැබීමෙන් ඇති වූ විවිධ ප්‍රතිඵල දෙස බලන විට ලාංකේය කාන්තාවෝ පුරුෂ පක්ෂය හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය ද උරුම කර ගත්හ. අද දක්වා වූ ශ්‍රී ලාංකේය සමාජයේ කාන්තාව ලබා ඇති සියලුම වරප්‍රසාද කෙරෙහි භික්ෂුණී ශාසනය නිසා ඇති වූ බලපෑම කෙතෙක්ද යන්න පිළිබඳ විමසන්නකුට ඒ ගැන මනා අවබෝධයක් ලද හැකිය. කාන්තාව ලද වරප්‍රසාද මේ රටේ සංස්කෘතියෙහි පුනර්ජීවනයට උපකාරව ඇත්තේය.

සංඝමිත්තා මහරහත් මෙහෙණිය ලංකාවට වැඩම කළේ හිස් අතින් නොවේ.අද සමස්ත බෞද්ධ ලෝකයේම මහත් වූ ගෞරවාදරයට හා නමස්කාරයට පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ ලංකාවට උරුම වූයේ සංඝමිත්තා තෙරණියගේ ආගමනය නිසාය. එදා අරිට්ඨ මහ ඇමැතිවරයා දඹදිවට ගොස් අශෝක රජු හමු වී දෙවනපෑතිස් රජු විසින් යැවුණ හසුන්හි සඳහන් වූ පරිදි භික්ෂුණී ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටු වීමේ අවශ්‍යතාවත්, ඒ චාරිකාවේදීම දඹදිව ජය ශ්‍රී මහාබෝධින් වහන්සේගේ ශාඛාවක් ලංකාවට වැඩම කරවීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය. ඒ අනුව සංඝමිත්තා මහරහත් මෙහෙණිය මගින් ශ්‍රී මහාබෝධි දක්ෂිණ ශාඛාවද අපරටට වැඩම කෙරිණි.මෙම ශ්‍රී මහාබෝධි ආගමනය මගින් සංඝමිත්තාගමනය තවදුරටත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය කෙරෙහි ඇති කළ පෙරැළිය විසිතුරු කෙරිණි. බෝධින් වහන්සේගේ සියලු වත් පිළිවෙත් හා ආවතේව කටයුතු තත් වූ පරිදි සිදු කරලීම සඳහා අවශ්‍ය රාජකාරි කුල දහඅටක් ද එවනු ලැබිණි. ක්ෂත්‍රිය වංශිකයාගේ සිට බමුණූ වාණිජ සහ ධනුග්ගහ ආදි වශයෙන් වන අටළොස් කුලයන්ට අයත් පිරිසගෙන් එක් කුලයකින් අටදෙනා බැගින් 144 ක් වන පිරිවරක් ද මෙම භික්ෂුණීන් හා ශ්‍රී මහාබෝධි අංකුරය සමඟ එවනු ලැබිණි. ඒ අනුව ජීවමාන බුදුරදුන්ට සිදු කෙරෙන පුද පූජා විධි අනුව මෙම කුලයන්ට අයත් පිරිස විසින් අසිරිමත් පුද පූජා පවත්වමින් වැඩම කරවනු ලැබූ ශ්‍රී මහාබෝධි දක්ෂිණ ශාඛාව මහමෙවුනා උයනේ රෝපණය කරනු ලැබිණි. නොකඩවා සියලු පිළිවෙත් පැවැත්වීම යථෝක්ත කුලයන් විසින් සිදුකෙරුණු අතර ඊට රාජ අනුග්‍රහ ලැබිණි.

මෙම කුල ආගමනය මගින් ඇති කෙරුණු සංස්කෘතික පෙරැළිය ශ්‍රී ලාංකිකයාගේ සමස්ත ජීවන ක්‍රමය අමුතුම මඟකට යොමු කරලීමට සමත් විය. අද ජනසමාජයේ දක්නට ලැබෙන සම්භාව්‍ය වූ සාම්ප්‍රදායික සියලුම කලාවන්ගේ ප්‍රභවය සිදු වූයේ මෙම කුලයන්ගේ සංක්‍රමණය නිසාය. එමෙන්ම තවදුරටත් දියුණූ වූ නැටුම් සම්ප්‍රදායක් මෙන්ම වාද්‍ය භාණ්ඩ හඳුන්වා දීමද මේ මගින් සිදු විය. සම්ප්‍රදායික නෘත්‍ය කලාවට ද මූල බීජය සැලසුණේ මෙම කුලයන්ගෙනි.

බෝධි ආගමනය නිසා මෙරට පැමිණි අටළොස් කුලයන් නිසා කාර්මික හා ඉංජිනේරු ආදි ශිල්ප ක්‍රමද වැඩිදියුණූ විය. විශිෂ්ට ශිල්පීය දැනුම උපයෝගි කර ගෙන ඉදි වූ මහා පරිමාණ වාරිකර්මාන්ත සමුදාය අද දවසේ ජීවත් වන ඉංජිනේරු විද්‍යාඥයන්ගේ පවා විස්මය දනවන්නා වූ ව්‍යාපෘති බවට පත් වී ඇත.ඒ මඟින් තවදුරටත් සමෘද්ධිමත් කෘෂිකාර්මික ජීවන රටාව හා ධාර්මික ජීවනෝපායන ක්‍රම මත පාදක වීමෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් එදා විසූ සිංහල බෞද්ධයා උරුම කර ගත්තේය. ඒ ලෝකයේ අද්විතීය ජාතියක් වීමේ ගෞරවයද හිමි කර ගනිමිනි.

ආගමික අර්ථයෙන් බලන විට මිත්‍යා මතයන්හි එල්බෙමින් වෘක්ෂ වන්දනාවට බහුලව යොමුවී සිටි ජනතාවගේ එම වන්දනාවට අර්ථයක් දෙමින් ආශීර්වාදාත්මක බෝධි වන්දනාව හා බෝධිපූජාව උරුම වීමෙන් ජනතාව මානසික වශයෙන්ද සහනශීලි වූ අස්වැසිල්ලක් ලැබූහ. එම බෝධි වන්දනාව අද දක්වාත් ජනතාව අතර ජීවමාන වන්නේ මේ පදනම තුළින්ය. එමෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙහෙර විහාර, සංඝාවාස ඉදි වෙමින් භික්ෂු පිරිස ව්‍යාප්ත වීගෙන යද්දී බෞද්ධාගම කෙරෙහි ඇල්ම දක්වන විශාල පිරිසක් ජනිත වූහ.සිය ගමේ විහාරස්ථානයේ ප්‍රධාන පූජනීය අංග අතරට බෝධින් වහන්සේ නමක් රෝපණය කිරීමද අත්‍යවශ්‍ය කොට බෞද්ධ ජනතාව කල්පනා කළහ. මේ නිසා අද දක්වාත් යම් විහාරස්ථානයක බෝධින් වහන්සේ නමක් රෝපණය කර තිබීම අත්‍යවශ්‍ය කොට සැදැහැති ජනතාව සලකති.

එමෙන්ම බුදුදහම මෙරට ව්‍යාප්ත වීමත් සමඟ ජනතාව තුළ අධිෂ්ඨානය, ඉවසීම, පරිත්‍යාගය, දයාව, කරුණාව, පරෝපකාරය සහ සාමූහිකත්වය වැනි යහගුණාංග කෙරෙහි නැඹූරු වූ චින්තන රටාවක් බොහෝ දුරට සම්මා ආජීවය කෙරෙහි යොමු වන ආකාරයෙන් පෙළ ගැසිණි. මේ අතර ගමේ ප්‍රධානම පොදු මධ්‍යස්ථානය බවට ගමේ පන්සල පත් වීමෙන් පසු පන්සලේ වැඩ වාසය කරන භික්ෂුව හෝ එදා වැඩ සිටි භික්ෂූණිය ජනතාවගේ සදුපදේශකයා බවට පත් විය. සංස්කෘතිය පිළිබඳ ඇති කෙරුණු මේ වෙනස නිසා කිසිදු බලවේගයකට යටපත් කළ නොහැකි අදීන ජාතියක් බවට සිංහල බෞද්ධයා පත් විය. අධිරාජ්‍යවාදින් පවා මෙල්ල කරලීමට එම කරුණ සමත්විය. සිංහල බෞද්ධයා මේ ආකාරයෙන් ඒකරාශි වී නායකත්වයක් ඇතිව පෙළගැසීම නිසා මේ රට වෙනත් ජාතියකට වුවද යටපත් කළ නොහැකි විය. යම් අවස්ථාවක පන්සල ගමෙන් ඈත් වී සාමුහික චින්තනය පළුදු වීද ඒ අවස්ථාවේදී පරදේශීන් විසින් සිංහල බෞද්ධ ජාතිය යටපත් කරනු ලැබුවා සේම එහිම අතුරු ඵලයක් ලෙස මෑත භාගයේ වසර තිස් ගණකට වඩා කාලයක් ඇදී ගිය කුරිරු යුද්ධයකට ද මෙරට ගොදුරුවීමෙන් මහත් වූ විනාශයක් ද ජනිත විය.

මේ අනුව මහින්දාගමනය, සංඝමිත්තාගමනය සහ බෝධි ආගමනය යන ඓතිහාසික සිදුවීම් තුනම එකම බෞද්ධාගමික සිදුවීමක පියවර තුනක් කොට සැලකේ. එනම් මහින්දාගමනය නිසා ඇති වූ ක්ෂණික අවශ්‍යතාව වූයේ මේ රටේ කාන්තා පක්ෂයට පැවිද්ද ලබා ගැනීමයි. එම කාන්තා පැවිද්ද පිහිටුවාලීමේ කාර්යය නිසා ඇති වූ අතුරුඵලය වූයේ ශ්‍රී ලංකාවාසී ජනතාවට මහානීය දායාදයක් වූ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේගේ උරුමය හිමි වීමයි. මනා ලෙස පෙළගැසුණු මෙම ඒකමිතික වූ සිදුවීම් තුනම ලාංකේය ජනසමාජයේ සංස්කෘතික පුනර්ජීවයක් සනිටුහන් කිරීමට ප්‍රබලව හේතු විය. මෙයින් සමාජයේ ඇඳුම් පැළඳුම් , ආහාරපාන, ඥාති සම්බන්ධතා, සිතුම් පැතුම්, ජනව්‍යවහාරය, කලාකෞශල්‍ය, ජීවනෝපායන රටාව, ආර්ථිකය, අධ්‍යාපනය සහ විචාරකලාව යන හැම ක්ෂේත්‍රයකම පරිවර්තනයක් සිදුවිය. එයින් සමස්ත සමාජයම නව මඟකට යොමුවිය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.