Print this Article


සැනසීම ගෙනෙන මග

සැනසීම ගෙනෙන මග

එස්.ඩබ්ලිව්. ගුණරත්න
ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික)

ඉවසීමේ ගුණය පිළිබඳව ඉතා පුළුල් වූත් ගැඹුරුවූත් විග්‍රහයක් බුදු දහමේ දැක්වේ. ඉන් අවධාරණය කරනුයේ මෛත්‍රිය, කරුණාව, දයාව හා ප්‍රඥාව පදනම් කර ගත් දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි. මේ අන්දමට භාග්‍යවතුන් වහන්සේ ඉවසීම බුද්ධ කාරක ධර්මයක් (ඛන්ති පාරමිතාව) ලෙස පූර්ණය කර තිබේ

වසීම” යන්නෙන් අදහස් කෙරෙන්නේ, මෛත්‍රිය, කරුණාව, දයාව, හා ප්‍රඥාව පදනම් කර ගත් දරා ගැනීමේ ශක්තිය බව, බුදුදහම ඉතා පුළුල්වූත්, ගැඹුරුවූත්, ශාස්ත්‍රීයවූත් විග්‍රහයක් තුළින් පහදා දෙනු ලැබ ඇත. ඉවසීම ප්‍රගුණ කිරීම තුළින් ඇති කර ගත යුත්තේ කෝප නොගැනීමයි. තමා විනාශ කිරීමට උත්සාහ දරන පුද්ගලයා කෙරෙහි පවා ප්‍රඥා සහගතව මෛත්‍රිය, කරුණාව, දයාව, පෑමයි. එය සැබෑ ඉවසීම ලෙස දැක්විය හැකිය. ඉවසීමේ ගුණය ප්‍රගුණ කිරීම තුළින් ජීවිතයට සැනසීම, ශාන්තිය උදාවන අන්දම බුදු දහමේ දැක්වේ.

කෝපය, පුද්ගල සිත තුළ අනාගාමී තත්ත්වයට පත්වන තුරුම පවත්නා ක්ලේශයකි. සකෘදාගාමී තත්ත්වයට පත්වීමෙන් සිදුවනුයේ කෝපයේ දැඩි ස්වභාවය අඩුවීම පමණි. පුද්ගල සිත තුළ ජනිතවන කෝපය, ගස් බෙනයක් තුළ සැඟවී සිටින විෂකුරු සර්පයකු හා සමාන වේ. එම සර්පයාට කෝටුවකින් ඇන්නොත් ඌ හිස ඔසවා පැන දෂ්ට කරයි. ඉන් මරණය හෝ ඊට සමාන දුක්ඛිත තත්ත්වයක් උදාකරනවා ඇත. කෝපයද එබඳුය. පෘථග්ජන මිනිසාද නුරුස්නා අරමුණක් ලද විට, වහ වහා කෝපාවිෂ්ට වේ. පරුෂ වචනයෙන් බැණ වදිමින් පහර දෙයි. ප්‍රතිඵලය වන්නේ, ප්‍රතිමල්ලවයා මරණයට හෝ මරණයට සමාන දුකකට පත්වීමයි. ඔහුටද අභිමත පරිදි සැනසිල්ලේ ජීවත්වීමට නොලැබෙයි.

ඉවසීමේ ගුණය පිළිබඳව ඉතා පුළුල් වූත් ගැඹුරුවූත් විග්‍රහයක් බුදු දහමේ දැක්වේ. ඉන් අවධාරණය කරනුයේ මෛත්‍රිය, කරුණාව, දයාව හා ප්‍රඥාව පදනම් කර ගත් දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි. මේ අන්දමට භාග්‍යවතුන් වහන්සේ ඉවසීම බුද්ධ කාරක ධර්මයක් (ඛන්ති පාරමිතාව) ලෙස පූර්ණය කර තිබේ. භාග්‍යවතුන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වය පතා පෙරුම්දම් පුරණ සමයේ ඛන්තිවාදී තාපසව උපත ලදහ. එකල එරට රජ කළ කලාබු රජ, තවුස්දම් පුරණ තාපසතුමා කෙරෙහි කිපී, අත් පා, කන්, නාසා ආදී සියලුම ශාරීරික ඉන්ද්‍රියයන් කප්පවා දැමීය. එවිට තමාගේ ක්ෂාන්තිවාදී බව ඇත්තේ, ඒ අඟපසඟවල නොවන බවත්, තම හදවත තුළ බවත්, තාපසතුමා ප්‍රකාශ කළේ ය. ඉන් තව තවත් කෝපයට පත් කලාබු රජ තාපසතුමාගේ පපුවට පා පහර එල්ල කරන්නට විය. මෙසේ දස වධ දෙනු ලබද්දීත්, තාපසතුමා රජ කෙරෙහි අබමල් රේණුවක තරම් අමනාපයක්, තරහක්, වෛරයක්, කෝපයක් ඇති කර නොගත්තේ ය. මෛත්‍රී, කරුණාව, දයා, ගුණයන් පාමින් ආශිර්වාද කළේ ය. මෙසේ තමා විනාශ කිරීමට එන රුදුරු සතුරන් කෙරෙහි පවා ප්‍රඥාසහගතව කරුණා, දයා, මෛත්‍රිය ගුණපාමින් ඉවසීම, සැබෑ ඉවසීම වේ. ‘නහි වේරෙන වේරානි’ සම්මත්තීධ කුදාචනං’ යනුවෙන් ධම්මපදයේ එය පෙන්වා දෙනු ලැබ ඇත.

මීට සමගාමීව ඉවසීම ප්‍රගුණ කිරීම පිළිබඳ විවරණයක් මජ්ඣිම නිකායේ දැක්වේ. යමෙක් මහ පොළව සමඟ උරණ වී ආයුධයක් ගෙන ඒ කපන්නෙමි. විනාශ කර දමන්නෙමි ආදී වශයෙන් සිතා, මහ පොළොවට පහර දුන්නත්, මහ පොළොව අකම්පිතව නොසැලී සිටිනු ඇත. එසේම, යමෙක් අහස සමඟ උරණ වී කන්දක් උඩට නැඟී, අහස අඳුරු කිරීමට යම්කලු පාටක් ආලේප කළත්, අහස දුර්වර්ණ වන්නේ නැත. මෙසේ මහ පොළොව හා අහස මෙන්, අන්‍යයන් බනින බැනුම්, කරන අවමන් හමුවේ ඒ කිසිත් නොතකා සිත නොසෙල්වී තබා ගත හැකි නම්, ඒ සැබෑ ඉවසීම බව පෙන්වා දෙයි. පෘථග්ජන මිනිසාට ඉවසීම ප්‍රගුණ කිරීමෙහිලා මනා උපදේශයක්ද සපයා දෙයි.

භාග්‍යවතුන් වහන්සේ ලොව ඇති, අතිශ්‍රේෂ්ඨ උසස් තත්ත්වය වූ බුදු බව, ළඟා කර ගනු ලැබුවේ, ඉවසීමේ මහා ගුණය වඩමින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ, නොපසුබට වීර්යයෙන් යුතුව, ගුණ සමුදායක් සම්පූර්ණ කිරීමෙනි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, පෙරුම්දම් පුරණ කාලයේ සිට ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්ව, පිරිනිවන තෙක්ම ඉවසීමෙන් ක්‍රියා කර ඇති අන්දම, බෞද්ධයා ආදර්ශයට ගත යුතු ය.

ඉවසීමේ සීමාවක් ඇතැයි සමහරු ප්‍රකාශ කරති. බෞද්ධ ඉගෙනුම අනුව ඉවසීමට කිසිදු සීමාවක් නැත. යම් පුද්ගලයකු ඉවසීමට සීමාබන්ධන පනවා ගත්තේ නම් හේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්නෙක් නොවේ. එසේ නම් වෛරය ක්‍රෝධය නතර කරවාලීමේ සීමාව වන්නේ මෙත් වැඩීම පමණකි. යම්කිසිවකු තමාට වෛර කරන්නේ නම්, වෛරයට ලක්වන පුද්ගලයා ද පෙරළා වෛර කළහොත් දෙපාර්ශවය අතර තව තවත් වෛරය වර්ධනය වනවා විනා මෛත්‍රිය ඇති නොවේ. දයාව කරුණාව ඇති නොවේ. වෛරය, ක්‍රෝධය නතර කරලීමේ එකම පිළිවත මෛත්‍රි සහගතව ක්‍රියා කිරීම පමණි. එය දයාව කරුණා ගුණයෙන් යුත් ප්‍රඥාවයි.

ඉවසීම සමාජ ආචාර ධර්මයක් ලෙස විශිෂ්ට ලෙස අගය කළ හැකිය. ඉවසීමෙන් ක්‍රියාකරන පුද්ගලයාගෙන් සමාජයට කිසිම දිනක හානියක්, බියක් ඇති නොවේ. එවැනි මිනිසුන්ගෙන් පිරි සමාජයක ඇසුර ලැබෙන්නේ නම් එය මොන තරම් වාසනාවක්ද? එබැවින්, බාල පරම්පරාවට ළමා කාලයේ සිටම ඉවසීම පුරුදු පුහුණු කිරීම කළ යුතු වේ. තමාට අන්‍යයන්ගෙන් සිදු වූ වරදක් වේ නම් ඒ ගැන ක්‍රම දෙකකට සිතා බැලීමෙන් ඉවසා සිටිය හැකිය. එම වරද සිදු කළ පුද්ගලයා තුළ වූ අඥාණකම, මෝඩකම, නොඉවසීම, මෛත්‍රිය නොවැඩීම ආදිය නිසා බව සිතීම එක් ක්‍රමයකි. තමාද පෙර ආත්මයකදී එවැනිම වරදක් අනුන්ට කර තිබීමේ ප්‍රතිඵලයක් හේතු කොට ගෙන එබන්දකට මුහුණපෑමට සිදුවී යැයි ප්‍රඥා සහගතව වකරුණා දයා මෛත්‍රි ගුණ මූලිකව සිතීම අනිත් ක්‍රමයයි. නිවසින් ආරම්භවන ඉවසීම ප්‍රගුණ කිරීම පාසල, දහම් පාසල, පන්සල, උගතුන් බුද්ධිමතුන් ඇසුර, කල්‍යාණ මිත්‍ර සේවනය, පොතපත කියවීම, භාවනාව ප්‍රගුණ කිරීම ආදිය තුළින් ඔපමට්ටම් කර ගත හැකිය. ඒ තුළින් ප්‍රඥාවන්ත, කරුණා දයා මෙත් සිතිවිලිවලින් පිරි, මහා පෞරුෂයක් සහිත ශක්ති සම්පන්න ඉවසන පුද්ගලයකු දැකිය හැකිය. ඉවසීමෙන් සැනසීම උදාවේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.