Print this Article


මහනුවර දොරගමුව ශ්‍රී ශෛලපබ්බතාරාමය

මහනුවර දොරගමුව ශ්‍රී ශෛලපබ්බතාරාමය

මහනුවර නගරයේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරින් වන දොරගමුව කඩමණ්ඩියේ සිට මීටර් 100 ක් පමණ ගිය තැන දොරගමුව ශ්‍රී ශෛලපබ්බතාරාමය හමුවේ. මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ටැම්පිට විහාර අතරින් සුවිශේෂී වූ විහාරස්ථානයක් වන එය ඓතිහාසික වටිනාකම අතින් මෙන්ම ඉතා සුන්දර පරිසරයක පිහිටා තිබීම නිසා ද බොහෝ වැදගත්ය.


විහාරස්ථානයේ භාරකාර ඉලුක්වත්තේ පඤ්ඤාලෝක හිමි

වළගම්බා රජ සමයේ ඉදිකරන ලද දොරගමුව ශ්‍රී ශෛල පබ්බතාරාමයේ සුවිශේෂත්වයක් වන්නේ වෙනත් ටැම්පිට විහාරවල පවතින අඩි දෙක හමාරක් පමණ උසකින් යුත් ගල්කණු මත නොව අඩි නවයක් පමණ උසින් යුත් ගල්කණු මත මෙම විහාරය නිර්මාණය කොට තිබීමයි. අක්කර දහයක පමණ භූ®මියක විහිදෙන විශාල රමණීය ගල්තලාවක් මුදුනේ මෙම ඓතිහාසික විහාරය පිහිටා ඇත.විහාර භූ®මියේ ඇති ධවල චෛත්‍යය වෙත පියනඟන්නකුට කිලෝමීටර් 50 කට පමණ එපිටින් පිහිටා ඇති ස්ථාන රැසක්ම දර්ශනය වෙයි. මහනුවර හන්තාන කඳුවැටිය, පේරාදෙණිය නගරය, කඩුගන්නාව සහ හුන්නස්ගිරිය කන්ද මෙම විහාර භූ®මියේ සිට අවට බලන්නකුගේ නෙත ගැටෙන මනරම් දැකුම්කළු දර්ශනයට ඇතුළත් වෙයි.මෙම විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු ඇම්.ඒ තිලකරත්න, බී.ජී. ජයදරා යන මහත්වරුන් සතුව පැවැතීම ජාතියේ වාසනාවකි.

මෙම ටැම්පිට විහාරයේ විහාර ගෙය ඇතුළේ ඇති චිත්‍ර මහනුවර යුගයට අයත් ඒවාය. එම චිත්‍ර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යළි පිළිසකර කොට ඇත. 1900 දී පමණ ප්‍රතිසංස්කරණයට පසු චිත්‍ර සංරක්‍ෂණය කිරීමේ කටයුතු දැනට අවුරුද්දකට පමණ උඩදී සිදුවූ බව මෙහි භාරකාර හිමියන් වන ඉලුක්වත්තේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

එහෙත් ටැම්පිට විහාරයේ වහල දිරාපත්වීම නිසා වැසිදිනවල ජලය විහාරගෙය තුළට ගලා එන බවත් චෛත්‍යයත්, විහාරයත්, විහාරය වටා ඇති භූ®මියත්, සංඝාවාසයත් අබලන් ජරාවාස තත්ත්වයකට පත්ව ඇති බවත් පඤ්ඤාලෝක හිමියෝ පවසති. මෙම විහාරයේ ඇති ගල්තලාව යට 400 ක් පමණ පිරිසකට රැස්විය හැකි සුවිශාල ලෙනක්ද දක්නට ඇත.

විහාරයේ දැනට ශේෂව ඇති බෝධි වෘක්‍ෂයේ කතාව සිත් ඇදගන්නා සුළුය. බ්‍රාහ්මණයකු බෝධිය ගෙන මෙම ස්ථානයට පැමිණ තේරු පඳුරක් උඩ එය තබා වෙනත් කටයුත්තක් සඳහා තම සගයන් සමඟ නික්ම ගොස් ඇත.පසුදා ඇවිත් බලන විට බෝධිය මුල් ඇද තිබුණි. මෙම ආශ්චර්යය දුටු බ්‍රාහ්මණයන් එම ස්ථානයේ එම බෝධිය රෝපණය කොට ඇත.පසුව එම බ්‍රාහ්මණයන් දොරගමුව ග්‍රාමයේ පදිංචි වී ඇත.


සංරක්ෂණය කළ සිතුවම්

මෙම ග්‍රාමයට දොරගමුව යැයි නම වැටුණු ආකාරය ගැන අපූරු පුවතක් ජනප්‍රවාදයේ එයි. ගමෙහි කුඹුරු වැඩ කරන ගැමියන්ට මෙහි ඇති ගල්ලෙනේ දෑකැති ඇති බව දේවතාවකු සිහිනෙන් පවසා ඇත. ගල්ලෙනට ගොස් දෑකැති රැගෙන කුඹුරු වැඩට ගිය ගැමියන් ඉන්පසු එම ගොවි උපකරණ යළි ගල්ලෙනේ තබන්නට ගොස් සිටියදී ලෙන තුළ තිබු මුතු , මැණික් දැක ඒවා ගන්නට හැදුවෙන් ගල්ලෙනේ දොර වැසී ඇත. එම දොර වැසෙන විට මුතු මැණික් ගන්නට පළමුව ගල්ලෙන ඇතුළට ගිය ගැමියාද ඒ තුළ සිරවී ඇත.දොර වැසුණු නිසා දොරගමුව යැයි මෙම ග්‍රාමයට නම වැටුණු බව මුඛ පරම්පරාගත කතාවලින් හෙළි වේ.

මෙහි ඇති චෛත්‍යයේ බිසෝකොටුවේ තැන්පත් කර ඇති කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා සතරින් තුනක්ම නිදන් හොරුන් විසින් සොරකම් කරනු ලැබ ඇත. මෙම විහාරයට පිවිසුම් මාර්ග තුනකින් ළඟාවිය හැකිය.දොරගමුව තැපැල් කාර්යාලය ඉදිරිපිටට වැටෙන, අවුරුදු 200 කට වැඩි ඉතිහාසයක් ඇති ඓතිහාසික ගල් පඩිපෙල ආරම්භ වන ස්ථානය කොන්ක්‍රීට් දමා සකස්කොට ඇති නිසා එහි ඓතිහාසික බවට හානි සිදු වී ඇත.දැනට ගම්වාසීන්ගේ උපකාර මත මෙහි සංඝාවාසයක් ඉදි කෙරෙමින් පවතී.

යටිවාවල රාජසිංහාරාමාධිපති පුලියැද්දේ ඤාණාලෝක හිමියන්ට අයත් විහාරස්ථානයක් වන මෙහි ඇත්තල පිටියේ ගුණානන්ද සහ මැදවෙල රතනසාර යන හිමිවරු වැඩවාසය කරති. සුවිශේෂී බෞද්ධ උරුමයක් වන මෙම විහාරස්ථානය රැක ගැනීම රටට අදරැති සැමගේ යුතුකමකි.

(මෙම ලිපිය සැකසීමේදී දැක්වූ සහාය වෙනුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති රංජිත් සමරකෝන් මහතාට ස්තුතිය පිරිනැමේ.)

ඡායාරූප : ගාමිණි රාමනායක

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.