Print this Article


මම ක්ෂාන්තිවාදී වෙමි

බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව - 10

මම ක්ෂාන්තිවාදී වෙමි

කෝපය නිවන්නට කුරුන්ඩක තාපසතුමාගෙන් උපදේශයක්

අප සැම අප හොඳ බව සිතා සිටින හෙයින්, අප නො දැනුවත්ව ම තදාත්මීකරණය වන්නේ කථාවේ හොඳ චරිතයක් සමග ය. නූතන කථා සහ නාට්‍ය තාත්වික චරිත නිරූපණය වැදගත් බව සලකා බොහෝ විට මවන්නේ හොඳ – නරක මිශ්‍ර සංකීර්ණ චරිතය. අපේ යටි සිත බොළඳ නිසා, එවැනි සංකීර්ණ චරිත හොඳ නරක වශයෙන් වෙන් කොට හඳුනා ගැනීමට ප්‍රමාද වෙයි.

තදාත්මීකරණය

අප කතන්දරයක් කියවන විට, චිත්‍රපටයක් හෝ රූපවාහිනි නාට්‍යයක් හෝ වේදිකා නාට්‍යයක් හෝ නරඹන විට, එහි සමහර චරිත මගින් අපේ උඩුසිත නො දැනුවත්ම ම යටිසිතට යම් අන්දමක බලපෑමක් සිදුවෙයි. එම චරිතයට සිදු වන දේ අපට සිදු වන දේ ලෙස අපට පිළිගැනෙයි. ඒ අනුව අප තුළ විවිධ චිත්තවේග උත්පාදනය වීම ,කථා නාට්‍ය රස වින්දනයෙහි ම කොටසකි. අනිකකු තාවකාලිකව හෝ තමා සේ එලෙස පිළිගැනීම ‘තදාත්මීකරණය’  (IDENTIFICATION) යනුවෙන් මනෝවිද්‍යාවේ හැදින්වෙයි. විශේෂයෙන්ම ළමා වියේදී, අනාගත පෞරුෂ සංවර්ධනය කෙරෙහි බලපාන හොඳ සහ නරක ආදර්ශ සැපයීමට තදාත්මීකරණය හේතු වෙයි.

අප සැම අප හොඳ බව සිතා සිටින හෙයින්, අප නො දැනුවත්ව ම තදාත්මීකරණය වන්නේ කථාවේ හොඳ චරිතයක් සමග ය. නූතන කථා සහ නාට්‍ය තාත්වික චරිත නිරූපණය වැදගත් බව සලකා බොහෝ විට මවන්නේ හොඳ – නරක මිශ්‍ර සංකීර්ණ චරිතය. අපේ යටි සිත බොළඳ නිසා, එවැනි සංකීර්ණ චරිත හොඳ නරක වශයෙන් වෙන් කොට හඳුනා ගැනීමට ප්‍රමාද වෙයි. මේ අතින්, ජාතක කථා කියවන්නාට එක් වරම බෝධිසත්ව සහ දේවදත්ත චරිතය වෙන් කොට හඳුනාගෙන ඒ දෙකින් බෝධිසත්ව චරිතය සමග පහසුවෙන් තදාත්මීකරණය විය හැක. සෑම ජාතක කථාවෙහි ම පළමුවෙන් බෝධිසත්ව චරිතය හඳුනා දෙනු ලැබේ. කථාවෙහි දුෂ්ටයා වන්නේ දේවදත්ත බව ජාතක කථාවෙහි අග, සමෝධාන කොටසෙන් හෙළි වෙයි.

ධ්‍රැවීකරණය

කථාවක හෝ නාට්‍යයක් හෝ චරිත සියල්ල හොඳ හෝ නරක හෝ වශයෙන් ධ්‍රැව දෙකකට වෙන් කොට තිබීම ධ්‍රැවීකරණය යනුවෙන් හැඳීන්වෙයි. ධ්‍රැවීකරණය, තදාත්මීකරණය පහසු කරයි. ධ්‍රැවීකරණය පැහැදිලිව පිහිටා තිබෙන කථා අතර ජාතක කථා මුල් තැනක් ගනී.

කෝපය නිවා ගැනීමට නිතර නිතර කියවිය යුතු ජාතක කථා කිහිපයක් ගරු බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ විශුද්ධි මාර්ගයේ සඳහන් කළ බව, ග්‍රන්ථ චිකිත්සාව පිළිබඳව මා පසු ගිය සතියේ ලියූ ලිපියෙන් පෙන්වා දුනිමි. උන්වහන්සේගේ අදහස් නිවැරදිය. එම ජාතක කතා අතර ක්ෂාන්තිවාදි ජාතකය, සුවිශේෂී වෙයි.

ක්ෂාන්තිවාදි ජාතක කථා සාරය

කුරුණ්ඩක බෝධිසත්ව තාපසතුමා කසී රට කලාබු රජුගේ උයෙනහි වැඩ සිටි දිනක, බීමත් රජු නාටිකාංගනාවන් පිරිසක් සමග උයනට පිවිස, උයන් කෙළියෙහි යෙදී එක් ස්ත්‍රියකගේ කළවයෙහි හිස තබා නින්දට පිවිසියේය. රජුට නින්ද ගොස් ඇති බව දුටු නාටිකාංගනාවෝ නෘත්‍ය නවත්වා තූර්ය භාණ්ඩ පසෙක තබා හීන් සීරුවේ තාපසතුමා වෙත ගොස් ගස යට හිඳ බණ අසමින් සිටියහ. රජුගේ හිස කළවය මත තබා හුන් ස්ත්‍රිය කළවය සොලවා රජු පිබිදවූවා ය. “නාටිකාංගනාවන් කොහි දැ’යි ඇය විචාරා , ඔවුන් තමා හැර දා තාපසතුමා වෙත ගොස් බණ අසන බව දැන රජු කෝපයෙන් තාපසතුමා හුන් තැනට දිව ගියේය. “තොපි කුමන වාදී දැ?” යි රජු ඇසූ ප්‍රශ්නයට “ මහ රජ, මම ක්ෂාන්තිවාදි වෙමි’ යි තාපසතුමා පිළිතුරු දුන්නේය. එම වචනයේ අර්ථය විමසු රජුට තාපසතුමා පහදා දුන්නේ ‘මම මෛත්‍රී කරන අයටත් අමෛත්‍රි කරන අයටත් එකම කරුණාව දක්වන්නෙමි. එහෙයින් ක්ෂාන්තිවාදි වෙමි, යනුවෙනි. ඉන් තවත් කිපුණූ රජු “ මුන්ගේ ක්ෂාන්තිය බලමු”යි වහසි බස් දොඩා වධකයා ගෙන්වා ගත්තේය. රජුගේ අණ පිළිපදිමින් වධකයා තාපසතුමා බිම හෙළා පහර පිට පහර දී අවසානයෙහි, “ දැන්වත් තොපේ ක්ෂාන්තිය පහව ගියේදැ? යි රජු ඇසූ විට, තාපසතුමා කීවේ ඒ කිසිවකින් තමාගේ ක්ෂාන්තිය පහ කළ නොහැකි බවයි.

වධකයාට ඉන් පසු රජ අණ ලැබුණේ තාපසතුමාගේ අත, පා, කන්, නාසා කපා දැමීමටය. ඉන් පසු “දැන්වත් තොපේ ක්ෂාන්තිය පහව ගියේ ද? “ යි ඇසූ ප්‍රශ්නයට තාපසතුමා පිළිතුරු දුන්නේ “ මගේ ක්ෂාන්තිය තිබෙන්නේ අත්, පා, කන්, නාසා තුළ නොව මගේ ළයෙහි පිහිටි හදවත තුළයි. එම ක්ෂාන්තිය තවම පහ නොවී ඇත” යනුවෙනි. කෝපයෙන් සැළුණු,රජු, තම විලුඹින් තාපසතුමාගේ ළයට ඇන ඉවත්ව ගියේය.

ලේ වහනය සහ අධික වේදනාව නිසා කුරුණ්ඩක තාපසතුමා මිය යෑමට පෙර එහි රැස් වූ ශෝකයට පත්ව හුන් පිරිසට කළ ප්‍රකාශය ඇතුළත්, කිසිදාක අමතක නො කළ යුතු, අපූර්ව ගාථාව,බෙහෙත් වෙනුවට රෝහල් තුණ්ඩුවේ ලියා පහදා දී, කෝපය අධික නිසා නෑ දෑයින් විසින් මනෝවෛද්‍ය සායනයට ගෙන එවනු ලබන රෝගීනට මා දුන් අවස්ථා බොහෝය. එම ගාථාව මෙ සේ ය.

යො මෙ හත්ථෙච පාදෙච
කණ්ණ නාසඤ්ච ඡෙදයී
චිරං ජීවතු සො රාජා
නහි කුප්ඣන්ති මා දිසා

යමකු මගේ අත්,පා, කන්, නාසා සිඳ ලෑවේ ද, ඒ රජතුමා බොහෝ කල් ජීවත් වේවා! මා වැන්නෝ නො කිපෙති)

තාපසතුමා මිය ගියේය. කලාබු රජු උයනෙහි කෙළවරට ගිය පසු පොළෝ පලා ගෙන ආගිනි කඳෙන් වැසි අවීචි මහ නිරයට වැටුණු බවත් එම කලාබු රජු දේවදත්තගේ පූර්ණ භවයක චරිතය බවත් ජාතක කථාව අවසානයේ සමෝධාන කොටසෙහි සඳහන් වෙයි.

තදාත්මීකරණයට අමතර තවත් මානසික බලවේග යුගලක් ක්ෂාන්තිවාදී ජාතකය වැනි ශ්‍රේෂ්ඨ කථා කියන්නකු තුළ ක්‍රියාත්මක වෙයි.

දෙපලු කිරීම සහ ප්‍රක්ෂේපණය

“දෙපලු කිරීම” (Splitting) ළමා මනෝවෛද්‍ය මෙලනි ක්ලයින්තුමිය හඳුන්වා දුන් මානසික ක්‍රියාවකි. හොඳ, නරක දෙකින්ම සමන්විත අපි බොහෝ අවස්ථාවලදී අපේ ගති ලක්‍ෂණ මානසිකව දෙකට පලමු. මනෝවෛද්‍යවරුන් මෙය හඳුන්වන්නේ දෙපලු කිරීම (Splitting) යනුවෙනි. මෙය අප නොදැනුවත් වම සිදු කරන්නකි. අපි එම පලු දෙකින් හොඳ ගති සහිත පලුව අප කියවන කථාවක වීරයාට පවරා දෙමු. නරක ගති සහිත පලුව දුෂ්ටයාට පවරා දෙමු.මෙම පවරා දීම, ප්‍රක්ෂේපණය නමින් හැඳින්වෙයි.

ක්ෂාන්තිවාදි ජාතක කථාවේ වීරයා බෝධිසත්වතුමාය. දුෂ්ටයා කලාබු රජුය. කථාවේ අවසානයේ කලාබු රජු ගින්නෙන් වට වී දැවි අපාගත වන විට එම ආදාහනයෙන් සහ භූමදානයෙන් අපේ නරක පලුවද අවසන් වෙයි. මෙ වැනි ජාතක කථා වරින්වර කියවීම අප නොදැනම අපේ මනස ක්‍රමයෙන් හොඳ අතට බර කිරීමෙක් වෙයි.

මහෝඝ චිකිත්සක ක්‍රමය

භීතිකාබාධ සුව කිරීමට යොදනු ලබන ‘ක්‍රමවත් විසංවේදීකරණය’ අසනීඝාත කුමරුට කරන ලද චිකිත්සක ප්‍රතිකාරය පිළිබඳ විස්තරයෙන් මම පෙන්වා දුනිමි. (6 වන කොටස) ක්‍රම ක්‍රමයෙන් භීතිකාව හටගන්වන අරමුණ රෝගියාට සමීප කිරීම, එම ප්‍රතිකාරයයි. සීතල වතුරින් පිරුණ පිහිනුම් තටාකයට සෙමෙන් – සෙමෙන්, වරකට ශරීරයේ අඟල් කිහිපයක් වතුරට යට වන ලෙස, යමකුට බසින්නට පිළිවන. ක්‍රමවත් විසංවේදීකරණයට මෙම ක්‍රමවත් බැසීම උපමා කළ හැක.

මහෝඝ ක්‍රමය

මීට හාත්පසින් වෙනස් ප්‍රතිකාරයකි. එයට උපමා කළ හැක්කේ, පිහිනුම් තටාකයේ ඉහළින් පිහිටි කිමිදුම් පුවරුවේ සිට එක් වරම වතුරට පැනීමය. ඇතැමෙක් ශාලාවේ සීලිමේ ඈතින් සිටින මකුළුවකු දුටු විට බියෙන් කෑගසමින් වහා පිටවී යති. එවැනි අයකු පෙළෙන්නේ මකුළු භීතිකාවෙනි. මෙම රෝගය ක්‍රමවත් විසංවේදීකරණයෙන් සුව කළ හැක.

මහෝඝ ක්‍රමයෙන් එය සුව කළ හැක්කේ විශාල පෙට්ටියක් තුළ රෝගියා වැතිරී සිටින්නට සලස්වා, ගමේ හැම නිවසින්ම මකුළුවන් සියයක් පමණ එකතු කර පෙට්ටිය තුළට දැමීමෙනි. මකුළුවන් සියොලඟ පුරා දිව යන එම අත්දැකීමට මුහුණ පා එම ප්‍රතිකාරය නිම කළ රෝගියා, ඉන් පසු නම් සීලිමේ ඈත සිටින එක් මකුළුවකුට බිය නොවේ. මෙය අප්‍රසන්න ක්‍රියාවකි.

සුළු කරුණකින් පවා කෝපයෙන් පෙළෙන අයකු ක්ෂාන්තිවාදී ජාතකය කියවන විට, තදාත්මීකරණය නිසා ඔහුට කුරුණ්ඩක තාපසතුමාට සිදුවන සියලු සේ තමාට සිදු වන දේ ලෙසට මානසිකව හැඟෙයි. මහෝඝ ක්‍රමයට අවශ්‍ය වන සියලු සාධක උපරිම ලෙසින් ක්ෂාන්තිවාදි ජාතකයේ ගැබ් ව තිබේ.

කලාබු රජු උපරිම ලෙසින් දුෂ්ට කෙනෙකි. සාමාන්‍ය ජීවිතයේදි රෝගියාගේ කෝපය ඇති කරන්නේ එපමණ දුෂ්ට ගති ඇත්තෙක් නොවේ. නෑයෙකි නොහොත් අසල්වැසියෙකි.

කුරුණ්ඩක උපරිම ලෙසින් අහිංසක තාපසතුමෙකි. රෝගියා එපමණ අහිංසක නොවේ, ඔහු අතින් යම් වරදක් සිදු වී ඇත. රජුගේ කෝපයට හේතුව තාපසතුමා උපරිම වශයෙන් යහපත් ක්‍රියාවක බණ දෙසුමක යෙදීමයි. රෝගියා සුළු වශයෙන් හෝ කෝපයක් ඇති කරවන ක්‍රියාවක යෙදෙන්නට ඇත.

කලාබු රජුගේ දඬුවම උපරිම මට්ටමේ ක්‍රියාවලියකි. අත්,පා, කන්, නාසා, සිඳ දිවි තොර කිරීමයි. එය රෝගියාට එපමණ සාහසික දෙයක් අනිකාගෙන් සිදු වී නැත. මහෝඝ ක්‍රමය අනුව ක්ෂාන්තිවාදි ජාතක කථාවේ තේමාව පෙන්වා දෙන්නේ.

උපරිම දුෂ්ටත්වය තිබෙන පුද්ගලයකු
උපරිම නිර්දෝෂී බවක් ඇති සිද්ධියක් නිසා
උපරිම දඬුවමක් දෙවා
උපරිම හොඳ අහිංසකයකුට දඬුවම් දීමකි. එම දඬුවමෙන් මිය යෑමට පෙර එම අහිංසකයා කෙළේද උපරිම ක්ෂාන්තිය අඩංගු ප්‍රකාශයකි.

ක්ෂාන්තිවාදි ජාතකයේ පච්චුප්පන්න හෙවත් වර්තමාන කථාවෙන් බුදුරජාණන් වහන්සේ නිතර කෝපයෙන් පෙළුණු එක්තරා භික්‍ෂූන් වහන්සේ නමකට කළ ප්‍රකාශය අප සැමට සදහට ම පිහිට වේවා. එම ප්‍රකාශය මෙසේය.

“මහණ, පෙර උත්තමයෝ නම් කටු සැමිටියෙන් පහර දහසක් කාත් නො කිපුණේ වෙති. තොප වනාහි මේ නිසා බුද්ධ ශාසනයෙහි මහණ ව කෝප ව වාසය කරන්නේ ඉතා අයුක්තියකි.අත්,පා, කන්, නාසා, කැපූවනටත් උත්තමයෝ කෝප නො කළෝය.

බුදුරජාණන් වහන්සේගේ මෙම ශ්‍රී‍්‍ර මුඛ දේශනා පාඨය තුළ කොතරම් අගනා මනෝචිකිත්සක උගැන්වීමක් ගැබ් වී තිබේ ද? ! තුනුරුවන් සරණයි.


බුද්ධ ධර්මය සහ මනෝවිද්‍යාව - 9 ග්‍රන්ථ චිකිත්සාව සඳහා ජාතක කථා
 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.