කඩුගන්නාව මුදලිවත්ත
දීපාලෝක විහාරාධිපති
මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ
කථිකාචාර්ය
නෙළුවාකන්දේ
ඤාණානන්ද හිමි
අම්බලට්ඨිකා වනයට වැඩම කළ බුදු හිමියන් ගෞරවයෙන්
පිළිගත් රාහුල පොඩිහාමුදුරුවන් උන්වහන්සේගේ පා දෝවනය කළා. එවිට භාජනයේ
ඉතිරි වූයේ වතුර බොහොම ටිකයි.
බුදු පියාණන් වහන්සේ වතුර භාජනය පෙන්වා රාහුල
පොඩි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා. ”රාහුල ඔබ මේ භාජනයේ
වතුර දැක්කාද?” “එහෙමයි” කියා උන්වහන්සේ පිළිතුරු දෙනවා.
ඒ වෙලාවේදි බුදුපියාණන් වහන්සේ හොඳ පාඩමක් කියා දෙනවා. “රාහුල, දැන දැන
බොරු කියන ශ්‍රමණයාගේ මහණකමත්
මේ වගේ ටිකයි. හරියට මේ භාජනයේ වතුර වගේ.”
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යන්නු ඛො අහං ඉදං කායේන කම්මං කත්තුකාමො, ඉදං මෙ කායකම්මං නෙව
අත්තව්‍යාබාධාය සංවත්තෙය්‍ය, න පරව්‍යාබාධාය සංවත්තෙය්‍ය,න
උභයව්‍යාබාධාය සංවත්තෙය්‍ය, කුසලං ඉදං කායකම්මං සුඛුද්‍රයං
සුඛවිපාකන්ති.
පින්වත, මේ පින්වත් පිරිස සැබැවින්ම පින්වත්. මා එසේ කියන්නේ හේතුවක්
ඇතුවයි. අප ඉපදී සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද පුණ්‍ය
භූ®මියකයි. ඒ වගේම ඔබ හැම දෙනාම බුද්ධෝත්පාද කාලයක, අංගවිකල බවක් මන්ද
බුද්ධික බවක් නැතිව ඉපදී සිටිනවා. ඒ පෙර පින් ඇති නිසයි. ඉතින් අපි
පින් ඇත්තෝ නොවෙයිද?
මා අද ධර්ම දේශනාවට මාතෘකා කළේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයට ඇතුළත්
අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා
කළේ අම්බලට්ඨිකා වනයේ වැඩසිටි රාහුල පොඩිහාමුදුරුවන්ටයි. කලන්දක නිවාප
නමින් හඳුන්වන උයනෙහි පිහිටි වේළුවන විහාරයේ වැඩ සිටි බුදුරජාණන්
වහන්සේ සමාපත්තියෙන් නැඟී සිට අම්බලට්ඨිකා වනයට වැඩම කිරීමට තීරණය කළා.
ඒ වනවිට රාහුල පොඩි හාමුදුරුවෝ වැඩ සිටියේ අම්බලට්ඨිකා වනයේ. තමන්
සිටින ආරාමය දෙසට බුදුපියාණන් වහන්සේ වඩිනු දැක රාහුල පොඩි හාමුදුරුවන්
වහ වහා අසුන් පැනවීම, පා දෝවනයට පැන් පිළියෙළ කිරීමාදිය කළා.
ඒ සමීපයට වැඩම කළ බුදු හිමියන් ගෞරවයෙන් පිළිගත් රාහුල පොඩිහාමුදුරුවන්
උන්වහන්සේගේ පා දෝවනය කළා. දැන් භාජනයේ ඉතිරිව ඇත්තේ වතුර බොහොම ටිකයි.
බුදු පියාණන් වහන්සේ අර වතුර භාජනය පෙන්වා රාහුල පොඩිහාමුදුරුවන්ගෙන්
ප්‍රශ්න කළා. ”රාහුල ඔබ මේ භාජනයේ වතුර දැක්කාද?”
“එහෙමයි” කියා උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඒ වෙලාවේදි බුදුපියාණන්
වහන්සේ හොඳ පාඩමක් කියා දෙනවා.” රාහුල, දැන දැන බොරු කියන ශ්‍රමණයාගේ
මහණකමත් මේ වගේ ටිකයි. හරියට මේ භාජනයේ වතුර වගේ.”
දෙවැනුව භාජනයේ වතුර ඉවතට දමන ලෙසට පවසනවා. “රාහුල ඔබ භාජනයෙන් පිටතට
ගිය වතුර ස්වල්පය දුටුවා දැ”යි උන්වහන්සේ විමසුවා. එසේයැ’යි පිළිතුරු
ලැබුණා. “රාහුල, යම් ශ්‍රමණයෙක් දැන දැන මුසා බස් කියයි නම්, ඔහුගේ
ශ්‍රමණ භාවයත් ඒ වගේ බැහැර වු එකක්යැ”යි වදාළා.
පුංචි දරුවන්ට ඉගැන්වීමට යොදා ගත හැකි හොඳම ක්‍රමයක් හැටියට නූතන
අධ්‍යාපනඥයින් ක්‍රියාකාරකම් මඟින් ඉගැන්වීම හඳුන්වා දෙනවා. මෙයට
අවුරුදු දෙදහස් හයසියයකට පෙර බුදුපියාණන් වහන්සේ එය ක්‍රියාවට නංවා ඇති
අයුරු මේ සූත්‍රයෙන් පෙනෙනවා. ඉන් පසුව උන්වහන්සේ නැවතත් රාහුල පොඩි
හාමුදුරුවන් ඇමතුවා. “තං කිමඤ්ඤාසි රාහුල කිමත්ථියා ආදාසොති” ‘රාහුල,
කැඩපත කුමක් සඳහාදැ’යි ප්‍රශ්න කළා. උන්වහන්සේගේ පිළිතුරු වුණේ,
‘පච්චවෙක්ඛනොත්ථාති භන්තේ’ කියායි. එනම් කැඩපත නම් විමසා බැලීමටයි.
පින්වත්නි, ‘පච්චවෙක්ඛනා’ යන වචනයේ තේරුම තමයි නුවණින් විමසා බැලීම. ඒ
අනුව එම වචනයම යොදාගෙන බුදුපියාණන් වහන්සේ මෙහෙම වදාරනවා.
පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනසා කම්මං කාතබ්බං
පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායෙන කම්මං කාතබ්බං
පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වාචාය කම්මං කාතබ්බං
මේ සූත්‍රයේ අපට උගන්වන ඉතාම වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි
පච්චවෙක්ඛණා කියන වචනය. එනම් නුවණින් විමසා බැලීමයි. අපට නොයෙක් දේ
සිතට එනවා. ඒ හැමදේ ගැනම නැවත නැවතත් සිතන්නට ගියොත් මානසික රෝගියෙක්
වෙනවා. එනිසා අප කළ යුත්තේ නුවණින් විමසා බලා අනවශ්‍ය සිතිවිලි ඉවත්
කිරීමයි. ඒ වගේම කට ගැනත් ප්‍රවේශම් වෙන්න ඕන. කතා කරන්නට හා කියන්නට
දේවල් බොහොම ඇති. ඒත් සිතෙන හැම දේම වචන බවට හරවන්න යන්න එපා.
ප්‍රවේශම් නූනොත් පිට වෙන වචනවලින් වැඩිපුරම හානි එන්නෙ තමන්ටමයි.
අපෙන් පිටවෙන වචනවලින් අපි ගැන මැනෙනවා. උගතෙක්ද නූගතෙක්ද, හැදිච්ච
කෙනෙක්ද නැහැදිච්ච කෙනෙක්ද, වංචනිකයෙක්ද, අවංක අයෙක්ද, මේ හැටියට
මැනීමකට ලක්වෙනවා. ඒ වගේම තමන්ගෙ ගෞරවය, පිළිගැනීම, විශ්වාසය මේ සියල්ල
ඇති කර ගන්නත් නැති කරගන්නත් වචනයට පුළුවනි. එනිසයි බුදුරජාණන් වහන්සේ
වදාරන්නේ හිතට එන හැම දෙයම වචන හැටියට පිට නොකර හොඳට සිතා බලා වචන පිට
කරන්න කියා.
ඊළඟට උන්වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දෙන උපදේශය නම් අත පය මෙහෙයවා
කරන වැඩ ගැනයි. බොහෝ දේ කරන්නට හිතෙයි. එහෙත් ඒ සියල්ල කරන්න යන්න එපා.
හොඳින් සිතා බලන්න ඕන. සමහර කෙනෙකුට එක දෙයක් වැරදුන නිසා ජීවිත කාලෙම
දුක් විඳින්නට සිදුවෙනවා.ජීවිතයේ යම් යම් දේ එහෙම වරද්දා ගත් සමහර
ඇත්තෝ අද අපේ සමාජයේ නොයෙක් විධියේ දඬුවම් ලබනවා. දුක් විඳිනවා. පසු
තැවෙනවා. සිතට එන හැම දේම නොකර සිතා බලා කිරීමට හුරු වෙන්නයි
බුද්ධාවවාදය.
මේ කාරණය පැහැදිලි කිරීමට බුදුපියාණන් වහන්සේ යොදා ගත්තේ බොහොම සරල
උපමාවක්. ඒ ආදාස හෙවත් මුහුණ බලන කණ්ණාඩියයි. කැඩපතෙන් කෙරෙන කටයුත්ත
කුමක්දැයි විමසූ විට රාහුල හාමුදුරුවන්ගෙන් ලද පිළිතුර තමයි, නුවණින්
විමසා බැලීම හෙවත් ප්‍රත්‍යවෙක්‍ෂණය බව. ඒ පිළිතුර ම යොදා ගෙන තමයි
බුදුරජාණන් වහන්සේ සිත, කය හා වචනය භාවිත කළ යුතු ක්‍රමය පැහැදිලි
කරන්නේ. අපට අන් අයගෙ අඩුපාඩු දකින්නට පහසුයි. තමන්ගේ අඩුපාඩු දකින්නේම
නැති තරම්. තමන්ගේ අඩුපාඩු තමන්ම බලන එකම තැන කැඩපත ඉදිරිපිටයි. කෙනෙකු
කැඩපත ඉදිරියට යන්නේ තමන්ගේ අඩුවක් ඇද්දැයි බැලීමටයි. එමෙන් සිතට
සිතිවිල්ලක් ආ හැටියේ එය ක්‍රියාත්මක නොකර ඒ ගැන නැවත සිතෙන්ම බැලීමෙන්
අනවශ්‍ය දේ සිතන්ට හුරු වෙන්නේ නැහැ. වුවමනා නැති වචන කතා කරන්නේ
නැහැ.අනවශ්‍ය වැඩ කෙරෙන්නෙත් නැහැ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, අප කරන ක්‍රියා පාපකර්ම හා
පුණ්‍ය කර්ම, නැතිනම් කුසල කර්ම හා අකුසල කර්ම බවට පත්වෙන්නේ කොහොමද
කියා. සිතෙන්, කයෙන් හෝ වචනයෙන් සිදු කෙරෙන යම් ක්‍රියාවක් නිසා,
කරන්නාට හෝ එහි ප්‍රතිඵල ලබන අන් කෙනෙකුට හෝ දෙපිරිසටම හෝ අහිත පිණිස,
අවැඩ පිණිස පවතී නම් එය පාප සහගත බවත්, එවැන්නක් නොකළයුතු බවත් වදාළා.
ඒ අනුව කුසලයක් බවට පත්වෙන්නේ තිදොරින් කරන ක්‍රියාවක ප්‍රතිඵලය
කරන්නාට හා ප්‍රතිඵල ලබන්නාටත් ඒ දෙපිරිසටමත් යහපත, සතුට හා සැපත පිණිස
පවතීනම් පමණයි.
පින්වත්නි, ඇයි අපි අකුසලයෙන් වෙන්ව කුසලයෙහි යෙදෙන්න ඕන. ජීවත්වෙන
කාලය තුළ අප එක් රැස් කරන හැමදේම අතහැර දා යනවා.ගෙනියන එකම දේ රැස්
කරගත් කුසලාකුසල ශක්තිය පමණයි. එයිනුත් අකුසල ශක්තිය අප දුකට පත්
කරවනවා. කුසලය සැප විපාකම ලබා දෙනවා. එනිසා නිතර කුසල් කර ගත යුතුයි.
නිරන්තර නපුරට වරදට යොමුවන සිත හොඳින් පාලනය කරගෙන විමසා බලා කටයුතු
කිරීමෙන් මේ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙනවා. පරලොව දිනන්නත් දෙලොවම ජය
ගත හැකි ජීවිතයක් ගෙවා නිවන් දැකීමටත් පුළුවන්කම ලැබෙනවා.
ඔබ හැම දෙනාටම නිවනින් සැනසීම ලැබේවා! |