සදහම මුසු ළබැඳියාව
බත්තරමුල්ල,
පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන
අනුශාසක,
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
පරමාර්ථ ධර්මයට අනුව ලොව සියලු දෙයම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ
ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් ය. එනමුදු, ලෝක පැවැත්මෙහිදී ඔවුනොවුන්ගේ
එකතුව, මනාවූ ළබැඳියාව, අවබෝධය, විශ්වාසය ජීවිතවලට සන්තෘෂ්ඨිය ගෙන
දෙයි. සියල්ල අත්හැර පැවිදි ජීවිතයකට පත්වන උතුමෙකුට වුවද කල්‍යාණ
මිත්‍රයෙකුගේ සේවනය මහඟු උපකාරයකි.
ගුණබර ස්වාමි දියණියකගේ සහ ගුණබර ස්වාමි පුත්‍රයෙකුගේ ප්‍රියශීලී,
හිතවත් බව ඔවුන්ගේ ජීවන පැවැත්ම සුවපත් කරනු ඇත. අනිත්‍ය වූ ලෝකයක
කිසිඳු ස්ථිර වූ බලාපොරොත්තු පැවැත්විය නොහැකිය. ස්වාමියා, බිරිය,
දෙමවුපියන් සහ දරුවන් ද, ලෙස ද පවත්වන බැඳීම, ඕනෑම අවස්ථාවක නිමාවිය
හැකිය. එනමුදු, ජීවන පැවැත්මෙහි යුතුකම් සහ වගකීම් හැකිතාක් දුරට
ප්‍රිය භාවයෙන් යුතුව ඉටු කිරීමේදී, අනිත්‍යතාවයෙන් මතුවන “නික්මයාම” ද
හදෙහි රිදීමකින් හෝ වේදනාවකින් තොරවම අවබෝධ කරගත හැකිය. එමෙන්ම, නික්ම
යන අයට ද අත්හැර යාමට සිදුවන අය කෙරේද උපේක්‍ෂා සහගත සිතක් ඇති කරගත
හැකිය.
අංගුත්තර නිකායේ ප්‍රථම පණ්ණාසකයේ, සාරාණීය වර්ගයේ සඳහන් නකුලපිතු
සූත්‍රය මෙයට ගළපාගෙන විමසා බලමු. භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි
සුංසුමාරගිර නගරය සමීපයෙහි භේසකලාවන නම් මිගදායෙහි වැඩ වසති. එම
කාලයෙහි නකුල පිතා නම් ගෘහපති රෝගී වූයේ, බලවත්ව ගිලන් වූයේය. තරුණ
වයසේදීම විවාහ ජීවිතයට පත්ව, ඔවුනොවුන් කෙරේ ප්‍රියශීලීව, නොඅඩුව
යුතුකම් කළ, ස්වාමි දියණිය වූ නකුල මාතා තොමෝ, තම ස්වාමි පුත්‍රයාට
මෙසේ සැළ කළාය.
“ස්වාමිපුත්‍රයාණෙනි, ආශාවන් තිබෙන්නට කලුරිය කිරීම දුකකි. ආශාවන් ඇති
කරගෙන කලුරිය කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් ද නුසුදුසු බව කියන ලදහ.
ගෘහපතියෙනි, නුඹට මා ගැන මෙසේ සිතෙන්නට පුළුවනි. එනම්, නුඹගේ ඇවෑමෙන්
මාහට දරුවන් පෝෂණය කරන්නට, ගෘහ ජීවිතය පවත්වාගන්නට නොහැකි වේය යන
සිතිවිල්ලය. එසේ සිතන්නට එපා. “මම කපු කටින්නට, එළු ලොම් නෙළන්නට දක්‍ෂ
වූයෙමි. ඔබගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කරන්නට ද ගෘහ ජීවිතය පවත්වා ගන්නටද
පොහොසත්මි” ඒ නිසා ඒ ගැන ඔබ දුකක් ඇති කරගෙන කලුරිය කරන්නට එපා. ආශා
සහිත මරණය දුකක්මය. භාග්‍යවතුන් වහන්සේ විසින් ද ප්රතික්ෂේප කරන
ලදහ.” නකුල මාතා තොමෝ, තරුණ කාලයේ පටන් ධර්මය ඇසුරු කරගෙන සැනසිලිමත්ව
පැමිණි දිවි ගමනේ සහකරු වූ නකුල පිතාවන්ට නැවතත් මෙසේ කියයි.
“ ස්වාමි පුරුෂයාණනි, නුඹගේ ඇවෑමෙන් මම, වෙනත් පුරුෂයකු සමඟ වාසයට
යන්නෙමි’යි සිතක් ඇති වෙන්නේ නම්, එසේ සිතන්නට එපා. අප දෙදෙනා පසුගිය
දහසය අවුරුද්දක් ගෘහස්ථ බ්‍රහ්මචාරියාව සමාදන්ව සිටින බව ඔබද දන්නේය.
මම ද දනිමි. ඒ නිසා, ඒ ගැන නුඹ සිතේ ගැටලුවකින් හෝ සැකයකින් කලුරිය
කරන්නට එපා. තෘෂ්ණාව සහිතව කලුරිය කිරීම දුකකි. භාග්‍යවතුන් වහන්සේ
විසින් ද ප්රතික්ෂේප කරන ලදහ. මෙම සෙනෙහබර, එනමුත් ධර්මයම ඇසුරු කරන
බිරිඳගේ ළෙන්ගතු වචන තම ස්වාමි පුරුෂයාට මොනතරම් අස්වැසිල්ලක් ද?
නකුලමාතාව නැවතත් මෙසේ කියන්නීය.
“ගෘහපතියෙනි, නුඹගේ ඇවෑමෙන්, මා භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂු සංඝයා ද
දකින්නට අකැමැතිවේ යැයි සිතන්නට එපා. මම ඔබගේ ඇවෑමෙන් වුවද වඩාත්ම
භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමැති වන්නෙමි. වඩාත්ම භික්‍ෂු සංඝයා
දකින්නට කැමැති වන්නෙමි. එබැවින්, ඒ ගැන ඔබ දුක් නොවී කලුරිය කරන්න.
තෘෂ්ණා සහිතව කලුරිය කිරීම දුකකි. භාග්‍යවතුන් වහන්සේ විසින් ද
ප්රතික්ෂේප කරන ලදහ.
නකුල මාතාව නැවතත් මෙසේ කියන්නීය. ඔබගේ ඇවෑමෙන් මම ශීලය මැනවින් සපුරා
නොසිටින්නෙමි’ යි ඔබ විසින් සිතන්නට එපා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ, සුදු
වස්ත්‍ර හඳිනා, ගෘහයන්හි වාසය කරන, මනා ලෙස ශීලය සම්පූර්ණ කරන
ශ්‍රාවිකාවෝ වෙත්නම්, මම ද ඒ අය අතර එක් තැනැත්තියක්මි. යම් කෙනෙකුට ඒ
ගැන සැකයක් විමතියක් වේනම්, සුංසුමාරගිරියේ භේසකලා වනයෙහි, මිගදායෙහි
වසන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් අසන්නට පුළුවනි. එබැවින්, ඔබ මේ ගැන
සිතමින් කලුරිය කරන්නට එපා. එසේ කලුරිය කිරීම දුකක්. එවැනි මරණය
භාග්‍යවතුන් වහ්නසේ විසින්ද ප්‍රතික්ෂේප කරන ලදහ.”තමාගෙන් පසුවද, තම
ස්වාමි දියණිය සුසිල්වත්, සුපසන් ජීවිතයක් ගතකරනවා ඇත. යන විශ්වාසය ඇස්
දෙක පියවෙන ගුණබර ස්වාමි පුත්‍රයෙකුගේ සිතට මනා වූ සැනසිල්ලක් නොවේද ?
නකුලමාතා නැවතත් මෙසේ කියන්නීය. “නුඹගේ ඇවෑමෙන් මම, ආධ්‍යාත්මික චිත්ත
පාරිශුද්ධියක් නොලබන්නීය, යනුවෙන් සිතක් පහළ කරගන්නේ නම්, එසේ සිතන්නට
එපා. ස්වාමිපුරුෂයාණනි, ගිහිගෙය වාසය කරන, සුදුවත් හඳින, ආධ්‍යාත්මයෙහි
චිත්ත පාරිශුද්ධිය ලබන යම් ප්‍රමාණ වූ ශ්‍රාවිකාවෝ භාග්‍යවතුන් වහන්සේට
වෙත්නම්, මම ද ඒ අය අතර එක් අයෙක්මි. ඒ නිසා ඔබ, තෘෂ්ණා රහිතව කලුරිය
කරන්න. තෘෂ්ණාවෙන් යුතු අයගේ කළුරිය කිරීම දුකකි. එය භාග්‍යවතුන්
වහ්නසේ විසින් ද ප්රතික්ෂේප කරන ලදහ.”
නකුලමාතා, නැවතත් තම ස්වාමි පුත්‍රයාණන්ට මෙසේ කියන්නීය. “ඔබ මෙසේ
සිතන්නට එපා. මා, ධර්ම විනයට යුක්ත නොවී, ධර්ම විනයෙහි පිහිටන්නේ
නැතිව, ධර්මයෙහි ආස්වාදයට නොපැමිණ, බැහැර නොකළ සැක ඇතිව, සෝමනස්ස ඤාණය
නැතිව, සදහම් සොම්නසින් යුතු නොවී අනුන්ගේ කීම නිසා සදහම් අදහන අයෙක්ව
වාසය කරන්නීය යනුවෙනි.” ස්වාමි පුත්‍රයාණෙනි, ගිහිගෙයි වාසය කරන සුදු
වස්ත්‍ර හඳනා යම් පමණ වූ සකෘදාගාමී කෙනෙක්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙම
ධර්ම විනයෙහි පිළිපන්ව, පිහිටීමට පත්ව, ආස්වාදයට පැමිණ, සෝමනස්ස සහගත
නුවණින් යුක්තව, ශාස්තෘ ශාසනයෙහි අනුන්ගේ කීමෙන් නොඅදහන, වෙසෙත් නම්,
මම ද ඔවුන් අතර එක් අයෙක්මි. යමක් පිළිබඳ සැකයක්, විමතියක්, ඒ සම්‍යක්
සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ සුංසුමාරගිරියෙහි, භේසකලාවන, මිගදායෙහි
වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විමසනු ලබත්වා. එබැවින් මෙම
කරුණෙහිද සැක ඇති නොකරගන්න. තෘෂ්ණා සහිතව කලුරිය කිරීම දුකකි.
භාග්‍යවතුන් වහන්සේ විසින්ද තෘෂ්ණා සහිතව කලුරිය කරන්නා දෝෂයෙන් දක්නා
ලදහ.”
නකුලමාතාව මෙසේ අවවාදයෙන්, තම ස්වාමියා සනසන විට, ගිලන්ව සිටි නකුල
පිතු, එනම් ස්වාමිපුරුෂයා ගිලන් බවෙන් මිදුණේය. රෝගයෙන් සන්සිඳුණේය.
නකුල මාතා තොමෝ, ගිලන් වු ස්වාමියා සමීපයෙහි හඬා නොවැළපී, දැහැමි
ජීවිතය ගැනත්, තමාගේ ලෞකික සහ ආධ්‍යාත්මික පාරිශුද්ධිය ගැනත්
විශ්වාසයෙන් යුතුවම පැවසීම, ස්වාමිපුරුෂයාට ගිලන් වූ සිතද ගිලන් වූ කයද
සුවපත් කර ගැනීමට තරම් මොනතරම් පිහිටක් වීද?
රෝගයෙන් මිදුණු නකුල පිතා, සැරයටියේ පිහිටද ඇතිව, භාග්‍යවතුන් වහන්සේ
කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එකත්පසෙක හුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
නුඹට නකුල මාතා, අනුකම්පා ඇත්තී, අර්ථයක්ම කැමැත්තී, අවවාද කරන,
අනුශාසනා කරන්නීවේද එයම නුඹට මනාවූ ලාභයෙකි. ගෘහපතියෙනි, ගිහිගෙය වාසය
කරන සුදුවස්ත්‍ර හඳිනා, මාගේ ශ්‍රාවිකාවෝ ශීලයෙහි සම්පූර්ණත්වයට
පැමිණියෝ වේ නම් නකුලමාතා ගෘහපතිනියත් එක් අයෙක් වන්නීය. ගෘහපතිය,
ගිහිගෙයි වාසය කරන සුදුවස්ත්‍ර හඳිනා, යම් පමණ මාගේ ශ්‍රාවිකාවෝ
ආධ්‍යාත්මයෙහි සමාධි කර්මස්ථාන ලබන්නාහු වෙත්නම්, ධර්ම විනයට යුක්තව,
ධර්ම විනයෙහි පිහිටාගෙන, ආස්වාදයට පැමිණ, තරණය කළ සැක ඇතිව, විසාරද බවට
පැමිණ, ශාස්තෘ සාසනයෙහි අනුන් කී පමණින් නොඅදහා වාසය කරන්නාහු නම්,
නකුලමාතා ගෘහපතිනිය ද ඔවුන් අතුරෙන් එක් අයෙකි. ගෘහපතිය, නුඹට
ලාභයෙකි.”
මෙම ධර්මය මුසු ළබැඳියාව, ගෘහස්ථ ජීවිතයක කවර තරමේ සැනසිල්ලක් ද? ගිලන්
වූ කයක් සුවපත් කරන්නට සුපසන් වූ ද ධර්මචාරී වූ ද බිරිඳකගේ අවංක වදන්
සමත් වූ හැටි නුවණින් සිතා බලන්න. “ පීති මනස්ස කායෝ පස්සම්භති”
නිරාමිෂ ප්‍රීතිය සිතට දැනෙන විට කයද සුවපත් වෙයි. මෙවැනි බිරිඳක් යම්
ස්වාමිපුරුෂයෙකුට හමුවීනම්, ගුණැති ස්වාමිපුරුෂයකු මෙවැනි බිරිඳකට
හමුවීනම් ඔවුන් කවර තරම් සැනසුණු නිවුනු ජීවිත ඇත්තෝ වෙත්ද ? |