Print this Article


<%on error resume next%> සැපතට වහල් නොවන්න

සැපතට වහල් නොවන්න

බුදු දහමෙහි මූලික වශයෙන්ම අවධාරණය කරනු ලබන්නේ සියලු සැප සම්පත් විඳීමකින් තොරවූ නිර්වාණ ධාතුව

අවබෝධ කරගැනීම පිළිබඳවයි. සාමාන්‍ය මිනිසා අපාය පහත් තැනක් ලෙසත් මනුෂ්‍ය ලෝකය උසස් තැනක් ලෙසත් කල්පනා කරති. නමුත් බෞද්ධ දර්ශනයෙහි අවධාරණය කරනු ලබන්නේ මෙම ලෝක තුනම කාම ලෝක ලෙසය. බුදු දහමෙහි උගන්වන කාමලෝක එකොළහක් ගැන සඳහන් වෙයි. එනම් සතර අපායත්, සදෙව් ලොවත්, මිනිස් ලොවත් ය

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයෙහි උන්වහන්සේ ලෝක සත්ත්වයාට දේශනා කරනු ලැබුවේ දාර්ශනික බරපතළ කරුණු කාරණා නොවේ. සමාජය තුළ ඇතිවුණ සිද්ධියක් පසුබිම් කරගෙන කරුණු කාරණා පැහැදිලි කිරීම උන්වහන්සේගේ සිරිත විය. මේ එවන් කතා පුවතකි.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන කාලයෙහි එක්තරා කුමරියක් දිව්‍ය ලෝකයෙහි උපත ලබා සිටියා ය. ඇය දිව්‍ය පුත්‍රයකුට සිටි පරිවාර ස්ත්‍රීන් අතර ප්‍රමුඛ කෙනෙක් වූවා ය. එක් දිනක් මේ පිරිස මල් නෙළමින් කාලය ගතකරන්නට වූහ. දිව්‍ය ලෝකයෙහි දිව්‍යාංගනාවන් පිරිවරාගෙන මල් නෙළමින් සිටි මේ දිව්‍ය පුත්‍රයාගේ පරිවාර පිරිස අතර සිටි එක් දිව්‍යාංගනාවකගේ පින් අවසන් වෙමින් තිබිණි. දෙවි සැප විඳීමට තරම් වූ පින් අවසන් වූ බැවින් ඉන් චුතව මිනිස් ලොව මවිකුසක පිළිසිඳ ගත්තාය. ක්‍රමයෙන් කුසෙහි වැඩී නිසි කල සම්පූර්ණ වුණු ඇය ස්ත්‍රියක ලෙසින්ම මව්කුසයෙන් බිහිවූයේ ජාතිස්මරණ ඥානයද සහිතව (පෙර උපත ලබා සිටි භවය ගැන මතක තියෙන) ඇතිවය.

ජාතිස්මරණ සහිත මේ දරුවාට තමා පෙර තත්ත්වයක උපත ලබා සිටියේ දිව්‍ය ලෝකයේ පරිවාර ස්ත්‍රියක වශයෙන් බව සිහිපත් වේ. ක්‍රමයෙන් වැඩෙන ඇය සෑම අවස්ථාවකම පින්කම් කරනු ලැබුවේ පෙර උපත ලබා සිටි දිව්‍ය ලෝකයේම උත්පත්තිය ලැබීමේ අරමුණින් ය. ඒ පින් දහම් කරමින්ම කාලයත් සමඟ ඇය වැඩිහිටි බවට පත් නිසි වයස් පැමිණි පසු විවාහ දිවියට පත් ඇය කල්යත්ම පිරිමි දරුවන් සතර දෙනෙකුගේ මවක බවට පත් වූවා ය.

දරුවන්ද වැඩිවියට පත්වූ අතර ඇය වයස්ගතව මරණයට පත් වූවා ය. ජීවිත කාලය පුරාමත්, මරණාසන්න මොහොතේත් තමන් පෙර භවයේ සිටි දිව්‍ය ආත්මභාවයට ප්‍රාර්ථනා කරගෙනම සිටි නිසා ඇය මරණයෙන් පසු නැවතත් තව්තිසා දිව්‍ය ලෝකයේම මාලහාරී නම් ඒ දිව්‍ය පුත්‍රයාට පරිවාර ස්ත්‍රියක ලෙස උපත ලැබුවා ය. ඇය එහි උපදින විටත් එම පිරිස මල් උයනේම කෙලිදෙලෙන් කාලය ගත කළෝ ය. ඇයගේ හිතවත් දිව්‍යාංගනාවක් “ඔබ මෙච්චර වේලාවක් දැක්කෙ නැත්තෙ කොහේ ගිය නිසා දැයි විමසයි” තව්තිසා දිව්‍ය ලෝකයේ කාල වේලාව ගතවන ආකාරයත් මනුෂ්‍ය ලෝකයේ කාලයගතවන ආකාරයත් පිළිබඳවම නිවැරැදි වැටහීමක් ඇති ඇයට මේ විමසීම අමුත්තක් නොවූවා ය. එයට හේතුව මිනිස් ලෝකයෙහි අවුරුදු සියයක් තව්තිසා දිව්‍ය ලෝකයේ එක දවසක් වීමය. ඇය ඒ දිව්‍ය ලෝකයෙන් චුතව මිනිස් ලොව මිනිස් මව්කුසක ඉපදී බිහිවී විවාහ වී දරුවන් සිව්දෙනකු ද, බිහිකර මිය පරලොව ගොස් දිව්‍ය ලෝකයෙහිම උපත ලැබීමට ගත වූ සම්පූර්ණ කාල පරාසය තව්තිසා වැසි දෙවියන්ට ඉතා ටික වේලාවක් පමණක් බව මෙයින් පෙනේ. ඇය සංසාරයේ මෙබඳු සැරිසැරීමක් කළ ද, ඒ ගැන තව්තිසා වැසි දෙවියන් පවා දැනගෙන හිටියේ නැත.

බුදුරජාණන් වහන්සේට මෙම සිද්ධිය එනම් සිව්දරු මවගේ අභාවය පිළිබඳ දැනගන්නට විය. එම සිද්ධිය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ අනෙක් පිරිසට දම්සභාවෙහි ධර්ම දේශනයක් පවත්වමින් වැඩ සිටිසේක. උන්වහන්සේ දේශනා කරනු ලැබුයේ මෙබදු කාරණාය.

පුප්ථානි හෙව පචිනන්තං
ඛ්‍යාසත්ත මනසං නරං
අතිත්තං යේව කාමේඝ
අන්ත කො කුරුතේ වසං

පංචකාම සම්පත්තියෙහිම ඇළුණු පුද්ගලයා මැරෙන තුරුත් කාමයන්හි සෑහීමකට පත්වන්නේ නැත. එය හරියට මේ ලෝකයෙහි මල් නෙළා රැස් කරන්නාවූ කෙනෙක් වගේ ය.

මෙහිදී අප ඇසූ මේ සිද්ධිය සාමාන්‍ය මිනිස් ඇසකින් බලන විට අපට පෙනෙන්නේ එය ආදර්ශයට ගත යුතු ජයග්‍රහණයක් ලෙසය. එයට හේතුව තව්තිසා දෙව්ලොව දෙවඟනක්ව උපත ලබා පසුව පින් පිරිහීම නිසා ඉන් චුතව මිනිස් ලොව ඉපිද පෙර භවයම පතා පින් කිරීම නිසා නැවතත් එම දිව්‍ය ලෝකයටම යාමයි. සාමාන්‍ය මනුෂ්‍යයා මිනිස් ලෝකයට වඩා දිව්‍ය ලෝකය උසස් ආත්ම භාවයක් ලෙස දක්වයි. එනිසාම එසේ සිතීම එතරම් වරදක් හැටියට දැක්විය නොහැකි ය.

නමුත් බුදු දහමෙහි මූලික වශයෙන්ම අවධාරණය කරනු ලබන්නේ සියලු සැප සම්පත් විඳීමකින් තොරවූ නිර්වාණ ධාතුව අවබෝධ කරගැනීම පිළිබඳවයි. සාමාන්‍ය මිනිසා අපාය පහත් තැනක් ලෙසත් මනුෂ්‍ය ලෝකය උසස් තැනක් ලෙසත් කල්පනා කරති. නමුත් බෞද්ධ දර්ශනයෙහි අවධාරණය කරනු ලබන්නේ මෙම ලෝක තුනම කාම ලෝක ලෙසය. බුදු දහමෙහි උගන්වන කාමලෝක එකොළහක් ගැන සඳහන් වෙයි. එනම් සතර අපායත්, සදෙව් ලොවත්, මිනිස් ලොවත් ය. සාමාන්‍ය ලෝකයේ මිනිසා අතර ‘හය හතර දන්නේ නැති’ යනුවෙන් දක්වනු ලබන්නේ පව පින නොහඳුනන මිනිසුන් පිළිබඳවය. හොඳ නරක නාඳුනන අය ගැන ය. මෙහි හතර යනුවෙන් දක්වනු ලැබ ඇත්තේ සතර අපාය ගැනය. එනම්,

1. නරකාදිය,
2. තිරිසන් අපාය,
3. ප්‍රේත අපාය,
4. අසුර අපාය යනුවෙනි.

හය හැටියට දැක්වූයේ සදෙව් ලොව හෙවත් දිව්‍ය ලෝක හය පිළිබඳවය. එනම් 1. චතුම්මහාරාජිතය, 2. තුසිතය, 3. යාමය, 4. නිම්මාන රතිය, 5. පරණිමි මිතිය, 6. වසවර්තිය යනුවෙනි.

සාමාන්‍ය ලෝකයේ ජීවත් වන මිනිස් ප්‍රජාව එකවර ආසා කරන්නේ නිවනට පත්වීම නොව දෙවි සැප සම්පත් විඳීමටය. දෙවි සැප විඳ නිවන් ලබා ගැනීමටය. අපායෙහි උපත නොලැබීමට ඉන් අදහස් කරන්නේ මිනිස් ලොව උපත ලබා සිටින කාලය තුළ කරන කියන නරක නපුරු වැඩ කටයුතු නිසා අපායෙහි උපත ලබන බවයි. මිනිස් ලෝකයෙහි උපත ලබා සිටින කාලය තුළ කරනු ලබන යහපත් පින් දහම් නිසා දෙව්ලොව උපත ලබන බවයි. මෙම බුදුදහමෙහි එන ඉගැන්වීම් අනුව බොහෝ මිනිසා හිතන්නටවත් කල්පනා කරන්නටත්, ධර්මය තේරුම් බේරුම් කර ගැනීමටත් පුරුදු පුහුණු වී සිටිති.

බුදුදහමෙහි උගන්වන මූලික අදහස සාමාන්‍ය මිනිස් ජීවිතයේ පවතින අදහස අතර බරපතළ ගැටීමක් නැත. සාමාන්‍ය මිනිසා අවසානයේ දී හෝ බලාපොරොත්තු වෙන්නේත් නිවන් මඟට පිවිසීමටයි. බුදුදහමෙහි ඉගැන්වීම් තුළ සඳහන් වන්නේත් නිර්වාණය අවබෝධ කර ගත යුතු බවයි.

සාමාන්‍ය ලෝකය තුළ හොඳ යැයි පිළිගන්නා බොහෝ දේ පවා බෞද්ධ දර්ශනය තුළ එතරම් පි‍්‍රය ජනක ලෙස සාකච්ඡා කරනු ලබන්නේ නැත. ඉන් පෙනෙන්නේ දර්ශනයත් සාමාන්‍ය ලෝකයත් අතර පවතින පරතරය පිළිබඳවයි.

“කාමේසු” යන්නෙහි තේරුම වන්නේ කාමයන්හි යන්නය. කාමය යනු බුදු දහම මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා තිබේ. එනම් 1. වස්තු කාමය, 2. ක්ලේෂ කාමය යනුවෙනි. වස්තු කාමය ලෙස දක්වනු ලබන්නේ ජීව අජීව වශයෙන් සිත ඇල්ම දක්වන වස්තූන් තමන් සමීපයට ළඟා කර ගැනීමට මිනිසා දක්වන ආශාවයි. ක්ලේශ කාම ලෙස දක්වනු ලබන්නේ ඉඳුරන් මඟින් ගන්නා අරමුණු නිසා මනසේ ඇතිවන නරක සිතිවිලිය.

බුදු දහම බලාපොරොත්තු වන්නේ මෙම තත්ත්වයන්ගෙන් මිනිස් මනස ඈත් කිරීමට උත්සාහ ගැනීමයි. නමුත් සාමාන්‍ය මිනිසා එකවර එසේ කැමැති නැත. දිව්‍ය ලෝකවල උපත ලබා දෙවි විමන්වල දෙව් සැප සම්පත් විඳිමින් කාලය ගත කරන්නට කැමැත්ත දක්වති. අසීමිත කැමැත්තයි එය මිනිස් ස්වභාවයයි.

බුදුරජාණන් වහන්සේ මෙහිදී කාමය පිළිබඳව සංකේතවත් කරනු ලබන්නේ ‘පුෂ්පානි’ යන වචනයෙනි. එනම් මල් යනුවෙනි. බුදුරදුන් වඳින්නට මල් අරගෙන යන්නේ කාම පිළිබඳ මිනිස් මනසෙහි ඇති පිවිතුරු සිතිවිලිවලට යථාර්ථය කැවීම පිණිසය. මල් පූජා කරනු ලබන්නේ එම අදහස සිහිකල්පනාවට ගනිමින්මය. මේ මල පුදසුනෙහි දී මොහොතින් පරවී යයි. මේ කය ද මල සේම වෙනස් වෙයි. ජරාවට පත්වෙයි. දිවිය පිළිබඳ යථාර්ථය තේරුම් බේරුම් කරගැනීමටත් එය පැහැදිලි කර දීමටත් පුෂ්පය පිළිබඳ බෞද්ධ සමාජය තුළ නිතර කියවෙයි. මලෙහි පවතින ස්වභාවය පිළිබඳව අවබෝධයකින් තොරව මලෙහි සුවඳෙහි හෝ රුවෙහි ඇලීමටත් බුදු දහම ප්‍රසංශාත්මකව දකින්නේ නැත. මලෙහි සුවඳෙහි හා රුවෙහි ඇළීම තුළ බුදු දහමෙහි මූලිකාංග පහළ වන්නේ නැත.

එය හුදෙක් ඇස සහ නැහැය පිනවීමටත් පමණි. ඒ තුළ ධර්මාවබෝධයකින් පොළඹයි. ගාථාවෙහි මල උපමාකර දක්වන්නේ කම්සැප සෙවීම පිළිබඳව කීම සඳහා දිව්‍ය ලෝකයෙහි උපත ලැබූවත් මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබූවත් මිනිසා අත්විඳින්නේ කම්සැපය. මිනිස් ලෝකයෙහි උපත ලැබුවාට වඩා පහසුවෙන් ඒවා විඳීමට දෙවි ලොව උපත ලැබීමෙන් හැකියාව ලැබෙයි. එයට හේතුව මිනිස් ලොවත් දෙව්ලොවත් අතර පවතින පරතරයයි. බුදු දහමෙහි මූලික වශයෙන් උගන්වනු ලබන්නේ යථාර්ථය හෙවත් ස්වභාව දහම අවබෝධ කිරීමටත්, අත්හැරීම පිළිබඳවත් අත්හැරීම තුළ සතුට ද, සැහැල්ලුවද, මිනිස් මනසට ලැබෙන ආකාරය බුදු දහමෙහි උගන්වයි. නමුත් සාමාන්‍ය මිනිසා විග්‍රහ කරනු ලබන්නේ අත්හැරීමෙන් නොව ළඟා කර ගැනීමෙන් සිතට සැහැල්ලුව ලැබෙන බවයි. බුදු දහම පිළිගත්තද භාවිත සමාජය තුළ බුදු දහමෙහි උගන්වන මූලික සංකල්ප මිනිසා තුළින් ඈත් වී යන ආකාරය දක්නට ලැබෙයි.

සාමාන්‍ය ලෝකයේ මිනිසා දකින්නේ කෙනෙකු දෙව්ලොව උපත ලැබීම පුදුම සහගත අසිරිමත් සිද්ධියක් ලෙසය.එයට හේතුව හොඳින් ජීවත් වූ මිනිසා ලැබූ උසස් වීමක් ලෙසය. නමුත් බෞද්ධ දර්ශනය තුළ එය එතරම් අර්ථවත් ඵල ප්‍රයෝජන උතුම් ක්‍රියාවක් ලෙස දකින්නේ නැත. මන්ද දෙව්ලොව දෙවි විමන් සහ දෙව් සැපත් අනිත්‍යතාවයට යටත්ව පවතින නිසා ය.

කිසියම් කෙනෙක් දෙව්ලොව සිටියදී තමා කළ පින් පෙත් අවසාන වුවහොත් ඉන් චුතව අපායෙහි හෝ මිනිස් ලොව උපත ලබයි. නැවතත් එම ස්ථානයටම යා හැකි වන්නේ පුද්ගලයින් කරනු ලැබූ හොඳ නරක ක්‍රියාවන් අනුවය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.