Print this Article


<%on error resume next%> ග්‍රන්ථ චිකිත්සාව සඳහා ජාතක කථා

බුද්ධ ධර්මය සහ මනෝවිද්‍යාව - 9

ග්‍රන්ථ චිකිත්සාව සඳහා ජාතක කථා

තම ගැටලු ග්‍රන්ථයක මුද්‍රිතව තිබෙනු දැකීම,ම බොහෝ කියවන්නන්හට සහනයක් ගෙන දෙයි. ග්‍රන්ථ චිකිත්සාව සඳහා ඉතා යෝග්‍ය, එ මෙන්ම කියවන්නට - කියවන්නට වඩ වඩා රස මතු කරන ග්‍රන්ථයකි අපේ පන්සිය පනස් ජාතක පොත.

මිනිසා අකුරු ලිවීම ආරම්භ කළ සමයේ පටන් ම, ලිඛිත ප්‍රකාශන, අද්භූ®ත ඉන්ද්‍රජාලික (Magical) බලයක් සතු වස්තූ®න් හැටියට පිළිගැනිණි. මෙම බලය බොහෝ විට යොමු කරන ලද්දේ මානසික රෝග සුව කිරීමට ය. ඊජිප්තුවේ අද ද වැවෙන පැපිරස් (Papyrus)  නමින් හැඳින්වෙන තණ කොළ වේළා තලා තනා ගනු ලැබූවකි. පේපර් (Paper)  නමින් ඒ නිසා ම අද දක්වා ම හැඳින්වෙන කඩදාසිය ගී‍්‍රසියේ ,පැපිරස් හැඳින්වුණේ ‘බිබ්ලොස් (Biblos)  නමිනි.කඩදාසිවලින් තැනුණු ග්‍රන්ථ ‘බිබ්ලියා’ (Biblia) යන ගී‍්‍රක නමින් හැඳින්වුණි. ‘බයිබලය’ යන නම ද එම වචනයෙන් තැනී තිබේ.

ග්‍රන්ථ චිකිත්සාව

ඕනෑම ග්‍රන්ථයක් රෝග සුව කිරීමට යොමු කර දෙනු ලබන ප්‍රතිකාරය ‘බිබ්ලියොතෙරපි’ (Bibliotherapy) නමින්, විශේෂයෙන් මනෝවෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙයි. මීට ‘ග්‍රන්ථචිකිත්සාව‘ නම අපේ භාෂාවෙන් යෙදිය හැක.

ග්‍රන්ථ චිකිත්සාවේ ඉතිහාසය

ගී‍්‍රසියේ තෙබේස් (Thebes) නගරයේ ඇති පැරණි පුස්තකාලයට ඇතුළු වන දොරටුවට ඉහළින් එල්වන ලද පුවරුවක සටහන් වී තුබුණේ “ ආත්මයට සුව සලසන ස්ථානය’ යනුවෙනි.

මෑත අතීතයේ, 18 වන ශතවර්ෂයේ යුරෝපයේ මනෝවෛද්‍යවරු ග්‍රන්ථචිකිත්සාව , ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පිළිගත්හ. ස්කොට්ලන්තයේ ‘ක්‍රිතන් එසයිලම් ‘ (Crithon Asylum) නමින් හැඳින්වුණූ මානසික රෝහලේ වෛද්‍යවරු ඖෂධ නියම කළ ආකාරයෙන් තුණ්ඩුවක ලියා ‘ග්‍රන්ථද නියම කළහ.

කැනඩාවෙ ඔන්ටේරියෝ නගරයේ ගිල්ඩා කෑට්ස් (Gilda Katz) සහ ජෝන් ඒ .වොට්  (John A.Watt) ග්‍රන්ථ චිකිත්සාව පිළිබඳ පර්යේෂණ රාශියක් කළහ. ග්‍රන්ථයක් ප්‍රයෝජනවත් නම්, නො පැකිළ එය රෝගියාට ඖෂධයක් මෙන් නියම කරන ලෙස ඔවුහු අවවාද දුන්හ. නා නා රෝග සඳහා නා නා ඖෂධ සුදුසු වන ලෙසට ම නා නා ග්‍රන්ථ ද සුදුසු වන බව ඔවුහු පෙන්වා දුන්හ. ඔවුහු මේ සදහා ග්‍රන්ථ නාමාවලියක් ද සකස්කොට ඉදිරිපත් කළහ. ඔන්ටේරියෝ නගරයේ ක්ලාක් මනෝවෛද්‍ය විද්‍යා ආයතනයේ දී (Clarke Institute of Psychiatry) ග්‍රන්ථ චිකිත්සාවේ සාර්ථකත්වය සංඛ්‍යාන විද්‍යාත්මක සාක්‍ෂි සහිතව පෙන්වා දුන් කෑට්ස් සහ වොට්, කියවීම අතින් දුර්වල රෝගීනට ශ්‍රව්‍ය දෘෂ්‍ය (Audio – Visual) ක්‍රම සුදුසු බව පැවසූහ. ග්‍රන්ථ උපයෝගී කොට ගත් මෙම මනෝචිකිත්සක ප්‍රතිකාරය සාර්ථක වූ වග, 1992 දී කැනඩාවේ ‘ඒබීසී’ (Association For Bibliotherapy)  නමින් ග්‍රන්ථ චිකිත්සක සංගමයක් බිහි වීමෙන් පෙනෙයි.

සුදුසු ග්‍රන්ථ

ග්‍රන්ථ චිකිත්සාව සඳහා සුදුසු කෘතීන් අතර මානසික ගැටලු පිළිබඳ ග්‍රන්ථ මෙන් ම නවකථා, කෙටිකථා කාව්‍ය සහ ආගමික ධර්ම ග්‍රන්ථ වෙයි. මනෝවෛද්‍ය එල්සර්ගේ (Elser) උගැන්වීම වූයේ රෝගීන් පස් දෙනකු හෝ අට දෙනකු සාමූහිකව, සතියකට දෙවරක් දිනකට පැයක කාලය තුළ එම ග්‍රන්ථයක කොටසක් කියවීම සුදුසු බව යි.

ග්‍රන්ථ චිකිත්සකවරුන් පවසන්නේ මනුෂ්‍යයකු මුහුණ පෑ යම් ගැටලුවක් පිළිබඳ ග්‍රන්ථයක් පළ වී තිබීම පමණක් වුව ද, රෝගීන්ගේ ගැටලු අන්‍ය මනුෂ්‍යයනට ද පොදු අත්දැකීම් බව රෝගීනට වටහා දීමට සමත් වන බවය. සකල මනුෂ්‍ය වර්ගයා අතර එම අත්දැකීම් බෙදීයන නිසා රෝගියකුගේ කෝපය, ශෝකය, ලැජ්ජාව වැනි චිත්තවේග නිසා හටගෙන ඇති රෝග ලක්ෂණ තුනී වෙයි. එ වැනි අර්බුදකාරී අත්දැකීම් අතර තමා තනි නො වන බව රෝගියාට දැනෙයි. තම ගැටලු ග්‍රන්ථයක මුද්‍රිතව තිබෙනු දැකීම,ම බොහෝ කියවන්නන්හට සහනයක් ගෙන දෙයි.

ග්‍රන්ථ චිකිත්සාව පිළිබඳ මා ඉහත සඳහන් කෙළේ 1998 වර්ෂයේදී මා ලියූ “ජාතක කථා පිළිබඳ මනෝවෛද්‍ය විද්‍යා කෝණයෙන් “  (Psychiatric Asepects of Jataka Stories)  නමැති ග්‍රන්ථයේ අඩංගු කරුණු කිහිපයකි.

ජාතක කථා

ග්‍රන්ථ චිකිත්සාව සඳහා ඉතා යෝග්‍ය, එ මෙන්ම කියවන්නට - කියවන්නට වඩ වඩා රස මතු කරන ග්‍රන්ථයකි. අපේ පන්සිය පනස් ජාතක පොත, එදා අද සහ හෙට මිනිසා මුහුණ පෑ මුහුණ පාන සියලු අර්බුද සහ විඳි ,විඳින සියලු චිත්තවේග, පන්සිය පනස් ජාතක කථා තුළ කියවිය හැක. නමින් පන්සිය ‘පනස් යන’ විශේෂණයෙන් හැඳින්වුණද අපේ ජාතක පොතෙහි තනි කථාවක් තුළ අතුරු කථා රැසක් අඩංගු හෙයින් ග්‍රන්ථචිකිත්සාව සඳහා නියම කළ හැකි වෙනත් ඊට වඩා සුදුසු කෘතියක් ඇත් දැයි නොදනිමි.

විශුද්ධිමාර්ගයේ උපදේශය

මහානාම රජ දවස (ක්‍රි.ව. 410 දී පමණ) ශ්‍රී ලංකාවට වැඩම කළ ගරු බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලියු විශුද්ධිමාර්ගයෙහි, කෝපයෙන් පෙළෙන අයකුට කියවීමට සුදුසු ජාතක කථා කිහිපයක් විශේෂයෙන් නම් කර ඇත.

ක්‍රි.ව. 410 දී ගරු බුද්ධ ඝෝෂ ස්වාමීන් වහන්සේ දී වදාළ උපදේශය ම ය. 1993 දී කැනඩාවේ කෑට්ස්වොට් දෙපොළ ග්‍රන්ථ චිකිත්සාව යන නමින් එළිදැක්වූයේ.

ගරු බුද්ඝෝෂ ස්වාමීන් වහන්සේ නියම කොට වදාළ ජාතක කථා මෙසේය. මහා සීලව, ක්ෂාන්තිවාදී, චුල්ලධර්මපාල, ඡද්දන්ත, මහාකපි, භූරීදත්ත, චම්පෙය්‍ය, සංඛපාල සහ මාතුපෝසක

ක්ෂාන්තිවාදී ජාතකය

ඉහත සඳහන් ජාතක කථා අතුරින් ක්ෂාන්තිවාදි ජාතකය, ග්‍රන්ථ චිකිත්සාවට සුදුසු වීම සඳහා තිබිය යුතු සාධක රාශියක් අඩංගු අපූර්ව කථාවකි. එය කියවීමෙන් කෝපය නිවාගත හැකි වන්නේ ඇයි දැයි මීළඟ ලිපියෙන් විමසමු.

තුනුරුවන් සරණයි.


බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 8 කළ වරද ගැන නොතැවී නැවත එම වරද නොකිරීමට අංගුලිමාල සූත්‍රයෙන් අවවාද
 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.