Print this Article


<%on error resume next%> ශාසන සම්ප්‍රදාය සුරකිමු

ශාසන සම්ප්‍රදාය සුරකිමු

බුද්ධ ශාසනය වසර 5000 ක් කල් නොනැසී පවත්නා බවට අදහසක් සමාජ ගත ව තිබේ. කෙබඳු මූලාශ්‍රයක් පදනම් කරගෙන එබඳු මතයක් නිර්මාණය වී ඇතිදැයි පැහැදිලි නැතත්, ත්‍රිපිටකයේ කොතැනකවත් එවැන්නක් සඳහන් වන්නේ නැත. භික්‍ෂුවක විසින් පිරිය යුතු වත් රාශියක් ධර්මයෙහි සඳහන් වෙයි. ආචරිය – උපජ්ඣාය වත, විහාර වත, ආගන්තුක වත, සද්ධි විහාරික වත, පොහොය කිරීම, කඨිනය, ධර්ම දේශනා, පිරිත් දේශනා, වෙනත් ආගමික කර්තව්‍යයන් ආදියෙහි දී අනුගමනය කළයුතු වත්, ආදී වශයෙන් ඒවා විවිධ වන්නේ ය. ඒ සියලුම වත් භික්‍ෂුවකගේ චරිත පාරිශුද්ධියට ඉවහල් වේ

ලොව පැරණිතම ආගමික සමාජ අතලොස්ස අතර, ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ සංඝ සමාජයට ය. බුද්ධත්වයෙන් දෙමසකට පමණ පසු ආරම්භවූ බෞද්ධ භික්‍ෂු සමාජය යම් යම් විපර්යාසයන්ට ලක් වෙමින් වුවද අද දක්වාත් නොනැසී පවතී. ඒ අනුව සංඝ සමාජයට වසර 2600 කට ආසන්න අවිච්ඡින්න ඉතිහාසයක් තිබේ. ඒ සා දීර්ඝ කාලයක් සඟ සසුන ආරක්‍ෂා වී ඇත්තේ එහි පදනම ඉතා ශක්තිමත් වීම නිසාය. සංඝ සමාජයේ පදනම විනය යි. බුද්ධ භාෂිතය අනුව විනය පවත්නා තුරු සංඝ සමාජය ද පවතින්නේ ය. “ විනයෝ නාම සාසනස්ස ආයු” (බුද්ධ ශාසනයෙහි ආයුෂ විනය යි) යන්නෙන් ඒ බව තහවුරු වේ.

විනය යනු ශික්‍ෂණය යි. එනම් හික්මීම යි. භික්‍ෂු ජීවිතයේ අරමුණු සහ අභිමතාර්ථ ඉතා ගැඹුරු වුව ද ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීමට පෙර භික්‍ෂුව ආයති සංවරයෙන් යුක්ත විය යුතුය. ආයති සංවරය චරිත පාරිශුද්ධියට ඉවහල් වන අතර චිත්ත පාරිශුද්ධියට හේතු වන්නේ චරිත පාරිශුද්ධිය යි. ඒ සඳහා ම නිර්දේශිත විනය ප්‍රඥප්ති මාලාවක් විනය පිටකයට අයත් භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂයෙහි දැක්වේ. සංඛ්‍යාවෙන් 220 ක් වන එකී විනය ප්‍රඥප්තිවලට අමතර ව, භික්‍ෂු ජීවිතය සංවර්ධනය කරගැනීම සඳහාත්, එහි අනන්‍යතාව තහවුරු කරු ගැනීම සඳහාත් අදාළ වන උපදේශ රාශියක්, දසධම්ම, සාමඤ්ඤ ඵල සබ්බාසව වැනි සූත්‍ර දේශනා සමූහයක අන්තර්ගතව තිබේ. ඒ අනුව, භික්‍ෂු ජීවිතයක් ගොඩනැගෙන්නේ ඊට ම අනන්‍ය වූ ශාසනික සම්ප්‍රදායක් මත බව පැහැදිලි වෙයි. එකී ශාසනික සම්ප්‍රදාය සකස් වී ඇත්තේ, විනය ප්‍රඥප්ති, ධර්මෝපදේශ සහ අනුශාසනා ඒකරාශී වීමෙනි.

බුද්ධ ශාසනය වසර 5000 ක් කල් නොනැසී පවත්නා බවට අදහසක් සමාජ ගත ව තිබේ. කෙබඳු මූලාශ්‍රයක් පදනම් කරගෙන එබඳු මතයක් නිර්මාණය වී ඇතිදැයි පැහැදිලි නැතත්, ත්‍රිපිටකයේ කොතැනකවත් එවැන්නක් සඳහන් වන්නේ නැත. කෙසේ වෙතත් වර්තමානයේ අපට දක්නට ලැබෙන සම්ප්‍රදාය විරෝධී භික්‍ෂු චර්යාවන් තවදුරටත් පැවතිය හොත් වසර 5000 ක් වත් බුද්ධ ශාසනය පවතීද යන සැකය ඇතිවීම සාධාරණය. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශාසන සම්ප්‍රදාය යනු කුමක්දැයි පැහැදිලි කරදී, එය ශාසනයේ පැවැත්මට කෙතරම් උපකාරී වන්නේ ද යන්න ධර්මානුකූල ව විමර්ශනය කිරීමට ය.

ශාසන ඉතිහාසය

ශාසන ඉතිහාසයට අනුව, සංඝ සමාජය බිහි වන්නේ බුදුරදුන්ගේ ප්‍රථම ධර්මදේශනයත් සමඟ යි. ඊට සවන් දුන් පස්වග තවුසන් අතරින් කොණ්ඩඤ්ඤ තවුසා ධර්මාවබෝධය ලැබීය. අනතුරුව ඒහි භික්‍ෂු භාවයෙන් බුදු සසුනෙහි පැවිද්ද ලබා ප්‍රථම බෞද්ධ භික්‍ෂුව බවට පත්විය. එතැන් සිට ක්‍රමයෙන් භික්‍ෂු පිරිස වර්ධනය වූ අතර භාරතයේ පමණක් නොව ලොව විවිධ දේශයන්හි ව්‍යාප්ත වන්නට විය. එදා මෙදා තුර සංඝ සමාජය සංඛ්‍යාත්මක වශයෙන් මෙතෙකැයි නිශ්චිත ව සඳහන් කළ නොහේ.

සංඛ්‍යත්මක වශයෙන් භික්‍ෂු පිරිස වැඩිවීම ඇතුළු විවිධ හේතු නිසා, සංඝ සමාජයේ පැවැත්ම සඳහා විනය ප්‍රඥප්ති පැනවීමට සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 20 ක් ඉක්ම යාමෙන් පසුව ය. එතෙක් පැවතියේ අවවාද කිරීමෙන් පමණක් භික්‍ෂූන් හික්මවීමේ සම්ප්‍රදායයි. ඕවාද පාතිමොක්ඛ නමින් හඳුන්වන්නේ එයයි. වරින් වර උද්ගත වූ තත්ත්වයන් අනුව විනය ප්‍රඥප්ති පැනවීම ආරම්භ වූ අතර ගණනින් 220 ක් දක්වා විනය නීති පැනවීමෙන් භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂය සකස් වී තිබේ.

භික්‍ෂු ජීවිතයේ යහ පැවැත්ම උදෙසා විනය ප්‍රඥප්ති අත්‍යවශ්‍යය. ඒවා සහ වෙනත් සූ‍්‍රත්‍ර දේශනාවන්හි දැක්වෙන ධර්මෝපදේශ පදනම් කරගෙන ශ්‍රමණ සාරුප්‍යය ආරක්‍ෂා කර ගැනීම සඳහා සකස් වූ “ වත්”” ක්‍රමයක් භික්‍ෂු ජීවිතය හා බැඳී පවතී. වත් නමින් හැඳීන්වෙන්නේ යහපත් චර්යාධර්ම සමූහයකි.

අභිමතාර්ථ

භික්‍ෂු ජීවිතයේ අභිමතාර්ථ සාධනය කළ හැක්කේ ශීලය ආරක්‍ෂා කිරීමෙනි. ඒ අනුව පැවිද්ද ලබන්නා සාමණේර අවදියේ දී දශ ශීලය ආරක්‍ෂා කළයුතු අතර උපසම්පදා වීමෙන් පසු උපසම්පදා ශීලය ආරක්‍ෂා කළ යුතුය. සාමණේර, උපසම්පදා දෙපිරිස වෙනුවෙන් එසේ වෙන් වෙන් වශයෙන් සිල් දක්වා ඇතත්, ඒ දෙපිරිසම පොදුවේ, සාමුහිකව ආරක්‍ෂා කළයුතු ප්‍රතිපත්ති සමූහයක් ද තිබේ. “වත්” නමින් හඳුන්වන්නේ ඒවාය. වත් සපුරන්නේ නැතිව ශීලය රක්‍ෂා කළ නොහේ. ශීලය රැකීමට මූලික වන්නේ වත් සපිරීමය. “ වත්තං න පරිපූරෙන්තෝ - සීලං න පරිපූරති “ (වත් නොපුරන විට සිල් සපිරෙන්නේ නැත ) යන්නෙන් ඒ බව තහවුරු වෙයි. ඒ අනුව පැවිද්දෙහි පදනම වන්නේ වත් සපිරීමය. ශාසන සම්ප්‍රදාය රැකෙන්නේ වත් සපිරීමෙනි.

භික්‍ෂුවක විසින් පිරිය යුතු වත් රාශියක් ධර්මයෙහි සඳහන් වෙයි. ආචරිය – උපජ්ඣාය වත, විහාර වත, ආගන්තුක වත, සද්ධි විහාරික වත, පොහොය කිරීම, කඨිනය, ධර්ම දේශනා, පිරිත් දේශනා, වෙනත් ආගමික කර්තව්‍යයන් ආදියෙහි දී අනුගමනය කළයුතු වත්, ආදී වශයෙන් ඒවා විවිධ වන්නේ ය. ඒ සියලුම වත් භික්‍ෂුවකගේ චරිත පාරිශුද්ධියට ඉවහල් වේ.

“අප්පසන්නානං වා පසන්නාය, පසන්නානං වා භියෝ භාවාය” (නොපැහැදුණවුන් පැහැදීමටත්, පැහැදුනවුන්ගේ පැහැදීම වැඩි දියුණු වීමටත්) යන්නෙන් පැවසෙන පරිදි ශ්‍රමණ සාරුප්‍යයත් භික්‍ෂු ජීවිතයේ පාරිශුද්ධිය හා අනන්‍යතාවත් තහවුරු වන්නේ ඒ වත් පිරීම තුළිනි.

සිල් පිරීමෙන් සංසාර විමුක්තියට

වත් පිරීම සිල් පිරීමටත්, සිල් පිරීම සංසාර විමුක්තියටත් හේතුවන්නේ ඒ අනුව ය.

“න මුණ්ඩකේන සමණෝ” යන්නෙන් පැහැදිලි කෙරෙන ආකාරයට යමෙක් හිස මුඩු කළ පමණින් හෝ කසාවතක් දැරූ පමණින් හෝ භික්‍ෂුවක් වන්නේ නැත. එබඳු තැනැත්තා චීවරධාරියකු පමණි. බුදු දහම අපේක්‍ෂා කරන්නේ චීවරධාරීන් තැනීම නොව භික්‍ෂූන් තැනීම ය. ඒ අනුව භික්‍ෂුව ශාසනික සම්ප්‍රදාය රකින, ප්‍රතිපත්ති ගරුක, තුන් දොර සංවර කරගත් පරමාදර්ශි තැනැත්තකු විය යුතුය. වෙනත් ශ්‍රමණ වේෂධාරීන් අතරින් ඔහු හඳුනාගත හැකිය. ඒ ශ්‍රමණ සාරුප්‍යය තුළිනි. දස ධම්ම සූත්‍රය, ශ්‍රමණ සාරුප්‍යය හඳුන්වා දෙන සූත්‍ර දේශනයකි. “ දස ඉමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛි තබ්බං “ (ගිහි ගෙය හැර පැවිදි වන්නහු නිතර සිහිපත් කළයුතු කරුණු 10 කි ) මේ කරුණු අනුව පැවිදි ජීවිතය හැඩගස්වා ගත යුතුය. එසේ වූ විට එම පැවිද්දා ගිහියන්ගෙන් මෙන් ම වෙනත් ප්‍රවෘජිත කණ්ඩායම් වලින් ද වෙන් කර හඳුනාගත හැකිය. බෞද්ධ භික්‍ෂුවගේ අනන්‍යතාව ද එය යි.

සන්තකායෝ සන්තවාචෝ
සන්තවා සුසමාහිතෝ
වන්න ලෝකාමිසා භික්ඛු
උපසන්තෝ ගි වුච්චති

හික්මවන ලද සිත – කය – වචනය යන තුන් දොර ඇත්තාවූ ද බැහැර කරන ලද කම්සුව ඇත්තාවූ ද තැනැත්තා භික්‍ෂුව නම් වන්නේය )

සබ්බසෝ නාම රූපස්මිං - යස්ස නත්ථි මමායිතං
අසතා ච න සෝචේති - ස වේ භික්ඛූති වුච්චති

(නාම – රූප වශයෙන් සැලකෙන පංචස්කන්ධයෙහි මමය මාගේය යන ඇල්මක් නැති, යමක් නැති වූ කල්හි ඒ පිළිබඳ ශෝක නොකරන තැනැත්තා භික්‍ෂුව නම් වේ )

මේ දේශනා පාඨවලින් භික්‍ෂුව යනු කෙබඳු අයකුදැයි පැහැදිලි කෙරේ. ඒ අනුව, භික්‍ෂුව යනු කිසිඳු භෞතික වස්තුවක් කෙරෙහි ආශාවක් නැති, අට ලෝ දහමෙහි කම්පා නොවන, ලද දෙයින් සතුටුවන, ප්‍රතිපත්ති ගරුක, සංසාර විමුක්තිය අපේක්‍ෂා කරමින් ඒ සඳහා ධෛර්ය සම්පන්න ව වීර්ය කරන, සන්සුන් ඉන්ද්‍රියයන් ඇති, ප්‍රසන්න වූ සරල පුද්ගලයෙකි. ඛග්ග ෂසාණ සූත්‍රයෙහි දැක්වෙන පරිදි ඔහු සියලු බාධක ජය ගනිමින් නොපසුබට ව ඉදිරියට යන කඟවේණකු වැන්න” ඒකෝ ඔරේ ඛග්ග විසාණ කප්පෝ” භික්‍ෂුව පියාපත් බර පමණක් ඇති ව සැරිසරණ පක්‍ෂියකු වැන්න. එබඳු භික්‍ෂු ජීවිතයක කූට ප්‍රාප්තිය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරමින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන, සතර මග සතර ඵල ලබා නිර්වාණාවබෝධය ලැබීමය. එය ඉතා දුෂ්කරවුත් දිර්ඝ ව්‍යායාමයකින් ළඟා කරගතයුතු වූත්, ලෝකෝත්තර අධිගමයකි.

පියාපත් බර

වර්තමාන සමාජයේ එබඳු මාර්ග ඵල ලාභීන් ඇතැයි හෝ නැතැයි අපට කිව නොහැකිය. එය බුද්ධි විෂය ඉක්මවා යන විෂය ක්ෂේත්‍රයකි. එහෙත්, ඒ මග අනුගමනය කරන භික්‍ෂූහු සිටිති. අද පැවිදි බිමට පත්වන නවක සාමණේර භික්‍ෂුව පවා නිර්වාණගාමී ප්‍රතිපදාවට මුල් පියවර තබන බීජාංකුරයෙකු වන්නේ ඒ අනුව ය.

භික්‍ෂු ජීවිතය ආරම්භ වන්නේ “ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ “ (සියලු දුක් නැති කර නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සිවුර දී මා පැවිදි කරවනු මැනවි ) යන ඉල්ලීම අනුව කාෂාය වස්ත්‍රයක් හැඳ පෙරවීමෙනි. සාමණේර අවදිය පසුකොට දතයුතු බණ දහම් උගෙන උපසම්පදාව ලැබීමෙන් භික්‍ෂුත්වය සම්පූර්ණ වෙයි. සාමණේර භූ®මියේ සිට, අපවත්වීම දක්වා ම භික්‍ෂු ජීවිතය හා බැඳුණු ශාසන සම්ප්‍රදායක් තිබේ. ඒවා එකින් එක විස්තර කිරීම මෙබඳු ලිපියකින් කළ හැකි නොවේ. භික්‍ෂුවක විසින් ඒ සියල්ල දතයුතුය. ඒවා ජීවිතයට සම්බන්ධ කර ගත යුතුය. ශාසන සම්ප්‍රදාය රැකෙන්නේ එවිට ය.

පස් බුරුල් වී තණ පඳුර ගැලවේ

අතීතයේ විසූ ශික්‍ෂාකාමී භික්‍ෂූන් වහන්සේලා ජීවිතය පරදුවට තබා ඉතා සුලු විනය ශික්‍ෂාපද පවා ආරක්‍ෂා කළහ. සුපේශල ශික්‍ෂාකාමී එක් භික්‍ෂුවක් සැඩ පහරකට හසුවී ගසාගෙන යන්නට විය. එබඳු අවස්ථාවක දී ඕනෑ ම අයකු කරන්නේ අතට හසුවන ඕනෑම දෙයක් තරයේ අල්ලා ගැනීම ය. අර භික්‍ෂුව අල්ලා ගත්තේ ගං ඉවුරෙහි වූ තණ පඳුරකි. පස බුරුල් වී තිබීම නිසා තණ පඳුර ගැලවී එන බව දුටු උන්වහන්සේ වහාම තණ පඳුර අත් හැරියේ ය. මක්නිසාද යත් උපසම්පන්න භික්‍ෂුවක් පණ ඇති තණ පඳුරක් ගැලවීමෙන් පාචිත්තිය ඇවතකට පත්වන බැවිනි. විනයානුකූලව එය ඉතා ම සුලු වරදක් වුණත්, තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට හෝ එබඳු වරදක් කිරීමට පවා උන්වහන්සේ අකැමැති වූහ. ඒ එදා ය. ශාසන ඉතිහාසය පරීක්‍ෂා කිරීමේ දී එබඳු සිදුවීම් ඕනෑ තරම් හමුවෙයි.

ශාසන සම්ප්‍රදාය

භික්‍ෂු විනය ප්‍රඥප්ති දෙස බලන විට, ලෝක සම්මත නීතිය අනුව වරදක් වන කරුණු ඇත්තේ එකක් පමණි. ඒ මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම සම්බන්ධ පාරාජිකා පන්තිය යි. ඉතා සුලු නඩු නිමිති වශයෙන් සැලකිය හැකි අනුන්ට අපහාස නින්දා කිරීම සම්බන්ධ ශික්‍ෂාපද දෙකක් නිස්සග්ගිය පාචිත්තිය අතර වෙයි. ඒ හැරුණු විට ඉතිරි ශික්‍ෂා පද 217 ම වැරදි වන්නේ ආගමික පැත්තෙන් පමණි. ඒවා ආගම වජ්ජ වැරදි ලෙස දැක්විය හැකිය. එහෙත් ඒ සියල්ල ශාසන සම්ප්‍රදාය අතින් ඉතා වැදගත් වෙයි. එම නිසා ම භික්‍ෂුව ඒවා ආරක්‍ෂා කළ යුතුය. ගිහි ජීවිතය පැත්තෙන් බැලුවහොත් ඒ සියල්ල සදාචාරාත්මක බව හා බැඳුණු සදුපදේශයන් පමණි. විශේෂයෙන් ම පාචිත්තිය, සේඛියා වැනි ශික්‍ෂා පද ඉතා සරල චර්යා සම්මුතීන්ය. ඒවා ගණනින් 167 කි. ඒ සියල්ල ශාසන සම්ප්‍රදායට අත්‍යවශ්‍යය.

බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයෙහි සිටිය දී අවශ්‍ය නම් ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙනස් කර ගන්නැයි ආනන්ද හිමියන්ට පැවසූ බව සඳහන් ය. එහෙත් ඛුද්දානුඛුද්ධක ශික්‍ෂා පද කවරේද යන්න පසු කාලයේ දී භික්‍ෂූන් වහන්සේලාගේ විවාදයට හේතු විය. ඒ අනුව ඉතිරි කරගත යුතු ශික්‍ෂාපද මොනවාද ? බැහැර කළයුතු ශික්‍ෂාපද මොනවාද යන්න පිළිබඳ තීරණයකට එළැඹීමට නොහැකි වූ නිසා, සියලුම ශික්‍ෂා පද බුද්ධ භාෂිතය පරිදිම අනුගමනය කිරීමට භික්‍ෂූන් වහන්සේලා තීරණය කළහ. එය අනවශ්‍ය අර්බුද හට ගැනීම වැළැක්වීමේ යහපත් පියවරකි.

විනය ප්‍රඥප්ති

බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකදීම විශේෂ සැලකිල්ලක් දැක්වූයේ ජනතා ප්‍රතිචාරවලට ය. සමහර විනය ශික්‍ෂාපද පැනවීමට හේතුවූයේ ද ජනතා ප්‍රතිචාරයි. උදාහරණයක් වශයෙන්, බමුණු පූජකයන්ගේ ආහාර අනුභව කිරීමේ බොහෝ පුරුදු ජනතා අප්‍රසාදයට තුඩු දී තිබිණ. අශෝභන ශබ්ද නැගෙන සේ ආහාර අනුභව කිරීම, අනුභවයේ දී දිව දික් කිරීම, අත සහ ඇඟිලි ලෙව කෑම, අසංවර ඉරියව් ප්‍රදර්ශනය කරමින් අනුභවය ආදිය ඉන් සමහරකි. ඒවා ශිෂ්ට සම්මත සමාජය පිළිකුල් කරන ඒවාය. එබඳු චර්යාවලින් වැලකීම සඳහා සේබියා නමින් විනය ප්‍රඥප්ති පැනැවූයේ එබැවිනි.

වැසි උදාවූ විට එතෙක් වියැලී පැවැති තෘණ වර්ග යළි දළු ලන්නට වෙයි. කුඩා ප්‍රාණීහු දහස් ගණනින් තෙත් පොළොවෙහි හට ගන්නට වෙයි. මඩ සහිත පොළොවේ ඇවිදින විට ඇඳුම් අපවිත්‍ර වීම ද වැඩිය. එය අප්‍රසන්න දර්ශනයකි.මේ නිසා ඉන්දියාවේ බොහෝ ආගමික පූජකයෝ වැසි සමයේ දී තම ආශ්‍රමවලට වි සිටියහ. ඉන් වැඩි පිරිසක් උග්‍ර අවිහිංසාවාදීහු ද වූහ. එහෙත් ජනතාව ඒ රටාවට අනුගතව සිටි නිසා වර්ෂාව පිළිබඳ තැකීමක් නොමැති ව ධර්ම දූත ව්‍යාපාරයේ යෙදුණු භික්‍ෂූන් පිළිබඳව දෝෂාරෝපණයක් හට ගත්තේය. විවේචන එල්ල වන්නට වූයේය. විවේචනවලට පිළිතුරු දීම වෙනුවට බුදු රදුන් කළේ භික්‍ෂුන්ට ද වස්සාන සමය තුළ ආරාමවලට වී වස් එළැඹෙන්නට නියම කිරීම ය. එසේ කළේ ජනතා මතයට ඇහුම් කන් දීමක් වශයෙනි. ඉන් අපට පෙනි යන්නේ බුදුරජාණන් වහන්සේ ජනතා අපවාදය පිළිබඳ ව දැඩි ලෙස සැලකිලිමත් වූ බවය.

විනය ප්‍රඥප්ති, වත් පිරීම, ශ්‍රමණ සම්ප්‍රදාය, ශ්‍රමණ සාරුප්‍යය ආදී මේ සියල්ල ජනතා අපවාදයෙන් මිදීම සඳහා සම්මත වූ චර්යා රටාවන් ය. ඒවා චරිත පාරිසුද්ධියටත්, චිත්ත පාරිසුද්ධියටත් ඉවහල් වන බවද සැබෑය. එහෙත් මූලික අරමුණ ශ්‍රමණ සාරුප්‍යයයි.

එනම් මහණ කමට ගැලපෙන සංවර බව තහවුරු කිරීමයි.

මේ කරුණ සිහියේ තබාගෙන අපේ රටේ වර්තමාන සංඝ සමාජය දෙස බලන විට අපට දක්නට ලැබෙන තත්ත්වය සතුටුදායක නොවේ. බොහෝ දුරට තරුණ භික්‍ෂූන් වහන්සේලාත්, වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලාත් ශ්‍රමණ සාරුප්‍යයෙන් දුරස් වී සිටිනු පෙනේ. වත් පිළිවෙත් පිළිබඳ අවධානයක් නැතිවීම ඊට හේතුවී ඇත.

විනය කර්ම, විනය ප්‍රඥප්ති, භික්‍ෂු ජීවිතයක අනිවාර්යයෙන්ම තිබිය යුතු වත් සහ ඒ සියල්ලෙන් නිරූපනය වන ශාසන සම්ප්‍රදාය ගිලිහී යමින් තිබේ. සමහරු තම තමන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් අනුව වෙනත් න්‍යාය පත්‍ර අනුව කටයුතු කරති. සමහරු විනය ප්‍රඥප්ති ඕලාරික ලෙස උල්ලංඝනය කරති. තවත් සමහර ශාසන සම්ප්‍රදාය නොතකා සීමාව ඉක්මවා ප්‍රගතිශීලී වන්නට තැත් කරති. විනය විරෝධීව හැසිරෙන පිරිස් ද ඒ අතර සිටිති. මේවා අප කථා කරන්නේ ඊර්ෂ්‍යාවකින් හෝ වෛරයකින් නොව ශාසනස්ථිති කාමී සද්භාවයෙනි. මෙහිලා අංශු මාත්‍රයකින්වත් අත්තුක්කංසනයක් හෝ පරවම්භනයක් හෝ නැති බව අවධාරණය කරනු කැමැත්තෙමි.

විහාර වත

විහාරස්ථාන බොහොමයක අද විහාර වත සිදු නොවේ. ආචරිය – උපජ්ඣාය වත පිළිබඳ තැකීමක් නැති තරම් ය. පුරාණයේ දී නවක භික්‍ෂූන් හික්මවීමේ කාර්ය භාරය පැවරී තිබුණේ ආචාර්ය – උපාධ්‍යායයන් වහන්සේලාටය. අද ඒ තත්ත්වය දකින්නට ලැබෙන්නේ අතලොස්සක් විහාරස්ථානවල පමණි. ග්‍රාමීය විහාරස්ථානවල ඒ ශාසන සම්ප්‍රදායයන් යම් තරමකට හෝ රැකී ඇතත්, ඇතැම් නාගරික විහාරස්ථාන බොහොමයක් තත්ත්වය ඛේදජනකය. නවක භික්‍ෂූන් වහන්සේලාට ශාසන සම්ප්‍රදයා කියා දෙන, ඒ පිළිබඳව අවධානය යොමු කරන ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලා දුර්ලභය. නවක භික්‍ෂූහු ස්වේරිචාරීව හැසිරෙති. ඔවුනට මාර්ගෝපදේශ දිය යුතු වගකිවයුත්තෝ තම තමන්ගේ වෙනත් කාර්යයන්හි නිරතව සිටිති.

දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පැවැති සම්භාව්‍ය ආරාම අධ්‍යාපන ක්‍රමය තුළ නවක භික්‍ෂූන්ට ධර්මදේශනා පැවැත්වීම, පිරිත් දෙසීම, මහජන සම්බන්ධතා, විනය කර්ම හා ශාසන සම්ප්‍රදාය පිළිබඳ ගුණාත්මක පුහුණුවක් ලබා දීමේ වැඩ පිළිවෙලක් තිබිණ. විෂය දැනුම, සමයාන්තර ඤාණය සහ චරිත සංවර්ධනයට අදාළ කරුණු විෂය මාලාවට ඇතුළත් ව තිබිණ. වසර දහස් ගණනක් සංඝ සමාජය පැවැතියේ ඒ අනුව ය.

වර්තමානයේ, ධර්ම දේශනා කිරීම පවා ශාසන සම්ප්‍රදායට පටහැනිව කරනු පෙනේ. සාමාන්‍යයෙන් ධර්ම දේශනා කිරීමේ රටාව වන්නේ පිළිවෙලින්, නමස්කාරය දේවාරාධනය, මාතෘකා පාඨය, ධර්මාවවාදය, ධර්ම දේශනය සහ දෙවියන්ට පින්දීමෙන් ධර්ම දේශනය අවසන් කිරීමය. එහිදී දේශකයා වටාපතකින් මුහුණ මඳක් ආවරණය කර ගනී. එය දේශකයාගේ මානසික ඒකාග්‍රතාවයටත්, ශ්‍රාවකයාගේ ගෞරව සම්ප්‍රයුක්ත අවධානයටත් ඉවහල් වෙයි.

අද සමහර දේශකයන් අත වටාපතක් පවා නැත. උන්වහන්සේලා අත්, හිස්, ඇස් උපයෝගී කර ගෙන විවිධ අභිනයන් දක්වමින් බණ කථා කරති. සිනාසෙති. සමහරවිට උසුළු විසුළු ද කරති. සමහරුන් ඒ බණ කථා හඳුන්වන්නේ කාලීන ධර්ම දේශනා නමිනි. බුදු දහම අකාලික දහමක් බව ඔවුනට අමතකව ඇත්තා සේ ය.

ඇතැම් විහාරස්ථානවල ධර්ම දේශනා සඳහා පිටතින් වැඩම කරන සමහර දේශකයන් වහන්සේලා ධර්ම දේශනය සඳහා සෘජුව ම එන්නේ ධර්මශාලාවට ය. විහාරස්ථානයේ වැඩ වෙසෙන වයෝවෘද්ධ, ගුණාවෘද්ධ විහාරාධිපතීන් වහන්සේ සමග සමහරවිට කථාබහක් හෝ නැත. උන් වහන්සේලා ආගන්තුක වතක් නොදන්නා සේය. එවැන්නන් තුළ ඇත්තේ අත්තුක්කංසන මානසිකත්වයකි. එය ශාසන සම්ප්‍රදාය නොවේ.

පිරිත් දේශනා කිරීම යනු පිරිත් පොත බලා ගෙන කියවාගෙන යාම හෝ ගායනය කිරීම නොවේ. පැරණි ආරාම අධ්‍යාපන ක්‍රමය තුළ සාමණේර අවදියේ සිටම පිරිත් දේශනා කිරීම ප්‍රගුණ කරවූයේ එබැවිනි.

පද බෙදීම, උච්චාරණය, හඬ පාලනය, ශෛලිය, විරාම ලක්‍ෂණ ආදිය පිළිබඳ පරිචයක් එහිදි ලබා දෙන ලදී. “ විචිත්‍ර භාණකයන්” බිහිවූයේ ඒ මගිනි. අද ඒ තත්ත්වය විපරීතව තිබේ. පිරිත් දේශනාවල දී බොහෝවිට වැරදි උච්චාරණ, අනවශ්‍ය ඝෝෂාකාරී ස්වභාවය, අපිළිවෙල හා අනුචිත ගායනා ශෛලීන් පවා අද අපට අසන්නට ලැබේ. බෞද්ධයෝ කරන්නන් වාලේ හෝ පුරුද්දට පිරිත් කියවති. භික්‍ෂූන් වහන්සේලා ඔහේ පිරිත් කියති. ගිහියන් තබා පැවිද්දන්වත් ශාසන සම්ප්‍රදාය පිළිබඳ තැකීමක් නොකරනු පෙනේ.

උපෝසථ කර්මය

ශාසන සම්ප්‍රදාය තුළ ඉතා වැදගත් චාරිත්‍රයක් නම් “ උපෝසථ කර්මය “ යි. සෑම පුර පසළොස්වක් පොහොය දිනයකම උපසම්පන් භික්‍ෂූන් ඒකරාශීව ඇවැත් දෙසීම් ආදී චරිත පාරිශුද්ධියට අදාළ විනය කර්මවල යෙදීම එහිදී සිදුවෙයි. මේ සම්බන්ධයෙන් වර්තමාන භික්‍ෂූන් වහන්සේලා උනන්දුවක් නොදක්වන තරම් ය. ග්‍රාමීය සහ පිටිසර පළාත්වල ඉතා දුර්ලභ වශයෙන් හෝ සිදුවෙතත්, නාගරික පරිසරවල තත්වය නම් සමහර භික්‍ෂූන් වහන්සේලා පවා ඒ පිළිබඳ ව දැනුමක් හෝ නොමැති තත්ත්වයට පත්ව ඇති බවය. එබඳු විනය කර්මවලදී භාවිත කරන පාලි පාඨ තබා එහිදී යොදන පාරිභාෂික යෙදුම් පවා සමහර භික්‍ෂූහ නොදනිති.

කඨින පූජාව යනු උපසම්පන්න භික්‍ෂූන් වෙසෙන විහාරස්ථානයක වසරකට වරක් පමණක් පැවැත්වෙන අභිමානවත්, දුර්ලභ පින් කමකි. එසේම වැදගත් විනය කර්මයකි. අතීතයේදි ඒ හා බැඳුණු සම්ප්‍රදායයන් රාශියක් විය. කඨින චීවරය සඳහා පුදන රෙදි කඩ මහත් ගෞරවයෙන් ගම පුරා පෙරහරින් වැඩම කරන්නේ රාත්‍රී කාලයේ දී ය. ( ඇතැම් පළාත්වල එය රැගෙන ගියේ මෝල් ගසක එතීමෙනි.) එම රෙදි කඩ විහාරස්ථානයට රැගෙන එන්නේ අලුයම් කාලයේ දී ය. සඟ සතු කර පූජා කරන්නේ හීල දානය අවස්ථාවේ දී ය. එසේ ලැබෙන රෙදි කඩ සිවුරක සම්මත ස්වරූපයෙන් කපා, මසා, වර්ණ ගන්වා සකස් කරන්නේ ගිහි – පැවිදි දෙපිරිසේ ම උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි. එදින ම සවස් භාගයේ කඨින චීවරය පිළිබඳ විනය කර්ම සිදු කෙරේ. රාත්‍රී කාලයේ දී එම චීවරයෙන් සැරසුණු භික්‍ෂුව විසින් පවත්වනු ලබන කඨිනානිශංස ධර්ම දේශනයෙන් කඨින පූජාව නිමාවට පත්වන්නේ ය. පුදන්නාට මෙන් ම ලබන්නාටත් ආනිශංස ලැබෙන මේ උදාර පූජාව එසේ නිමවුවද, එම චීවරය ලත් භික්‍ෂුවට තවත් දින කීපයක් කඨින චීවරය සම්බන්ධ ඇවතුම් පැවතුම් රාශියක් තිබේ. මේ කරුණු වර්තමාන සමාජයේ දායකයන් තබා ප්‍රතිග්‍රාහකයන් ද දන්නේදැයි නොදනිමු. මෙසේ ගිලිහෙන්නේ ශාසන සම්ප්‍රදාය යි.

ඉතිහාසයේ යම් යම් කාලවල දී ශාසන පරිහානි තත්ත්වයන් උද්ගතවී තිබේ. ඒ හැම අවස්ථාවක දී ම සිදුවි ඇත්තේ භික්‍ෂු විනය පිරිහීමයි. ශ්‍රමණ සාරුප්‍යය, ශාසන සම්ප්‍රදාය පිරිහිම යි. ඒ හැම අවස්ථාවකම ශාසන මාමක ගිහි – පැවිදි උතුමෝ කතිකාවත් මගින් වැරදි නිවැරදි කරගත්හ. ඊට රාජකීය අනුග්‍රහය ද නොමඳව ලැබී තිබේ.

බටහිර ආක්‍රමණ

වර්තමාන ශාසන පරිහානිය ආරම්භ වන්නේ බටහිර ආක්‍රමණිකයන්ගේ දුෂ්ට ක්‍රියා කලාපයෙහි ප්‍රතිඵල ලෙසිනි. මිථ්‍යා දෘෂ්ටිකයන් වූ ඔවුහු බුදු සසුන විනාශ කරන්නට බොහෝ දේ කළහ.

දේශප්‍රේමී සිංහල ව්‍යාපාර හරහා ආක්‍රමණිකයන්ගෙන් රට දැය සමය මුදා ගත්ත ද නිදහස ලැබීමෙන් පසු මේ රටේ බලයට පත්වූවන් ද සිදුවූ වැරදි නිවැරදි කරන්නට උනන්දු වූ බවක් නොපෙනේ.

ඒ නිසා මේ පිළිබඳව ශාසන භාරධාරී මහ තෙරුන් වහන්සේලා පෙරමුණ ගතයුතුව තිබේ.

බුද්ධ කාලයේ සිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි ශාසන භාරධාරීහු බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට පියවර ගත්හ.

පසු කාලයේ දී ඒ ඒ යුගවල සිටි මහ තෙරුන් වහන්සේලා පෙරමුණ ගෙන ශාසනයේ උන්නතිය සඳහා ක්‍රියා කළහ. වර්තමානයේ ද විවිධ තරාතිරමේ ශාසන භාරධාරී තෙරුන් වහන්සේලා සිටිති.

මෑත දිනක එක්තරා සැදැහැති ප්‍රභූවරයෙක් මා හමුවන්නට පැමිණ කථා කළේ වර්තමාන භික්‍ෂු සමාජයේ දුර්වලකම් පිළිබඳවය. ශාසනික වත් පිළිවෙත් නොතැකීමෙන් නොදැනීමෙන් හා දැන දැනත් නොසලකා හැරීමෙන් සිදුවී ඇති ශාසනික හානිය පිළිබඳ වය. එහිදී එතුමා කළ ප්‍රකාශයක් මට හොඳින් මතකය. “හාමුදුරුවනේ අද අපේ හාමුදුරුවරු හරි දියුණුයි. උගත් බොහෝම දක්‍ෂතාත් තියෙනව. ඒක නරක නෑ. හුඟක් හාමුදුරුවරු මහණකම හැර අනික් හැමදේම දැන් කරනවා “

අපේ සමාජයේ සිදුවන බොහෝ දේවල් දෙස බලන විට පෙනෙන්නේ ද තමන්ට අදාළ කාර්යය හැර අන් බොහෝ දේ කරන්නවුන් ය. ඒ තත්ත්වය තුළ, මහණකම හැර වෙනත් හැම දෙයක් ම කරන හාමුදුරුවන් බිහිවීම එක් අතකින් අරුමයක් නොවුවද උතුම් බුදධ ශාසනය පැත්තෙන් බලන විට නම් එය සතුටුදායක තත්ත්වයක් නොවේ.

වගකීම

භික්‍ෂූන් වහන්සේලා ද පෘථග්ජන සත්වයෝ වෙති. උන්වහන්සේලා අතින් වැරදි සිදුවේ. එසේ සිදුවීම ස්වභාවිකය. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ඇතුළු ශාසන භාරධාරීන්ගේ වගකීම වන්නේ ඒ වැරදි නිවැරදි කර ගැනීමට උපදෙස් දීම ය.

සඟ සසුනේ පැවැත්මට සමගිය අත්‍යවශ්‍යය. “සුඛාසංඝස්ස සාමග්ගී” ( සංඝයාගේ සමගිය යහපත්ය) යන බුදු වදනින් ඒ බව තහවුරු වෙයි. සංඝයා අතර සමගිය නොමැති වූ විට සසුන පිරිහේ. ශාසන සම්ප්‍රදාය රැකෙන විට සංඝ සමගිය ද සුරැකෙයි. නිකාය, පාර්ග්ව, කුල, පක්‍ෂ ආදී වශයෙන් බෙදීයාමෙන් සංඝ සමගිය පළුදුවනවා පමණක් නොව ශාසන පරිහානිය ද සිදුවෙයි.

ලෝකය වෙනස් වෙයි. ඒ අනුව සමාජය ද වෙනස් වෙයි. වෙනස් වන සමාජයට අනුගත වන සේ ශාසනය ද වෙනස් වීමේ වරදක් නැත. එහෙත් ලෞකික අපේක්‍ෂාවන් පදනම් කරගත් සමාජය වෙනස් වන අකාරයට ලෝකෝත්තර අපේක්‍ෂාවන් පදනම් කරගත් සංඝ සමාජය වෙනස් විය යුත්තේ ශාසන සම්ප්‍රදායට හානියක් නොවන අන්දමිනි. ශාසන සම්ප්‍රදාය යනු වත් පිළිවෙත් පිරීමයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.