සිරිමිත්ත මහ රහතන් වහන්සේගේ ථෙර ගාථා -2
සුව පහසු සිතකින්
වාසය කිරීමට නම්
නාවලපිටියේ
අරියවංශ හිමි
සිරිමිත්ත මහරහතන් වහන්සේගේ ථෙර ගාථාවල අපට කියාදෙනවා. ක්‍රෝධය නැතිව,
වෛර කරන්නේ නැතිව, කේලාම් කියන්නේ, නැතිව, කල්‍යාණ මිත්‍රයන් සමඟ ඉන්ට
කියල, කල්‍යාණ මිත්‍රයන් සමඟ වාසය කළොත්, අන්න ඒ අයට පරලොවදී ශෝක කරන්ට
දෙයක් නෑ කියල අපට කියාදෙනවා.
ඊළඟට කියාදෙව, “ක්‍රෝධ නැති වෛර නැති, මායා නැති,කේලාම් නැති ඒ
භික්‍ෂුව යහපත් ප්‍රඥාවකින් නම් ඉන්නෙ ඇත්තෙන්ම එයාට පරලොව ශෝකකරන්ට
දෙයක් නෑ කියල. එවිට යහපත් ප්‍රඥාව කියල කියන්නෙ මොකක්ද? ආර්ය සත්‍යය
ගැන තියෙන වැටහීමටයි යහපත් ප්‍රඥාව කියල කියන්නේ. ඒ යහපත් ප්‍රඥාව
උපදින්නෙ කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් . කල්‍යාණ මිත්‍ර ඇසුරේ හිටියොත්,
ආර්ය සත්‍යය ගැන නුවණ උපදවාගන්ට පුළුවන්.
ඊළඟට අපට කියාදෙනව, එයා තුළ තියෙනවා නම් තථාගත බුදු සමිඳාණන් ගැන
කාටවත් නොසෙල්වෙන පැහැදීමක්. ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කළ යහපත්
ආර්යකාන්ත සීලයක්, ආර්ය සංඝයා කෙරෙහි බලවත් පැහැදීමක්. ඒ වාගේම ඍජුවම
පවතින අවබෝධ ඤාණයක්. එයා දිළින්දෙක් නම් නොවේ. එයාට තියෙන්නේ හිස්
ජීවිතයක් නොවේ. එම නිසා බුද්ධිමත් කෙනා ශ්‍රද්ධාවයි. සීලයයි, අචල
ප්‍රසාදයයි ඇතිකරගෙන, පැහැදිලි ධර්මාවබෝධයක් ඇතිකරගෙනයි ධර්මයේ හැසිරිය
යුත්තේම කියල. බලන්න එවිට අපට සිරිමිත්ත මහරහතන් වහන්සේ කියාදෙන්නේ
බුද්ධිමත් කෙනා ධර්මයේ හැසිරිය යුත්තේ, ශ්‍රද්ධාව සීලය, අචල ප්‍රසාදය
සහ පැහැදිලි ධර්මාවබෝධයක් ඇතිකරගෙන කියලයි.
අපට මේ කියාදෙන කාරණා නිවන් මඟට එක එල්ලේම උපකාරයක් වෙනවාද නැද්ද?
නිවන් මඟට එක එල්ලේම උපකාරයක් වෙනවා.අපේ අවබෝධය වැටහීම පිරිසුදුකරල
දෙනවද නැද්ද? පිරිසුදුකරල දෙනවා. අපට මේවායින් නිරවුල් බවක් ඇතිකරල
දෙනව නේද? ඒ වගේම නොදන්නා දේවල් ගොඩක් අපට කියාදෙනව. ඒ නිසා ථෙර ගාථා
කියවන කොට, ඒවා සරල දේවල් විදිහට සලකල අතහරින්ට එපා. එහෙම නැත්නම්
ඒවායේ මතුපිටින් පෙනෙන දෙයක් හරය විදියට ගන්ටත් එපා. ඒවායේ එක එල්ලේම
නිවන අවබෝධ කරගැනීමට උපකාරවන ධර්මයන් පෙන්වා දෙනව. ඒනිසා අප ඒ ධර්මයන්
කියවල, ඒවා අපේ ජීවිත දියුණූකරගන්ට ලැබෙන උතුම් අවවාද විදියට. ආදර්ශ
විදිහට පිළිගෙන ඒවා පිළිපදින්ට අප තුළ බලවත් කැමැත්තක් උපදවාගන්ට ඕනෑ.
එහෙම වුණොත් අපට මේ ලැබුණ ලාභය බලවත් කරගන්ට පුළුවන්කමක් තියෙනවා.
එතකොට මේ ථෙර ගාථා තුළ ආර්ය සත්‍යය සම්පූර්ණයෙන්ම කියා දී තියෙනව කියල
ඔබලාට තේරෙනව නේද? නිවන් මඟ විස්තර කරල පෙන්වනව. එහෙනම් මේ ථේර ගාථා
පරිශීලනය කිරීම, අපේ ජීවිතයේ දියුණුවට කොපමණ උපකාරයක් වෙනවද කියල
තේරුම්ගන්ට ඕන.
අප ඒ රහතන් වහන්සේලා විඳින අප්‍රමාණ සුවපත් බව ගැන කියාදෙන කරුණු ඉගෙන
ගෙන එබඳු සුවපත්භාවයක් අත්විඳින්ට කැමැතිවෙන්ට ඕනෑ. ඒ සුවපත්භාවය
ඇතිකරගැනීම පිණිස උන්වහන්සේලා කරපු අප්‍රමාණ කැපකිරීම කරන්ටත් අප
කැමැතිවෙන්ට ඕනෑ. ඒ කැපකිරීම කළොත් අපටත් පුළුවන්කම ලැබෙනවා ඒ
සුවපත්භාවය විඳින්ට. දැන් බලන්න ඒ කැපකිරීම මොකක්ද? කියල.ඒ තමා ක්‍රෝධ
කරන්නෙ නැතුව. වෛර කරන්නෙ නැතුව, මායා පෙන්වන්නෙ නැතුව. කේලාම් කියන්නෙ
නැතුව. ඒ වගේ යහපත් ගුණධර්ම සහිතව සීලය හොඳින් පුරුදුකර ගැනීම කල්‍යාණ
මිත්‍රයන් ඇසුරේ වාසයකිරීම, ප්‍රඥාව දියුණු කරගැනීම, ඒ වාගේම ඉන්ද්‍රිය
සංවරය ඇතුව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් පැහැදීම ඇති කරගෙන, ආර්ය
කාන්ත සීලයෙන් යුක්තව. ඒ සඟ රුවන කෙරෙහි බලවත් පැහැදීමකින් යුක්තව වාසය
කිරීම. එවිට යම් කෙනෙක් ඒ විදියට තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය
ඇතිකරගෙන, හොඳින් ධර්මය ඉගෙනගෙන තමයි ධර්මයේ හැසිරිය යුත්තේ. එයාට ඒ
අසහාය මුණිවරු යම් සුවපහසු සිතකින් වාසය කළා නම් අන්න ඒ වගේම සුවපහසු
සිතකින් වාසය කිරීමේ භාග්‍යය උදාවෙනවා.
|