පූජනීය
මව්
සෙනෙහස
අපි ඇයට ණය ගැති වෙමු
එය ගෙවිය යුතු වෙමු
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
මව අප බිහිකිරීම තුළින්
ඇය දැක්වූ පරිත්‍යාගයට
ප්‍රතිඋපකාර ලෙස, ණයගෙවීම පිණිස, ක්‍රියාකරන අප
ඇය වෙනුවෙන් තෙරුවන්ට, ජාතියට, ගෞරව කළ යුතුය. එසේ නොකරන දරුවන්
මවගේ යෞවනය කපා දැමූ පොරොව මෙන් සැලකේ
අස්සදෙධ සද්ධා සමපදාය සමාදපෙති
- දෙමාපියන් ශ්‍රද්ධාවෙන් තොර නම් ඔවුන් ශ්‍රද්ධාවේ පිහිටුවීම,
දුසසීලෙ සීල සමපදාය සමාදපෙති
- දෙමාපියන් දුසිල්වත් නම් සීලයෙහි පිහිටුවීම,
මචඡරී චාගසමපදාය සමාදපෙති
- දෙමාපියන් මසුරු නම් පරිත්‍යාගයේ පිහිටුවීම,
දුප්පඤෙඤ පඤ්ඤා සමාපතතී සමාදපෙති
- දෙමාපියන් ප්‍රඥාවෙන් තොර නම් ප්‍රඥාවට ගැනීම,
යන කාරණා උතුම් දෙමාපිය සංග්‍රහයන් වන අතර දෙමාපියන්ගේ ණය ගෙවා
නිමකිරීමට එම සැලකිලි හේතුවනු ඇත. ඉහත කී ක්‍රියා තුළින් දෙමාපියන්
නිවැරදි කිරීම දරුවන්ට දෙමාපියන් වෙනුවෙන් කළ හැකි වටිනාකමින් ඉතා වැඩි
සංග්‍රහයන් ලෙස සඳහන් වේ.
එදා කුමාර කාශ්‍යප මාතාව මහමඟදී සිය පුතු කාශ්‍යප හිමි දැක දෙපතුල් ළඟ
දණින් වැටී හැඬුවාය. එවිට කාශ්‍යප හිමි සිය මෑණියන් තුළ ගේහසිත ප්‍රේමය
හෙවත් ගෘහාශි‍්‍රත ඇල්ම ඈත් වී නැති බව වටහා ගත්හ. මවගේ සිත වෙනස්
කිරීමට කල්පනා කළ කාශ්‍යප හිමියෝ “මේ සෙනෙහස ඈත් කරගන්න තවම ඔබට
බැරිවුණාදැ”යි ඇසූහ. ඒ මොහොතේ මව කරුණු නිසිලෙස තේරුම් ගෙන, ජීවිතයේ
යථාර්ථය හඳුනාගෙන, දරුවන් කෙරෙහි පවතින නොතිත් සෙනෙහස සසර දුකට හේතුවන
බව වටහාගනිමින් කුමාර කාශ්‍යප මාතාව බවුන් වඩා රහත් බවට පත්වූවා ය. මව
යහමග යැවීමට කුමාර කාශ්‍යප හිමියෝ සමත්වූහ.
දරුවන් හැදීම නිසා දෙමාපියන් තුළ සෙනෙහස වර්ධනය වී සසර දිගු වන බවට
මතයක් වත්මන් සමාජය තුළ ප්‍රචලිතය. එය වැරදි මතයකි. දරුවන් හදන
දෙමාපියන් තුළ දරුවන් වැඩිවන කල්හි ආත්මාර්ථකාමී බව වෙනුවට
පරාර්ථකාමීත්වය වර්ධනය වේ. පරාර්ථය නිවනට ළඟාවන කාරණාවක් විනා නිවන ඈත්
කරන ධර්මතාවයක් නොවේ. සැබෑ දෙමාපියන් තුළ සතර බ්‍රහ්ම විහරණ වර්ධනය වේ.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා නිසා සසර දිගු නොවන අතර, සතර බ්‍රහ්ම
විහරණය වැඩීමට දෙමාපියන්ට උපකාර වන්නේ දරුවන්ය. දෙමාපියන් දරුවන් ඇසුරු
කරනුයේ, දරුවන්ට ආදරය කරනුයේ, ආමිස තෘප්තියක් ලබාගැනීමට නොව දරුවන්
සකස්වන ආකාරය දැක, දරුවන් ඉදිරියට යන ආකාරය දැක නිරාමිසව
පී‍්‍රතිවීමටය. දරුවන් තමන් අභිබවා ලොව දිනන විට උපේක්‍ෂකත්වය වැඩීමට
දෙමාපියන් තුළ හැකියාව ඇත. ඒ හෙයින් පින්වත් දරුවන් ලෙස ඔබට ආදරණීය
දෙමාපිය ගුණයන් පිළිබඳව යළි යළි කල්පනා කොට ඒ ගුණයන් උපහාරයට බඳුන්
කිරීමට හැකියාව තිබිය යුතු ය.
එසේ නොමැතිව දරුවන් දෙමාපියන්ට දුක වේදනාව ලබාදී හැඬූ කලින් විසීමට
අවස්ථාව සලසන්නේ නම් එම දරුවන්ට එම අකුසලයෙහි අයහපත් ප්‍රතිඵල මේ
භවයේදීම අත්විඳීමට සිදුවනු ඇත. එසේ මුලාවෙන් දුක්විඳින දෙමාපියන්ද,
දරුවන්ද අපට හමුවී ඇත.
ලොව්තුරා බුදුහිමි “බුදුමෑණියන්” යනුවෙන් අපි හඳුන්වමු. උන්වහන්සේ ලොවට
මාතෘත්වය හෙවත් මෘතගුණ දුන් උත්තමයා වන හෙයින් “බුදුමෑණි” ලෙස
හැඳින්වේ. උන්වහන්සේ ලොවට මවක් මෙනි. “බුදෙධා විය මාතා”
අම්මා ලෝකෝත්තර තත්ත්වයට පත් නොවුණ ද ලෞකිකත්වය තුළ ඇය උසස් ගුණ
සංවර්ධනය කොට ජීවිතය පවත්වාගෙන යන උත්තමාවියක් ලෙස අපි දකිමු.
දේශය, වර්ණය, වයස, ජාතිය, තත්ත්වය, මිනිස් හෝ තිරිසන් ආදී වශයෙන්
වෙනසක් නොමැතිව අම්මා කෙනෙක් තම දරුවන්ට එක ලෙස ආදරය කරති. සලකති. තම
පැටවු රැකගැනීම සඳහා බැළලිය, සුනඛ දෙන ක්‍රියාකරන ආකාරය ඔබ අප දැක ඇත.
තිරිසන් මව්වරු තමා ආහාරයට ගත් දේ වමාරා පැටවුන්ට කැවීමට තරම් දරු
සෙනෙහසක් දරති. තමන්ගේ පැටවුන් තමන්ගෙන් වෙන් කිරීමට එන බාහිර
බලපෑම්වලට එරෙහිව තිරිසන් මව්වරු සටන් කරති. තිරිසන් ලොව ඒ ආකාර වේ නම්
මනසක් සහිත උපන් මිනිස් මව කෙසේ වේද යන කාරණාව ඔබම සිතා බලන්න.
පැරැණි පඬිවරයෙක් මෙවන් ප්‍රකාශයක් කර ඇත. යමෙක් මෙලොව උපදින විට ඔහු
හෝ ඇය සිය මවගේ යෞවනය විනාශ කරයි. දරුවා වෙනුවෙන් මව සිය යෞවනය පුද
දෙන්නීය.
බුදුන් දහම් සඟුනට නොකෙලෙද අදර
නිවන් දකින පිනකුත් නොකෙලෙද පවර
ලියන් තන නොසිපියෙද සිහිනෙන් විතර
ඔවුන් මව යොවුන් වනයට පොරෝ යුර
එම කවියෙන් අදහස් වන්නේ දරුවන් නිසා මවගේ යෞවනය අඩුවන බවයි. යෞවනය
අඩුවීම තුළ අපි ඇයට ණයගැති වෙමු. අපි එම ණය ගෙවිය යුතු වෙමු.
එසේම අපි නිවන් දැකීමට පින් කළයුතු වෙමු. ඒ හෙයින් තුණුරුවන් සත්කාරය
ජාතියට සේවයක් කිරීම අපගේ යුතුකම ලෙස සැලකේ. මෙලොව උපන් අයෙක් ලෙස
ජාතියට සේවය කිරීම මවට කරන ගෞරවයකි. අද දින ශීඝ්‍රයෙන් පිරිහෙමින්
පවතින සිංහල ජාතිය වර්ධනයට සේවයක් කිරීම සඳහා විශේෂ අවශ්‍යතාවයක් අප
තුළ ඇතිවිය යුතුය. මව අප බිහිකිරීම තුළින් ඇය දැක්වූ පරිත්‍යාගයට
ප්‍රතිඋපකාර ලෙස, ණයගෙවීම පිණිස, ක්‍රියාකරන අප ඇය වෙනුවෙන් තෙරුවන්ට,
ජාතියට, ගෞරව කළ යුතුය. එසේ නොකරන දරුවන් මවගේ යෞවනය කපා දැමූ පොරොව
මෙන් සැලකේ.
උත්තරීතර මව්ගුණ පිළිබඳව ඔබ හොඳින් තේරුම්ගෙන කටයුතු කිරීම තුළින් ඔබ
ලබන සතුට ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත. කුඩා කළ අප තමන්ට කරදරයක්,
බාධාවක් ලෙස නොසැලකූ දෙමාපියන් වියපත් වූ කල්හි අපට කරදරයක්, බාධාවක්
නොවිය යුතුය. වියපත් දෙමාපියන් වැඩිහිටියන් කුඩා දරුවන් සේ කටයුතු කරන
හෙයින් ඔවුන් දෙස උපේක්‍ෂාවෙන් බැලීමට අප පුරුදු විය යුතු ය. එවිට
දෙමාපියන් සිය අවසන් හුස්ම සතුටින් පිටකරති. එමෙන්ම වේදනාවෙන් මරණයට
මුහුණ දෙන දෙමාපියන්, දරුවන්ට ශාපයක් වීමට ඉඩ ඇත.
ඒ හෙයින් පින්වත් දරුවන් ලෙස මෙලොව උපන් අප දෙමාපියන් හොඳින් රැක බලා
ගනිමින් පෝෂණය කරමින් ගෞරව කරමින් ජාතියට, ආගමට සේවයක් කරමින්, ඔවුන්
ලබාදුන් දායාද රැක ගනිමින් වටිනා අර්ථ සම්පන්න ජීවිත ගතකිරීමට අදිටන්
කරගත යුතු ය.
සම්මා සම්බුදු සරණයි! |