Print this Article


දුකසේ විඳින කර්ම විපාක 23 - මිගලුද්දක පේ‍්‍රත වස්තුව

දුකසේ විඳින කර්ම විපාක 23

මිගලුද්දක පේ‍්‍රත වස්තුව

අප දැන් දන්නවා මෙසේ පේ‍්‍රතයන් ලෙස උපදින්නේ බොහෝ විට මනුස්ස ලෝකයේ දී සත්ව ඝාතනය, ලෝභය හා තද මසුරුබව, ඊර්ෂ්‍යාව සහ වෛරය, පරදාර හා පරපුරුෂ සේවනය,

සඟසතු දේ අයථා පරිභෝජනය, බොරුකීම, හා බොරුවට දිවිරීම, පින්කම්වලට අකුසල් හෙලීම හා හොර තරාදි පඩි හා හොර මැනුම් භාවිතා කරමින් පාරිභෝගිකයන්ට වංචා කිරීම ආදිය පිළිබඳව සඳහන් වෙනවා

පේ‍්‍රත වස්තු වර්ණනා රචනා කොට ඇත්තේ පේ‍්‍රතයන්ගේ කථා මඟින් කර්මඵල සිද්ධාන්ත සාමාන්‍ය ජනතාවට උපයෝගි වන ලෙස දැක්වීමටයි. තමන් සිදුකළ කර්මය තමාගේම සැනසීම නැති, ආහාර නැති, වස්ත්‍ර නැති ඔබ මොබ යන පේ‍්‍රතයෝ බවට පත්වන බව සඳහන් වෙනවා. එසේ දුක් විඳින පේ‍්‍රත කොට්ඨාස හතරක් වෙනවා.

නිජ්ඣාම තණ්හික - කර්මය තේජසින් ඇතුළත දැක්වෙන පේ‍්‍රතයන්

ඛුප්පිපාසිකා - සෙම, සොටු පමණකුදු ආහාර ඇතිව කල්ප ගණන් සා පිපාසා දෙකෙන් යුතුව දුක් විඳින පේ‍්‍රතයන්

පංස පිසාවිකා - කසල ගොඩවල ආදි අපවිත්‍ර තන්හි ආහාර සොයා හැසිරෙමින් දුක් විඳින පේ‍්‍රතයන්

පර දත්තුපජීවි - අනුන් දෙන පිනෙන් ජීවත් වන පේ‍්‍රතයන්.

අප දැන් දන්නවා මෙසේ පේ‍්‍රතයන් ලෙස උපදින්නේ බොහෝ විට මනුස්ස ලෝකයේ දී සත්ව ඝාතනය, ලෝභය හා තද මසුරුබව, ඊර්ෂ්‍යාව සහ වෛරය, පරදාර හා පරපුරුෂ සේවනය,සඟසතු දේ අයථා පරිභෝජනය, බොරුකීම, හා බොරුවට දිවිරීම, පින්කම්වලට අකුසල් හෙලීම හා හොර තරාදි පඩි හා හොර මැනුම් භාවිතා කරමින් පාරිභෝගිකයන්ට වංචා කිරීම ආදිය පිළිබඳව සඳහන් වෙනවා. මෙසේ වැරැදි කළ මිනිසුන් මරණින් මතු පේ‍්‍රත ලෝකයේ උපදින ආකාරය ඔබ දැනටමත් පේ‍්‍රත කථා වලින් කියවා ඉගෙන ගෙන තිබෙනවා.

මෙම අකුසල කර්ම වලින් පේ‍්‍රතයන් වී උපදින අය කල්ප ගණන් ඒ ලොව දුක් විඳිනවා. තමා විසින් කරන ලද කර්මය තමන් විසින්ම විඳ ගෙවිය යුතුය යන සංකල්පය මෙහි මැනැවින් විදහා දැක්වෙනවා. සමහර විට කර්ම විපාක පල දෙන්නේ පුදුම ආකාරයකට ය. කරන ලද ක්‍රියාව ම ආපස්සට ඒ අන්දමින් විපාක දෙන බව අපට ඉතා හොඳින් පසක් වෙනවා.

අද අප ඔබට කියාදෙන මිගලුද්දක පේ‍්‍රත වස්තුවෙහි ද සඳහන් වන්නේ් එසේ ප්‍රාණඝාත කර ලැබූ දුකත්, එයින් මිදී සිල් රැකපු කාලයට ලැබෙන සැපත් පිළිබඳවයි.

තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී “මිගලුද්දක” නම් පේ‍්‍රතයා අරභයා වදාළ දේශනාවකි.

රජගහනුවර එක්තරා වැද්දෙක් ජීවත් වූවා. ඔහු දිවා රෑ මුවන් විද මරා විකුණා ජීවිකාව ගෙන ගියා. ඔහුට දිනක් එක් උපාසකයෙක් මුණ ගැසුනා. ඔහු කාලයක දී අර උපාසකතුමා සමග මිත්‍රවෙලා ළඟින් ඇසුරු කළා. ඒ උපාසකතුමා නිතර නිතර මේ මස් වැද්දාට අකුසල් පිළිබඳව කියා දුන්නා. පින් පව් ගැනත් කියා දුන්නා. පන්සිල් රැකීමේ අනුසස් කිියා දුන්නා. සත්ත්ව ඝාතනයේ තිබෙන අයහපත කියා දුන්නා. නමුත් මේ වැද්දාට සම්පූර්ණයෙන්ම අකුසලයෙන් මිදෙන්නට බැරිවුණා. මොහු බේරා ගැනීමට මේ උපාසකතුමා එක් උපායක් යෙදුවා.

‘’යහලුව මෙහි එව. ඔබ අකුසලයෙන් මිදීමට යම් වීර්යක් කරව‘’

‘’හොඳයි ඒ කුමක්ද?’’

‘’යහලුව ඔබ දිවා කාලයේදී මස් පිණිස සත්ව ඝාතනය කළ ද රාත්‍රි කාලයේදී හෝ සිල්පද සමාදන් වී පන්සිල් රකිව‘’ යැයි අවවාද කළා.

ඒ වචනය පිළිගත් මේ වැද්දා දිවා කාලයෙහි ප්‍රාණඝාත සිදුකළා. සතුන් මරා මස් පිණිස සැකසුවා. නමුත් රාත්‍රි වූ පසුව පිරිසුදු වී සිල් සමාදන්ව පන්සිල් ආරක්ෂා කළා.

ඔහු ටික කාලයක දී මිය පරලොව ගියා. රජගහ නුවර සමීපයෙහි විමාන පේ‍්‍රතයකු වී ඉපදුනා. පෙර ජීවිතයේ රැස් කළ පිනත්, පවත් ඔහුට එකසේ විඳින්නට වුණා. ඒ පේ‍්‍රතයා දහවල් කාලයේ දී මහත් වූ දුක් වින්දා. රාත්‍රි කාලයෙහි දිව්‍යමය සැප සම්පත් ලැබුණා.

දිනක් ඒ අසලින් ගමන්කළ නාරද හිමියන් මේ පේ‍්‍රතයා දැක මෙසේ අසා සිටියා.

“ඔබ තරුණයි. දිව්‍ය පුත්‍රයන් දිව්‍ය අංගනාවන් පිරිවරා ගෙනයි ඉන්නේ. සිත අලවන කාම සම්පත් වලින් ශෝභමාන යි. නමුත් දවල් කාලයට ඔබ හරියට දුක් විඳිනවා. කලින් ජීවිතයේදී මොනවගේ් කර්මයක් ද සිදුකර ගත්තේ?

“අනේ් ස්වාමිනි” මම හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ, ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මම හිටියේ. මුව වැද්දෙක් වෙලා ලේ වැකුණු අත් ඇතිවයි දරුණු විදිහට මම හිටියේ.

කිසිවෙකුට හිංසා කරන්නේ නැති ප්‍රාණීන් ගැන, බොහෝ සතුන් ගැන මට තිබුණේ නපුරු සිතක්. අති දරුණු විදිහට මම නපුරුවුණා. බොහෝ සතුනගේ හිංසාවටයි මම ඇළුනේ. දමනයක් තිබුණේ ම නැහැ.

නමුත් මගේ යාලුවෙක් හිටියා. හරි සුහදයි. ශ්‍රද්ධාවන්ත යි. උපාසකයෙක්. ඔහු මම ගැන අනුකම්පාවෙන් හිටියේ. මම නැවත නැවත කරන පව් වලින් වැළක්වූවා.

ඔබ පව් විතරක් කරන්න එපා. අපායේ යන්නට එපා. මරණින් මතු සැප ලබන්නට කැමැතිනම් ඔය දුස්සීල වූ ප්‍රාණඝාතයෙන් වෙන්වෙන්න.

මගේ සැප කැමැති මා කෙරෙහි අනුකම්පා කරන ඔහුගේ වචනය මම ඇසුවා. නමුත් සියලු අවවාද පිළිගත්තේ නැහැ. බොහෝ කාලයක් පව්වලට ඇලිලා බුද්ධියක් නැතිව නෙව මම හිටියේ.

ඒ මහා ප්‍රඥාවන්ත උත්තමයා ආයෙමත් මට අනුකම්පා කරලා සීල සංවරයෙහි මාව පිහිටවූවා. ඉතින් නුඹ දවල් කාලයේ සතුන් මරනවා නම් අඩු ගණනේ් රාත්‍රියටවත් නුඹගේ සංවරය වේවා’’ කියා මට කියා සිටියා.

ඉතින් මම දවල් කාලයේ සතුන් මරල රෑට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා. ඒ නිසයි මට රෑට දිිව්‍ය සැප ලැබෙන්නේ. සවසට බොහෝ දුක් අනුභව කරනවා.

ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මම රාත්‍රියට දිව්‍ය සැප අනුභව කළත් දවල්ට සුනඛයන් බද්ධ වෛරයෙන් වගේ මාව පන්නාගෙන ඇවිත් වටකරගෙන කනවා.

යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුව බණ භාවනාවල යෙදෙනවානම් මම හිතන්නේ ඔවුන් සංඛත වූ අමා නිවන් මුළුමනින්ම අවබෝධ කර ගන්නවා කියලා

ඒ පේ‍්‍රතයා කියා සිටි කථාව නාරද හිමියන් භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා. ශාස්තෘන් වහන්සේ ඒ අර්ථ සහිතව පැමිණ සිටි පිරිසට දහම් දෙසුවා. ඒ දේශනාව මහජනයාට ඉතා ප්‍රයෝජනවත් වුණා.


දුකසේ විඳින කර්ම විපාක 22 සේරණී පේ‍්‍රත වස්තුව
 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.