Print this Article


පිරිවර පින්කම් රැසකින් සැරැසෙන කඨින චීවර පූජාව

පිරිවර පින්කම් රැසකින් සැරැසෙන කඨින චීවර පූජාව

කඨින වස්ත්‍ර පූජා කරන විහාරස්ථානවල උදෑසන කාලයේ සිටම චීවරය මැසීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කෙරේ. කඩ කැපීම සඳහා දක්‍ෂ ස්වාමීන් වහන්සේ නමක හෝ ගිහි පින්වතකු ඉදිරිපත් වීම සිදු වේ. සිවුර සඳහා නියමිත අංග ඇතුළත් කර චීවරය මැසීම අනතුරුව සිදු කෙරේ. කඨින චීවරය මැසීම සඳහා දායක වීමට මහජනයා දක්වන්නේ විශාල කැමැත්තකි. නාගිතාපදානයෙහි සඳහන් වන පරිදි ඉදිකටු පාරක් පාරක් පාසා චක්‍රවර්තී රාජ සම්පත් ලැබෙන පින්කමක් වන හෙයින් කඨින සිවුර මැසීමට බොහෝ දෙනෙක් කැමැති වෙති.

වප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ වූ චීවර මාසය ඉල් පුර පසළොස්වක පොහොය දිනෙන් අවසන් වෙයි. එම කාලය හා බැඳුණු බොදු චාරිත්‍ර රාශියක් දක්නට ලැබෙයි. කඨින පින්කම් පැවැත්වීම මුල් කරගෙන සිදු කෙරෙන විවිධ පුණ්‍ය කර්ම රැසකි. පළාත් අනුවද ප්‍රදේශ අනුවද එම පින්කම්හි විවිධතා පවතී.

කඨින චීවර පූජාවට මහජනයා විශේෂ කැමැත්තක් දක්වනු පෙනේ. එම පින්කමට ආධාර ලබාදෙමින් නන් අයුරෙන් සහභාගිවීමට ඔවුහු ප්‍රබල උනන්දුවක් දක්වති.

කඨින චීවර පූජාව දායක පක්‍ෂය විසින් සිදුකරනු ලබන්නකි. වස් වසවා ගත් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ මුල්කරගෙන කඨින නාමයෙන් සිවුරක් සකස් කරනු ලැබේ. මුල්වකවානුවල දී නූල් කැටීම් කර රෙදි වියා සකසාගත් වස්ත්‍රයක්ම ඒ සඳහා යොදාගෙන ඇත. ගමේ පිළිගත් දායක ගෙදරක තැන්පත් කර තිබෙන කඨින වස්ත්‍රය අලුයම් වේලෙහි පෙරහරකින් විහාරස්ථානයට වැඩමවාගෙන ඒම ප්‍රකට චාරිත්‍රයයි. එසේ රැගෙන එන කඨින වස්ත්‍රය භික්‍ෂූන් වහන්සේ වෙත සාංඝිකව පූජා කරනු ලබන අතර එය සාංඝික වස්තුවක් බවට පත්කෙරේ. ඉන්පසු මහා සංඝයා සීමා මාලකයට එක් රැස්ව කඨිනය ඇතිරීමට තරම් ප්‍රතිබල සම්පන්න, එම විහාරස්ථානයෙහි වස් වසා මහා පවාරණයෙන් පවාරණය කරන ලද උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමකට කර්ම වාක්‍යයකින් පමුණුවනු ලැබේ. ඉන් පසු එම භික්‍ෂූන් වහන්සේ එම පූජාව කළ දිනයෙහිදීම කඩකපා මසා පඬු පොවා වියළාගෙන එම චීවරය පොරවාගෙන එය ලබාදුන් සැමට පින් අනුමෝදන් කරති. තම ආවාසයෙහි වැඩ වාසය කරන සියලුම උපසම්පදා ස්වාමීන් වහන්සේ වෙත ගොස් එම පින් අනුමෝදන් කළ යුතු ය.

සමහර ප්‍රදේශවල කඨින වස්ත්‍රය වෙනුවට කඩකපා මසන ලද සිවුරක් පූජා කිරීම සිදුවෙයි. පෙරසේම යම් නිවෙසක තබන කඨින චීවරය පෙරහරකින් වඩමවා ගෙනවිත් පූජා කරනු ලබයි. සමහරුන් දහවල් පෙරහර පවත්වා කඨින චීවරය නිවෙසක තබා පසුදා ගෙනැවිත් පූජා කරනු දක්නට ලැබේ.

කඨින වස්ත්‍ර පූජා කරන ස්ථානවල උදෑසන කාලයේ සිටම චීවරය මැසීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කෙරේ. කඩ කැපීම සඳහා දක්‍ෂ ස්වාමීන් වහන්සේ නමක හෝ ගිහි පින්වතකු ඉදිරිපත් වීම සිදුවේ. සිවුර සඳහා නියමිත අංග ඇතුළත් කර චීවරය මැසීම අනතුරුව සිදු කෙරේ. කඨින චීවරය මැසීම සඳහා දායක වීමට මහජනයා දක්වන්නේ විශාල කැමැත්තකි. නාගිතාපදානයෙහි සඳහන් වන පරිදි ඉදිකටු පාරක් පාරක් පාසා චක්‍රවර්තී රාජ සම්පත් ලැබෙන පින්කමක් වන හෙයින් කඨින සිවුර මැසීමට බොහෝ දෙනෙක් කැමැති වෙති.

කඨින චීවරය සඳහා දෙපට සිවුරක්, තනිපට සිවුරක් හෝ අඳන සිවුරක් යොදාගත හැකිය. සිවුරුවලට නියමිත නූවාව, ගණ්ඨිය, ජංගෙය්‍යිය සහ ගීවෙය්‍යිය ආදී සියලුම කොටස්වලින් පරිපූර්ණ වටිනාම චීවරයකි තෝරාගනු ලබන්නේ. මසන ලද සිවුර පඬුපොවා වියළාගත යුතු ය.

කඨින චීවරය ලද භික්‍ෂුව තමාවෙත ඇති අනෙක් පරිෂ්කාර පච්චුද්ධරණය කිරීමේ වාක්‍යයක් කියා පච්චුද්ධරණය කළ යුතු ය. ඉන්පසු කඨින චීවරය අධිෂ්ඨාන කරගත යුතු ය. එමෙන්ම කඨින චීවරය වෙනම හඳුනාගැනීම සඳහා කප්බිංදු තැබීම නම් විශේෂ කර්මයකටද යටත් ය. මොනර ඇසක ප්‍රමාණයේ රවුමක් නුවාව අසල කහටකින් සලකුණු කිරීම ‘කප්පබිංදුන් කරොමි’ යන වාක්‍ය කියමින් කරනු ලැබේ.

කඨින සිවුර ලබාගත් භික්‍ෂූන් වහන්සේ එම චීවරය පොරවාගෙන කඨිනානිශංස ධර්ම දේශනා පැවැත්වීමත් සිරිතකි. සමහර විහාරස්ථානවල එදින දහවල් දානය වළඳා අවසානයෙහි කඨිනානිශංස දේශනා කරන අතර ඇතැම් ස්ථානවල එය සිදුකරන්නේ එදින රාත්‍රියෙහිය.

කඨිනානිශංස ධර්ම දේශනාවලදී බොහෝවිට නාගිතාපදානය නම්, අපදාන පාලියෙහි සඳහන් පුවත ගෙන හැර දැක්වීම සිරිතකි. බුදුරජාණන් වහන්සේ කඨින චීවර පූජාවෙහි අනුසස් ලබා ඇති අයකුගේ මුවින් ම එය දේශනා කරවීමේ අරමුණෙන් ආනන්ද හිමියන් අමතා රහතන් වහන්සේ පන්සිය නමක අනෝතත්ත විල් තෙරට රැස් කරවන ලෙස වදාළහ. ඒ අනුව රැස් වූ පිරිස අතර සිටි නාගිත ස්වාමීන් වහන්සේ සසර තමන් විසින් සිදුකරන ලද කඨින පූජා පින්කමක ආනිශංස පෙන්වා දුන්හ.

එහි සඳහන් වන පරිදි, තමන් විපස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මහා ධනවතකු ලෙස උපන් බවත් බුදුපාමොක් මහා සඟන වස් වසවාගෙන තුන් මාසයම ඇප උපස්ථාන කළ බවත් අවසන නිවන් අවබෝධය පතා කඨින චීවර පූජාවක් කළ බවත් දේශනා කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස දෙව්, මිනිස් දෙගතියෙහි හැර වෙන ස්ථානයක නූපන් බවත් කිසි දිනක අපායගාමී නොවුණු බවත් විශේෂකොට ප්‍රකාශ කළහ. අප සසරේ දී සිදු කරනා සියලුම පින්කම්වලට වඩා කඨින පින්කම උසස් බව උපමාවකින් පෙන්වා දී ඇත. සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් අන් පින්කම් කඨින පින්කම තරම අගය නැති බව ‘කලං නාග්ඝති සොළසිං’ යන ප්‍රකාශයෙන් පෙන්වා දී ඇත. කල්ප දහ අටක් දිව්‍ය සම්පත් ලද අතර තිස්හතර වාරයක් ම ශක්‍රදේවේන්ද්‍රව උපන් බවත් සඳහන් වෙයි. අසූහතර වාරයක් ම සක්විති රජව ඉපදී ඇත. කඨින පින්කම අට මහ කුසල්හි ප්‍රධාන පින්කම ලෙස වර්ණිතය.

කඨින පින්කම පරිවාර පින්කම් රාශියකින් ශෝභමාන වෙයි. කඨින පෙරහර, පිරිත් දේශනා, ධර්ම දේශනා, කඨිනානිශංස දේශනා, කප්රුක් පූජා, කංචුක පූජා, වස්සාවාසික චීවර පූජා සහ දානමය පූජා ආදියෙන් එය විසිතුරු වෙයි.

වසරකට වරක් සිදුකරගැනීමට ලැබෙන මෙම උදාර පින්කමට දායක පිරිස් බොහෝ උනන්දුවනු දැකගන්නට හැකිය. දායක, ප්‍රතිග්‍රාහක දෙපක්‍ෂයටම මහත් ආනිශංස ලබාගත හැකි පින්කමක් වීම ඊට හේතුවයි. කඨින චීවරය ලබන භික්‍ෂූන් වහන්සේට ඉදිරි පස් මාසයක්ම විශේෂ ආනිශංස පහක් ලැබෙන බව ධර්මයෙහි සඳහන් වෙයි. අනාමන්තචාරය, අසමාදානචාරය, ගණ භෝජනය, යාවදත්ථ චීවරය සහ යෝච තත්ථ චීවරුප්පාදය යනු එම අනුසස් පහයි.

සම්මා සම්බුද්ධ ශාසනයෙහි පමණක් අනුදැන ඇති, එක් විහාරස්ථානයක වසරකට එක්වරක් පමණක් කළහැකි, ගිහි පැවිදි දෙපක්‍ෂයේම සහයෙන් සිදුකෙරෙන මෙම උදාර පින්කමෙහි කොටස්කරුවෝ වීමට සැම දෙනාම අදිටන් කරමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.