Print this Article


<%on error resume next%>

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 7

පුණ්ණෝවාද සූත්‍රයෙන් ධනාත්මක මනෝවිද්‍යා පාඩමක්

ධනාත්මක මනෝවිද්‍යාව යන මාතෘකාව යටතේ සෙලිග්මන් ඉදිරිපත් කළ මනෝචිකිත්සක ක්‍රමය, සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ පුණ්ණෝවාද සූත්‍රයේ වාර්තාගත , බුදුරජාණන් වහන්සේ සහ පුණ්ණ ස්වාමින් වහන්සේ අතර ඇතිවූ සංවාදයේ ගැබ් ව ඇත. ධනාත්මක මනෝවිද්‍ය අංශයේ ප්‍රථම වාර්තාව ලෙස මෙම අපූර්ව සංවාදය සැලකිය හැක.

අපේ එදිනෙදා ජීවිතයේ ගැටලුවලට මුහුණපෑමේදී ශුභවාදී ආකල්ප ඇතිව සිටීමේ වැදගත්කම පිළිබඳව 2000 දී “ධනාත්මක මනෝවිද්‍යාව” (Positive Psychology)  නමින් එක් මනෝවිද්‍යා අංශයක් විස්තර කළ මාටින් සෙලිග්මන් පෙන්වා දුන්නේ එසේ සිටීම විෂාදය සුව කිරීමේ චිකිත්සක ක්‍රමයක් මෙන් ම, නිරෝගී පුද්ගලයකුට සාර්ථක ජීවිතයක් ගතකිරීමට ද පිහිටක් වන බව ය.

පුණ්ණේ වාද සූත්‍රය

ධනාත්මක මනෝවිද්‍යාව යන මාතෘකාව යටතේ සෙලිග්මන් ඉදිරිපත් කළ මනෝචිකිත්සක ක්‍රමය, සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ පුණ්ණෝවාද සූත්‍රයේ වාර්තාගත , බුදුරජාණන් වහන්සේ සහ පුණ්ණ ස්වාමින් වහන්සේ අතර ඇතිවූ සංවාදයේ ගැබ් ව ඇත. ධනාත්මක මනෝවිද්‍ය අංශයේ ප්‍රථම වාර්තාව ලෙස මෙම අපූර්ව සංවාදය සැලකිය හැක.

බුදුරජාණන් වහන්සේ සමග සංවාදය

දිනක් පුණ්ණ ස්වාමීන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුවීමට ගොස් වැඳ එකත්පස්ව හිඳ නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කිරීමට සුදුසු අවවාදයක් දෙන සේක්වායි අයැද සිටි සේක. එසේ අවවාද දීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ පුණ්ණ ස්වාමීන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න සහ පුණ්ණ ස්වාමීන් වහන්සේ දුන් පිළිතුරු පුණ්ණෝවාද සූත්‍රයේ මෙසේ විස්තර වෙයි.

“පුණ්ණ, මේ අවවාද ලබන ඔබ කුමන ජනපදයක වාසය කරන්නෙහිද? “

”වහන්ස, සුනාපරන්ත ජනපදයේ වාසය කරමි ”

”පුණ්ණ, සුනාපරන්ත වැසියෝ චණ්ඩ– පරුෂ වෙති. ඔවුන් ඔබට ආක්‍රෝශ, නින්දා කෙරෙත් නම් ඔබට කුමක් සිතෙනු ඇති ද?

“වහන්ස, ඔවුන් එසේ බැණ වැදුණහොත් සුනාපරන්ත වැසියන් ඒකාන්තයෙන් භද්‍ර , යහපත් වෙතියි, එහෙයින් ඔවුන් මට අතින් නො ගසතියි සිතන්නෙමි.

”ඉදින් පුණ්ණ, ඔවුන් ඔබට අතින් පහරදෙත් නම් කුමක් සිතෙනු ඇත්ද?

වහන්ස, ඔවුන් අතින් පහර දෙත් නම් ඔවුන් භද්‍ර, යහපත් හෙයින් මට කැටින් පහර නො දෙතියි සිතන්නෙමි” “පුණ්ණ , ඔවුන් කැටින් පහර දෙත් නම්...?”

“වහන්ස, ඔවුන් භද්‍ර, යහපත් හෙයින්, දණ්ඩෙන් පහර නො දෙතියි සිතන්නෙමි “

“පුණ්ණ, ඔවුන් දණ්ඩෙන් පහර දෙත් නම්....?

“වහන්ස, ඔවුන් භද්‍ර, යහපත් හෙයින් ආයුධයෙන් පහර නො දෙතියි සිතන්නෙමි”

“පුණ්ණ ඔවුන් ආයුධයෙන් පහර දෙත් නම්?”

“ වහන්ස, ඔවුන්, භද්‍ර, යහපත් හෙයින් තියුණු ආයුධයකින් මා නොමරතියි සිතන්නෙමි “

“ ඉදින් පුණ්ණ, ඔවුන් තියුණු ආයුධයෙන් ඔබ මරත හොත්?”

“වහන්ස, එසේ කරතහොත් මම මෙසේ සිතන්නෙමි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් ගතින් සිතින් පෙළෙයි, ලැජ්ජාවෙන් පිළිකුලෙන් පෙළෙමින් තමන් මරන්නට කවුරුන් හෝ ඇත්දැයි සොයමින් සිටියි. මා එසේ සොයමින් නො සිට ම මට එසේ කරන කවුරුන් හෝ නිකම් ම ලැබිණැයි සිතන්නෙමි “

“ පුණ්ණ, මෙම දම –උපසම සහිත ඔබ සුනාපරන්ත ජනපදයෙහි වාසය කරන්නට හැක්කෙක් හි ය. දැන් ඊට කාලයයි “

බුදුරජාණන් වහන්සේ ‘දම – උපසම දෙ පදයෙන් සඳහන් කෙළේ සෙලිග්මන් ‘ධනාත්මක’ සහ ‘ශුභවාදී’ පදවලින් විස්තර කළ ආකල්පය.

ධනාත්මක මනෝ විද්‍යාව

19 වන ශතවර්ෂයේ ඇතැම් මනෝවෛද්‍යවරුන් ධනාත්මක මනෝවිද්‍යාව පිළිබඳ අදහස් පළ කළ ද, කාල් යුං (Carl Jung) වැනි මනෝවෛද්‍යවරුන් ජීවිතයේ ගැඹුර, සදාචාරය සහ හොඳ – නරක ගැන අවධානය යොමු කළද, 20 වන ශතවර්ෂයේ ශීඝ්‍ර තාක්ෂණික දියුණුව නිසා වෛද්‍ය විද්‍යාවේ මුල් තැන් ලැබුණේ භෞතික සහ ව්‍යාථික (Pathological) පරීක්‍ෂණ සහ ප්‍රතිකාර ක්‍රමවලට ය. වෛද්‍ය විද්‍යාවේම ශාඛාවක් වන මනෝවෛද්‍ය විද්‍යාව ද එම මාර්ගයේම ගමන් කරන්නට විය.

එහෙත් සෙලිග්මාන්ගේ “උගන්නා ලද ශුභවාදය’(Learned Optimism) සහ ‘නියම සතුට ‘(Authentic Happiness) වැනි කෘතින් පළ වූ පසු, මිනිසාගේ චර්යාව ධනාත්මක චිකිත්සා මගින් වෙනස් කළ හැකි බවත්, එයින්ම භෞතික මොළයේ ක්‍රියාවලියන් පවා වෙනස් කළ හැකි බවත් විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ වී ඇත. අශුභවාදී චින්තන නිසා විෂාදය හටගන්නේ යම් සේ ද, ශුභවාදී චින්තන නිසා මානසික සෞඛ්‍යය හටගන්නා බව පිළිගැනෙයි. පී‍්‍රතියෙන් ජීවත්වීමට ශුභවාදය අවශ්‍ය බව පෙනේ.

ධනාත්මක මනෝ විද්‍යාවේ පිළිගැනෙන්නේ, මිනිසාට සිදුවන යහපත් බලපෑම් දීර්ඝකාලීනව පවතින අතර, අයහපත් බලපෑම් කෙටිකාලීන, නැවත නැවත සිදු නො වන බවයි. (අෂ්ට ලෝක ධර්මය අනුව මෙය සියයට සියයක්ම සත්‍යයක් නොවේ.

පැන්ඩෝරාගේ පේටිකාව

එක් පැරණි ගී‍්‍රක් දේව කථාවක , ලෝකයේ ප්‍රථම වරට අමරණීය බවක් රහිතව වල්කන් දෙවි මැවුයේ ‘පැන්ඩෝරා’ (All –Gifted) නමැති මිනිස් කාන්තාව ය. ඇයට ඔලිම්පස් කඳුවැටියේ සියලු දෙවියන් සහ දෙවඟනන් තෑගි දුන් අතර ජුපිටර් දෙවි දුන් තෑග්ග අද්භූත පේටිකාවකි. (Pandora’s Box) එය තුළ මිනිස් ගති සියල්ලම අඩංගු කර තිබිණි. එම පේටිකාව විවෘත කළ සැණින් සියලු මිනිස් ගති සුළඟෙහි ගසාගෙන ගියද, ‘බලාපොරොත්තුව’ නමැති තෑග්ග ඉතිරි විය. එම තෑග්ග ශුභවාදයේ සංකේතය ලෙස සැලකිය හැක. මානසික සහනයට එය අවශ්‍යය.

පුණ්ණ ස්වාමීන් වහන්සේගේ පිරිනිවීම

පුණ්ණෝවාද සූත්‍රාවසානයෙහි දැක්වෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ අවවාද ලැබ, උන්වහන්සේගේ ප්‍රශංසාව ලක්වූ දම – උපසම දෙකින් සමන්වාගතව සුනාපරන්ත ජනපදයට වැඩම කළ පුණ්ණා ස්වාමීන් වහන්සේ මානසික සහනයෙන් සහ සතුටින් බොහෝ කාලයක් එහි වැඩ විසූ බව ය.

ඒ බව පැහැදිලි වන්නේ එම කාලය ඇතුළත උන්වහන්සේ පන්සියයක් උපාසකයක් සහ පන්සියයක් උපාසිකාවන් ඇති කර, ත්‍රිවිද්‍යා ප්‍රත්‍යක්‍ෂ කර අවසානයේ පිරිනිවන් පා වදාළ හෙයිනි.

උන්වහන්සේ පෘථග්ජන අපට ඉතිරි කළ එකම වස්තුව ධනාත්මක මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධයයි.

තුනුරුවන් සරණයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.