Print this Article


<%on error resume next%>

බුදු දහම හා පරිසරය

භාග්‍යවතුන් වහන්සේ තරම් පරිසරය, එහි ඇති වැදගත්කම හා එය සුරැකීම පිළිබඳව, ලොවට කරුණු පහදා දෙමින් ක්‍රියා කළ, වෙනත් ආගම් කර්තෘවරයකු ලොව පහළවී නැත.

ගසක් යට ඉපිද, ගසක් යටදී ලොව්තුරා සම්බුද්ධත්වයට පත්ව, ගසක් යටදී පිරිනිවන් පෑ උන් වහන්සේ තුරු ලිය, වන පෙත් ඇළ දොළ ගංගා, මහමුහුද, වැස්ස, සුළඟ ආදී පාරිසරික අංග මැනවින් වටහාගෙන ක්‍රියා කළහ. එසේම එහි පැවැත්ම සුරක්ෂිතභාවය අරභයා ප්‍රායෝගිකව, මග පෙන්වූ සේක. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” (සියලු සත්ත්වයෝ සුවපත් වේවා) යනුවෙන් වදාළ උන් වහන්සේ සමස්ත සත්ත්ව වර්ගයාගේ හිත සුව පතන්නේ පරිසරය සියලුම සත්ත්වයන්ට සුරක්ෂිත ස්ථානයක් බව තහවුරු කරනු පිණිසය. මේ පිළිබඳව උන්වහන්සේ නිරතුරු තම ශ්‍රාවක සමූහයා දැනුවත් කළ සේක. නිරතුරු පරිසරයේ නිහඬතාව ඉතා ඉහළින් අගය කළ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක සමූහයා සමග, වාසය කළ සුවිසල් ආරාමයන්හි පැවැති නිහඬතාව, පුදුම එලවන සුළු බව දැක්වේ. දිනක්, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකිනු පිණිස, ජීවකම්බ වනයට පැමිණි අවස්ථාවේ එහි පැවති නිශ්ශබ්දතාව විස්මයජනකවූ බව සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වේ.

අප වාසය කරන පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වේ. එනම් භෞතික පරිසරය හා සාමාජීය පරිසරය යනුවෙනි. ජලය, භූමිය, ගින්න, වාතය භෞතික පරිසරයේ පදනමයි. භෞතික පරිසරය තුළ වෘක්ෂලතා, ඇළ දොළ, ගංගා, මහා සමුදුර ආදී ස්වාභාවික දේවල්වේ. සාමාජීය පරිසරය නිර්මාණය වී ඇත්තේ ද භෞතික පරිසරය ආධාර කර ගෙනය. බුදු දහම අනුව මෙලොව ජීවත්වන සියලුම සත්ත්වයන් ඊට ඇතුළත් වන අතර, මනුෂ්‍ය වර්ගයාට එහි ප්‍රධානත්වය හිමිවේ. ඒ මනුෂ්‍ය වර්ගයා සතු සංස්කෘතික ගති ලක්ෂණ නිසාය.

භෞතික පරිසරය තුළ මෙලොවට ජනිතවන මිනිස් වර්ගයා හැදී වැඩෙන්නේ එම පරිසරයේම උදව්වෙනි. මිනිසා ස්වකීය ඤාණ ශක්තිය මෙහෙයවා නව සොයා ගැනීම් මගින් විවිධ දස්කම් දක්වන්නේ ද පරිසරය උපයෝගී කර ගනිමිනි. මේ අන්දමට පරිසරය ඇසුරු කර මිනිසා ස්වකීය අභිමතය පරිදි, භෞතික පරිසරය අසීමිතව පාලනය කර ගනු ලැබ ඇත්තේ, ආත්මාර්ථකාමි අයුරිනි. එසේ ක්‍රියා කිරීමෙන් කර ගන්නා හානිය අවබෝධ කර නොගැනීම බලවත්ම අඩුපාඩුවකි. මෙහි විපාක වශයෙන් විවිධ දේශගුණික, කාලගුණික, සාමාජික, ආර්ථික ආදී උග්‍ර ගැටළු ඇති කර ගත් මිනිසා, මිහිතලයෙන් වඳවී යන තරමේ පරිසර හානියක් වර්තමානය වනවිට ලොව පුරා දක්නට ලැබේ. මෙසේ භෞතික පරිසරය අසීමිතව පාලනයට හා අසීමිතව පරිභෝජනයට පෙළඹීමෙන්, ස්වභාව ධර්මය දායාද කළ පෘථිවි රසයත්, එම රසයෙන් උපන් වෘක්ෂලතා ආදියේ සරුසාර බවත්, අවාසනාවන්ත ලෙස අහිමි කර ගැනීම පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කර වදාළහ.

මිනිසාට මිහිතලය මත දිවි ගෙවිය හැකි වන්නේ, ස්වභාව ධර්මයාගේ දායාදයක්වූ, තුරු, ලතා, වන පෙත්, ගංගා, ඇළ දොළ, මහමුහුද ආදී සම්පත්, පැවතියහොත් පමණි. එම සම්පත්වලින් තොර මිහිතලය දිය සීරාව සිඳී ගිය, මිනිස් වර්ගයාගේ ආහාරයට අවශ්‍ය ධාන්‍ය එළවළු, පළතුරු ආදිය නොවැවෙන මහා කාන්තාරයක් බවට පත්වනු ඇත. ආත්මාර්ථකාමිව ගස් කොළන් කපා දමා වන විනාශයෙහි යෙදෙන මිනිසා ඉන් පෞද්ගලිකව තමාටත්, පොදුවේ සමස්ත මානවයා ප්‍රධාන සත්ත්ව ලෝකයටත්, සිදුකරන හානිය වටහා ගෙන නැත. ඇළ දොළ, ගංගා ආදියට අපද්‍රව්‍ය මුදා හරිමින් ජලය, ජීවිතයට අහිතකර විෂබීජ කාරකයක් බවට පත් කර දමා ඇත. වායුගෝලය කාබන්ඩයොක්සයිඩ් වැනි අපිරිසුදු දෙයින් දූෂණය කර ඇත. මෙසේ ස්වකීය ආයු කාලය, මෙන්ම මිිනිස් වර්ගයාගේ ආයු කාලය කෙටි කර දමනු ඇත.

භාග්‍යවතුන් වහන්සේ, ස්වභාව ධර්මයාගේ දායාදයක්වූ තුරු ලතා, වන පෙත්, ඇළ දොළ, ගංගා, මහ මුහුද හිරු රැස් ආදියේ මනා පැවැත්ම උදෙසා, තම ශ්‍රාවක සමූහයාට අවශ්‍ය උපදෙස් දෙමින්, අනුශාසනා කළ සේක. ඒවා පින් වැඩෙන, පින්කම් ලෙස මෙසේ වදාළහ.

ආරාම රෝපා වන රෝපා - යේ ජනා හේතුකාරවා
පපංච උද්‍යානංච - යේ දදන්ති උපස්සයං
තේසං දිවාච රත්තෝච, සදා පුඤ්ඤං පවඩ්ඩති.

(ආරාම උයන්වතු තැනීම, පාලම් ඒ දඬු ඉදි කිරීම ළිං පොකුණු තැනීම, නවාතැන් පොළ ඉදි කිරීම මඟින් සිදුකරන පින්කම් දිවා රෑ පින් වැඩේ. )

නිරතුරුවම පාරිසරික වටිනාකමින් යුත් වන අරණ, රුක් මුල්, සූඤ්ඤාගාර වැනි විවේක පරිසර තුළ, වාසය ප්‍රිය කළහ. බොහෝවිට උන් වහන්සේ වැඩ වාසය ප්‍රිය කළේ වේලුවන, ජේතවන, ජීවකම්බක ආදී අති රමණීය වන උයන් ආශ්‍රිත ආරාමයන් තුළය. ඒවායේ පාරිසරික අගය තම ශ්‍රාවක සමූහයාට පහදා දුන් සේක. තමන්ට සෙවණ දුන් ගහක අත්තක් පවා කඩා දැමීම මිත්‍ර ද්‍රෝහී ක්‍රියාවක් ලෙස වදාළ සේක. ජලයේ පවිත්‍රතාව ගැන විශේෂ සැලකිල්ලක් දැක්වූහ. මහා ශබ්ද ඝෝෂා නගමින් පරිසරයේ නිසසල බව නැති නොකරන ලෙසට අවවාද කළහ.

සෑම අතින්ම යහපත් දිවි පෙවෙතක් ගත කිරීම උදෙසා පරිසරයේ නිසසල බව අත්‍යවශ්‍යවේ. එසේ නොමැතිවුවහොත් චිත්ත විවේකයක් ලැබිය නොහැකිය. චිත්ත විවේකය නොමැති තැන අසහනය ඇතිවන අන්දම බුදු දහම පෙන්වා දෙයි. අසහනයෙන් පිරි මිනිස් සමාජයක පස් පව්, දස අකුසල් ආදියෙන් වැළකුණ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, පරිත්‍යාගශීලීබව, සමානාත්මතාව ආදි ගුණාංග සුරැකේද? මේ අනුව, සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා යනුවෙන් සියලු සත්ත්වයාගේ හිත සුව පතන බුදු දහම පරිසරය හැමට සුවසෙත ගෙන දෙන සුරක්ෂිත ස්ථානයක් ලෙස පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.