Print this Article


<%on error resume next%>

පූජනීය මව් සෙනෙහස

සම කළ නොහැකි දරු සෙනෙහස

මවක් යනු උත්තරීතර ළඳකි. මව ඉවසිමේ පරමාදර්ශයයි. අපේ අතට යමක් දුන් කල්හි අප කොපමණ වේලාවක් එය අතේ තබාගන්නේ ද? එය බිමින් හෝ වෙනත් ස්ථානයක තබා අත නිදහස් කර ගැනීමට නිරතුරුවම මාන බලති. එහෙත් මව තමන්ගේ කුසට දරුවෙක් පැමිණි දින සිට දස මසක් කුස පිරිමදින් දරුවා රැක ගන්නීය. ආශිර්වාද කරන්නීය. සෙනෙහස දක්වන්නීය. දරුවා සමඟ ගනුදෙනු කරමින් සිටින්නිය. දරුවා මෙලොව බිහිකළ දින සිට සෑම මොහොතක්ම දරුවා වෙනුවෙන් කැපකරන්නී අම්මාය. කුඩා කළ ඇවිදීමට, කතා කිරීමට, ක්‍රීඩා කිරීමට පුරුදු පුහුණු කොට, දරුවන් වැඩිවියට පත්වන කල්හි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආවාහ කටයුතු සොයාබලා මහත් කැපවීමකින් ක්‍රියාකරනුයේ දෙමාපියන් ය. එහිදී මව විශේෂ කාර්යභාරයක් ඉටුකරන්නීය

මෙම ලිපියේ දෙවන කොටස 2012 .11.06 පත්‍රයේ පළ විය

එක් අකීකරු දරුවෙක් සිය මිතුරන් හා කෙළිසෙල්ලම් පිණිස වනයට යාමට සූදානම් වූ අවස්ථාවේ දී එහි නොයන ලෙස ඔහුගේ මව අවවාද කළමුත්, හිතුවක්කාර දරුවා අවවාද නොපිළිගෙන කැලයට යාමට පිටත්වූයේ ය. දරුවාගේ ගමන වැළැක්වීම සඳහා “උඹව කොටියා කාපන්” යැයි මව කීවා ය. මව සිය හදවතේ දරු සෙනෙහස, කරුණාව, මෛත්‍රිය ඇතිව මේ වදන් පිටකළ මුත් සත්‍ය වශයෙන් දරුවා කොටියෙක්ට බිලිදීමට අදහස් නොකළා ය. මවකගේ ජීවිතාවසානය දක්වා දරුවන් කෙරෙහි ඇය තුළ ඇති මෛත්‍රී කරුණාව නොවෙනස්ව පවතී.

දරුවා කැලයට ගොස් ක්‍රීඩා කර සවස් භාගයේ නිවසට ඒමට පිටත්වීමේ දී සැබැවින්ම කොටියෙක් ඔහු ඉදිරියට ආවේ ය. බියට පත් දරුවාට මව ගෙදරින් පිටවන මොහොතේ කරන ලද ප්‍රකාශය සිහිවී, ප්‍රාර්ථනා කරනුයේ, “අම්මා උදේ මුවින් පිටකළ දෙය නොව අම්මාගේ හදවතේ තිබෙන දෙය සිදුවේවා” යනුවෙනි. කුමන හේතුවක් නිසාවෙන් හෝ කොටියා ඉවත්ව ගියේ ය. දරුවාද මව් සෙනෙහස හඳුනාගෙන තිබුණි.

බුදුන් වහන්සේ දෙමාපියන් මෙසේ හඳුන්වා ඇත.

“බ්‍රහ්මාති මාතාපිතරො...” මව පියා බ්‍රහ්ම ලෙස හඳුන්වා ඇත. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ඛා යන සතර බ්‍රහ්ම විහරණ හේතුවෙන් දෙමාපියන් බ්‍රහ්ම වන බව උන්වහන්සේ දේශනා කළ සේක.

මෙත්තා - මව මිස දරුවන් කෙරෙහි අසීමිත මෛත්‍රියක් පතුරුවන වෙනත් අයෙක් නොමැත.

කරුණා - මව මිස දරුවන්ගේ දුකෙහිදී හදවත කම්පාවෙන වෙනත් අයෙක් නොමැත.

මුදිතා - මව මිස දරුවන්ගේ සැපතේ දී, දියුණුවේ දී, වාසනා ගුණ මතුවීමේ දී සතුටුවන වෙනත් කෙනෙක් නොමැත.

උපේක්‍ඛා - මව මිස සියල්ල දැක දැක ජීවිතයේ අවසානය දක්වා ඉවසීමෙන් ක්‍රියා කරන වෙනත් කෙනෙක් නොමැත.

ඉහත සඳහන් සතර බ්‍රහ්ම විහරණ පිහිටා ඇත්තේ යහපත් දෙමාපියන් වෙතය. තම දරුවන්ගේ දියුණුව උදෙසා නිරන්තරයෙන් කැපවී කටයුතු කරන දෙමාපියෝ තම දරුවන් තමන් අභිබවා ඉදිරියට යෑම, දියුණුව ලැබීම දකිමින් මහත් සතුටට පත්වෙති.

ප්‍රවීණ ගීත රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් නමැති නිර්ව්‍යාජ ලේඛකයා සිය මව පිිළිබඳව ඉතා අනුවේදනීය ලෙස පහත සඳහන් කවිය ගොතා ඇත.

උණුසුම නළලතේ අත්ලෙන් මැන්නාය
වෙද ගෙට ගියේ පොරවා කර පින්නාය
මළ පොත අකුර මට පෙන්වා දුන්නාය
දෙවියන් බුදුන් මෙන් මගෙ ළඟ උන්නාය

“උණුසුම නළලතේ අත්ලෙන් මැන්නාය” – අම්මා ගෙදර වෛද්‍යවරියයි. ඇය සතුව වෙද උපකරණ නැතත් පිට අත්ල නළලට තබා ශරීරයේ උණුසුම බලා රෝග තත්ත්වය දැනගැනීමට ඇය සමත්ය.

“වෙද ගෙට ගියේ පොරවා කර පින්නාය” වෙද ගෙදරට දරුවා රැගෙන ගියේ රෙදි පොරවාගෙන, කරපින්නාගෙනය. එදා මෙන් අදත් සමහර ගම්මාන ඉතා දුෂ්කරය. එහි වාහන නැත. සියයට අසූවක් පහසුකම් තිබුණත් වාහනයක් නොමැති ගෙවල් දොරවල් බොහෝ ය. එවිට දොස්තර ගෙදරට, වෙද ගෙදරට, රෝහලට රෝගී දරුවා කරේ තබාගෙන බොහෝ දුර ගමන් කරන මව්වරු අදත් දක්නට ලැබේ. පියවරු ද සිටින බව අමතක නොකළ යුතු ය. ඔවුහු දහදුක් විඳගෙන දරුවා වෙනුවෙන් රෝහල තුළ ගැවසෙති.

“මළ පොත අකුර මට පෙන්වා දුන්නාය” මුල් අකුරු හා ජීවිතය කියාදෙන්නේ මවයි.

දෙවියන් බුදුන් මෙන් මගෙ ළඟ උන්නාය. දෙවියන් බුදුන් යනු යමෙක්ගේ ජීවිතය කාලය තුළ දුකේදීත්, සැපේදීත් එක විට එක ළඟ, එක ලෙස සිටින දෙමාපියන් දෙදෙනාය. විශේෂයෙන් මව ය.

“ආහුණෙය්‍යා ච පුත්තානං පුබ්බාචරියා ති වුච්චරෙ”

බුදුන් වහන්සේ මව පිළිබඳව කරන ලද තවත් ප්‍රකාශයක් මෙසේ දැක්වේ. අපගේ මුල් ගුරුවරිය මවයි. එවන් ගුණැති මව පිළිබඳව නොසලකා හැර කටයුතු කරන දරුවන්ගේ ජීවිත කුමන අන්දමින් කෙළවර වේදැයි සිතීම පවා අපහසු කාරණයකි.මව ගැන කියැවෙන තවත් එක් සංස්කෘත පාඨයක් මෙසේ ය.

“ජනනී ජන්‍මභූමිශව සවර්ගාදති ගරීයතී”

“ජනනී” යනු අම්මාය. ජන්මභූමි යනු මව්බිමය. මව හා ජන්ම භූමිය යමෙක්ට ස්වර්ගයට වඩා වටිනා බව ඉන් ප්‍රකාශිතය. උම්මග්ග ජාතකයේ මෙවන් ප්‍රකාශයක් ඇත.

“හන්ති භෙත්‍ථහි පාදෙහි මුඛඤච පරිසුමහති
සවෙ රාජ පියා හොති තං කෙන තවාභිපස්සසීති”

යමෙක්ට අතින් පයින් පහරදෙන කල්හි ඔහුගේ මුව සිඹිය හැක්කේ කාටද? ඒ අන් කිසිවෙක් නොව මවයි. දරුවා සිය අතින් පයින් පහර දෙන විට මව පී‍්‍රතියට පත්වෙන්නීය. තව තවත් තදින් පහර දෙන විට දරුවා නළවමින් සතුටු වෙන්නීය. අත් පා පහර වැදී ඇයට වේදනාවක් හටගත්තද, තම දරුවාගේ අත්පා ශක්තිමත් වී ඇතැයි ඇය සතුටට පත්වන්නීය. ඒ හේතුවෙන් දරුවාට ඇයගේ ආදරය වැඩිවේ. දරුවාට ඇයගේ ආශිර්වාදය වැඩි වේ.

මේ පිළිබඳව පියවරු උරණ නොවන්න. යම් දරුවෙක් හඬන කල්හි, වේදනාවට පත් වූ කල්හි, කිලුටු වූ කල්හි, කැතකුණු කරගත් කල්හි දරුවාට වඩාත් ළං වන්නේ මවයි. බොහෝ විට පියවරු දරුවන් තමා වෙත තබාගන්නේ දරුවා පිරිසුදු වී සිනහවෙමින් සිටින කල්හිය. මෙය සාමාන්‍ය ජීවිතයයි. තම ජීවිත කාලයම දරුවන් රැක බලාගන්නා දරුවන්ගේ සියලු කටයුතු කරන පියවරු ලොව නැතුවා නොවෙයි. එහෙත් බොහෝ දරුවන් වෙසෙනුයේ මව තුරුල්ලෙහිය. මව දරුවන් වෙනුවෙන් කරනු ලබන කැපකිරීම කිරීමට පියවරුන්ට එළඹෙන අවස්ථා අඩුය.

සුද්ධෝදන පියරජු බුදුන් වහන්සේ සමග මෙසේ පවසා ඇත.

පුත්තපෙමං භනෙන ඡවිං ජින්දති
ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති
චම්මං ජෙත්වා මංසං ජින්දති
මංසං ජෙත්වා නහාරුං ඡින්දති
නහාරුං ජෙත්වා අට්ඨිං ඡින්දති
අටඨිං ජෙත්වා අටඨිමිඤජං ආහච්ච තිටඨති

“ස්වාමිනී පුත්‍ර ස්නේහය, දරු සෙනෙහස මහා පුදුම ජනක බරපතල කාරණාවකි. දෙමාපිය සෙනෙහස තමන්ගේ කුඩු හම සිඳගෙන මහ හම සිඳිති. නහර සිඳගෙන මස සිඳිති. මස සිඳගෙන ඇට සිඳිති. ඇට සිඳගෙන ඇට මිදුළු සිඳිති. එසේ ඇටමිඳුළු සිඳගෙන දරු පෙම උපදින්නේ” යැයි පැවසීය. එම ප්‍රකාශය හේතුවෙන් “මහණෙනි, දරුවෙක් පැවිදි කරන කල්හි දෙමාපිය අවසරය ඇතිව කළ යුතුය.” යනුවෙන් ශික්‍ෂා පදයක් පැනවූ සේක.

මවක් යනු උත්තරීතර ළඳකි. මව ඉවසිමේ පරමාදර්ශයයි. අපේ අතට යමක් දුන් කල්හි අප කොපමණ වේලාවක් එය අතේ තබාගන්නේ ද? එය බිමින් හෝ වෙනත් ස්ථානයක තබා අත නිදහස් කර ගැනීමට නිරතුරුවම මාන බලති. එහෙත් මව තමන්ගේ කුසට දරුවෙක් පැමිණි දින සිට දස මසක් කුස පිරිමදින් දරුවා රැක ගන්නීය. ආශිර්වාද කරන්නීය. සෙනෙහස දක්වන්නීය. දරුවා සමඟ ගනුදෙනු කරමින් සිටින්නිය. දරුවා මෙලොව බිහිකළ දින සිට සෑම මොහොතක්ම දරුවා වෙනුවෙන් කැපකරන්නී අම්මාය. කුඩා කළ ඇවිදීමට, කතා කිරීමට, ක්‍රීඩා කිරීමට පුරුදු පුහුණු කොට, දරුවන් වැඩිවියට පත්වන කල්හි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආවාහ කටයුතු සොයාබලා මහත් කැපවීමකින් ක්‍රියාකරනුයේ දෙමාපියන් ය. එහිදී මව විශේෂ කාර්යභාරයක් ඉටුකරන්නීය.

එදා අංගුලිමාල බවට පරිවර්තනය වූ අහිංසකගේ ජීවිතයේ තීරණාත්මක මොහොත රජු විසින් තීන්දු කරන ලද්දේ අහිංසකගේ පියා ඉදිරියේ ය. අහිංසකගේ පියා රාජ සභාවේ පුරෝහිත බමුණා විය. අංගුලිමාල ජීවග්‍රාහයෙන් හෝ මරා හෝ තමන් වෙත ගෙන එන ලෙස රජතුමා නියෝග කළේ ය. පුරෝහිත බමුණු තෙම වහා නිවසට ගොස් සිය බිරිඳ මන්තානි බැමිණිය වෙත රජුගේ නියෝගය දැනුම් දෙමින් “අද අපේ පුතා අහිංසක මිනීමරුවෙක් ලෙස නම් කොට ඇත. අද රජතුමා පුතා මරණවා”යි පවසා නිහඬ වූයේ ය. එහෙත් මන්තානි බැමිණියට දරු දුක වාවාගත නොහැකි වූ අතර, තම දරුවා බේරාගැනීම සඳහා ඔහු ඉදිරියට යාමට තනිවම නිවසින් පිටවූවා ය. එදා බුදුහිමි අංගුලිමාල දමනය නොකළේ නම් ඔහු මව මරා පංචානන්තරීය කර්මයක් සිදුකර ගන්නේ ය. මරණය ඉදිරියේ වූවද තම දරුවන් බේරාගැනීම පිණස හැකි සෑම දෙයක්ම කිරීමට මවක් පසුබට නොවන්නීය. ඒ තරමට ආශ්චර්යමත් සෙනෙහසක් ඇය තුළ ඇත. එවන් ගුණැති මවට යම් දරුවෙක් දුකක් දෙන්නේ නම් ඒ දුක යළි ඔහුට උරුමවනු ඒකාන්තය.

දිනක් එක් පියෙක් අප හමුවී තම තරුණ පුතු හිතුමනාපයට ආවාහයක් කරගනිමින් තමන්ගෙන් ඈත් වූ බව මහා දුකකින් පැවසුවේ ය. ඒ පිළිබඳව අප කරුණු සොයාබැලීමේ දී අපට ලැබුණු තොරතුරු අනුව, එම තරුණයාගේ මව ද සිය මවට දුක දී හිතුමනාපයට කුලගෙට ආ කාන්තාවකි. එදා ඇය සිය මවට දුන් දුක් වේදනාව අද ඇය සිය පුතුගෙන් අත්විඳින්නීය. එනයින් කල්පනා කරන කල්හි සිය මවට දුක් දෙන පුද්ගලයාට ඒ දුක එලෙසම පැමිණීමට ඉඩ ඇති බව පැහැදිලිය. දෙමාපියන් දරුවන්ට දක්වන නිර්ව්‍යාජ අවංක සෙනෙහසට සමාන කළ හැකි වෙනත් සෙනෙහසක් මෙලොව නොමැති සේම ඊට විරුද්ධවන්නන්ට ලැබෙන ප්‍රතිඵලයද ප්‍රබලව බලපානු ඇත.

සිඟාලෝවාද සූත්‍රයෙහි දෙමාපිය දූදරු යුතුකම් පැහැදිලි කරන කල්හි, දෙමාපියන්ගේ කටයුතු කරදීම, දරුවන් තම කුලය හා වංසය හොඳින් රැකීම, පැවරූ දේපල ආරක්‍ෂා කිරීම හා නිවැරදිව පරිභෝජනය කිරීම අනිවාර්යයෙන් කළයුතු යුතුකම් ලෙස දක්වා ඇත.

මාතෘකා කළ ගාථාව තුළ දෙමාපියන්ට සත්කාර කිරීමෙන් ඔවුන්ට කළයුතු ප්‍රති සේවාවන් නිමකළ නොහැකි බව ප්‍රකාශ විය. එහෙත් බුදුන් පෙන්වා දෙන පරිදි දරුවනට දෙමාපියන් වෙනුවෙන් කළ යුතු තවත් කාරණා ඇත.

ඉතිරි කොටස නොවැම්බර් 20 වනදා පුවත් පතේ පළ වේ


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.