Print this Article


<%on error resume next%> මිනිස් දිවිය අර්ථවත් කර ගන්න

සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මුල, මැද, අග පිරිසුදු මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන අවස්ථාවක යම් සත්වයෙක් නිරයේ ඉපදී සිටියහොත්, තිරිසන් ලෝකයේ ඉපදී සිටියහොත්, ප්‍රේත ලෝකයේ ඉපදී සිටියහොත්, අසඤ්ඤ තලවල ඉපදී සිටියහොත්, මිනිස් ලොව ධර්මය ඇසෙන පළාතක මුත් මිත්‍යාදෘෂ්ඨිකව ඉපදී සිටියහොත්, මිනිස් ලොව ධර්මය ඇසෙන පළාතක දුෂ්ප්‍රාඥව ඉපදී සිටියහොත්, එම සත්වයාට මෙම ධර්මය අවබෝධ කිරීමේ දුර්ලභ අවස්ථාව අහිමි වී යනවා

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

මේ ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුද්ධිමත් ජීවිතයක් ලැබීමත් දුර්ලභයි. ඒ වගේම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. බුද්ධිමත් මනුස්ස ජීවිතයකට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැහෙන දුර්ලභ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා.

සසර සැරිසරන සත්වයාට මේ ක්ෂණ සම්පත්තිය අහිමිවන අවස්ථා තමයි වැඩි.

තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මුල, මැද, අග පිරිසුදු මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන අවස්ථාවක යම් සත්වයෙක් නිරයේ ඉපදී සිටියහොත්, තිරිසන් ලෝකයේ ඉපදී සිටියහොත්, ප්‍රේත ලෝකයේ ඉපදී සිටියහොත්, අසඤ්ඤ තලවල ඉපදී සිටියහොත්, මිනිස් ලොව ධර්මය ඇසෙන පළාතක මුත් මිත්‍යාදෘෂ්ඨිකව ඉපදී සිටියහොත්, මිනිස් ලොව ධර්මය ඇසෙන පළාතක දුෂ්ප්‍රාඥව ඉපදී සිටියහොත්, එම සත්වයාට මෙම ධර්මය අවබෝධ කිරීමේ දුර්ලභ අවස්ථාව අහිමි වී යනවා. ඉතින් පින්වතුනි, මොහොතක් සිතා බලන්න, මේ අනුව බලන කල ලෝකයේ වැඩිපුරම තිබෙන්නේ මේ ක්ෂණ සම්පත්තිය අහිමි වන අවස්ථා නේද?

එහෙත් මිනිස් භවයක් ලැබූ ඔබ මා කොතරම් නම් වාසනාවන්තද ? ඉතින් ඒ දුර්ලභ සම්පත්තිය සාක්ෂාත් කරගත් අප මින් මත්තට කුමක් නම් කරමුද ? මෙය නැවතත් අහිමි කර ගන්නවද ? ජීවිතය අවබෝධ කරගෙන මේ දුක්ඛිත වූ සසරින් එතෙර වෙනවද ? ඇත්තෙන්ම සිහිය වීර්ය නුවණ තියන ශැතවත් ආර්ය ශ්‍රාවකයා නිරන්තරව උත්සාය ගත යුත්තේ මේ ඝෝර සසරින් එතෙරවීම උදෙසා මිනිස් ජීවිතය හඳුනාගෙන නිවැරැදි ප්‍රතිපදාවක තම චර්යාවන් ක්‍රියාත්මක කිරීමයි. චර්යා නවීකරණය කරමින් ලැබූ මිනිස් දිවිය අර්ථවත් කරලීමේ අනුපූර්ව ප්‍රතිපදාවක් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළ සේක. ඒ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් පමණක් මිනිස් ජීවිතය අර්ථවත් කර ගත හැකිය. ඉතින් අපට ලැබුණු දුර්ලභ වාසනාවන්ත ගෞතම බුද්ධ ශාසනය තුළින් ප්‍රයෝජන මේ ජීවිතයේ ටිකක් හරි අපි කැප කරන්න ඕන. අප ලැබූ මේ මිනිස් ජීවිතය ගෙවිලා යන්නෙ හරිම වේගයෙන්. ඒක භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් දේශනා කොට තිබෙනවා මතක ඇතිනේ. පින්වතුනි අප ලැබූ මිනිස් ජීවිතයක කොපමණ නම් අල්ප ආයුෂ ප්‍රමාණයක් ද අපට ගත කරන්න තියෙන්නෙ. ඉතින් අප කොපමණ නම් අප්‍රමාදීව ජීවිතය අවබෝධ කර ගත යුතුද ? හිස ගිනි ගත්තෙකු ඒ ගින්න නිවන්න යුහුසුළුව කටයුතු කරන්නා සේ වහ වහා ක්‍රියාත්මක විය යුතු නොවේද? භාග්‍යවතුන් වහන්සේ හේතු සූත්‍රයේදී අපට දේශනා කළා මේ ලෝකයේ උපදින මනුෂ්‍යයාට යහපත සතුට ශාන්තිය ඇති කරන සම්පත්තීන් හයක් තිබෙන බව. එනම් ඥාති සම්පත්තිය, භෝග සම්පත්තිය, ආරෝග්‍ය සම්පත්තිය, සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය, දිට්ඨි සම්පත්තිය යි. මේ සම්පත්ති හයෙන් මුලින් සඳහන් කළ සම්පත්ති තුන කෙනෙකුට මෙලොව ජීවිතයේ යහපත සතුට ශාන්තිය උදෙසා පමණක් හේතුª වෙන බවත් යම් කෙනෙකුගේ සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය, දිට්ඨි සම්පත්තිය යන කරුණු මෙ ලොවට පරලොවටත්, මුළු සසර ගමනටත් හේතු වෙන බව දේශනා කොට වදාළා. ඉහත හේතු සූත්‍රයට අනුව භාග්‍යවතුන් වහන්සේ අපට වදාරන්නේ මනුෂ්‍යයකු වශයෙන් උපත ලද අප වටිනාකම් දිය යුත්තේ භෞතික සම්පත්තියට නොව ආධ්‍යාත්මික සම්පත්තියට බවයි. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා ඥාති සම්පත්තිය නැතත් කමක් නෑ. භෝග සම්පත්තිය නැතත් කමක් නෑ.

ආරෝග්‍ය සම්පත්තිය නැතත් කමක් නෑ. හැකි තරම් උත්සාහයෙන් සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය, දිට්ඨි සම්පත්තිය උපදවා ගන්න කියලා. මෙහිදී සීල සම්පත්තිය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ කාය සුචරිතය හා වාග් සුචරිතයයි. චිත්ත සම්පත්තිය හා දිට්ඨි සම්පත්තිය ලෙස හඳුන්වන්නේ මනෝ සුචරිතයයි. මෙම ත්‍රිවිධ සුචරිතය සම්පත්තියක් කොට තමා වෙත ගලපාගෙන ජීවත්වන්නා තුළ නීවරණයන් වැඩෙන්නේ නැත. එමෙන්ම අභිජ්ඣා විෂම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, අපනාහය, මක්ඛය, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, කපටිකම, දැඩි බව, සාරම්භය, මානය, අතිමානය, මදය, ප්‍රමාදය වැනි උපක්ක්ලේෂ ඇතිවන්නේ ද නැත. එබඳු පුද්ගලයාගේ සන්තානය තුළ නිරන්තරව රජයන්නේ මෛත්‍රිය කරුණාව දයාව උපේක්‍ෂාව වැනි සත් සිතිවිලිය. එබඳු පින් සිතිවිලි සිත් තුළ ඇති පුද්ගලයා ඥාති සම්පත්තියෙන් භෝග සම්පත්තියෙන් ආරෝග්‍ය සම්පත්තියෙන් තොර දුගී දුප්පතෙක් වුවත් පූජනීය පුද්ගලයෙකි. ඔහු නිවසට ආලෝකයක් මෙන්ම ආශිර්වාදයකි. ඔහු ගමට ප්‍රදේශයට රටට ලෝකයට ආභරණයකි. ආශිර්වාදයකි. ඔහු දෙලොවින්ම දිනූ පුද්ගලයෙක් ලෙස භාග්‍යවතුන් වහන්සේ අන්ධ සූත්‍රයේදී දේශනා කොට වදාළ සේක. ඉතින් මිනිස් දිවියේ අර්ථ ඵල නෙලා ගැනීමට උත්සාහවත් වන ලැබූ දිවිය උත්තරීතර භාවයට පත් කර ගැනීමට උනන්දුවන්නාවූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිවිධ සුචරිතය ඇති කර ගන්න ඕන. ත්‍රිවිධ සුචරිතය තුළින් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂණය වර්ධනය වෙනවා.

විමුක්තිය සඳහා භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළේ මෙම උසස් ශික්‍ෂණයයි. දුක් කෙළවර කිරීම සඳහා සසුන් ගතවීමට අපේක්‍ෂා කළ උන්වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයා වූ කොණ්ඩඤ්ඤ හිමිට දුන් උපදේශය කුමක්ද ? “ එහි භික්‍ඛුති භගවා අවෝච ස්වාක්ඛාතෝ ධම්මෝ චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති” ( මහාවග්ගපාලි - විනය පිටකය ) “මහණෙනි, ධර්මය මැනවින් පැහැදිලි කරන ලදී. එම අනුශාසනයට ඇතුල් වන්න. සියලු දුක් කෙළවර කිරීම සඳහා බ්‍රහ්ම චරියාවේ (උසස් චර්යාවේ) හැසිරෙන්න. මෙහිදී ප්‍රකාශ කළේ උසස් ශික්ෂණයක යෙදෙන ලෙසයි. බොහෝ අය ශික්‍ෂණයක් ලබන්නේ නෑ. ශික්‍ෂා පද අගය කරන්නෙත් නෑ. අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ දුක් කෙළවර කිරීමේ විමුක්ති මාර්ගය දේශනා කොට ඇත්තේ මේ විදිහටයි. “නාහං භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. අපිච අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති”. (කීටාගිරි සූත්‍රය – ම. නි) “මහණෙනි ප්‍රථමයෙන් මා නුඹලාට අර්හත්වයට පත්වීමට අනුසාසනා නොකරමි. එනමුත් අනුපූර්ව ශික්‍ෂණය, අනුපූර්ව ක්‍රියා මාර්ගය, අනුපූර්ව ප්‍රතිපත්ති මාර්ගය අනුව අර්හත්වය සිදුවේ. මෙහි අනුපූර්ව ශික්‍ෂණය කියන්නේ පංචශීල ශික්‍ෂණය, අෂ්ටශීල ශික්‍ෂණය, දශ ශීල ශික්‍ෂණය, ප්‍රාතිමෝක්‍ෂ සංවරශීල ශික්‍ෂණය යන සතරාකාර පුහුණුවට, ඒ ශික්‍ෂණ ක්‍රමය අවබෝධ කරගෙන පුහුණුව ලබන කෙනාට එයම ක්‍රියාමාර්ගය වෙනවා. එයම ප්‍රතිපත්ති මාර්ගයත් වෙනවා. ඉතින් මේ අනුපූර්ව ප්‍රතිපදාව හැකි උත්සාහයෙන් ප්‍රගුණ කරලා මේ දුර්ලභව ලැබූ මිනිස් භවයෙන් උපරිම ඵල නෙලා ගන්න වහ වහා කටයුතු කරන්න.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.