Print this Article


<%on error resume next%> සිවුරු මැසීමේ කලාවේ සාම්ප්‍රදායිකයා

සිවුරු මැසීමේ කලාවේ සාම්ප්‍රදායිකයා

ධාර්මික ව්‍යාපාරයක යෙදෙන අයකු පසුගියදා ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනාපීනුවල දී මුණ ගැසුනි.

කුඩා කල සිටම ආගම දහමට නැඹුරු වූ හෙතෙම තම නිවෙසේ උඩුමහලක් තනා සධාතුක කරඬුවක් තැන්පත් කොට උදේ සවස වතාවත්වල යෙදීම ඔහු පන්සල වෙතින් ලැබූ ආභාසයකි. පාසල් අවධියේ සිටම ගෝනපීනුවල අභිනවාරාමාධිපතිව වැඩ විසූ සෝමාලෝක හිමියන් වෙත ගොස් උන්වහන්සේගේ ඇප උපස්ථාන කිරීම තම ජීවිතයේ අංගයක් කොට ගත්තෙකි. උන්වහන්සේගේ කරුණා සිත සුනිල් වෙත යොමුවීම නිසාම සුනිල්ගේ සීයා වන කාහිංගලගෙන් අතපොත් තැබූ සිවුරු මැසීමේ කලාව වැඩි දියුණූ කරගැනීම සඳහා අවශ්‍ය වැඩිදුර උපදෙස් ලබා ගැනීමට බේරතුඩුවේ අමරසිරි හිමියන් වෙත යවයි. ඒ හිමියන් සිවුරු මැසීමේ කලාව ඔහුට මැනවින් කියා දුන්හ.

සිවුරු මැසීම සිතන තරම් පහසු රැකියාවක් නොවේ. සුනිල් මැසූ සිවුරු පළමුවෙන්ම ගෙන ගොස් පූජා කරන්නේ පිටිගල සුද්දල්ලාව ආරණ්‍ය සේනාසනයේ බුද්ධසාර ලොකු හාමුදුරුවන් වෙතයි. එම සිවුරේ ස්වභාවය ගැන පැහැදුණු උන්වහන්සේ ඔහු නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් මුණගැසීමට යොමුකරවයි. මෙම හමුවීම සුනිල්ගේ ජීවිතයට ලැබුණු මහඟුම අවස්ථාව සේ සුනිල් අදත් සලකයි. විනානුකූ®ල සිවුරක තිබිය යුතු සියලු අංගෝපාංග පිළිබඳව මනා අවබෝධයක් මෙන්ම පැරණි ක්‍රම ශිල්පවලට අනුව සිවුරු මැසීමට අවශ්‍ය උපදෙස් ලැබුණේ උන්වහන්සේට පින්සිඳුවන්නට බව ඔහු සිහිපත් කරන්නේ නමස්කාර පුර්වකවයි.

ලක්දිව පුරා විසිරී පවතින ආරණ්‍ය සේනාසනයන් ගෙන් අදවන විට සිවුරු වෙනුවෙන් සුනිල්ට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ අතරින් ගල්දූව ආරණ්‍ය සේනාසනය, පිටිගල සුද්දල්ලාව ආරණ්‍යසේනාසනය, ඉංගිරිය මඩකඩ ආරණ්‍යසේනාසනය සුවිශේෂයි. සුනිල්ගේ ශාසන මාමක ක්‍රියාවලිය ගැන පැහැදුණූ ඉංගිරිය මඩකඩ ආරණ්‍යසේනාසනාධිපති අම්පිටියේ මංගල අනු නා හිමිපාණෝ , සුනිල්, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල ශ්‍යාමෝපාලි මහානිකායේ මහ නා හිමිපාණන් වෙත යොමුකරන්නේ ඔහු කෙරෙහි ඇති කරුණාව නිසාවෙනි. මේ සියලු නාහිමිවරුන් වහන්සේ සුනිල්ගේ ගමනට ලබා දෙන්නේ මහඟු ආශිර්වාදයකි.

සිවුරු කර්මාන්තයේදී සැලකිය යුතු අංග රාශියක් ඇති බව සුනිල් පෙන්වාදෙයි.අතීතයේ දී සිවුරු මැසීම කළේ භික්ෂූන් වහන්සේ විසින්මයි. ඒ සඳහා තෝරා ගත්තේ පාංශුකූ®ල රෙදියි. නැතහොත් අමුසොහොනේ මිනී එතූ රෙදිකඩයි. මේවා කැබලි ලෙස කඩා පසුව මූට්ටුකර ගත්තේ ඒවායේ වටිනාකම අඩු කිරීමටයි. මෙය ඈත අතීතයේ සිට පැවත ආ ක්‍රමයයි. එහෙත් අද වන විට විවිධ වර්ගයේ රෙදි සිවුරු සඳහා භාවිත කරයි. එක් එක් භික්ෂූන් වහන්සේගේ උස මහත අනුව සිවුරේ දිග පළල තීරණය වෙයි. මේ සඳහා යොදා ගන්නේ ‘ලා පත’ නමින් හැඳින්වු අතක වැළමිටේ සිට මහපට ඇඟිල්ල දක්වා වු දිගයි.ඇතැම් වංචනික වෙළෙඳුන් විසින් මේ සාම්ප්‍රදායික ක්‍රම නොසලකා චීවර නිර්මාණය කිරීමෙන් බොහෝ සැදැහැවතුන් අපහසුවට ලක් වන බව ඔහුගේ අදහසයි.

සුනිල්ගේ ශාසන මාමක ක්‍රියාවලියට අමතරව ඔහු විසින් ඉටුකරන ලද සමාජ සේවය කෙරෙහි පැහැදුණූ අමරපුර මූලවංශික මහනිකායේ මහානායක කොස්ගොඩ සරණංකරාභිධාන මහානාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් 2006 වසරේ දී “ශාසන සේවා කීර්ති ධර්මබන්ධූ ලංකා පුත්‍ර” ගෞරව නාමයෙන් පුදනු ලැබූහ. මෙයට අමතරව 2004 2006 වසරවලදී දකුණු පළාතේ ක්ෂුද්‍ර අංශයේ හොඳම ව්‍යවසායකයා ලෙස තෝරාගනු ලැබූහ. මේ සියලු ජයග්‍රහණ පිටුපස සිටිමින් තමාව දිරිමත් කරන්නේ තමාගේ දයාබර බිරිඳ බවත් ඔහු කියයි.

ඔහු දැනට තම ව්‍යාපාරය මගින් ප්‍රදේශයේ කිහිප දෙනෙකුගේම ජීවනෝපාය සලසා දී ඇති අතර ඉදිරියේදීද රැකගත යුතු පාරම්පරික සිවුරු මැසීමේ කලාව පුහුණු කරවා ප්‍රදේශයේ තරුණයන්ට රැකියා මං පෙත් විවර කර දීමට බලාපොරොත්තුවෙන් සිටියි.

ඔහුගේ ව්‍යාපාර කටයුතු සඳහා දිරිදෙන මහජන බැංකුවේ සභාපතිතුමා හා සාමාන්‍යාධිකාරිතුමා වෙත ඔහු පළ කරන්නේ නොමඳ බැති සිතකි. එමෙන්ම ඩී.එෆ්. සී.සී. බැංකුවේ දකුණු පළාත් කළමනාකාර චානක කාරියවසම් හා සංදේශ් දිසානායක මහත්වරුද තමා වෙත පළ කළ අනුග්‍රහය පින්දීමෙන් සිහිපත් කරයි. කරාපිටිය පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් ඒකනායක මහතාද සිහිපත් කරන්නේ කෘතවේදීව ය. මෙයට අමතරව තම ව්‍යාපාරය දියුණුකර ගැනීම සඳහා තමාට පෞද්ගලිකව උදව් කළ දීපාල් අබේසේකර මහතා වෙත තම ප්‍රණාමය පුදකර සිටී.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.