Print this Article


පොළොන්නරුවේ සෝමවතී චෛත්‍යරාජයා

පොළොන්නරුවේ සෝමවතී චෛත්‍යරාජයා

සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සැට රියන් බුබ්බුලාකාර ලෙස චෛත්‍යරාජයා ඉදිකොට “මණි අගිය” (අග්‍රගණ්‍ය මාණික්‍යය) යන නම් තබා දාගැබට නැගෙනහිරින් අඩි 1000 දක්වා සලපතළ මළුව සහිතව බස්නාහිරටත් එසේම අඩි 600 ක් (ඉපැරණි මහවැලි ගඟ සමීපය දක්වාම) සලපතළ මළුව සහිත සුවිශාල ප්‍රාකාරයකින් හා ඒ වටා දිය අගලින් ද ඉන් ඇතුළත ප්‍රාකාර බැම්මෙහි ආරක්ෂක වාහල්කඩ දොරටු 4 සහිතව ආරක්ෂක විහාර සහිත දොරටු 17 කින් හා මණි අගිය නම් පෝය ගෙය ද ,සෝම නම් පස් පිළිම විහාරයකින්ද සමන්විතව ඉතා දර්ශනීය හා ආරක්ෂිත විහාරයක් බවට පත්කර ඇති ආකාරය දැනට හමුවී ඇති ඓතිහාසික හා පුරාවිද්‍යා සාධක අනුව මැනවින් පැහැදිලි වේ

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති පොළොන්නරුවේ (ඉපැරණි රුහුණේ) සුපිහිටි ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා පොළොන්නරුවේ සිට උතුරු දෙසට කිලෝ මීටර් 40 කට දුරින් සේරුනුවරට ආසන්නව මහවැලි ගඟ දෙසට බස්නාහිරින් (ඉපැරණි මහවැලි ගඟට නැගෙණහිර දෙසින්) පිහිටා ඇත.

ජිනකාලමාලි, ධාතුවංශ ආදි ඓතිහාසික ග්‍රන්ථවල එන තොරතුරු අනුව සෝමවතීදේවිය හා ගිරි අභය කුමරු මෙම සෝමපුරයට පැමිණෙන විට මිහිඳු මාහිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා (60) හැට නමකින් හා සංඝාවාස 60 කින් සමන්විතව දියුණු විහාරස්ථානයක් බවට පත්ව තිබූ බවත් එම සංඝාවාස 60 ක නටබුන් අද ද සෝමවතී චෛත්‍යරජයාට නැගෙනහිරින් අඩි 1000 කින් එහා ඇති ප්‍රාකාරයෙන් පිටත වැලිමළුවේ දක්නට ඇති අතර අභිලේඛන අනුව පශ්චිම නාගාරාමය (රජින නක අරබ) නමින් සඳහන් වන අයුරින් ඉතා දියුණූ විහාරස්ථානයක් බවට පත්ව තිබිණ.

රුහුණේ කාවන්තිස්ස මහරජතුමාගේ නැගෙනිය වන සෝමවතීදේවියත් කැලණියේ කැලණිතිස්ස (ශිව රජුගේ) රජුගේ බෑනනුවන් වන අභය කුමරුත් ගිරි ජනපදය හෙවත් කොත්මලේ ප්‍රදේශයේ පාලනයෙහි නිරතව සිටින අවස්ථාවෙහි දුටුගැමුණු කුමාරයා ගිරිරට ස්වකීය නැන්දණිය වන සෝමාවතීදේවිය සමීපයට යා මෙන් පසු සෝමාවති දේවිය තම ස්වර්ණමාලි දියණියත් එම ප්‍රදේශයත් දුටුගැමුණු කුමාරයාට භාර දී ගිරිඅභය නම් තම ස්වාමියා සමඟ සේරුනුවර ශිව රජුගෙන් ලැබුණ මහවැලිගඟ සීමාකොට ඇති භූ®මි ප්‍රදේශය සෝමනුවර නමින් නම්කොට රාජධානිය පිහිටුවා ගත් බව උක්ත වාර්තාවල සඳහන් වේ.

රශ්මිමාලා

ඒ වන විට භික්‍ෂූන් 60 කින් සමන්විත පශ්චිම නාගාරාම නම් විහාරයෙහි දාගැබක් නොතිබූ හෙයින් එම අඩුව සම්පූර්ණ කිරීමට සෝමවතීදේවිය හා ගිරිඅභය කුමරු මිහිඳු මාහිමිගෙන් ලැබුණු අවසර ඇතිව චෛත්‍යරාජයා ඉදිකිරීමට පටන්ගත්හ.

එම දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබා දෙන ලෙස මිහිඳු මාහිමියන්ට ආරාධනා කළ මොහොතෙහි තමන් වහන්සේට නාගපුරයෙහි ජයසේන නම් නාග ගෝත්‍රික රජතුමා ගෙන් (නාග ලෝකයෙහි ජයසේන නම් නාග රාජයාගෙන්) ලැබී මෙතෙක් වැඳ පුදාගෙන ආ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ සෝමවතී දේවියට එම සෑයෙහි නිදන් කිරීම සඳහා පරිත්‍යාග කළ බවත් එම මොහොතෙහි දළදා වහන්සේගෙන් විහිදුන බුද්ධ රශ්මිමාලාවන් (අද දක්වාම සෝමවතී චෛත්‍යරාජයා තුළ නිදන්කොට ඇති එම දකුණු දළදා වහන්සේගෙන් නිකුත්වන බුද්ධ රශ්මිමාලාවන් සියැසින් දැක ඡායාරූපවලට ලබාගෙන රූපවාහිනි, පුවත්පත් ආදී ජන සන්නිවේදන මාධ්‍ය තුළින් සමස්ත ලෝකයටම පෙන්වීමට හැකිවීම එම සිද්ධිය සනාථ කරයි)

සියැසින් දුටු සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සැට රියන් බුම්බුලාකාර ලෙස චෛත්‍යරාජයා ඉදිකොට “මණි අගිය” (අග්‍රගණ්‍ය මාණික්‍යය) යන නම් තබා දාගැබට නැගෙනහිරින් අඩි 1000 දක්වා සලපතළ මළුව සහිතව බස්නාහිරටත් එසේම අඩි 600 ක් (ඉපැරණි මහවැලි ගඟ සමීපය දක්වාම) සලපතළ මළුව සහිත සුවිශාල ප්‍රාකාරයකින් හා ඒ වටා දිය අගලින් ද ඉන් ඇතුළත ප්‍රාකාර බැම්මෙහි ආරක්ෂක වාහල්කඩ දොරටු 4 සහිතව ආරක්ෂක විහාර සහිත දොරටු 17 කින් හා මණි අගිය නම් පෝය ගෙය ද ,සෝම නම් පස් පිළිම විහාරයකින්ද සමන්විතව ඉතා දර්ශනීය හා ආරක්ෂිත විහාරයක් බවට පත්කර ඇති ආකාරය දැනට හමුවී ඇති ඓතිහාසික හා පුරාවිද්‍යා සාධක අනුව මැනවින් පහැදිලි වේ.

සුවිශේෂ ස්ථානයක්

මෙතැන් පටන් අපේ සිංහල රජවරු මෙම මණිඅගිය හෙවත් සෝමවතී විහාරස්ථානය වැඩිදියුණු කරමින් සුරක්ෂිත කළ අයුරු සෝමාවතී චෛත්‍යරාජයා සමීප මළුවෙහි හා චෛත්‍යරාජයාට කිලෝ මීටරයක් පමණ දුරින් මාර්ගයේ දකුණු පැත්තේ ඇති දිග්ගලෙහි දක්නට ඇති අභිලේඛන තුළින් මොනවට පැහැදිලිවේ.

මෙම අභිලේඛන අනුව සෝමවතී චෛත්‍යරාජයාගේ ඓතිහාසික හා ආගමික වටිනාකම දෙස බලනවිට මෙතරම් අභිලේඛන සංඛ්‍යාවක් මේ වන තෙක් වෙනත් ස්ථානයක හමු නොවීමත්, රජවරුන් විසින් කරන ලද දිය අගල් සහිත ගොඩ ඉඩම් හා කුඹුරු පූජා කිරීම් පිළිබඳවද තොටුපල බදු ලබාදෙමින් නියම කොට ඇති රාජකාරි ක්‍රමයද මැනවින් සඳහන් කරන අතර එම රාජකාරි කඩ කිරීමෙන් කහවණු 500 ක් (රන් පවුම් හාර දහසක්, වර්තමානයේ මුදලින් රුපියල් කෝටි අටක් පමණ) වැනි සුවිශාල මුදලක් දඩ ගැසූ වෙනත් ස්ථානයක් මෙතෙක් හමු නොවීමෙන්ද ගජබා රජතුමාට පිරිනමන ලද යුදජි (යුද්ධ ජයග්‍රාහක) යන ගෞරව නාමය ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ විසින් රජවරුන්ට පිරිනමා ඇති පළමුවන සම්මාන ලෙසටත්, රජමහා විහාර යන නාමය ද පළමු වරට මෙම ලිපිවලින් හමුවීමෙන්ද මේ ආදි ලිපිවල ඇතුළත් ඓතිහාසික තොරතුරු අනුව මෙම චෛත්‍යස්ථානය ලක්දිව සුවිශේෂ ස්ථානයක් බවට පත්වී ඇති අයුරු මැනවින් පැහැදිලිවේ.

පොළොන්නරු යුගයේ අවසාන භාගයේ දී මාඝ චන්ද්‍රභාණූ ආක්‍රමණ නිසා රජවරු සහිත මහජනයා දඹදෙණිය රාජධානිය කරගෙන පැමිණීමෙන් පසු පොළොන්නරු ප්‍රදේශය මහජනතාවගෙන් තොරවීම නිසා ස්වභාවධර්මය අනුව මහවැලි ගඟ ගැලු මාර්ගය ද වෙනස් විය. ගජබා රජතුමා සෝම නගරය මැදින් කපන ලද රජඇළ පසු කාලයේදී වර්තමානයේ දක්නට ඇති මහවැලි ගඟ බවට පත්වූ අතර ඉපැරණි ගඟ ගොඩවීම නිසා එදා රෝහණයට අයත්ව ඉපැරණි මහවැලි ගඟෙන් නැගෙනහිර පැත්තේ තිබූ සෝමවතී චෛත්‍යරාජයා වර්තමානයේ දී දැනට ගලා බසින මහවැලි ගඟට බස්නාහිර පැත්තෙහි පවතී.

ඒ ඩෙනිස් එන් ප්‍රනාන්දු මහතා විසින් 1965 දී ගන්නා ලද ගුවන් ඡායාරූප සහිත ඔහුගේ වාර්තා අනුව මේ බව තවදුරටත් සනාථ වේ. ඉපැරණි මහවැලිගඟ ආශි‍්‍රතවම විහාරස්ථාන ඉදිවී ඇති අයුරු දැනට මා විසින් ගරාවැටී නටබුන් බවට පත්වී ඇති ස්ථාන 19 ක් සොයාගත් අතර ඒවායින් 14 කට පොළොන්නරු යුගයෙන් පසු ගිය පළමුවන භික්ෂූන් වහන්සේ මම වන අතර මා සමඟ ගිය යුදහමුදා හා පොලිස් නිලධාරින් ඇතුළු මග පෙන්වූ මුස්ලිම් ජාතික මොහොමඩ් බාවා මහතා ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පියතිස්ස සේනානායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් මැදමහනුවර ධම්මසිරි හිමියන් ඇතුළු ශිෂ්‍යයන් කීප දෙනා ද මෙහිදී සිහිපත් කළ යුතුය. මෙම සියලුම ස්ථාන ඉපැරැණි මහවැලි ගඟ සමීපයේ නැගෙනහිර ඉවුරේ පිහිටා තිබීමෙන් පැහැදිලි වන්නේ ද මෙම සෝමවතී චෛත්‍යරාජයා ඉපැරණි රුහුණු ප්‍රදේශයට අයත් බවයි.

මේ අයුරින් මෙම සෝමවතී ප්‍රදේශය සහිත පොළොන්නරුව ආදි ප්‍රදේශයන්හි එය පැවති වාරි කර්මාන්ත ආදි සියල්ලම ස්වභාවධර්මය අනුව වෙනස්වීම නිසා වාර්ෂිකව මෙම ප්‍රදේශ මහවැලි ගඟේ ජලය උතුරා යාමෙන් ජලයෙන් යටවීම නිසා එදා සිට අද දක්වාම වාර්ෂිකව ජලයෙන් යටවීමෙන් පවතී.

නැවත ඉංගී‍්‍රසි රජය මෙම ප්‍රදේශ 1860 දී පමණ මැනුම් කටයුතු කරන මොහොතෙහි ගරාවැටී තිබූ මෙම ස්ථානයෙන් වර්ණවත් රශ්මි ධාරාවන් නිකුත්වනු දැක මෙම ස්ථානයෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති සෝමවතී චෛත්‍යරාජයා බව දැනගෙන මෙම ස්ථානයෙහි වැඩ වසන දළදා වහන්සේ ගැනීමට මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමෙතුමන් ඇතුළු පිරිස කළ උත්සාහයන් ව්‍යර්ථ වී එහිදී ජීවිත පවා විනාශ වූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන්වේ.

නැවත 1947 දී මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක අගමැතිතුමා මුල්වී සිදුකරන ලද ගොවිජනපද ව්‍යාපාරයේ දී මෙම ප්‍රදේශයේ සැරිසැරූ මුස්ලිම් හා සිංහල බෞද්ධ ජනතාව පෙර මෙන්ම මෙම ස්ථානයෙන් ආලෝකධාරාවන් සියැසින් දැක හේවිසි ශබ්ද ආදිය සිය කනින් අසා එවකට පොළොන්නරු ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා නොසිටි හෙයින් මහනුවර මල්වතු මහා විහාරයේ අතිගෞරවාර්හ මහානායක මාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට මතක් කිරීමේ ප්‍රතිඵලය වූයේ මල්වතු විහාර කාරක සභික සිරිමල්වත්තේ ශශ්‍රී පියරතන නාහිමි, පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමි ප්‍රධාන මහා සංඝ රත්නයත් සැදැහැවතුන් මෙම ස්ථානය වෙත පැමිණ පෙර මෙන්ම රශ්මිධාරා සහිත ආශ්චර්යමත් සිද්ධින් සියැසින් දැක සිය කනින් අසා සෝමවතී චෛත්‍යස්ථානය බව ස්ථීර වශයෙන් දැන මෙම ස්ථානය ආරක්‍ෂා කර ගනිමින් වැඩි දියුණු කිරීමට පටන් ගත්හ.

සෝමවතී චෛත්‍යවර්ධන සමිතිය නමින් සමිතියක් ආරම්භ කොට 1966 අගෝස්තු 01 දින ඩඩ්ලි සේනානායක අගමැතිතුමන් ප්‍රධාන මැති ඇමැතිවරුන් සහිත පොළොන්නරු මහදිසාපති රිජ්වේ තිලකරත්න මහතා භාණ්ඩාගාරික ඇල්බට් එදිරිසිංහ මහතා ඇතුළු සැදැහැවත් පිරිස මුල්ගල් තබන මොහොතෙහි නිකුත් වූ බුද්ධරශ්මිමාලාවන් සියැසින් දුටු සී.පී.ද සිල්වා, ආර්. පේ‍්‍රමදාස ආදී ඇමැතිවරුන් මුල්ව දැනට පවත්නා මාර්ගය හා සුංගාවිල පාලමද සකස් කරමින් සැදැහැවතුන්ට චෛත්‍යරාජයා වෙත පැමිණීමේ මාර්ග පහසුකම් ද සලස්වමින් චෛත්‍යරාජයාගේ ප්‍රතිසංස්කරණ කටයුතු සැදැහැවතුන්ගේ ආධාරයෙන් 1981 දී නිමකොට එවකට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් සහිත සැදැහැවතුන් කොත් පලඳවන අවස්ථාවෙහි නිකුත් වූ බුද්ධරශ්මිමාලාව ද සියැසින් දුටු අපට මෙම ස්ථානයෙහි වටිනාකම තව තවත් වැඩි දියුණු වන්නට වූ බව මෙහිදී සිහිපත් වේ.

එතැන් පටන් චෛත්‍යස්ථානයෙහි සංවර්ධන කටයුතු පටන්ගත් නමුත් 1983 වර්ෂය පමණ වන විට මෙම සෝමවතී ප්‍රදේශයට ත්‍රස්තවාදී උවදුරුවල බලපෑම ඇති විය. එය ක්‍රමයෙන් වැඩි වූ අතර 1987 දෙසැම්බර් 15 දින ත්‍රස්තවාදීන් පැමිණ සෝමවතී චෛත්‍යරාජයා සමීපයේ සිටි කැපකරු දායක පිරිස පදිංචිව සිටි සුංගාවිල ඔවුන්ගේ ගෙවල්වලට ගොස් ඒ සියලු දෙනාම කුඩා දූ දරුවන් සහිත 20 ක් පමණ දෙනා ඝාතනය කොට චෛත්‍යරාජයා වෙත පැමිණ චෛත්‍ය ගර්භයේ දකුණු පෙදෙසින් අඩි එක හමාරක් පමණ සාරා චෛත්‍යයට ගොඩවී චූඩාමාණික්‍ය ගලවන මොහොතෙහි එම ත්‍රස්තවාදින්ගේම වෙඩි පහරකින් ත්‍රස්තවාදියෙක් මරුමුවට පත්වීමෙන් බියට පත්වූ ඔවුහු එම මිණිය ද චූඩාමාණික්‍යයද චෛත්‍යරාජයා සමීපයේ දමා පලා ගියහ.

පසුදින යුදහමුදාවෙන් පැමිණ ඝාතනය කරන ලද මිනිසුන් දැක චෛත්‍යය වෙතද පැමිණ බලන විට එම ත්‍රස්තවාදියාගේ මිනියත්, අලි විසින් වට කරගත් අතුගොඩක් යට තිබූ චූඩා මාණික්‍යයද හමුවිය. චූඩාමාණික්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් සුරක්ෂිතව තබන ලදී. 1996 දී මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා විසින් ත්‍රස්තවාදී ග්‍රහණය මැදම විශේෂ ආරක්ෂා යොදා විහාරාධිපති පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමි ප්‍රධාන කැලණි විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද නා හිමි ඇතුළු අප මේ ස්ථානයට පමුණුවා දැක බලා වන්දනා කොට කෙටි උත්සවයක් ද පවත්වා ගුවන් විදුලිය මගින් ද ප්‍රචාරය කිරීමෙන් අනතුරුව එදින රාත්‍රියෙහිම ත්‍රස්තවාදින් එම සුංගාවිල ප්‍රදේශයට ප්‍රහාරයක් නිකුත් කිරීමෙන් යුද හමුදාවේ කීප දෙනෙක් ද විනාශයට පත්වූ බව කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතුය.

නැවතත් 1999 පෙබරවාරි මස චෛත්‍යරාජයාගේ සතරැස් කොටුව නිදන් හොරුන් විසින් හාරන ලද බව ආරංචි වූ මොහොතේ අනුනාහිමි ප්‍රධාන අපට මාර්ග දුෂ්කරතා නිසා චෛත්‍යරාජයා සමීපයටම යා නොහැකි වුවද පොළොන්නරු පොලිසියේ නිලධාරින් විසින් එම කොටස වසා දැමීමෙන් පසුව ලක්ෂ්මන් ජයකොඩි ඇමැතිතුමා විසින් 1999 අගෝස්තු මාසයේ දී සංස්කෘතික ලේකම් පද්මසිරි රාජපක්‍ෂ මහතා ඇතුළු අප පොලිස් ආරක්ෂා මධ්‍යයේ පුරාවිද්‍යා නිලධාරින් සමග යාමට සලස්වා චෛත්‍යරාජයාගේ වැසී තිබූ ගස් ආදිය ද ඉවත්කොට ත්‍රස්තවාදී වෙඩි හා බෝම්බ හඬ මධ්‍යයේම නැවත ආපසු පැමිණෙනවාත් සමගම එදින රාත්‍රියේම සුංගාවිල යුද හමුදාවට හා පොලිස් නිලධාරින්ට ද ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ පෑමට සිදුවූයෙන් යුධහමුදාව , පොලීසිය හා සිවිල් වැසියන් කීප දෙනෙක්ද මරණයට පත්වු බව මෙහිදී කනගාටුවෙන් වුව ද සිහිපත් කළ යුතුය.

මේ අයුරින් වසර 17 ක් පමණ කාලයක් ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවීම නිසා 1947 සිට 1967 දක්වා වසර 40 ක සංවර්ධන කටයුතු සියල්ලම විනාශ වී මහා ගන කැලයක් බවට පත්ව තිබූ මොහොතක් 2002 පෙබරවාරි 27 දා රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිතුමාගේ උපදෙස් අනුව, කරු ජයසූරිය, ජයවික්‍රම පෙරේරා, එච්.ජී.පී.නෙල්සන්, අර්ල් ගුණසේකර, සිඩ්නි ජයරත්න යන ඇමැති හා මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහදිසාපති ටී.එම්.අබයවික්‍රම, පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.පී.පී. පතිරණ, මින්නේරිය යුද හමුදා මූලස්ථානයේ ජනරාල් සුනිල් තෙන්නකෝන් ,මහවැලි සී කලාපයේ කළමනාකාර, එච්.සිරිසේන යන රාජ්‍ය නිලධාරි මහත්වරුන්ගේ බලවත් ඇප කැපවීම් හා යුද හමුදාව පොලීසිය මහවැලිය ආදී ආයතනවල නිලධාරින්ගේ බලවත් ශ්‍රමය හා සහ සම්බන්ධතාවයත් සැදැහැවතුන්ගේ හා රජයේත් ආධාර උපකාර නිසාම මාර්ගය සුද්ධ කරගෙන සෝමවතී චෛත්‍යරාජයා වෙත යන විට චෛත්‍යරාජයා ඇතුළු මුළු ප්‍රදේශයම මහ ගන කැලයකින් වැසී සෝමවති දාගැබේ ද ගස් පැළවී බදාම ගැලවී විනාශයට පත්වෙමින් තිබූ ආකාරය ඛේද ජනක විය.

එනමුත් උක්ත නිලධාරින්ගේ හා රජයේත් මහජනතාවගේත් අධාර උපකාර සහ සම්බන්ධතාවය නිසා කැලය එළි පෙහෙලි කොට චෛත්‍යරාජයා ද ප්‍රතිසංස්කරණය කරමින් වසර 40 ක් මුළුල්ලෙහි තිබූ ගොඩනැගිලි බිමටම ගරා වැටි තිබූ හෙයින් අභිනවයෙන්ම සියලුම ගොඩනැගිලි සහිත මුළු පූජා භූ®මියම සංවර්ධනය කර ගැනීමට සිදුවූ අතර අත්‍යවශ්‍ය ජලය හිටපු ජලකළමනාකරණ අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා ජලසම්පත් මණ්ඩලයේ ද හිටපු විදුලිබල අමාත්‍ය කරු ජයසූරිය මහතා ජෙනරේටරයක් මගින් විදුලිය ද ලබාදෙමින් භික්ෂූන් වහන්සේගේ හා සැදැහැවතුන්ගේ පහසුව සැලසූ අයුරු මෙහිදී කෘතවේදීව සිහිපත් කරමු.

ටික දිනකින් මහා ජලගැල්මකට යටවූ සෝමවතී චෛත්‍යරාජයා සහිත භූ®මිය දැක බලා ගැනීමට එදා අග්‍රාමාත්‍ය වත්මන් අතිගරු ජනාධිපති විශ්වකීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණ ප්‍රමාණවත් යුදහමුදා ආරක්ෂාව ලබාදෙමින් සංඝාවාසය සහිත විශ්‍රාම ශාලාවට මුල්ගල් තබමින් ජාතිය ගොඩ නැගීමේ අමාත්‍යාංශය හරහා ආධාර එවීම නිසාම එම ආධාරයෙන් හා සැදැහැවතුන්ගේ ආධාරයෙන් එම ගොඩනැගිල්ලේ කටයුතු අද පවත්නා තත්ත්වයට ගොඩනගා ගත් අතර දෙවන වරට ද අග්‍රාමාත්‍ය කාලයෙහිම පැමිණ කිලෝ මීටර් 13 ක් වූ මාර්ගයට ද මුල්ගල් තබා දැනට එම මාර්ගයෙහි කටයුතු නිමාවෙමින් පවතින අතරම පොළොන්නරුව දක්වාම ඉතිරි කි.මි. 27 මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාගේ උපදෙස් මත කාපට් ඇතිරීම අරඹා ඇත. අතිගරු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ශ්‍රීමත් ජනාධිපතිතුමා ගේ උපදෙස් අනුව එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය ජෝන් සෙනවිරත්න මැතිතුමා එවකට විදුලිබල අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිතුමා කිලෝමීටර් 13 ක් දුරින් ප්‍රධාන විදුලි බල පද්ධතියකින් විදුලිය ලබා දෙමින් සෝමවතී චෛත්‍යරාජයා සහිත ශ්‍රී දකුණු දළදා වහන්සේ උදෙසා කරන ලද පූජෝපහාරයන් නිසාම 2006 ජුනි හා ජූලි මාසවලදී සෝමවතී චෛත්‍යරාජයා වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ද කිසිවෙකුට කරදරයක් නොවී මැඩපවත්වා ගැනීමට හැකිවූයේ ශ්‍රී දකුණූ දළදා වහන්සේගේ ආශිර්වාදයත් හා වර්තමාන ජනාධිපතිතුමා අනාගත දුරදැක්මෙන් සිදුකළ ආරක්‍ෂක කටයුතු නිසාමය.

වර්තමානයේ සෝමවතී චෛත්‍යරාජයා පවත්නා තත්ත්වයට පත්කර ගැනීමට ඉහත සඳහන් මැති ඇමතිවරුන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන රාජ්‍ය නිලධාරින් ද සැදැහැවතුන්ගේ ආධාර උපකාරයන් හා යුදහමුදාවේ හා පොලිසියේ බලවත් අනුග්‍රහය නිසාත් හැකිවූ අතර මේ සෑම කටයුතු සිදුකිරීමෙහිලා එවකට කෘෂිකර්ම අමාත්‍යවර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවර සිරිපාල ගම්ලත් ඇමතිතුමාගේ පූර්ණ අනුග්‍රහය ලැබිණි.සියලු සංවර්ධන කටයුතු සිදුකිරීම මෙහිදී කෘතවේදීව දළදා සමිඳුගේ ආශිර්වාද පෙරටුව සිහිපත් කරමි.

ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ වසනවා සමාන ශ්‍රී දකුණූ දළදා වහන්සේ වැඩ වසන සෝමවතී චෛත්‍යරාජයා සහිත එම පූජාභූ®මියේ සංවර්ධන කටයුතු නිසි අයුරින් කර ගැනීම සඳහා ගිය රජයේ හා වත්මන් රජයේ අතිගරු විශ්වකීර්ති ත්‍රි සිංහලාධීශ්වර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ප්‍රධාන රජයටත් උක්ත මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරින් සැදැහැවත් දායක පින්වතුන් නිසාම හැකිවූ බව මෙහිදී අපමණ භක්ත්‍යාදර කෘතවේදී ව පුණ්‍යානුමෝදනා පූර්වකව ශ්‍රී දකුණු දළදා සමිඳුගේ ආශිර්වාද පෙරටුව සිහිපත් කරමු.

සම්බුද්ධ ශාසනයේ පවත්නා උදාරතර පින්කම වන මහාසංඝයා වහන්සේගේ විනය කර්ම සිදු කර ගැනීම සදහා පෝය සීමාවක් සෑදීමට කටයුතු සිදු කිරීම හා කඨින මහා පින්කම නොවැම්බර් මස 03 හා 04 දිනයන් හි සෝමවතී රාජමහා විහාරයේ දී මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙහි සාහිත්‍ය චක්‍රවර්ති නියන්ගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්‍ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබිණි. නොවැම්බර් 03 දින ප.ව. 07.00 ට ශ්‍රී දළදා ගිලන්පස පූජාව හා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව,04 දින උදෑසන 05.00 ට කඨින මහා පෙරහරද, 07.00 ට ශ්‍රී දකුණූ දළදා කිරි ආහාර බුද්ධ පූජාව, දහවල් 11.00 ට ශ්‍රී දකුණු දළදා මහා බුද්ධ පූජාව හා පනස්නමක් විෂයෙහි සාංඝික මහා දානය ද, 01.30 ට කඨින මහා චීවර පූජාව, 03.00 ට පොහොය සීමා සම්මතය ද සිදු කැරේ.

(මෙම ලිපිය පොහොය සීමා සම්මත විනය කර්මය නිමිත්තෙනි.)


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.