Print this Article


<%on error resume next%>

 ධම්මපදට්ඨ කථාවෙන් 06

අඥානයා ලබන ශිල්පය අනර්ථකාරීය

පසුදින පිළා රාජ සභාවේ පැත්තකින් සිටුවා එළු බෙටිද ඔහු අසලින් තබා රාජ සභාවට පැමිණෙන පිරිසට පිළා නොපෙනෙන්නට තිරයක් ඇද තිරයේ කුඩා සිදුරක් සකසා තැබුවා. රජතුමා සභාවට පැමිණ මොහොතකින් පුරෝහිතයාද පැමිණියා. වෙනදා මෙන්ම පුරෝහිතයා කතාව පටන් ගත්තා. කට අරිමින් සිනා ගන්වමින් කතා කරද්දීි පිළා එක් එක් එළු බෙටි ගෙන කටටම විදින්නට වූවා. පුරෝහිතයාගේ කටට ගිය හැම එකක්ම ඔහු ගිල දැම්මා

අතීතයෙහි බරණැස අතකුරු ගැසීමේ විශේෂ නිපුණතාවක් ඇති එක්තරා අංගවිකල පිළෙක් වාසය කළා. තමන් අතට ගන්නා ගල් කැටයක් ඇඟිල්ලට තබා ඕනෑම තැනකට විදීමේ හැකියාවක් ඔහුට තිබුණා. නගර දොරටුවේ එක්තරා සුවිශාල නුග ගසක් මුල වාසය කළ මේ පිළාගෙ කාර්යය වූයේ නුග පත්‍රවලට ගල් කැට විදිිමින් කැටයම් නිර්මාණය කිරීමයි.

මේ දුටු බොහෝ දෙනා අපට මේ රූපය දෙන්න, අපට මේ රූපය දෙන්න කියා විවිධ සත්ව රූප, මල් රූප කැටයම් කරන්නැයි ඔහුගෙන් ඉල්ලුවා. ඔහු ඒ සියල්ල ලස්සනට ඉටුකර දුන්නා. නුග පත්‍රවලට ගල් කැට මගින් විද සිදුරු කර අලංකාර ලෙස රූප කපා පෙන්නුවා. එවිට සතුටු වන මිනිසුන් ඔහුට ආහාර පානයෙන් හා මුදලින් ද සංග්‍රහ කළා. පිළාගේ රැකියාව බවට මෙය පත්වූවා.

දවසක් රජතුමා රාජකීය උද්‍යානයට යන අතරෙහි මිනිසුන් රැස්ව සිටින මේ නුග ගස ළඟට ගියා. එහි පැමිණි රජු සිදුරු වූ කොළවලින් අලංකාරවත්ව හිරු රැස් ගලා එන අයුරු දැක පුදුමයට පත් වූවා. මේ කුමන අරුමයක්දැයි රජු විමසා බැලුවා. එවිට එහි විසිතුරු රූප කැටයම් කර ඇති ආකාරය දුටුවා. මේ කවරෙකුගේ වැඩක්දැයි රජු විමසුවා. ජනයා එවිට අංගවිකල පිළා රජුට ඉදිරිපත් කළා.

මේ රජුට කරදරකාරී පුරෝහිතයෙක් සිටියා. ඔහු හරිම වාචාලයෙක්. රාජ සභාවට පැමිණි වෙලේ සිට රජුට කිසිදු වැඩක් කරගන්නට දෙන්නේ නැහැ. මුලක් මැදක් අගක් නැති නිරර්ථක කතා කියමින් කාලය කා දමන්නට පුරුදුව සිටියා. මොහුට පාඩමක් උගන්වන්නට උපක්‍රමයක් සොයමින් සිටි රජතුමා මේ විරූපී මිනිසාගේ හැකියාව යොදා ගත්තොත් අපූරු නොවේදැයි කල්පනා කළා. රජතුමා පිළාගෙන් මේ ගැන විමසුවා. පසුදින රජ මැඳුරට එන්නට දන්වා එළු බෙටි ගෝනියක්ද එකතු කොට රාජ සභාවට ගෙනැවිත් තැබුවා.

පසුදින පිළා රාජ සභාවේ පැත්තකින් සිටුවා එළු බෙටිද ඔහු අසලින් තබා රාජ සභාවට පැමිණෙන පිරිසට පිළා නොපෙනෙන්නට තිරයක් ඇද තිරයේ කුඩා සිදුරක් සකසා තැබුවා. රජතුමා සභාවට පැමිණ මොහොතකින් පුරෝහිතයාද පැමිණියා.

වෙනදා මෙන්ම පුරෝහිතයා කතාව පටන් ගත්තා. කට අරිමින් සිනා ගන්වමින් කතා කරද්දී පිළා එක් එක් එළු බෙටි ගෙන කටටම විදින්නට වූවා. පුරෝහිතයාගේ කටට ගිය හැම එකක්ම ඔහු ගිල දැම්මා. රාජ සභාව අවසන්වන විට එළු බෙටි ගෝනියම ගිල අවසන් කර තිබුණා. ඒත් වාචාලකමේ තරම නිසා ඒ කිසිවක් පුරෝහිතයාට දැනුණේ නැහැ.

රජතුමා පුරෝහිතයාට විරේක බෙහෙතක් බොන්නට යෝජනා කළා. ඒ බිව් වහාම එළු බෙටි වමනය කරන්නට වූවා. පුරෝහිතයා ඒ ගැන පුදුම වූවා.

රජුගෙන් ඒ ගැන විමසූ විට රජතුමා කීවේ පුරෝහිතයා අද රාජ සභාවේදී නිරර්ථක දෑ කතා කරමින් සිටිද්දී ඔය එළු බෙටි සියල්ල අර පිළා විසින් කටට විදින ලද බවයි. වාචාලකමේ තරම පුරෝහිතයාට අවබෝධ කර දුන්නා. ලජ්ජාවට පත් පුරෝහිතයා කිසිදිනෙක නැවත වාචාලයෙකු නොවී අවශ්‍ය දේ පමණක් කතා කිරීමට පුරුදු වූවා.

රජතුමා පිළාට බොහෝ වස්තුව දී ජීවත්වීම සඳහා සතර දිශාවෙන් ගම්වර සතරක් ද ප්‍රදානය කළා. යම්කිසි ශිල්පයක් නිසි ලෙස ඉගෙනීමෙන් එහි ඵල තමන්ට ලැබෙන බව මෙම පිළා ලද සම්පත් අපට පෙන්වා දෙනවා.

එක්තරා කම්මැලි පුරුෂයෙක් මේ විරූපී මිනිසා ලද සම්පත් දැක, ඔහුගෙන් මේ ශිල්පය උගෙන මේ වැනි සම්පත් ලබන්නට කල්පනා කළා. එසේ සිතා පිළා වෙත පැමිණ ඇදුරුතුමනි, ඔබේ ශිල්පය මටත් උගන්වන්නැයි වැඳ ඉල්ලා සිටියා. එහෙත් පිළා එය ප්‍රතික්ෂේප කළා. මේ මිනිසා පිළාගේ මෙහෙකරුවකු වී ඔහුගේ අත්පා පිරිමැදීම් ආදී සියලු ආවතේව ඉටු කරන්නට පටන් ගත්තා. ඔහු සමඟ සමීප මිත්‍රයෙකු බවට පත්ව නැවත අතකුරු ගැසීමේ ශිල්පය උගන්වන්නැයි ඉල්ලා සිටියා.

එවිට ශිල්පය හොඳින් ඉගැන්වූවා. උගන්වා අවසන පිළා, ඔබ දැන් මේ ශිල්පය අත්හදා බලන්නේ කෙසේදැයි විමසුවා. එවිට මේ මිනිසා කීවේ තණකොළ කන්නාවූ එළදෙනක වෙත විද මරා දමන බවයි. එවැනි පාපකාරී කටයුත්තකට මේ ශිල්පය භාවිත කිරීමෙන් සිදුවන අනර්ථය ගුරුතුමා ශිෂ්‍යයාට කියා දුන්නා. යහපතැයි පිළිගෙන ගල් කැට පොදියක් ද කරේ දමාගෙන පාරට පැමිණ කාට විදිම්දෝයි බල බලා යන්නට වූවා.

එවිට මාර්ගයේ පිඬු සිඟා වඩින්නාවූ පසේ බුදුවරයෙකු ඔහුට හමුවූවා. ශිල්පය විමසා බලන්නට පසේ බුදුන්ගේ කනට ගල් කැටයකින් විද්දා. ඒ ගල්කැටය මේ පසේ බුදුවරයාගේ දකුණු කන් සිදුර පසාරු කොට වම් සිදුරෙන් නික්ම ගියා. උන්වහන්සේ එතැන්හි පිරිනිවන් පෑවා. මේ අපරාධය දුටු මිනිසුන් පාපියා අල්ලා තලා පෙළා පහරදී මරා දැම්මා. තමන් කළ පාපයෙන් අවීචියෙහි ඉපිද මහා දුක් විඳ අවසන ප්‍රේතයෙකුව ඉපදුණා. ඔහුගේ සිරුර තුන් ගව්වක් පමණ වුණා. ඔහුගේ හිස මත්තෙහි ගිනියෙන් රත්වූ යකුළු ( කුළු ගෙඩි ) දහසකින් පහර වදින්නට වූවා. ඒ හැම වාරයක්ම හිස බිඳුණා. නැවත සවි වූවා. නැවත නැවතත් බිඳෙමින් අප්‍රමාණ දුකට පත්වෙමින් ප්‍රේත ලෝකයේ බොහෝ කාලයක් දුක් විඳින්නට සිදුවූවා.

තමන් දත් ශිල්පය අනුන්ගේ විපතට යොදවන මිනිසුන් එදා පමණක් නොව අදද අපට හමුවෙනවා. යක්‍ෂ, ප්‍රේත, බන්ධන, අණ විණ, කොඩිවින ආදී ගුප්ත ශිල්ප උගත් ඇතැමුන් මුදලට ලොල්ව මිනිසුන්ට විපත් දෙන ක්‍රියාවන්හි යෙදෙනවා. ඔවුන් සියල්ලන් මේ පේ‍්‍රතයාගේ කථාව කියවා තමන්ට විය හැකි විපත අවබෝධ කර ගැනීම වටී.


ධම්මපදට්ඨ කථාවෙන් 05 භික්‍ෂුන් වහන්සේටත් නිවන් මඟ සාදා දුන් මගඵල ලාභිනිය මාතිකමාතා
 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.