Print this Article


<%on error resume next%> මෙත් වැඩීමේ අනුසස්

මෙත් වැඩීමේ අනුසස්

මෛත්‍රී වඩන්නන් තමා විසින් තමා රැකෙනවාට අමතරව දෙවියන් විසින් පවා ආරක්‍ෂා කරනු ලැබෙයි. ඊට හේතුව වන්නේ ධර්මානුකූල පැවැත්මයි. මෙත් වැඩීමෙන් ලැබෙන සයවැනි ප්‍රතිලාභය මෙයයි. සක්ක සංයුක්තයේදි සක්දෙවිඳු මිනිසුන්ට වන්දනා කරන්නේ ඔවුන්ගේ යහපැවැත්ම නිසාවෙනි.

සියලු සත්වයනට එක හා සමානව මෙත් වැඩීම හෙවත් මිතුරුකම පැතිරවීම මහා අනුසස් සපිරි පිනකි. බුද්ධචරිතය පුරාත් බෝධි සත්ව අවධියෙත් අප ශාස්තෘන් වහන්සේ තුළ පැවැති ප්‍රබල ගුණයක් වන්නේ මෛත්‍රීයයි.

සමස්ත බෞද්ධ දර්ශනය තුළ මෙන්ම ධර්ම ව්‍යාප්තියේද පදනම වූයේ මෙම මෛත්‍රි ගුණයයි. මෙත් වැඩීමේ අනුසස් දැක්වෙන බොහෝ සූත්‍ර දේශනා දැක්විය හැකිය. ඒ අතර මෙත්තානිසංස සූත්‍රය ප්‍රධානය. අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ හා අට්ඨක නිපාතයේ වශයෙන් මෙත්තානිසංස සූත්‍ර දෙකකි. පිරිත් පොත්වහන්සේ තුළ මෙය ආශිර්වාදාත්මක දේශනාවක් ලෙස භාවිත වේ. මෙත් වැඩීම නිසා ලැබිය හැකි ආනිශංස එකොළහක් ඒකාදසක නිපාතයේ එන මෙත්තානිසංස සූත්‍රයෙන් පැහැදිලි වේ.

මෛත්‍රියෙහි ආනිශංස නොමඳව ලැබීමට නම් කෙසේ මෙත් වැඩිය යුතුද යන්න මෙහි පැහැදිලිව දක්වා ඇත. එනම් ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, යානිකතාය, වත්ථුකතාය, අනුට්ඨිතාය,පරිචිතාය, සුසමාරද්ධාය වශයෙනි. ආදරයෙන් ආශ්‍රය කරමින් නැවත නැවත වඩමින්, යානාවක් සේ ගෙන, වස්තුවක් සේ රැකබලා ගනිමින්, එළැඹ සිටි සිහියෙන් යුතුව, මනාව ආරම්භ කර පුරුදු කරන ලදුව, තම දෛනික අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙත් වැඩීම සිදුකළ යුතුය.

එසේ මෙත් වඩන්නන්ට පෙර සඳහන් කළ අනුසස් එකොළහ නොඅඩුව ලද හැකිය.මෛත්‍රිය වචනයට පමණක් සීමා කරන්නන්ට අනුසස් ලැබිය නොහැකි අතර එය තමා විසින් තමාම රවටා ගනු ලැබීමකි. මෙත්තානිසංස සූත්‍රය සජ්ඣායනා කරවා ගනිමින් පිරිත් පැන් ටිකක් පානය කර පිරිත් නූලක් බැඳ ගන්නවාට වඩා මෙය ප්‍රායෝගිකව පුරුදු කළ හැකි නම් ඉන් ලැබිය හැකි ආනිශංස ඉතා මහත්ය.

මෙත් වැඩීමෙහි පළමුවැනි ආනිශංසය සැපනින්දයි (සුඛංසුපති). ද්වේෂයෙන් යුත් තැනැත්තා දහවල් දවසේම ඒ වෙනුවෙන් සිත, කය වෙහෙසවනවා පමණක් නොව රාත්‍රියෙහි නින්දට පැමිණි පසුද බොහෝ වේලා ඒ ගැන සිතයි. මධ්‍යම රාත්‍රිය දක්වාම එවන් අයට නින්ද නොයෙන්නේ අයහපත් ක්ලේෂ ධර්මයන්ගෙන් සිත බරව පවතින නිසාවෙනි. සැපවත් නින්දක් බලාපොරොත්තු වන්නන් මානසික නිරවුල්භාවය ඇති කරගත යුතුය. මානසික සැහැල්ලුව හීන වීම තුළ සැප නින්දක් අත් නොවේ. එහෙත් මෛත්‍රියෙන් යුක්ත වූවන්ට මනා නින්දක් ලද හැකිය.

සැප නින්දක් ලැබූවන්ට යහපත් පිබිදීමක් ලැබේ. (සුඛං පටිබුජ්ඣති) එය දෙවැනි ආනිශංසයයි. ද්වේෂයෙන්, වෛරයෙන් නින්දට යන්නාට නින්ද නිසියාකාරව නොලැබෙන නිසා උදෑසන පිබිදීම ප්‍රබීධයට හේතුවක් නොවේ.මෛති‍්‍රය වඩන්නන්ට එසේ නොව යහපත් කායික මානසික සැහැල්ලුවකින් යුතුව පිබිදිය හැකිය.

එසේම සිත් අමනාපකම් සහිතව අයහපත් ක්ලේෂධර්මයන්ගෙන් සිත පුරවාගෙන නින්දට යන්නන්ට නරක නපුරු සිහින පෙනේ.එසේ වුවත් මෛත්‍රී සහගතව සිටින්නන්ට එසේ නරක සිහින නොපෙනේ. (න පාපකං සුපිනං පස්සති) නරක, නපුරු සිහින යනු යටිසිතේ තැන්පත්ව ඇති නොවිසැඳුණු අයහපත් සිතුවිලිය. එවිට නින්දේදී පවා ගහ බැණ ගැනීමට යෑම සාමාන්‍යයයි. එවිට සුවබර නින්දක් කොයින්ද?

කෙනකු තවකෙනකුට පි‍්‍රයවීම අතිවිශාල ලාභයකි. මෙත් වඩන්නන්ට ලැබෙන සිව්වන ප්‍රතිලාභය වන්නේ මිනිසුන්ට පි‍්‍රයවීමයි. (මනුස්සානං පියෝ හෝති) බොහෝ දෙනෙකු තව කෙනෙකුට පි‍්‍රයවීම සඳහා කෙතරම් දේ කරන්නේද? යන්ත්‍ර පැළැදීමේ සිට මන්ත්‍ර ගුරුකම් කිරීම ආදි බොහෝ ක්‍රම භාවිත කරන්නේද ඉහත කාරණාව සාධනය කර ගැනීම සදහාය. මේ කිසිවකින් තොරව මෛත්‍රියෙන් එය සිදු කළ හැකිය. එනම් මෛත්‍රි සහගත සිතුවිලි තුළින් ලේ ධාතුව පිරිසුදු වන අතර පිරිසුදු ලේ ධාතුව නිසා ඉන්ද්‍රිය ප්‍රසන්න භාවය ඇතිවේ. ද්වේෂය, වෛරය නිසා රුධිරය අපිරිසුදු වීම තුළින් මිනිස් සිරුර අප්‍රසන්න බවට පත්වේ. සසර දී පවා මෙය පුරුද්දක් වශයෙන් ගමන් කළ හැකිය.මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී තෝදෙය්‍ය බමුණාට ඒ බව බුදු හිමියෝ දේශනා කළහ. ප්‍රසන්නවීම හෝ අප්‍රසන්නවීම තීරණය වන්නේ චේතනාවන්හි පවතින මෛත්‍රි සහගත බව හෝ වෛර සහගත බව තුළිනි.

මිනිසුන්ට පමණක් නොව මෛත්‍රි වඩන්නා අමනුෂ්‍යයන්ටද පි‍්‍රයවෙයි. (අමනුස්සානං පියෝ හෝති)භික්‍ෂූන් වහන්සේට කරණීය මෙත්ත සූත්‍රය උගන්වා භාවනා සඳහා යොමු කළේද ඒ නිසාවෙනි. ‘භූතාවා සම්භවේසීවා’ ලෙස එහි දැක්වෙන්නේ භූත අදෘශ්‍යමාන පිරිස් වෙතද මෙත් සිත් පැතිරවීමේ වැදගත් බවයි. මෛත්‍රි ගුණය නිසා ඇතිවන පස්වැනි සැපය මෙසේ අමනුෂ්‍ය කොටස්වලට පවා පි‍්‍රයශීලි වීමයි.

මෛත්‍රී වඩන්නන් තමා විසින් තමා රැකෙනවාට අමතරව දෙවියන් විසින් පවා ආරක්‍ෂා කරනු ලැබෙයි (දේවතාරක්ඛන්ති) .ඊට හේතුව වන්නේ ධර්මානුකූල පැවැත්මයි.මෙත් වැඩීමෙන් ලැබෙන සයවැනි ප්‍රතිලාභය මෙයයි.

සක්ක සංයුක්තයේදි සක්දෙවිඳු මිනිසුන්ට වන්දනා කරන්නේ ඔවුන්ගේ යහපැවැත්ම නිසාවෙනි. එහෙයින් දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනීමට පුද පඬුරු පුදා යාඥා කළ යුතු නොවේ. මෛත්‍රි සහගත කාය, වචී, මනෝ කර්ම තුළින් එය සිදු කරගත හැකිය. ගහට්ඨවන්දනා සූත්‍රයේදි ඒ බව මෙසේ දක්වා ඇත.

යේගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තෝ උපාසකා
ධම්මේන ධාරං පෝසෙන්ති
තේ නමස්සාමි මාතලී

ස්වභාවිකව ඇතිවන විපත්වලින් පවා ආරක්‍ෂා වීමට ඇති හොඳම ආරක්‍ෂක විධි විධානය මෛත්‍රියයි. මෙත් වැඩීම නිසා වස විස, ගිනි ආදි උපද්‍රව වලින් ආරක්‍ෂාවේ. (නාස්ස අග්ගි වා විසංවා සත්ථංවා කමති) මෙය සත්වැනි ආනිශංසයයි. උත්තරා උපාසිකාව මෙන් ගිනිවලින් ආරක්‍ෂාවීමටත්, චූලසීව තෙරුන්ට මෙන් විස නොකැවීමටත්, සංකිච්ච තෙරුන්ට මෙන් හීයෙන් හානි නොවීමටත් මෛත්‍රිය හේතුවන බව විශුද්ධිමග්ගය පෙන්වාදෙයි. නාලාගිරි හස්තියා බුදුරදුන් ඉදිරියෙහි දණ නැමුවේ උන්වහන්සේගේ අප්‍රමාණ මෛත්‍රි ගුණ බලය නිසාය.

චිත්ත සමාධිය (තුවටං චිත්තං සමාධියති) ඇතිකර ගැනීම සඳහා මෛත්‍රිය හේතුවන අතර මෙත් වැඩීමේ අටවැනි අනුසස මෙයයි.

චිත්ත ඒකාග්‍රතාව ඇතිවීමට ප්‍රමුඛතම පිටිබලය මෙම මෛත්‍රී ගුණය ප්‍රගුණ කිරීමයි. සිල්වත් වූ පුද්ගලයා ඊළඟට පැමිණෙන්නේ සමාධියටයි. සමාධියෙන් තොරව ප්‍රඥාව ලද නොහැකිය. එහෙයින් දෙලොව යහපත සඳහා සිත සමාධිගතවීම අත්‍යවශ්‍යය.

මේ ලෝකයෙහි කෙනෙකු පැහැදෙන ආකාර සතරක් ධර්මය පෙන්වා දෙයි. එහි ප්‍රධාන ආකාරය ‘රූපපසන්න’ බවයි. මෙත් වඩන්නාට පැහැපත් මුහුණක් ලද හැකිය. (මුඛවණ්ණෝ විප්පසීදති) මෙත්තානිසංස සූත්‍රයෙහි විස්තර වන නව වැනි ප්‍රතිලාභය මෙයයි. ආලේප ආදිය තුළින් සිද්ධවන්නේ සමේ පැහැයෙහි වෙනසක් වීම පමණි. එය ප්‍රසන්න බව ලෙස වටහානොගත යුතුය. ද්වේෂයෙන්, වෛරයෙන් පෙළෙන්නාගේ අයහපත් බව ඔහුගේ මුවින් පෙනෙන්නේ ප්‍රසන්න බව අතුරුදන් වීම නිසාවෙනි.

නිවන් ලබනතුරුම සත්වයා ඉපදෙමින් මැරෙමින් සසරෙහි ගමන් කරයි. භවයක චුති සිතෙන් අනතුරුව ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත පහළවේ. එබැවින් ජීවිතයක අවසාන මොහොත නොමුළා සිහියෙන් යුතුව ගතකිරීම මහත් ලාභයකි. එය සැමටම ලැබෙන භාග්‍යයක් නොවේ. එසේ වුවත් මෛත්‍රි සහගතව ජීවත් වූවන්ට ලැබෙන දස වැනි ආනිශංසය නොමුළාව කලුරිය කිරීමයි. (අසම්මූල්හෝ කාලං කරෝති) මෙය මහත් ප්‍රතිලාභයක් වන්නේ භව නිරෝධයට යන ගමනේදි උපදින උපදින භවයක් පාසා සුගතිගාමීව, සමෘද්ධිමත්ව ජීවත්වීමට හැකිවීම නිසාය. කෙනකු මරණ මඤ්චකයේදි සිහිමුළා වීමට තමන් ජීවත්ව සිටින කාලය තුළ කරන ලද අයහපත් ක්‍රියා හා සිතන ලද අයහපත් සිතුවිලි මතකයට නැඟීමත් හේතු විය හැකිය.

මෙත් වඩමින් ජීවත්වන්නන්ට ඉහත කාරණා දහය මෙලොව තමාටම ප්‍රත්‍යක්ෂ කරගත හැකි අතර මේ ජීවිතයේදි රහත් බෝධියට පත්විය නොහැකි වුවහොත් මරණෙන් මතු බඹලොව ඉපදීමට මෛත්‍රිය බොහෝ සේ දියණු කර තිබීම මහත් පිටිවහලකි. (උත්තරීං අප්පටිවිජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති) එය මෙත් වැඩීමේ එකොළොස්වැනි ආනිශංසයයි. මෙයින් අදහස් වන්නේ මෛත්‍රිය නිසා අවසාන වශයෙන් නිවනද ඉන් මෙහා තිබෙන කායික, අධ්‍යාත්මික සුවයද නොඅඩුව ලද හැකි බවයි.

සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා!

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.