Print this Article


<%on error resume next%> බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 4 බුදුරජාණන් වහන්සේ යශෝධරාවට මනෝචිකිත්සාවෙන් සරණ වු සැටි

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 4

බුදුරජාණන් වහන්සේ යශෝධරාවට මනෝචිකිත්සාවෙන් සරණ වු සැටි

මානසික රෝග නිවාරණය සඳහා ප්‍රතිකාර ක්‍රම දෙකක් භාවිතවෙයි. භෞතික සහ මනෝචිකිත්සක යනුවෙන් එම ක්‍රම හැඳින්වෙයි. භෞතික ප්‍රතිකාර (Physical Treatments) සඳහා ඖෂධ, විද්‍යුත්, චුම්බක, දීප්ත්‍යාලෝක සහ ශල්‍ය ක්‍රම භාවිත වුවද එවැනි භෞතික මෙවලම් නැතිව භාවිත වන මනෝචිකිත්සක ප්‍රතිකාර (Psychotherapies) සඳහා යොදා ගනු ලබන්නේ මනෝවිද්‍යා පර්යේෂණ අනුව පිළිගැනෙන සිද්ධාන්තයි.

මනෝවිද්‍යා සිද්ධාන්ත විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා, ඒවා මත ගොඩනැගී ඇති මනෝචිකිත්සක ක්‍රමද රාශියක් තිබේ. බැලූ බැල්මට මෙම ක්‍රම එකිනෙකට වෙනස් බව පෙනෙතත්, 1967 දී ජෙරමි ෆ්‍රෑන්ක් (Jerome Frank) එම මනෝචිකිත්සක ක්‍රම සියල්ලටම පොදු සාධක අටක් සොයා ගත්තේය. ඒ මෙසේ ය.

1. අසා සිටීම සහ කථා කිරීම (Listening and Talking)

2. චිත්තවේග මුදා හැරීම (Release of Emotion) මෙම මුදා හැරීම බලවත් සහ වේගවත් වෙයි නම් අපසර්ජනය (Abreaction)  යනුවෙන් හැඳින්වෙයි.

3. දැනුවත් කිරීම (Giving Information)

4. ශාස්ත්‍රීය පදනම පහදා දීම (Providing A Rationale)  

5.ආත්ම විශ්වාසය යළි ගොඩනැංවීම (Restoration of Morale)

6.ව්‍යංගය (Suggestion)

7.මාර්ගෝපදේශකත්වය සහ අවවාද (Guidance and Advice)

8. චිකිත්සක සහ රෝගියා අතර සම්බන්ධතාව (Doctor – Patient Relationship)
 

බුදුරජාණන් වහන්සේ යශෝධරාවගේ මානසික අසහනය සුව කළ අන්දම විග්‍රහ කර බලන විට ජෙරමි ෆ‍්‍රෑන්ක් මෑතකදී සොයා ගෙන මනෝවෛද්‍ය ලෝකයට හෙළි කළ ඉහත සඳහන් චිකිත්සක සාධක අටම, මීට වර්ෂ දෙදහස් හය සියයකට පමණ පෙර බුදුරජාණන් වහන්සේ යශෝධරාව සුවපත් කිරීමට යෙදු ප්‍රතිකාර ක්‍රමය තුළ අන්තර්ගත වූ බව පෙනෙයි.

රෝග ඉතිහාසය

ප්‍රතිකාරයට පෙර වෛද්‍යවරයා රෝග ඉතිහාසය දැන ගත යුතුය. බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් යශෝධරාවගේ භවයෙන් භවයට සම්පූර්ණ අතීතය දැන සිටි සේක. එමෙන් ම පිය රජතුමා යශෝධරාවට යැවූ කැඳවුම් පණිවුඩයට ඇය එවූ පිළිතුර තුළ ගැබ් වූ ආකල්පය ද උන්වහන්සේ දැන සිටි සේක. මහාභිනිශ්ක්‍රමණයෙන් පසු ඇය කසාවත් විනා අලංකාර වත් නො හැද, ආහාර ගැනීම එක් වේලකට සීමා කර, උස් අසුන් මහ අසුන් පරිහරණය නො කර, මල් ගඳ විලවුන් හැර දමා, වියෝ දුකින් වෙළෙමින් හුන් අයුරුද, ඇය සරණ පාවා ගැනීමට බොහෝ කුමරුන් අසා එවු නමුත් ඒ යෝජනා කිසිවකට එකඟ නො වූ අයුරු ද සුද්ධෝධන රජතුමා යශෝධරාවගේ මැදුරේදී උන්වහන්සේට විස්තර කළේය.

මනෝ වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කිරීමට පෙර රෝග ඉතිහාසය ලබා ගන්නේ විඥාපක (Informant) නමින් හැඳින්වෙන ඥාතියකුගෙනි. සුද්ධෝදන රජතුමා එදින ක්‍රියා කළේ විඥාපකයා වශයෙනි.

බුදුරජාණන් වහන්සේ යශෝධරාව හමුවන්නට මැදුරට වැඩම කළ අවස්ථාවේ ද ඇය සැරසී සිටියේ කසාවතින් බව උන්වහන්සේ දුටු සේක.

රෝග ඉතිහාසය ලබා ගැනීම සහ මූලික නිරීක්‍ෂණ නිම වු පසු බුදුරජාණන් වහන්සේ දුකින් හඬමින් හුන් යශෝධරාව හමු වී පැවැත්වූ මනෝචිකිත්සක සැසියේදී ක්‍රියාත්මක වූ චිකිත්සක සාධක අට එකින් එක විමසා බලනු වටී.

ෆ‍්‍රෑන්ක් ගේ සාධක

1. අසා සිටීම සහ කථා කිරීම

පුරා වර්ෂ හතක් දුකින් තැවෙමින් සිට එදින තමා බලන්නට තම මැදුරට ම වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මුල වැටී යශෝධරාව කළ කී දේ දකිමින් අසමින් බුදුරජාණන් වහන්සේ තෘෂ්ණිම්භූ®තව හිඳ ඉන් පසුව ඇගේ සිත සනසා, එහිදී ඇය හැසුරුණූ විලාශය පිළිබඳ ඇයට ඇති වූ ලජ්ජාව තුනි කර, පූර්ණ භවයන්හිදි ඇය තමන් වහන්සේගේ පාරමිතා පූර්ණයට අත හිත දුන් අන්දම විස්තර කර දුන් සේක.

චිකිත්සකවරයකු රෝගියා කියන කරන දේ, බොහෝ විට නිහඬව අසා බලා සිට, එතෙක් සැඟවී තිබුණු කරුණූ වෙත රෝගියාගේ අවධානය යොමු කළ යුතු බව ෆ්‍රෑන්ක් පෙන්වා දී ඇත.

2. චිත්තවේග මුදා හැරීම සහ අපසර්ජනය

බුදුරජාණන් වහන්සේ මෙම චිකිත්සක සාධකය මැනැවින් දැන සිටි බව උන්වහන්සේ යශෝධරාවගේ මැදුරට වැඩම කරන්නට පෙර දෑගසවුවන් වහන්සේලා අමතා කළ ප්‍රකාශනයෙන් පැහැදිලිය. යශෝධරාව එවිට ද පෘථග්ජන නිසා තමන් වහන්සේ කෙරෙහි සංසාරය පුරා භවයෙන් භවයට වර්ධනය වෙමින් ආ අධික පේ‍්‍රමයක් දක්වන බවත් චිත්තවේග ප්‍රවාහය පිටවීමට ඉඩක් නො ලදහොත් ඇයට ළය පැලී මිය යන්නට සිදු විය හැකි බවත්, එහෙයින් ඇයට රිසි සේ හඬන්නට වැළැපෙන්නට ඉඩ හැරිය යුතු බවත්, ඊට ඇයට බාධා නො කළ යුතු බවත්, බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයෙහි සඳහන් විය.

දෑගසවුවන් වහන්සේලා බුදුරජාණන්වහන්සේගේ එම ඉල්ලීම් අකුරටම ඉෂ්ට කල සේක. බුදුරජාණන් වහන්සේ යශෝධරාව තමන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශ කරමින් හඩා වැලපෙද්දි පිය රජතුමා එයින් කලබල වුවත් ඇගේ චිත්තවේගවල ප්‍රකාශනයට බාධා නොකර තෘෂ්ණිම්භූ®තව හුන් සේක.

ෆ‍්‍රෑන්ක්ගේ උගැන්වීම් අනුව චිත්තවේග ප්‍රකාශනය රෝග නිවාරණයේ වැදගත් කොටසකි. එය යළි යළි කිරීමෙන් අමතර ගුණයක් නො ලැබෙන හෙයින් එක් වරකින්ම චිත්තවේග හැකි පමණ ප්‍රකාශනයට ඉඩ දීම සුදුසුය.

යශෝධරාව සත් වර්ෂයක් තිස්සේ උසුලා සිටි බලවත් චිත්තවේග එක් සැසියකදී වේගයෙන් ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේ ඇයට අවස්ථාව සලසා දුන්සේක.එවැනි වේගවත් චිත්තවේග ප්‍රකාශන හැඳීන්වෙන්නේ අපසර්ජන නමිනි. අපසර්ජනය, බුදුරජාණන් වහන්සේ සිදු කළ ආකාරයට ඊට අවශ්‍ය පරිසරය සකස් කර සුදුසු අවස්ථාවක් සලසා දීමෙන් කළ හැක.

චාල්ස් ඩිකන්ස් (Charles Dickens) ලියූ “නගරද්වයේ කථාන්තරය” (A Tale of two cities) පොතේ ලුඩී නමැති දියණිය ඇගේ පියා වන වෛද්‍ය මැනේගේ අසහනය සුව කරන්නේ අපසර්ජනයකි.

‘අන්දාස්’ නම පැරැණි හින්දි චිත්‍රපටයේ රාජ් කපූර් පියාගේ හදිසි මරණයෙන් කම්පනයට පත් නර්ගීස් සුවපත් කරන්නේත්, අපසර්ජනයකිනි.

විනිද්‍රාව හෙවත් මෝහනය (Hypnosis) මඟින්ද අතීත විපතක් කරා මනස අතීතයට ගමන් කරවා හෙවත් ප්‍රතිගමනය (Regreession) කරවා අපසර්ජනයක් කළ හැක.

සිග්මන් ෆෙ‍්‍රායිඩ් (Sigmund Freud) චිත්තවේග ප්‍රකාශනය විරේචනය (Catharsis) නමින් හැඳින්වීය. අප්‍රසන්න චිත්තවේග මනසින් බැහැර වීමෙන් මල ශරීරයෙන් බැහැර වීමෙන් මෙන් පිරිසුදු බවක් නොහොත් සුවයක් සැලසෙන නිසාය. ෆ්‍රොයිඩ් එම චිකිත්සක ක්‍රමයට ‘විරේචනය’ නම යෙදුවේ.

3. දැන්වත් කිරීම

බුදුරජාණන් වහන්සේ යශෝධරාවට දේශනා කළ ජාතක කථාවෙන් ම සංසාරය, කර්ම විපාක, පුනර්භවය වැනි කරුණු ගැන ඇය දැනුවත් කළ සේක. යශෝධරාව ඇය දැනුවත් කළ සේක. යශෝධරාව පැවිදි වීමට කැමැත්ත ප්‍රකාශ කළේද එම දැනුවත් වීම පදනම් කරගෙන විය යුතු ය.

ඇය මෙහෙණි සස්නට පළමුවෙන් නො ගත යුතු බවත් එම තනතුරට ප්‍රජාපතී ගෝතමිය පළමුවෙන් ගැනීම වඩා සුදුසු බවත් පෙන්වා දෙමින්ද බුදුරජාණන් වහන්සේ යශෝධරාව දැනුවත් කළ සේක.

රෝගියාට රෝග තත්වය පිළිබඳව කරුණු පාහදා දීම චිකිත්සාවේ වැදගත් අංශයක් බව ෆ‍්‍රෑන්ක් පෙන්වා දී තිබේ. අදාළ අතීත සිද්ධී සිහිපත් කිරීමද කතන්දර, පොත්පත් ආදියට අවධානය යොමු කිරීමද වැදගත් ය.

4. ශාස්ත්‍රීය පදනම පහදා දීම

යශෝධරාව හමුවීමට පෙර, බුදුරජාණන් වහන්සේ දෑගසවුවන් වහන්සේලා දෙනමට කියා දුන් එක් කරුණක් වූයේ,ඇය කෙලෙස් දුරු කරන තුරු ඇගේ චරිත විස්තර කර ඇය සනසන්නට තමන් වහන්සේ අදහස් කරන බවය. ඇය එදින අසහනයෙන් මිදුනා හෝ ඇය නිවන් අවබෝධ කරගන්නා බව ද උන්වහන්සේ දෑගසවුවන් වහන්සේ්ලාට පැවසු සේක. එම අරමුණ පදනම් කරගෙන බුදුරජාණන්වහන්සේ, යශෝධරාව නිවන් මඟට යොමු කිරීමෙ දීර්ඝ කාලීන සැලැස්මක් අනුව ක්‍රියා කළ සේක. උන්වහන්සේ එම අරමුණ ඇයට අවබෝධ කර දුන් බව දේශනය අවසානයේදී සස්නට ඇතුළු වීමේ අදහස යසෝධරාව ඇතිවීමෙන් පෙනෙයි.

චිකිත්සාවේදී’ පැහැදිලි ක්‍රම වේදයක් පදනම් කරගෙන රෝග කාරක කරුණු රෝගියාට කියා දිය යුතු බවත්, නැතිනම් චිකිත්සකවරයා සපයන අර්ථකථන ඔස්සේ රෝගියාටම එම කරුණූ අවබෝධ වීමට ඉඩ දිය යුතු බවත්, ෆ‍්‍රෑන්ක් උගන්වා දී ඇත. සිග්මන්ෆ්‍රොයිඩ් සොයා ගත් මනෝවිග්‍රහය (Psycho Analysis) නම් චිකිත්සක ක්‍රමය අනුව මෙම අර්ථකථන රෝග නිවාරණය සඳහා අනිවාර්ය වෙයි. තමාගේ ගැටලු තේරුම් ගෙන ඒවා විසඳා ගැනීමට එම අර්ථකථන පිහිට වෙයි.

5. ආත්ම විශ්වාසය යළිගොඩනැංවීම

තමාත් තම බිලිඳු පුතුත් තනි කර ස්වාමිපුරුෂයා නො කියා ම ගිය පසු යශෝධරාවගේ ආත්ම විශ්වාසය පහළටම වැටී තිබීම ස්වාභාවිකය.

සුද්ධෝදන මාලිගාවේ සිට තමා හමු නොවි බුදුරජාණන් වහන්සේ පිට මගින් මල්ල දේශයට වැඩම කළ සේක් නම් යශෝධරාවගේ ආත්ම විශ්වාසය සහමුලින් විනාශ වන්නට තිබිණ. මේ බව බුදුරජාණන් වහන්සේ දැන සිටි සේක. ඇගේ ආත්ම විශ්වාසය යළි ගොඩනැංවීම සඳහා ඇගේ අතීතයෙන් කරුණු ගෙන හැර පෑමට අවශ්‍ය බව උන්වහන්සේ දෑගසවුවන් වහන්සේලාට පැවැසුවේ ඒ අනුවය.

යශෝධරාව ඉදිරියේ කළ දේශනාව සඳහා උන්වහ්නසේ චන්ද + කින්ර (චන්දකින්නර) ජාතකයකම තොරා ගත්තේද ඒ අනුවය.

පන්සිය පනස් ජාතක පොතේ චන්දකින්නර ජාතකයේ පච්චුප්පන්න වස්තුවෙහි සඳහන් වන්නේ, සුද්ධෝදන රජතුමා,ලේලිය, සිද්ධාර්ථ රජු නික්මී ගිය පසුනොයෙක් කුමරුන් එවූ විවාහ යෝජනා ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළ විට, බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ බවයි.

‘යම් බදු මදක් වැන්දඹුවන් කෙළවර ඇත්බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් ප්‍රාර්ථනා නො කළ බව ආශ්චර්ය නොවෙයි. පෙර ගිය දවස තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් ප්‍රාර්ථනා නො කළ බව වේ දැයි “ යනුවෙනි.

එම දේශනය අසා සිටි නෑදෑ පිරිස යශෝධරාවගේ උතුම් ගති අසා දුන් සාධූකාර ඇසූ යශෝධරාවට ආත්ම විශ්වාසය යළි ගොඩනංවා ගැනීමට හැකි වන්නට ඇත. ඉන් පෙර දින ශාක්‍යයින් ඉදිරියේ දේශනාවට මුල් වූ කළ වෙස්සන්තර ජාතකයෙන් ද බුදුරජාණන් වහන්සේ ඇගේ උතුම් ගති ලක්‍ෂණ සහ ස්වාමිපුරුෂයාට තිබුණු හිතවත් කම නැදෑයිනට කියා පෑ බව යශෝධරාවට සැළ වන්නට ඇත.

දේශනාවසානයේ යශෝධරාව සතුටින් පිනා ගියේද පැවිදි වීමට අවසර ඉල්ලුවේද ඇගේ ආත්ම විශ්වාසය ගොඩනැංවුණු හෙයිනි.

ෆ‍්‍රෑන්ක්ගේ මතය අනුව රෝගියකු චිකිත්සවරයා කරා එන්නේ, තමා ම සිත සකසා ගැනීමට උත්සාහ කර කිහිප වාරයක්ම අසමර්ථ වී, හටගත් ආත්ම විශ්වාස භංගය සහිතවය. එම විශ්වාසය ගොඩනංවා ලීමට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළ අන්දම, සෑම මනෝචිකිත්සකවරයකුටම විශිෂ්ට ආදර්ශයකි.

6. ව්‍යංගය

මෙම මානසික ක්‍රියාවට හේතු වන්නේ යම් පුද්ගලයෙකුගේ ප්‍රකාශන එම පුද්ගලයා කෙරෙහි පවතින භක්තිය සහ විශ්වාසය අනුව විමසීමකින් තොරව, ඒ විධියටම පිළිගැනීමයි. පරිසරයේ සාධක කිහිපයක් මීට උපකාරී වෙයි. විනිද්‍රාව හෙවත් මෝහනය (Hypnosis)  ව්‍යාංගය, පදනම් කරගත් චිකිත්සාවකි.

විමසීමෙන් තොර පිළිගැනීමක් බුදුදහමේ නොමැත. එහෙත් යශෝධරාව තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණු අචල භක්තියත් අවුල් ව තිබුණු මානසික පරිසරයකින් උද්වේගකාරි අවස්ථාවක නෑදැයින් පිරිවරා ගෙන හිඳීමක් නිසා ව්‍යංගය යම් පමණට හටගැනීම සිදු විය හැක්කකි. එවැනි අවස්ථාවක යටි සිත අවදි ව සිටීම, උපදේශ පිළිගැනීමට යම් සහායක් සපයයි.

ඇයට පැවිදි වීමට සිතක් පහළ වූයේත්, බුදුරජාණන් වහන්සේ සහ සුද්ධෝදන රජතුමා ඒ අවස්ථාවේ පැවිදි නොවීමට දුන් උපදේශත් ඇය එක් වරම පිළිගත්තේත් මඳ පමණට හෝ ව්‍යංගයේ සහාය නිසාය.

ෆ‍්‍රෑන්ක, සෑම මනෝචිකිත්සාවේම යම් පමණකට ව්‍යංගය ගැබ්ව ඇති බව පෙන්වා දෙයි. එය යම් මානසික පරිවර්තනයකට හිතකර වුවත්, ප්‍රතිඵල කෙටි කාලීන බව ඔහු කියයි. ඒ නිසා විනිද්‍රා චිකිත්සාව හැරෙන්නට අන් ක්‍රම රාශියක්ම ව්‍යාංගය පාවිච්චි නො කරයි.එහෙත් තාවකාලිකව වුවත් යම් පරිවර්තනයක් වූ විට එය ඔස්සේ දීර්ඝ කාලීන සුවයක් තනා ගැනීමට ඉන් අවසරයක් සැලසෙයි.

7. මාර්ගෝපදේශකත්වය සහ අවවාද

බුදුරජාණන් වහන්සේගේ දේශනාව අසා සිටීමෙන් යශෝධරාට මානසික සහනය ඇතිවී ඇය නිවන් මගට යොමු වූ අන්දම, පැවිදි වන තුරු ඇය ගත කළ සන්සුන් ජීවිතය පිළිබඳ තොරතුරුවලින් හැඟේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කිරීමෙන් සත් වැනි දින බුදුරජාණන් වහන්සේ රාහුල පුතු පැවිදි කළ බව අසා ඇය දුකින් හැඬුවද එම වියෝ දුක ඉක්මණින් තුනි කර ගැනීමට යශෝධරාවට හැකියාවක් තිබිණි. එම හැකියාව බුදුරජාණන් වහන්සේගේ චිකිත්සාවෙන් ඇති වූවකි.

සෑම මනෝචිකිත්සා වෙහි ම මාර්ගෝපදේශකත්වය සහ අවවාද අන්තර්ගත බවත්, මාර්ගෝපදේශකත්වය සාර්ථක ලෙස පිළිගැනෙන්නේ රෝගියාම ස්වෝත්සාහයෙන් නිසි මාර්ගය ඔස්සේ ගමන් කරත හොත් බවත්, ෆ‍්‍රෑන්ක් සඳහන් කර තිබේ.

යශෝධරාව නිර්වාණ මාර්ගයට අවතීර්ණ වූයේත් බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපද්ශකත්වය නිසාය. එය ස්වෝත්සාහයෙන්ම සිදු වූවකි.

8. චිකිත්සක සහ රෝගියා අතර සම්බන්ධතාව

යශෝධරාව පැවිදි වී රහත් මෙහෙණින් වහන්සේ නමක් වශයෙක් බුදුරජාණන් වහන්සේ හෙළි කළ මාර්ගයේ ගමන් කර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමට තුන් මසකට කලින් උන්වහන්සේ වෙත වැඩම කොට, අවසර ගෙන ප්‍රාතිහාර්ය පා ධර්මය දේශනා කර පිරිනිවන් පෑ සේක.

ජෙරමි ෆ‍්‍රෑන්ක් චිකිත්සක සහ රෝගියා අතර, චිකිත්සාව නිසා තැනෙන සම්බන්ධතාව අතිශයින් වැදගත් සාධකයක් සේ පවසා ඇත.

බුදුරජාණන් වහන්සේ පළමු වරට කිඹුල්වතට වැඩම කර, සත් වර්ෂයක් වියෝ දුකින් සහ අසහනයෙන් පෙළෙමින් හුන් යශෝධරාව හමු නොවී මල්ල දේශයට ගිය සේක් නම්, යශෝධරාවට ඛේදජනක ඉරණමක් අත්වන්නට තිබුණි.

එහෙත් මහා කාරුණිකයන් වහන්සේ ඇගේ අර්බුදයට මැදිහත් වීම නිසා ඇයට අත්වූයේ ඛේද රහිත අජරාමර නිර්වාණයයි.

නිර්වාණයයි. මානසික සහනයේ උපරිම ස්ථානය

තුනුරුවන් සරණයි


බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 3  ඉච්ඡාභංගය සහ අපසර්ජනය
 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.