Print this Article


<%on error resume next%> නොගැළපෙන ඇසුර තමාට පීඩාවක්

නොගැළපෙන ඇසුර තමාට පීඩාවක්

තමන්ට නො ගැලපෙන අය ඇසුරු කිරීමෙන් තමන් පීඩාවට පත්වෙන්න පුළුවන් ඒ වගේම මානසිකව පීඩාවට පත් වෙන්නත් පුළුවන්. අපි‍්‍රය කියලා කියන්නේ ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂවයි. මම අපි‍්‍රය කරන දේ තව කෙනෙකුට පි‍්‍රය වෙන්න පුළුවන්. මෙතැන දී අවධාරණය කරගත යුතු දේ තමයි නො ගැලපෙන ඇසුර. නො ගැළපෙන පුද්ගලයන් හා එකතුවීම කියන්නේ ශ්‍රද්ධා සීලාධි ගුණ ධර්මයන්ගෙන් පරිහානියට පත්වෙන අය සමග ඇසුරු කරන්නට සිදුවුණොත් තමාට විශාල පීඩාවකට පත්වෙන්න සිදුවෙනවා

මිනිසත් බවක් ලැබීම ලෝකයේ ඉතාම දුර්ලභ කාරණයක්. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මනුෂ්‍යයා කියන්න පුළුවන්කම ලැබෙන්නේ මනසින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබෙන කෙනාටයි. කෙනෙකුට මනසින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට උපකාර වන තවත් කරුණු තිබෙනවා. ඇස්, කණ්. නාසාදි ඉන්ද්‍රියන්ගේ් විකලත්වයන් නැතුව ඉපදීම හොඳ, නොහොඳ කල්පනා කළ හැකි ඤාණ ශක්තියක් ඇතිව මන්ද බුද්ධික නොවී ඉපදීම යහපත් ආර්ථික ශක්තියක් ඇතිව ඉපදීම ඒ අතර ප්‍රධානයි. ඒ වගේම කල්‍යාණ මිත්‍ර සේවනයද ඒ අතර විශේෂ වෙනවා.

කල්‍යාණ මිත්‍ර ආශ්‍රය දුරස් වෙද්දී අපට අපි‍්‍රය අමනාප වූ පුද්ගලයන් මුණ ගැසෙනවා. එවිට අප කිපෙනවා. ගැටෙනවා. එසේ නොවීමට අප කළ යුත්තේ කුමක්ද කියා අපි මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

ස්වාමින් වහන්ස, අප්‍රිය අය හා එක්වීමේ දුක ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක් ද?

අපි‍්‍රය සම්පයෝග දුක කියන්නේ අකැමැති අය හා එකතුවීම. අකැමැති අය හා එකතු වීමෙන් මූලිකවම වන්නේ දුක ඇතිවීමයි. ඒ තමයි කායික හා මානසික දුක. තව ආකාරයකට කියනවානම් නුසුදුසු අය ඇසුරු කිරීම. තමන්ට නො ගැලපෙන අය ඇසුරු කිරීමෙන් තමන් පීඩාවට පත්වෙන්න පුළුවන් ඒ වගේම මානසිකව පීඩාවට පත් වෙන්නත් පුළුවන්.

අපි‍්‍රය කියලා කියන්නේ ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂවයි. මම අපි‍්‍රය කරන දේ තව කෙනෙකුට පි‍්‍රය වෙන්න පුළුවන්. මෙතැන දී අවධාරණය කරගත යුතු දේ තමයි නො ගැලපෙන ඇසුර. නො ගැළපෙන පුද්ගලයන් හා එකතුවීම කියන්නේ ශ්‍රද්ධා සීලාධි ගුණ ධර්මයන්ගෙන් පරිහානියට පත්වෙන අය සමග ඇසුරු කරන්නට සිදුවුණොත් තමාට විශාල පීඩාවකට පත්වෙන්න සිදුවෙනවා. උදාහරණයක් ලෙස තථාගතයන් වහන්සේ වදාළා තමාට වඩා පහත් අය ඇසුර තමාත් පිරිහිලා යනවා. තමනුත් දුස්සීල වෙනවා. ඒ වගේම ලෝභයෝ ඇසුරු කළොත් තමාත් ලෝභ වෙනවා. එහෙම වුනාම ඒ පරිසරය තුළ එයා පීඩාවට පත්වෙනවා.

ඊළඟට අපි‍්‍රය පුද්ගලයන් ලෙස හඳුන්වන්නේ අප අකැමැති පුද්ගලයන්. අප අකැමැති වුවත් ඒ අය ඇත්තටම හොඳ වෙන්න පුළුවන්. අප මොහොතක් කල්පනා කරල බලන්න ඕන ඇත්තටම පුද්ගලයන් අපට අපි‍්‍රය වෙන්නේ ඇයි කියලා. එයාගේ තිබෙන නරක කමක් නිසාද? එහෙම නැත්නම් එයාගේ හොඳට අප අකැමැති නිසාද කියාල. ඇත්තටම ඔහුගේ හොඳක්නම් තිබෙන්නේ ඒ හොඳදේට අපි අකැමැතිනම් නරක අපියි. එතකොට ඒ දුක හට ගන්නේ තමාගේ වරදින්. තමා අකැමැති අපි‍්‍රය කරන බොහෝ දෙනා ඉන්න පුළුවන්. සැබැවින්ම නරක අයත්, සැබැවින් හොඳ අයත් ඉන්න පුළුවන්. හොඳ අයගේ ඇසුරට පත්වුණොත් අපට පීඩාවක්. නැහැ.

තථාගතයන් වහන්සේගේ පහළවීමටත් පෙර සමාජයේ තිබූ දෙයක් බාලයන් ඇසුරු කිරීම පිරිහෙන්නට හේතුවක්. බාලයන් ඇසුර නො කර සිටීම දියුණුවට හේතුවක් බව. අපට අපි‍්‍රය වෙන්න ඕන ගුණධර්ම වලින් පිරිහුණු අය. ගුණධර්ම වලින් පිරිහුණු අය අපට අපි‍්‍රය වෙනවා නම් ඒවායේ ඇසුරක් අපට ලැබුණොත් එතැන දී අපට දුකක් ඇතිවෙනවා. එහම වුණොත් අප මොකක් ද කරන්න ඕන. අපි‍්‍රයයි කියලා ලෝකයේ සියලුම දෙනා සමග තරහ වෙන්න බැහැ. ලෝකයේ හැටි එහෙම තමයි. ලෝකය කියන්නේ හොඳ නරක දෙකෙහිම සම්මිශ්‍රණයක්. හොඳම විතරක් හෝ නරකම විතරක් තිබෙන ලෝකයක් කොහේවත් නැහැ.

සීලවන්තයන් සිටින හෝ දුස්සීලයන් පමණක් සිටින ලෝකයක් කොහේවත් නැහැ. එහෙම ලෝකයක අප දැනගන්න ඕන හොඳ නරක මොකක්ද කියලා හඳුනා ගන්න. හඳුනා ගෙන හොඳ දේ විතරක් ග්‍රහණය කර ගන්න. ලෝකය තුළ අපි ස්වර්ණ හංසයෝ වෙන්න ඕන. ඒ හංසයන්ට පුළුවන් කිරි හා වතුර මිශ්‍ර කරල තිබ්බම කිරි ටික වෙන්කරලා හඳුනා ගන්න. ඒ වගේ හොඳ නරක මිශ්‍රවෙලා තිබෙන ලෝකයක පි‍්‍රය, අපි‍්‍රයයන් සිටින ලෝකයක අප දැනගන්න ඕන අපට හොඳ දේ පමණක් උකහා ගන්න. එහෙම නැතිනම් තමා අපි‍්‍රය කරන අය සමග ගැටෙන්න ගියොත් තව තවත් අපි කෙලසී යනවා. අපි‍්‍රය වූ පමණින් නරක වූ අපි ගැටෙන්න හොඳ නැහැ. අනුන් නරක වූ පමණින් අපේ සිතේ කෙලෙස් අවුස්ස ගත්තොත් එයින් හානියට පත් වෙන්නේ අපමයි. වෙන කවුරුත් නොවේ. එනිසා අපි‍්‍රය අය සමග ජීවත්වෙන්න සිදු වූ එකම පුද්ගලයා මම නොවේ කියා හිතල සිත ශක්තිමත් කර ගැනීම තමයි කළයුතු වන්නේ.

“අපි‍්‍රය පුද්ගලයන් හමු නොවේවා යි’’ ප්‍රාර්ථනා මත සිදු වන්නක් ද?

ප්‍රාර්ථනා කළ පමණින් කිසිදු දෙයක් සිදුවන්නේ නැහැ. හැබැයි, අධිෂ්ඨානය තබා ගැනීම හොඳයි. මම අපි‍්‍රයන් සමග එකතු වුණොත් සිත කෙලෙසෙන එක පමණයි වෙන්නේ. ඒ නිසා මම අපි‍්‍රය අය සමග ගැටෙන්නේ් නැහැ කියලා හිතන්න ඕන. අපි‍්‍රය අය මුණ නො ගැසේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒක යථාර්ථ ප්‍රාර්ථනාවක් නොවේ. එහෙම වුණොත් අපට මේ ලෝකයේ ජීවත්වෙන්න ලැබෙන්නේ නැහැ. අකැමැති කියන්නේ් රූප පමණක් නොවේ. ශබ්ද, ගඳ සුවඳ, රස, ස්පර්ෂ මේ ඔක්කෝම පි‍්‍රය වගේම අපි‍්‍රයත් වෙනවා.

මගේ ඇසට කවදාවත් නරකක් නම් නොපෙනේවා කියලා සිතීම යථාර්ථ ප්‍රාර්ථනාවක් නොවේ. අප එහෙම වෙලාවක කළයුත්තේ මධ්‍යස්ථව සිතීමයි. මේ ලෝකයේ මට පි‍්‍රය වගේම අපි‍්‍රය අයත් ජීවත් වෙනවා කියලා දැනගෙන ඒ අනුව කටයුතු කරන එක. ඒ වගේම තමා ළඟ කිසියම් ගුණ ධර්මයක් දියුණුවෙලා තිබෙනවාද කියලා බලන්න ඉඳහිට හෝ අපි‍්‍රය අය මුණ ගැසෙන්න ඕන. එතකොටයි තමා කොතරම් ශක්තිමත්ද කියලා වැටහෙන්නේ. අනුන්ගේ් නරක හමුවේ අප බිඳ වැටෙනවානම් දුක් වෙනවානම් එයින් ප්‍රයෝජනයක් නැහැ. අපේ සීලය තිබෙන්න ඕන අප දුස්සීල වෙන තැනයි. ඒවගේ නරක අය අබියස අපේ කෙලෙස් ඇවිස්සී එනවානම් ඇත්තටම අප දක්ෂයෝ නොවෙයි. එහෙම නැතිව අපි‍්‍රය හා ඇසුර එපා කියලා ප්‍රාර්ථනා කළාට එය සිදුවෙන්නෙත් නැහැ. එය බුද්ධිගෝචර ප්‍රාර්ථනාවකුත් නොවේ. නමුත් අපට පුළුවන් අප සමඟ ගැටෙන අය ඉන්නවානම් එබඳු අය දැකල ඒ අය ආශ්‍රය නොකර ඉන්න අපට පුළුවන්කම තියෙනවා.

මරණින් පසුව මේ ලොව අප අපි‍්‍රය කළ අය හමුවන අවස්ථාවන් තිබෙනවා නේද?

ඔව්. සමහර විට ලැබෙන්න පුළුවන්. සමහර තරහකාරයෝ එනවා. දේවදත්තගේ වෛරය ඒ වගේ් එකක්. සාංසාරික වෛරක්කාරයෝ අපේ ජීවිතවලත් ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හිතන්න තිබෙන්නේ අනේ මේ වගේ අය මට ඇසුරු කරන්න නො ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීමට වඩා අප තුළ කරුණා මෛත්‍රිය දියුණු කර ගැනීමයි. කරුණාව මෛත්‍රිය දියුණු කරන්න පුළුවන්නම් ලෝකයේ ස්වභාවය අපට දියුණුකර ගන්න පුළුවන්නම් එහිදී හිත ශක්තිමත් කරගෙන අපි‍්‍රය අයගේ ඇසුර ලැබෙන අවස්ථාවේ එතැන අපට ඉන්න පුළුවන්කම තිබෙනවා.

ඒ වගේම උපක්‍රමශීලිව ඒ අයගේ ඇසුර මඟ හරවා ගන්නත් පුළුවන්.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.