Print this Article


<%on error resume next%> යනෙන ජනතා පුද මැද දිලෙන බෝ සමිදු කළුතර

යනෙන ජනතා පුද මැද දිලෙන බෝ සමිදු කළුතර

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කිරීමෙන් බිහිවුණ බෝධීන් වහන්සේ නමක් කළුතර උඩමළුවේ වඩා හිඳුවන ලද බැව් පැවසේ.

එදා සිට මේ දක්වා ලක්වැසි බොදුණුවෝ මෙන්ම සෙසු ආගමිකයෝද කළුතර බෝධීන් වහන්සේට හදබැතියෙන් යුතුව ගෞරව පුද සත්කාර කරති.

පසළොස්වක පොහෝය දිනවල බෝධි පරිශ්‍රයට රොක්වන උවසු උවැසියෝ දහසක් දෙනා අලුයම පහන්වනතුරු දහම් සිසිල ලබති. මෙම පූජනීය බිම අනුසස් ඇති දෙව්විමනක් බඳුය යන විශ්වාසය හුදී ජන හදවත් තුළ රැඳී පවතී. එදා සෙන්දනායක නමින් උපාසක පින්වතකු දිනපතා බෝධියේ වටාපිටාව සුද්ධ පවිත්‍ර කළ අතර, මල් පහන් පුදමින් පොදු ජනතාවට වැඳුම් පිදුම් සඳහා මඟ සැලසීය.

ඊට පෙරාතුව 1871 දී මොරටුව දක්වා තිබුණ දුම්රිය මාර්ගය කළුතර දක්වා දීර්ඝ කරන ලදී. 1877 සැප්තැම්බර් මස 22 වන දා කළුතර දුම්රිය ස්ථානය සහ පාලමද විවෘත කෙරිණ. එවකට කළුතර සිටි සුදු ඒජන්තවරයා බ්‍රෝඩ්හාස්ට් නම් විය. ඔහුගේ නිගමනය වූයේ පාලමට අවහිරයක් නිසා බෝධිය මෙම ස්ථානයෙන් ඉවත් කළ යුතුය යන්නය.

දිනක් බ්‍රෝඩ්හාස්ට් සුදු ඒජන්තවරයා සෙන්දනායක උපාසක මහතාට කතා කොට අසවල් දිනයේ දී බෝධිය කපා මෙතනින් ඉවත් කරන බව දන්වා සිටියේ ය. මෙම අණ නිසා උපාසක මහතා ගැඹුරට කල්පනාවේ නිමග්න විය. වැඩිදෙනෙකුගේ යහපත සඳහා ඉටුකළ යුතු යුක්ති ධර්මය ගැන ඔහු මෙනෙහි කළේ ය.

මේ සිතුවිලි සමඟ පොරබැඳි වයෝවෘද්ධ බොදුනුවා අයුක්තියට පිටුපා සුද්දට එරෙහිව නැඟී සිටිය යුතු යැයි සිතීය. මහජන මතයක් ගොඩනඟා ජනතා රැලියකින් සුද්දට විරෝධය පෑමට ඔහු කල්පනා කළේ ය.

මෙයට විරෝධය පාමින් සුදු ඒජන්තවරයා ප්‍රකාශ කළ වචන කිහිපයක්ද සහිතව හදවත් තුළට කාවදින ගැමි වහරින් දැන්වීම් ගණනාවක් බෝධිය කැපීමට විරුද්ධව ලියා ප්‍රසිද්ධ ස්ථානවල අලවන ලදී. නියමිත දිනටත් පෙරාතුව කළුතර සහ ඒ අවට ගම්වල මෙම ප්‍රවෘත්තිය රැව් පිළිරැව් දුන්නේ ය.

නියමිත දිනය එළඹෙත්ම හිමිදිරි අලුයම කැති, මුගුරු, මන්නා, පිහි, උදළු, මෝල්ගස්, කඩු, කෙටේරි අතැතිව විශාල පිරිසක් බෝධිය වටා රොක්වූහ. ඒජන්තවරයා නියමිත වේලාවට පාලම කෙලවරෙන් මතුවනු දුටු පිරිස අවිආයුධ සන්නද්ධව බෝධිය වටා සිටිනු ඔහු දුටුවේ ය. එකිනෙහි ඒජන්තවරයා සිය රථය නොනවතාම වේගයෙන් පදවමින් පොලිසියේ රැකවරණය සෙවීය.

රැස්වසිටි පිරිස පලවා හැරීමට පොලීසිය ගත් උත්සාහය නිශ්ඵල විය. පෙරමුණ ගත් ගැමි ජනයා පොලිසිය බලය මැඩගෙන ඉදිරියටම ගියහ. එම සිද්ධිය නිසා ගැමියන් කිහිපදෙනෙකුට දඬුවම් විඳීමට සිදු වුවත්, නිරුපද්‍රිතව බෝධිය සුරැකිණ.

එදා මෙම සිද්ධියෙන් එංගලන්තයේ වික්ටෝරියා මහරැජින දැනුවත්වීමෙන් පසු කොළඹ ආණ්ඩුකාරවරයා වෙත දන්වා ඇත්තේ “ශ්‍රී ලංකාවේ බෞද්ධයා සතු ආගමික කිසිම දෙයකට අත නොතබන ලෙසය.” එම ආරංචිය රටතුළ පැතිර යත්ම බෞද්ධ පොදු හදවත් සතුටින් ඉපිල ගිය බව පැවසේ.

ඉන්පසු ඇති වූ නිහැඬියාවත් සමඟ ගම්මන්පිල නමින් වෙනත් උපාසක මහතෙකුª බෝධියේ සියලු කටයුතු සඳහා දායකත්වය සැපයීය. පූජා බිමට ලැබුණ පුදපඬුරු වලින් මල් අසුන් හා පූජා භාණ්ඩ තාවකාලිකව සකසා ඔහු පුදබිම දියුණු කළේ ය. ඒ අතර උසාවි සංකීර්ණයේ නඩුවලට පෙනීසිටි තරුණ නීතිඥවරයෙකු වැඩ නිමකර කළුතර බෝධිය අසලින් කළුගඟට බැස දියනෑමට පුරුදුව සිටියේ ය. ඔහු අන් කිසිවකු නොව ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණවතාණන්ය. ඔහු ස්නානය කර ආපසු යන ගමනේ දී දිනපතා බෝධි වන්දනා කළේ ය. සොයිසා මහතා ගම්මන්පිල උපාසකට පොල්තෙල්, හඳුන්කූ®රු මිලදී ගැනීම සඳහා මුදලක් පරිත්‍යාග කිරීමද සිරිතක් ලෙස ඉටු කළේ ය.

පසුකල මෙම නීතිඥවරයා බෝධි පරිශ්‍රය බොදුනුවන්ගේ තිර පූජා බිමක් කිරීමට නිගමනය කළේ ය. ඒ අනුව 1951 වර්ෂයේ දී ප්‍රථම බෝධි භාරකාර මණ්ඩලය පත්කරගනු ලැබීය.

නීතිඥ සිරිල් ද සොයිසා සභාපති (නිර්මාතෘ) අගවිනිසුරු හේමා බස්නායක, නීතිඥ වින්සන් ට්‍රෑඩන්ට්, වී.ටී ද සොයිසා, නීතිඥ වින්සන් ද සිල්වා, නීතිඥ ඒ.ගුණතිලක, නීතිඥ හෙන්රි ආනෝල්ඩ් ද ආබෲ, නීතිඥ වින්සන් වියනෝල්ඩ් විජේමාන්න සහ ඇල්බට් අර්නස්ට් ද සිල්වා යන මහත්වරු ප්‍රථම බෝධි භාරකාර මණ්ඩලය ලෙස පත්වූහ.

පසුදිනෙක කමිටුවේ තීරණයක් අනුව පානදුර විසූ ආතර්වීදියෙස් (කොස්මාමා) මැතිතුමාගේ වැඩිමහල් සහෝදරිය වූද වත්මන් හොරණ ශ්‍රීපාලි සරසවි බිම හිමිකරු වූ විල්මට් ඒ. පෙරේරා දානපතිවරයාගේ මෑණියන් වූ ජෙරමියෙස් දියෙස් මැතිණිය විසින් කරනු ලැබූ ධන පරිත්‍යාගයෙන් කළුතර බෝධියේ පහළ මලුවේ තාප්පය සහ මල් අසුන් සෑදූ බව සඳහන් වේ.

ඉන්පසු 1972 සිට 1982 දක්වා පුරා දශකයක් තුළ පොලිස් විද්‍යාලයේ හිටපු පොලිස් අධ්‍යක්‍ෂක (පසුව අමිතගවේශී නමින් පැවිදිව සිට අපවත්වූ) සිරිල් ඒකනායක, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් අධිනීතිඥ එල්.එල්. ප්‍රේමවර්ධන අල්විස් සහ පුවත්පත් කලාවේදී දිවාකර මොහොට්ටි යන මහත්වරු විසින් මෙම පුණ්‍ය භූමියේ ප්‍රගතිය වෙනුවෙන් ධර්මාදර්ශ සංගමය මඟින් ධර්ම ගවේෂී පින්කම් මාලාවක් ඉරිදා දිනවල මෙන්ම, පොහෝ දිනවල සුවිශේෂ මහඟු සේවාවක් ඉටු කරනු ලැබුණි.

කළුතර බෝ සම්ඳු පිලිබඳව ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණවතාණන් මෙසේ සිහිපත් කරන ලදී. “මීට අඩ සියවසකට පමණ පෙර මා කළුතරට පැමිණියේ නීතිඥ වෘත්තියේ යෙදීමටය. දුම්රිය පාරත්, මහපාරත් මැදිකොට ගෙන බෝධිය වැඩ විසීය. බෝධිය ආසන්නයටම කළුගඟ පැතිර තිබිණ. ඒ සමීපයේ පිහිටි ගල්පරය මත බැතිමතුන් පහන් දැල්වූවා. කළුගඟින් දියනෑමට යනඑන අය මෙන්ම මාද මෙම ගලමතින් නැග දිය නෑමට පුරුදුව සිටියා. එතනින් එහාමෙහා ගමනේ යෙදුන මමද බොදු බැතින් පිරිපුන් අයෙක් වූයෙමි. ඒ අනුව මගේ මැදිහත්වීමෙන් කළුතර බෝධිය පූර්ණ ලෙස සංවර්ධනය වන වැඩ පිළිවෙලක් දියත් කැරිණ.”

“බෝධිමලුව වටා පවුරක් ඉදි කිරීම සහ මලසුන් ඉදිකරනු ලැබිණ. විහාර කර්මාන්තය හා චෛත්‍යය ගොඩනැඟීමේ දැවැන්ත වැඩ පිළිවෙල දියත් කර නිමාව දැකීම මාගේ අදහස විය.”

කලක් ගතවිය. 1970 පමණ මෙහි සභාපතිවරයා ලෙස පත්ව ආවේ ලීල් ගුණසේකර මහතාය. බෞද්ධයෙකු හැටියට එතුමාගෙන් ලැබුණ සහය මත චෛත්‍ය බිමේ තිබුණ දිසාපති මැදුර ඇතුළු පහත මාලයේ පැවති කච්චේරි ගොඩනැඟිල්ලද බෝධියට පවරා ගැනීමට කටයුතු සැලසීය.

මේ සත් ක්‍රියාදාමයේ අවසානය දකින්ට පෙරාතුව ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ජාතියෙන් සමුගත්තේ ය. ඒ 1978 ජනවාරි දෙවනිදාය. පසුව පාලන ක්ෂේත්‍රය සොයිසා මහතාගේ ඥාතියෙකු වන නීතිඥ කිංස්ලි වික්‍රමසිංහ මහතා යටතට පත්විය. ඔහුගෙන් සුපුරුදු පරිදි බෝධි වැඩ කොටස සිදු කෙරිණ.

අනතුරුව වත්මන් බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති ලෙස අජිත ද සොයිසා මහතා පත්විය. තිලක් ද සොයිසා (ලේකම්) වරුණ බස්නායක, ඉන්දාදාස හෙට්ටිආරච්චි, අශාන්ද සොයිසා, විවේන්ද්‍ර ලින්තොටවෙල, සහ විත්‍රාද අබෲ මැන්ඩිස් යන සාමාජික මහත්ම මහත්මීහුගේ දිරිය තුළින් සහ කාර්ය මණ්ඩලයේ අන්‍යෝන්‍ය සහාය නිසා බෝධිය තුළ නව මුහුණුවරක් ගෙන ඇත. බෝධීන් වහන්සේට පිදෙන පඬුරෙන් මේ වන විට දීප ව්‍යාප්ත සුබසාධන කාර්යයන් රැසකට විශාල පරිත්‍යාගයන් රාශියක් සිදු කෙරෙයි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.