පූජාත පූජනීයානං
බටුවංගල සීලවිමල මා හිමි
බද්දේගම, මාජුවාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරාධිපති, ශ්‍රී ඉන්දසර
විද්‍යායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී, ශාස්ත්‍රවේදී බටුවංගල සීලවිමල මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය දිවි ගමනෙහි හැත්තෑ වියට පා තැබූහ. ගාලු
දිසාවේ හිනිදුම්පත්තුවට අයත් බටුවංගල විජේතිලක ගම්පති රාළහාමි හා කේ.
ප්‍රේමාවතී මහත්මිය උන්වහන්සේගේ දෙමාපියෝ වූහ. 1943 ඔක්තෝබර් 12 වන දා
පුත්‍රරත්නයක් බිහි විය.
කල්යත්ම මූලික සිප් සතර සිය මව්තුමිය සේවය කළ බටුවංගල කනිෂ්ඨ
විද්‍යාලයෙන් ලබා ගත්හ. මාජුවාන ශ්‍රී පුෂ්පාරාමාධිපතිව හා
කෘත්‍යාධිකාරීව වැඩ විසූ මාජුවානේ ශ්‍රී උපරතන මාහිමියන් වෙතින් උගත
යුතු මූලික බණ දහම් හදාරා 1959 මාර්තු 30 වන දින බටුවංගල සීලවිමල නමින්
සසුන්ගත විය.
සීලවිමල සාමණේරයන් වහන්සේ මාජුවාන ශ්‍රී ඉන්දසර පිරිවෙන, ගා/විද්‍යාලෝක
හා පැපිළියානේ සුනේත්‍රාදේවී විද්‍යායතන පිරිවෙන මගින් මූලික හා උසස්
අධ්‍යාපනය ලබාගත් අතර උගතමනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත
වූ හෙයින් 1963 ජූනි මස පොහෝ දින මාජුවානේ උපරතන මාහිමියන්ගේ
ශිෂ්‍යයෙකු ලෙස මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ.
විද්‍යෝදය විශ්වවිද්‍යාලයට පිවිස ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් සීලවිමල
හිමියෝ මාජුවාන ශ්‍රී ඉන්දසර පිරිවෙන, ගම්පහ, පහළගම විද්‍යාරවින්ද
පිරිවෙන, කටුකොළිහ ශ්‍රී සද්ධර්මෝදය ආදී පිරිවෙන් රැසක සේවය කොට යළිත්
සිය ගුරු භූමිය වූ මාජුවාත ශ්‍රී ඉන්දසර විද්‍යායතන පිරිවෙනට පැමිණ
උපගුරුවරයෙකු වශයෙන් හා නියෝජ්‍ය පරිවෙණාධිපතිවරයෙකු ලෙස උදාර සේවයක්
කොට 2002 අගෝස්තු මස 07 වන දින විශ්‍රාම ලැබීය.
මෙසේ අධ්‍යාපනික වශයෙන් උදාර සේවාවක් සිදු කළ සීලවිමල හිමියෝ ගුරු
හිමියන්ගේ ඇවෑමෙන් 2002 වසරේ දී විහාරාධිපති ධූරයට හා පිරිවෙන්
කෘත්‍යාධිකාරී ධූරයට පත් විය. එසේම ශ්‍රී ධර්මප්‍රබෝධනී දහම් පාසලේ
ප්‍රධානාචාර්ය තනතුරටද පත් වූ අතර ජාතික හා ආගමික කුදු මහත් කාර්යයන්ට
ද දායක විය.
ජාතික ආගමික හා අධ්‍යාපනික වශයෙන් උදාර මෙහෙවරක යෙදී සිටින සීලවිමල
මාහිමියෝ නිරතුරුව පිරිවෙණත් විහාරස්ථානයත් රැක ගැනීමේ පරිශ්‍රමයක
යෙදීමද ප්‍රසංසනීය ය. මාහිමි හැත්තෑවන ජන්ම සැමරුම නිමිති කරගෙන
පරිවෙණාධිපති බද්දේගම යතිරතන හිමියන් ප්‍රධාන ගිහි පැවිදි ඇදුරු මඬුල්ල
හා පාරිවේණික ශිෂ්‍ය පිරිස සංවිධානය කරන පින්කම් මාලාවක් නොවැම්බර් මස
02, 03 යන දෙදින තුළ පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ.
ධර්මාචාර්ය
බද්දේගම කුසලධම්ම හිමි
ආඳාවල දේවසිරි නා හිමි
කළුතර ආඳාවල ග්‍රාමයේ විජයසූරිය ආරච්චිගේ කරෝලිස් අප්පුහාමි සහ
ජයසුන්දර සාපිනෝනා යන දෙමාපියන්ට, 1929 අපි‍්‍රයෙල් 13 දින ලැබුණු පුත්
කුමරා විජයසූරිය ආරච්චිගේ සිරිසේන නමින් හැදින්විය.
ගමේ පාසලින් අකුරු කියවා එහිම අධ්‍යාපනය හැදෑරීය.
මොල්ලිගොඩ, රත්මලාන සහ මාලිගාකන්ද පිරිවෙන් තුනෙහිම අධ්‍යාපනය මැනවින්
ලබාදීමෙන් පසු 1947 ජූලි මස 5 වෙනි දින සිරිසේන සිසුවා පැවිදි බිමට
ඇතුළත් වූහ.දෙදියවල දේවසිරි හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා ලෙස ආඳාවල
දේවසිරි නමින් පැවිදි ක්‍ෂේත්‍රයේදී ගුරුවරයකු වශයෙන් ධර්ම විජය
පිරිවෙණේ ධර්මාචාර්යවරයෙකු වූහ. ඉක්බිතිව 1953 ජුනි මස 18 දින උපසම්පදා
වූහ. එසේ කලක් අධ්‍යාපන සේවයේ යෙදීමෙන් පිරිවෙන්පති ලෙස උසස්
විය.අනතුරුව පෙරකී අධ්‍යාපන පීඨයන්හි ගුරුසේවයේ යෙදීමෙන් අනතුරුව
රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන්පති ධුරයට පත්වූහ.
දේවසිරි හිමියන්ට මහ බෝධි සමාගමෙන් ලැබුණ ආරාධනාවක් අනුව බුද්ධගයාවේ
පාලනය බාරගෙන එහි අධිපතිත්වය දරමින් බුද්ධගයාවේ සුරක්‍ෂිතතාවය වැඩි
දියුණු කළහ. එහි කාලයක් ගත කරද්දී ආඳාවල දේවසිරි හිමිපාණෝ තමා ලැබූ
බුදුදහම බෞද්ධයන් වෙත බෙදාගැරීමේ අපේක්‍ෂාවෙන් පොත් රැසක් ද ලියා පළ
කළහ.
පටිච්ච සමුප්පාද විවරණය,බෝමැඬකරා, දඹදිව බුදු සමයේ ඉතිහාසය, මැයෙන්
ලියන ලද පොත් ඒ අතර වේ.
කළුතර බෝධි ඉතිහාසයේ නොමැකෙන නාමයක් දේවසිරි හිමිපාණන් විසින් ඉටු කළහ.
දේවසිරි හිමියන් 1972 බෝධිපරිශ්‍රය පින් බිමක් බවට පත් කළ සේක.
දේවසිරි හිමිපාණන් වහන්සේ දැනට කළුතර කටුකුරුන්ද සූසීමාරාමයේ වැඩවසමින්
කළුතර සහ අවට ජනතාවට හද පිරි සතුටින් ඉටුකළ යුතු සේවය ඉටු කරමින් වැඩ
සිටිති. ආඳාවල දේවසිරි නායක හිමිපාණන්ට දිගාසිරි පතමු.
දිවාකර මොහොට්ටි
පෙතිගමුවේ රාහුල හිමි
පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරය ඇතුළු පංචමහාවිහාරාධිපති
පෙතිගමුවේ රාහුල මහස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පනස් නම වන ජන්ම දිනය
නිමිත්තෙනි.
කළුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික රයිගම් පුරවරයේ පෙතිගමුව ග්‍රාමවරයේ
දන්වත්ත ලියනගේ චලෝසිංඤෝ සහ කමලාවතී හෙට්ටිආරච්චි යන පින්වත් දම්පතීන්ට
දාව පින්වත් කුමරකු ලෙස 1953 ඔක්තෝබර් මස (03) දින උප්පත්තිය ලැබුවේ
දසදෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා ලෙසිනි. නිසි වයසට පැමිණි කළ
දොඹගොඩ සීලරතන මහා විද්‍යාලයේ මූලික ගිහි අධ්‍යාපනය ලබන්නේ ගුරුවරුන්ගේ
ද සිත් පහන් කරමිනි.
පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිටි වේරහැර
නන්දසාර මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය ලෙස පැවිදි
දිවිය අරඹන්නේ ය. මූලික පැවිදි අධ්‍යාපනය වරකාගොඩ ගල්ලෙන් රජ මහ
පිරිවෙන් විහාරස්ථානයෙන් නිම කර උසස් අධ්‍යාපනය සඳහා සුනේත්‍රා මහා
දේවී පිරිවනින් ප්‍රාචීන මධ්‍යම අවසාන අධ්‍යාපනය ලැබූහ.
විහාරාධිපති ගුරු දේව වේරහැර නන්දසාර මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ
උපධ්‍යායයෙන් 1980 ජූනි 17 වන දින කෝට්ටේ කල්‍යාණි සාමගශ්‍රී ධර්ම මහා
සංඝ සභාවේ මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාශීලයට පත් වූහ.
වේරහැර නන්දසාර නා හිමියන්ගේ ඇවෑමෙන් යථෝක්ත විහාර ගණයේ අධිපතිභාවයට
පත් උන්වහන්සේ ආචාර පරම්පරාවෙන් උරුම වූ වගකීම් සමුදාය ශාසනීය
සම්ප්‍රදායට අනුකූලව නොපිරිහෙලා කැපවීමෙන් ඉටු කරති. සිය ශාසනීය
නිජභූමිය වූ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ වර්තමාන
කලඑළිය ලද්දේ උන්වහන්සේගේ අපිරිමිත කාර්යශූරභාවයෙනි.
එකළ බස්නාහිර පළාතේ කීර්තිමත් විද්‍යස්ථානයක් ලෙස නමක් දිනූ ධර්ම
ශාස්ත්‍රෝදය පිරිවෙන වර්තමානය තුළ ශ්‍රී රාහුල පෙර පාසලෙන් ද, ශ්‍රී
සිද්ධාර්ථ දහම් පාසලෙන් ද දැයේ දරුවන්ගේ ශාස්ත්‍රාභිලාශයන් ඉටු කරමින්
දිනෙන් දින බැබළෙන්නේ නා හිමියන්ගේ නේතෲත්වයේ මහිමයෙනි.
පිළියන්දල මිහිඳු මහ පෙරහර වර්ෂයක් පතා කලඑළි ලබමින් විරාජමාන වන්නේ
උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය. එස්.ඕ.එස්. ළමා ගම්මානය තුළින්
මතු වන්නේ ද උන්වහන්සේගේ හෘදයාංගම සමාජ මෙහෙවරයි. කොපමණ කාර්ය බහුල
වූවත් දායකකාරදින්ගේ කටයුතු සොයා බලා ඉටු කරති. දායකකාරදින් රෝගාතුර වූ
ඕනෑම අවස්ථාවක උන්වහන්සේ වැඩමවා පිරිත් දේශනා කරන අවස්ථා අනන්තය.
සිය විහාර ගණයට අයත් උප විහාරස්ථානවල කටයුතු උන්වහන්සේ නොපිරිහෙලා සොයා
බලන්නේ දහසකුත් වැඩ කටයුතු මධ්‍යයේ ය. විහාරස්ථ ශිෂ්‍ය
භික්‍ෂූන්වහන්සේලාගේ ද යහපත, අභිවෘද්ධිය සළසාලමින් සෙනෙහෙබර පියෙකු
ලෙසින් අටලෝ දහමින් නොසැළී ජීවිතය ජය ගන්නා මාර්ගය පෙන්වා දෙමින් මහා
නුගරුකක් ලෙසින් අපට සෙවණ සලසන්නේ නිසැකින්ම අපේ අනාගතය වෙනුවෙනි.
උන්වහන්සේ සෑම දෙනාටම අනුකම්පා සහගතව කටයුතු කරන උතුම් සංඝ පීතෘවරයෙකි.
මෙවර යෙදෙන පනස් නමවැනි ජන්ම දිනය නිමිති කොටගෙන උන්වහන්සේට ආශිර්වාද
බෝධි පූජා පැවැත්වීමට සංවිධානය කර තිබිණි.
ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
අගලවත්තේ සෝභිත හිමි |