Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - රැක ගත යුතු සිත

රැක ගත යුතු සිත

අත්තානං චෙ පියං ප්ඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං
පටිප්ග්ගෙය්‍ය පණ්ඩිතො

තමන්ට තමන් පි‍්‍රය මනාප නම් තමන් විසින් ම තමන් ආරක්ෂා කර ගනු ලබනවා. එමෙන්ම නුවණ ඇති තැනැත්තා නම් තමන්ගේ ජීවිතයේ එළැඹෙන අවස්ථා තුනෙන් කුමන හෝ එක් අවස්ථාවකදී වත් තම ආධ්‍යාත්මික ආරක්‍ෂාව සලසා ගනු ලබනවා. ඉපදුණු දා සිට මිය යන තෙක්ම අප ජීවිතයේ විවිධාකාර වූ අත්දැකීම්වලට මුහුණ දෙනවා. ගැටලු, ගැටුම් මැද අප ගෙවන මේ ජීවිතයේ ගත වන එකදු තත්පරයක් හෝ කාලයක් යලි කිසි දිනක ලබා ගැනීමට නොහැකියි. මේ නිසා අප ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් හෝ ජීවත් වන්නේ නම් කුමන හෝ අවස්ථාවකදී තමන් ආරක්ෂාකාරි විය යුතුවනවා.

අප උපරිම වූ කාලයක් ජීවත් වන්නේ නම් ළමා අවදිය, තරුණ අවදිය හා වැඩිහිටි අවදිය යනුවෙන් ජීවන කාල සීමාව කොටස් තුනකට වෙන් කළ හැකිවනවා. මේ අවදි තුනෙන් කිසියම් වූ අවදියකදී තමන් ආරක්‍ෂා විය යුතුයි.

නොදැනුවත්කම හෝ වෙනත් හේතුවක් මත ළමා අවදියේදී ආරක්ෂා වීමට නොහැකි වුවහොත් තරුණ අවදියේදී ආරක්‍ෂා වීමට පුළුවන්. එම අවස්ථා දෙකෙහිදීම ආරක්ෂාවී සිටින්න නොහැකි වුවහොත් වයෝවෘද්ධ අවදියේදී හෝ ආරක්ෂා වීමට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා.

අප ආරක්ෂා විය යුත්තේ කාගෙන්ද ? කෙසේද? එසේ ආරක්ෂා නොවුනහොත් කුමන තත්ත්වයක් ඇතිවේද? බුදුරජාණන් වහන්සේ ්හැර වෙනත් කිසිදු ශාස්තෘවරයෙකු නොදුටු මිනිසා සතුවූ ප්‍රබල වස්තුවක් තිබෙනවා. උන්වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒ බව මෙසේ දක්වනවා.

නාහං භික්ඛවෙ අඤ්ඤං
ඒක ධම්මංති සමනුපස්සාමි
යතෙහි ධං භික්ඛවෙ චිත්තං
චිත්තං භික්ඛවෙ භාවිතං බහුලීකතං
මහතෝ අත්ථාය සංවන්තති

ලෝකයේ මහා බලයක් තිබෙන වස්තුවක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වස්තුව “සිත” නමින් හැඳීන්වුවා.

යම් අයෙක් මේ සිත නිවැරැදි ලෙස භාවිත කළොත්, නැවත නැවත නිවැරැදි ලෙසින් භාවිතා කළොත් එයට කළ නොහැක්කක් නැහැ. ජය නොලැබිය හැකි තැනක් නැහැ. ළංවිය නොහැකි තැනක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දීමයි. බුදුරජාණන් වහන්සේ සිත ගැන හඳුන්වා දෙන තුරු කිසිවකු සිත ගැන දැන සිටියේ නැහැ. සිත හඳුනාගත්තෙත් නැහැ. ඒ වගේම සිත දියුණු කරන ආකාරය දැන සිටියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මිනිසා ආරක්ෂා වනවා යනුවෙන් හඳුන්වන්නේ මේ සිත ආරක්ෂා කර ගැනීමයි. සිත දියුණු කර ගැනීමයි.

එහෙත් බොහෝ දෙනා ආරක්ෂා වීම යනුවෙන් අද හඳුනාගෙන ඇත්තේ තමන්ට එල්ල වන බාහිර උපද්‍රවවලින් ආරක්ෂා වීමයි. එමෙන්ම ආහාරපාන ගැනීමේදී යම් අසාත්මිකතාවයක් ඇති වුවහොත් ඒ සඳහා කඩිනමින් ආරක්‍ෂා වීමට කටයුතු යොදනවා. එමෙන්ම අනෙකුත් සියලුම කරදර බාධකවලින් ගැලවී සිටීමට අවශ්‍ය පියවර ගන්නවා. එහෙත් බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වා ඇත්තේ සියල්ලටම වඩා සිත ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවයි. බාහිර කරදරයක් උපද්‍රවයක් පැමිණෙන බව අපට හොඳින් පෙනෙනවා.හඳුනා ගන්න පුළුවන්. දැනෙනවා බොහෝ විට එවන් කරදරයක් උපද්‍රවයක් තවත් අයෙකුට පෙනෙන්නට පුළුවන්.

එහෙත් කිසිවකු සිත දැක නැහැ. එම නිසා කිසිවකුට නොපෙනෙන ,පෙන්විය නොහැකි, ස්පර්ශ කළ නොහැකි සිත ගැන දක්වන සැලකිල්ල අඩුය. එහෙත් අපේ ශරීරයට ඇතිවන බොහෝ කරදර බාධක සිත මුල් කරගෙන ඇතිවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ නිසා සිත ආරක්‍ෂා කළ යුතුමයි. සිත ආරක්ෂා කළ යුත්තේ කෙසේද? කාගෙන්ද?

මෙය උදාහරණයකින් තේරුම් ගෙන බලමු. අපේ ශරීරයේ රෝගාබාධ හට ගන්නවා.ඇතැම් රෝගාබාධ ශරීර අභ්‍යන්තරයේ අසාත්මිකතාවන් නිසා හට ගන්නවා. දුක් පීඩා විඳිනවා. අපහසුතා හට ගන්නවා.

තවත් රෝගාබාධ බාහිරින් පැමිණෙනවා. අපේ ශරීරයේ රෝගාබාධ හට ගන්නේ මේ අකාර දෙකකින් පමණයි.

සිතටත් මේ ආකාරයමයි තමන්ගේම සිතින් හටගන්නා නරක සිතිවිලි (අකුසල් සිතිවිලි) ක්‍රියාවෙහි යෙදවීමෙන් සිත අපිරිසුදු වනවා. සිත ආරක්ෂා කර ගත යුත්තේ මේ ආකාරයෙන් ඇතිවන අකුසල සිතිවිලි ක්‍රියාවට නැඟීමට ඉඩ නොදීමෙන්. සිතිවිලි ක්‍රියාවට නැංවෙන්නේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් පමණයි. සිතිවිල්ලක් සිත තුළ පහළ වූ පමණින් බාහිර කිසිවකුට එයින් හානියක් වන්නේ නැහැ. එම සිතිවිලි නොපෙනෙන නොදැනෙන හෙයින්. එහෙත් වචන ලෙසින් පිට වුවහොත් හෝ කයින් එය ක්‍රියාවට නැඟුවහොත් තවත් අයකුට එම සිතිවිල්ල දැක ගත හැකිවනවා.

මේ ආකාරයෙන් අපේ සිතට වරින්වර සිතිවිලි පැමිණෙනවා. එම සිතිවිලි ඇතිවනවා, පවතිනවා, විනාශ වී යනවා. මෙය සියලුම සිතුවිලිවල ස්වභාවයයි.

අපේ සිතට සිතිවිලි පැමිණෙන්නේ කොතැනින්ද? ගොඩනැඟිල්ලකට නම් ජනෙල්,දොරවල්වලින් මෙන්ම විවෘතව පවතින ඕනෑම ස්ථානයකින් වාතාශ්‍රය පැමිණෙනවා. එසේම සිතට සිතිවිලි ඇතිවීම උදෙසා අපගේ ඉන්ද්‍රියයන් පහක් විවෘතව පවතිනවා.

ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් හා ගැටීම නිසා රූප,ශබ්ද, ගන්ධ ,රස ස්පර්ශ යන අරමුණු ඇතිවනවා. ඒ ඔස්සේ සිතිවිලි උපදිනවා. සිතිවිලි හා සිතේ ස්වභාවය දෙස බැලීමේදී අපට පෙනී යන්නේ තමන්ට වැඩදායක පි‍්‍රයමනාප සුබඵල දෙන වැදගත් වූ අරමුණක් නම් ග්‍රහණය කර ගැනීමත් එසේ නොවන අරමුණක් අල්ලා නොගැනීමත්ය.

එහෙත් ඇතැම් අවස්ථාවලදී සිත රවටා නොමඟ යවමින් සුදුසු නොවන අරමුණු , සිතිවිලි සිත තුළට ඇතුළු වනවා. සුන්දර බව පෙන්වමින් සිතට ඇතුළු වුවද ඒ සිතිවිල්ල සුන්දර නොවීමට ඉඩ තිබෙනවා. සිතිවිල්ල ක්‍රියාවට නැංවීම තුළින් වචනයෙන් හෝ කයින් වරදක් සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ විසින් යොදා තිබෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයයි නිවැරැදි සිහිකල්පනාවයි. සිතට සිතිවිල්ලක් පැමිණි විට ඒ දෙස නැවත සොයා බැලිය යුතු වනවා. ඒ නුවණින් විමසා බලා සිත ආරක්ෂා කර ගන්නවා යනුවෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රියයන් නිසා හට ගන්නා සිතිවිලිවලින් සිත ආරක්ෂා කර ගැනීමයි.

එසේ සිත ආරක්‍ෂා කර ගත් තැනැත්තාගේ සිත පිරිසුදුයි. පිරිසුදු සිතක් ඇති තැනැත්තාගේ ශරීරය පිරිසුදුයි. ඔහුගේ ලේ ධාතුව පිරිසුදුයි. ඒ වගේම ඔහුගේ වචන කිසිවකුට අපි‍්‍රයජනක හෝ රළු වචන හෝ වන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාවන්ද එසේමයි. එම නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය වන්නේ සිත ආරක්ෂා කර ගත් තැනැත්තා එලොව මෙලොව දෙලොවම නුවණින් සමත් බුද්ධි සම්පන්න අයෙක් බවයි. එවන් තැනැත්තාට සසර කෙටිකර ගැනීම එතරම් අසීරු නැහැ.

ළදරු, තරුණ හෝ මැදිවයසේදී සිත ආරක්ෂා කර ගන්නේ කෙසේද කුමක් කළ යුතුද යන්න මීළඟ කලාපයෙන් සාකච්ඡා කරමු


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.