Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - ශාසනයට සේවයක් කළා ඒ ගැන සතුටු වෙනවා - සිය වසරට පා තබන වැලිගම ඤාණරතන මහ නා හිමි

ශාසනයට සේවයක් කළා ඒ ගැන සතුටු වෙනවා

සිය වසරට පා තබන වැලිගම ඤාණරතන මහ නා හිමි

1950 දී දඹදිව සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අවශ්‍ය වූයෙන් මමත් මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ඇතුළු අප සිව් දෙනෙකු කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්විය. ඉන්දියාවෙන් පසු නේපාලයේද සංචාරයේ නිරත විය.බුරුමයේ පැවැති ජට්ඨමහා සංගායනාවද දැක බලා ගැනීමට හැකි වූහ


සමහර දවසට පාසල් යන විදියට ගෙදරින් ගිහින් පාසලට නොගිහින් මගදි හැංගිලා ඉඳල පාසල ඇරිල එන වෙලාවට මමත් ගෙදර එනවා. තුන් වැනි පන්තියේදී දවසක් පාසල් යන විදියට ගෙදරින් ගිහින් අතරමගදී සෙල්ලම් කරමින් ඉන්න වෙලාවෙදි අපේ අම්මගෙ මල්ලිට (මාමා) මාව අසුවෙලා මට කෝටු පහර කීපයක් ගහල ගෙනැවිත් අම්මට බාර දුන්න. අම්මාත් හැමදාම මේ වැඩේ මෙහෙම කරන්න බෑ කියල ඒ වෙලාවෙම මා පාසලට එක්කර ගෙන ගියා. පන්තිභාර ගුරුවරයා අපේ ඤාතියෙක් අමරවීර කියන මහත්තයා. ඒ මහත්මයා මා කරපු වරද ප්‍රධානාචාර්යතුමාට ගිහින් කිව්ව. ඒ වෙලාවේ මගේ දකුණු අතට වේවැල් පහරවල් පහක් ගහල පාසලේ ගොඩනැගිලි වටේ “දිනපතා එමියි” කියමින් උඩ පනිමින් ඇවිදගෙන යන ලෙස නියම කළා. පසුව මගේ මිතුරෝ “දිනපතා එමියි” විහිලුත් කළා

මගේ ජීවිතයෙන් ශාසනයට සේවයක් කළා”යැයි නිරන්තරයෙන් සතුටු වන බව මෙම මස 14 වැනිදා සිය වසරට පා තබන රත්මලානේ මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක විනය විශාරද, ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශ්‍රී සුමංගල විද්‍යාවංශ අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමිපාණන් වහන්සේ පවසති.

උන්වහන්සේ මෙලොවට බිහිකළ මව්පිය දෙපළ ප්‍රධාන පැවිදි කළ ගුරු උතුමන් ධර්මාචාර්යවරුන් ඇසුරු කළ කල්‍යාණ මිත්‍ර මහ සඟරුවන සහ උන්වහන්සේගේ ශාසනික හා ආගමික මෙහෙවරට නිරන්තරයෙන් ආශිර්වාද කළ හා උපකාර කළ සියලු දායකකාරකාදින්ද සිහිපත් කරමින් ඒ හැමට පින්දෙන බවද මහ නාහිමියෝ පැවැසූහ.

උන්වහන්සේ සමග කළ සාකච්ඡාවකදී පැවැසූ අදහස් මෙසේය.

“මා උපන් බිම වැලිගම වල්ලිවෙල දෙණිය ගෙදරයි. පියා කටුකුරුන්ද වෙල්ලාලගේ ඕදිරිස් ද සිල්වා මහෝපාසක තුමා මව කොග්ගල වෙල්ලාලගේ බබුන්හාමි මහෝපාසිකාවය.”

ඒ මව්පිය දෙපොළට ජිරිස් සිල්වා, ලයිරිස් සිල්වා, සයිමන් සිල්වා, විලියම් සිල්වා , මාටින් සිල්වා, කරෝලිස් සිල්වා යන පුතුන් හය දෙනාත් රොසිනා හාමි , ගිමාරාහාමි, කතිරිනාහාමි, කරලිනා හාමි යන දූවරුන් සිව් දෙනෙකුද ලැබුණා.

ඒ දස දෙනාගෙන්, කනිටු ළමයා මමයි. මගේ ගිහි නම කරෝලිස් සිල්වා.

මා මෙලොවට බිහිවීමට සිටින විට මගේ අම්මා ප්‍රසව වේදනාවෙන් දින හතක්ම දුක් විඳි බව මට දැන ගන්නට ලැබුණා.

ගමේ හැමෝම කියල තිබුණෙ “අම්මයි, දරුවයි, දෙන්නම ඉවරයි” කියල, ඒත් මාව බිහිවුනාම ඒ හැමෝම පුදුම වෙලා තිබෙනවා. මම මහණ වෙන්න එන දවසෙත් අම්මගෙන් කිරිබීලයි ආවෙ....

මම ගිහි කාලයේදී ඉගෙන ගත්තෙ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ

පාසලේ දෙවැනි පන්තියට ගියාට පසුව පාසල් නොගිහින් ඉන්නම තමයි මගේ කැමැත්ත තිබුණෙ.

සමහර දවසට පාසල් යන විදියට ගෙදරින් ගිහින් පාසලට නොගිහින් මගදි හැංගිලා ඉඳල පාසල ඇරිල එන වෙලාවට මමත් ගෙදර එනවා.

තුන් වැනි පන්තියේදී දවසක් පාසල් යන විදියට ගෙදරින් ගිහින් අතරමගදී සෙල්ලම් කරමින් ඉන්න වෙලාවෙදි අපේ අම්මගෙ මල්ලිට (මාමා) මාව අසුවෙලා මට කෝටු පහර කීපයක් ගහල ගෙනැවිත් අම්මට බාර දුන්න. අම්මාත් හැමදාම මේ වැඩේ මෙහෙම කරන්න බෑ කියල ඒ වෙලාවෙම මා පාසලට එක්කර ගෙන ගියා.

පන්තිභාර ගුරුවරයා අපේ ඤාතියෙක් අමරවීර කියන මහත්තයා. ඒ මහත්මයා මා කරපු වරද ප්‍රධානාචාර්යතුමාට ගිහින් කිව්ව. ඒ වෙලාවේ මගේ දකුණු අතට වේවැල් පහරවල් පහක් ගහල පාසලේ ගොඩනැගිලි වටේ “දිනපතා එමියි” කියමින් උඩ පනිමින් ඇවිදගෙන යන ලෙස නියම කළා. පසුව මගේ මිතුරෝ “දිනපතා එමියි” විහිලුත් කළා.

මම කුඩා කාලයේ ඉඳලම ආගම දහමට හරිම ලැදියි. ගෙවත්තේම තිබූ බෝධින් වහන්සේ මගේ මවුපිය දෙපළත් පවුලේ අයත් උදේ හවස වන්දනා කළා. පාසලේ දී විශේෂ පොහොය දවස්වලදී සිල් සමාදන් වුනා. වැලිගම අග්‍රබෝධි රාජ මහා විහාරස්ථානය එකල අප නිතර ඇසුරු කළා.

ඒ කාලයේ මම සිවුරක් පොරවන විධියට රෙද්දක් පොරවගෙන වටාපත වෙනුවට පුවක් කොළයකින් රවුමක් කපාගෙන බණ කියන විධිය අනුකරණය කළා. මගේ පියාගේ ගම කොග්ගල නිසා කොග්ගල දේවගිරි විහාරය සමගත් සමීප සබඳතා තිබුණා.

මගේ පියාගේ ඤාති සොයුරකු වූ ලියනප්පු බාප්පාට අපේ ගෙදරින් “ළමයකු මහණ කරවන්න සොයැන්නැයි” අපගේ ගුරු දේව අහංගම විමලසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසා තිබුණා.

ඉතින් එය දැනගත් වහාම මා මහණ කරවන්නැයි අම්මාට කිවුවා. එහෙත් මට වැඩිමල් අයියාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීමට දුන්නා. එහෙත් මගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර මා පැවිදි කිරීමට සුදුසු බව දෛවඥයා පවසා තිබුණා.

කෙසේ වුවත් 1925 සැප්තැම්බර් මාසයේ දිනෙක බෝගහවත්තේ සුබෝධිකාරාමයට සුබ නැකතකින් මමත්, අම්මත්, අයියත් ගියා. එදා ඉතින් ගමනාගමනයට වාහන නෑ. සැතපුම් පහක් පයින් ඇවිදගෙන ගියා.

පන්සලට ගිහින් ටික වේලාවකින් සාමණේර බණ දහම් පොත කියෙව්වා.

ඉතින් ටික වෙලාවකින් අම්මත්, අයියත් ආපහු ගෙදර එන්න පිටත්වුනා. ඒ දෙන්න පිටත් වෙන්න හදද්දි ඇතිවුන වේදනාව ඉකිගසමින් අඬල විඳ දරා ගත්තෙ.

එදා දවල් පන්සලෙන් “කෑම කන්න” කියල කියුවම පන්සලේ කෑම කෑවාම පව් සිදුවනවා යැයි නිරන්තරයෙන් පිළිගෙන තිබුණු නිසා එදා දවල්ට මට කෑම කන්න බැරිවුණා.

1925 නොවැම්බර් 30 වැනිදා අහංගම එළුකැටියේ බිම්බාරමයේදී මා සමග තව දෙදෙනෙකුද පැවිදි වුනා. දෙවුන්දර ශ්‍රී‍්‍ර ධර්මරක්‍ෂිත පරිවේනාධිපති දෙවුන්දර ශ්‍රී ධර්මානන්ද මාහිමියන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලීමට පෙර මවුපියන්ට වැඳ අවසර ගෙන අටසිල් සමාදන් වීමෙන් පසුව අහංගම සිරි විමලසාර මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි කළා.

ඊට දින දෙකකට පසුව මහා සංඝයා වහන්සේ 25 නමකට දවල් දානය අපේ නිවසේදී පූජා කළා.

අනතුරුව හබරාදුව, මාකඳුගොඩ නිග්‍රෝධාරාමයේ සහ ගොරකානේ ශ්‍රී ධර්ම රක්‍ෂිතාරාමයේද අප නේවාසික කරවූවා.

1927 දී දෙවුන්දර ශ්‍රී‍්‍ර ධර්මරක්‍ෂිත පිරිවෙනින් අධ්‍යාපනය ලබා පසුව අහංගම පඤ්ඤාලෝක මාහිමියන් වෙතින් අහංගම එළුකැටියේ බිම්බාරාමයේදී අධ්‍යාපනය ලැබුවා.

ඒ වන විට මාගේ සහෝදරයා වන මාටින් අයියා කොළඹ වාසය කළේ.

කුඩා කල සිට බණ කීමට සමත්ව සිටි මම පන්සලේ ආගමික කටයුතු කරමින් ඉගෙනීමට උනන්දු වූවත් කොළඹ දී ඉගෙන ගැනීමට යාම ගැන මගේ ලොකු හාමුදුරුවන්ට කීපවර කීවත් ඉන් වැඩක් නොවීය. ඒ අප ඉගෙන ගන්නවාට අකමැත්තෙන් නොව කොළඹ ආවාම ගෝලයන් නරක් වනවාය යන අදහස ලොකු හාමුදුරුවන් තුළ බලපැවැත්වූ අදහසයි.

කෙසේ වුවද ඉගෙනීමට සියලු විය පැහැදම් අයියා දරන හෙයින් මා කොළඹට එවන ලෙස මගේ අයියාද ඉල්ලීම් කළා.

අනතුරුව මගේ ගුරුදේවයන් වහන්සේ ගල්කිස්සේ ගුණාලංකාර මාහිමියන් සමඟ සාකච්ඡා කර 1931 මැයි 6 වනදා දෙහිවල කරගම්පිටියේ සුබෝධාරාමයේ මා නේවාසික කළා.

අනතුරුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට භාර දෙන ලදී.

එවකට විද්‍යෝදය පරිවේණාධිපති කහවේ ශ්‍රී රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. පන්තිය භාර ගුරුදේවයන් වහන්සේ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාසේකර මහ නා හිමිපාණන් වහන්සේය.

පන්ති පිළිවෙලින් ඉගෙන ගෞරව, ප්‍රථම ද්විතීය පන්තිවලින් සමත්වී 1940 දී අවසාන විභාගයට පෙනී සිට සමත්විය.

එකල පැවිදි ශිෂ්‍යයන් 142 නමක් මා සමග පන්තියේ ඉගෙන ගත්තා. අකුරැටියේ අමරවංශ නා හිමි, වෙඬරුවේ අනෝමදස්සි නා හිමි, හඟුරන්කෙත විමල නා හිමි, ආචාර්ය හම්වලව සද්ධාතිස්ස නා හිමි, ගණේගම සරණංකර නා හිමි, හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි නා හිමි, කපුගම සුමනවංස නා හිමි ආදි නාහිමිවරු ඒ අතර වූහ.

විද්‍යෝදයේ මගේ ගුරුදේවයන් වහන්සේලා වූයේ බද්දේගම ශ්‍රී පියරතන නා හිමි, කුකුල්නාපේ ශ්‍රී දේවරක්ඛිත නා හිමි, කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාසේකර මහ නා හිමි, වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි, වැලිවිටියේ සිරි පේමරතන නා හිමිපාණන් වහන්සේලාය.

1933 ජුනි 9 වනදා පෙරවරුවේ පැළෑණේ ගංගාරාම සන්නයෙහි වූ පොල්වතුමෝදර නදියෙහි සීමාමාලකයේදී අධිසිල් ලැබූහ. එහිදී උපාධ්‍යායන් වහන්සේ වූයේ වේරගම්පිට සිරි රේවත මා හිමිපාණන් වහන්සේය.

කර්මවාගාචාර්යන් වහන්සේලා වූයේ පැළෑණේ සිරි වජිරඤාණ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අහංගම පඤ්ඤාලෝක නායක ස්වාමීන් වහන්සේ හා තල්අරඹේ ශ්‍රී ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේය. මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මට වඩා පැය කීපයකට පසුව උපසම්පදාව ලැබුවා.

1944 දී කරගම්පිටිය සුබෝධාරාමයෙන් නැවත පන්සලට මා යන ආරංචිය දැන ගත් පරම පූජනීය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බම්බලපිටියේ වජිරාරාමයේ නේවාසික වන ලෙස ඉල්ලා සිටියා.

1947 දී බම්බලපිටියේ වජිරාරාමයේ නේවාසික වී එහි නවක පැවිදි පිරිසට දහම් විනය හා ශබ්ද ශාස්ත්‍ර ඉගැන්වීමට පැළෑණේ වජිරඤාණ මහ නා හිමියන්ගෙන් අවසර ලැබිණි. ඒ සඳහා කඹුරුගමුවේ මහානාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද අනුමත කරමින් මා උනන්දු කළහ. වසර 10 ක් 12 ක් පමණ වජිරාරාමයේ නේවාසික වූහ.

1950 දී දඹදිව සිද්ධස්ථාන වැද පුදා ගැනීමට අවශ්‍ය වූයෙන් මමත් මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ඇතුළු අප සිව් දෙනෙකු කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්විය. ඉන්දියාවෙන් පසු නේපාලයේද සංචාරයේ නිරත විය.

බුරුමයේ පැවැති ජට්ඨමහා සංගායනාවද දැක බලා ගැනීමට හැකි වූහ.

පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමිපාණන් වහන්සේ 1955 සැප්තැම්බර් 21 වැනිදා අපවත්වී වදාළහ. 1955 නොවැම්බර් 27 වැනිදා අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අභිනව මහානායක ධුරයට මඩිහේ පඤ්ඤාසීහ නාහිමියෝ තෝරා පත් කර ගන්නා ලදී.

මට නිතර උපකාර කළ වැලිගම එගොඩවත්තේ දොන් අර්නෝලිස් කොඩිතුවක්කු හේවා මල්ලිකා වෙදදුරුතුමාගේ සහ එම මහත්මියගේ කනිටු පුත් ඩී.ජේ.කොඩිතුවක්කු හේවාමල්ලිකා විවාහ රෙජිස්ටාර් රාළහාමි විසින් ආරමිභක අවධියේ රත්මලානේ මල්ලිකාරාමය පිහිටි භූ®මිය වන පර්චස් 30 ක් එක් පර්චස් එකක් රුපියල් 300 බැගින් ගෙවා මිලදී ගෙන මල්ලිකාරාමයේ ආරම්භය සිදු කැරුණා.

1959 මුල් භාගයේදී මල්ලිකාරාමයේ සංඝාවාසය ගොඩනගා තිබුණි. එම වසරේ වස් වැසූ අතර කඨින පූජාව සමග ආරාමයද සඟ සතු කර පූජා කරන ලදී. අනතුරුව මල්ලිකාරාමයේදී සෑම ඉරුදිනකම ධර්ම දේශනා මාලාවක් අරම්භ කරන ලදී. එතැන් සිට මල්ලිකාරාමයේ ආගමික මෙහෙවර ආරම්භ වූහ.

මල්ලිකාරාමයේ පදිංචිය දරා මාස කීපයකට පසු මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්යවරයකු ලෙසද සේවයට එක් වුණා.

මල්ලිකාරාමයේ ශ්‍රී ධර්මරක්‍ෂිත පිරිවෙනද ඇරැඹූහ. මල්ලිකාරාම භූ®මි භාගයද ව්‍යාප්ත වෙමින් සියලු විහාරාංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට දායක දායිකා පිරිස උනන්දුවෙන් කටයුතු කළා.

මේ අතර දහම් පොත්පත් 200 ආසන්න ප්‍රමාණයක් මා විසින් ලියා පළකර තිබෙනවා.

මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතා ගුණවත් ආදර්ශවත් මහ තෙර නමක්. මල්ලිකාරාමයේ බොහෝ ආගමික කටයුතු උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කළේ.

වරින් වර දඹදිව නේපාලය තායිලන්තය ආදී රටවලට වැඩම කළ අතර දක්‍ෂ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ පිරිසක්ද ඇති කළා. මාගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ශික්‍ෂාකාමීව ශාසන ගෞරවයෙන් ජීවත්වනවා දැකීම මට සතුටක්.

මහ නා හිමියන් වහන්සේ වැඩ වසන කුටිය තුළ උන්වහන්සේ පරිශීලනය කරන ලද දහම් පොතපත එමටය. උන් වහන්සේගේ මතකය තවත් බොහෝ වුවත් මෙවන් කෙටි සටහනකින් එය සංක්ෂිප්ත කිරීමට සිදු විය.

විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස සුපතල වැලිගම ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූහ. බුරුම (මියන්මාර්) රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන්ද පිදුම් ලැබූහ.

අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියක් වසට පා තැබීම නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද පතා රත්මලාන මල්ලිකාරාමයේදී ඉකුත් 07 වැනිදා ඇරැඹුණු බෝධිපූජා පින්කම මෙම 14 වැනිදා දක්වා පැවැත්වේ. 13 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා 14 වනදා ශතාධික මහ සඟ රුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට මල්ලිකාරාමස්ථ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා, මල්ලිකාරාම කාර්ය සාධක සමිතිය සහ විශාඛා කුළඟන සමිතිය කටයුතු යොදා ඇත.

වැලිගම ඤාණරතන මහ නාහිමියන් වහන්සේට තෙරුවන් සරණින් දිගාසිරි පතමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.