Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - වස්සාන සමය

වස්සාන සමය

වැසි කාලය තුළ දන් සිල් භාවනාදී පින්කම් කිරීමෙන් ගිහියනට කුසල් රැස් කරගත හැකිය. භික්‍ෂූන් වහන්සේටද ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල යෙදීමෙන් හා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කිරීමෙන් කුසල් රැස් කරගන්නට අවස්ථාව උදාවේ

සකු බසින් වර්ෂා යනුවෙන් හා පාලි බසින් වස්සාන යනුවෙනුත් හෙළ (සිංහල) බසින් වස් යනුවෙනුත් වැසි කාලය හඳුන්වනු ලැබීය. මේ වැසි සමය ඉතා වැදගත් වන්නේ වස් විසීමේ විනය කර්මය සිදුවන නිසාය. භික්‍ෂු සමාජයේ යහ පැවැත්ම සඳහාත් සාසනයේ ආයුෂ පැවැතීම සඳහාත් විනය අත්‍යවශ්‍ය වූම සාධකයෙකි. බුදු සමයේ මුල් විසි වස විනය නීති නොපැනවූයෙන් සංඝ සංස්ථාව තුළ විවිධ ගැටලු මතුවන්නට විය. මේ පිළිබඳ සුවිශේෂ අවධානය යොමු කළ සැරියුත් මහ රහතන් වහන්සේ වරෙක බුදුරදුන්ගෙන් අයැද සිටියේ ශික්‍ෂාපද පනවන ලෙසයි. එහෙත් එහිදී බුදුරදුන් පෙන්වා වදාළේ සංඝයා අතර ආසවට්ඨනීය ධර්ම (අපවිත්‍රකාරක ධර්ම) පහළ නොවනතාක් විනය නීති නොපනවන බවයි. සිව් වනක් පිරිසෙන් සැදුම් ලත් සම්මා සම්බුද්ධ ශාසනය තුළ විනය නීති පනවා ඇත්තේ පැවිදි පක්‍ෂයටය.

ගිහි පැවිදි උභය පස ක්‍රියා පිළිවෙත වෙනස් ය. “අබ්භෝකාසො පබ්බජ්ජා” පැවිදි දිවිය ආකාශයටත් ගිහි චර්යාව මහ පොළොවටත් උපමා කෙළේ සම්බෝධොයං ඝරාවාසො” යනුවෙනි. ගිහි සමාජය බොහෝ සෙයින් වෙනස් වේ. නමුත් බුදුරදුන් දසධම්ම සූත්‍රයෙහිදි භික්‍ෂූන් අමතා දේශනා කළේ ‘අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” යනුවෙනි. පැවිද්දා ගිහියාට වඩා ආකල්පමය වෙනස් බව සිතා ක්‍රියා කළ යුතු බවයි. බොහෝ විට බුදුරදුන් ගිහි විනය පිළිබඳ දැඩි අවධානය යොමු නොකළේ ගිහි සමාජය රාජ නීතිය යටතේ ක්‍රියාත්මක වන නිසා විය හැක. සම්බුදු පියාණෝ විනය නීති සම්පාදනය කොට ඇත්තේ ප්‍රස්තුත කිහිපයක් සැළකිල්ලට ගනිමින්ය. රජවරුන්ගේ හෝ වෙනත් ප්‍රභූ®වරුන්ගේ ඉල්ලීම මත, මහජන උද්ඝෝෂණයන් නිසා සහ සමකාලීන ආගමික සම්ප්‍රදායන් පිළිබඳ අවධානය යොමු කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මේ අනුව විනය නීති පැනවීමෙන් බුදුරජාණන් වහන්සේ අපේක්‍ෂා කළ කරුණු දහයක් පිළිබඳ පාරාජිකා පාලියෙහි සඳහන් වේ. එනම්

1. සංඝයා ගේ පැවැත්ම පිණිස
2.සංඝයාගේ පහසුව පිණිස
3. නොදැමුණු පුද්ගලයන් හික්මවීම පිණිස
4.විනය ගරුක භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස
5.මෙලොව වශයෙන් ඇතිවන ආශ්‍රවයන්ගෙන් ආරක්‍ෂාවීම පිණිස
6.පරලොව හා සම්බන්ධ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස
7.නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස
8.පැහැදුන අයගේ වැඩි පැහැදීම පිණිස
9.සද්ධර්මයේ චිර පැවැත්ම පිණිස
10. යහපත් චර්යා ධර්ම වලට අනුබල දීම පිණිස යනුයි. මේ සමස්ත කරුණු දෙස අවධානය යොමු කිරීමෙන්, ගම්‍ය වන්නේ සඟ සසුනේ නිරවුල් යහ පැවැත්ම ඉන් අපේක්‍ෂා කළ බවයි. මේ අනුව වස් විසීමද එවැනි චාරිත්‍රයක් ලෙස දැක්විය හැකිය.

වස් විසීමේ පිළිවෙත බුදුරජාණන් වහන්සේගේ කාලයට පෙරද පැවතුනි. එකල සිටි විවිධ ආගමික ශාස්තෘන් වැසි සමයේදී සිය ආශ්‍රමවලට වී සිටියහ. එහෙත් සම්බුදු සව්වන් හේමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් ඍතුවෙහිම වෙනසින් තොරව පිණ්ඩපාත ආදි කටයුතු සඳහා ගම් දනව් වල සංචාරය කෙරෙති. බුදුරදුන් ප්‍රධාන සංඝරත්නයේ පොදු පිළිවෙත්හි වැරැදි සොයමින් සිටි අන්‍යාගමික තීර්ථකයන්ට මෙය වැදගත් කරුණක් විය. වැසි කාලයෙහි පක්‍ෂීහු පවා එක්තැන්ව සිටිති.වස්සාන ඍතුවෙහි ලා තණමඩිමින් භික්‍ෂූන් වහන්සේලා සංචාරය කිරීම පිළිකුල් සහගතය. බොහෝ අකුසල් කෙරෙතියි ඔවුහු චෝදනා කළහ.

මේ පිළිබඳ අසන්නට ලැබුණු බිම්සර මහ රජතුමා බුදුරදුන් වෙත පැමිණ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වැසි කාලයෙහිද දනව් වල සැරිසරති. එයින් කුඩා පක්‍ෂීහුද ලා දළු පත්ද පෑගී මිරිකීයෙති. පක්‍ෂීහු පවා ආහාර සොයා නොගොස් කැදලිවල වී සිටිති. මෙනිසා මහජනතාව අතර විවිධ මතවාද උද්ගත වී ඇත. එබැවින් විනය ශික්‍ෂා පද පැනවීම නුසුදුසුදැයි විමසීය.ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ බුදු පියාණෝ භික්‍ෂූන් අමතා “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි වැසිකල වස් එළැඹ වාසය කළ යුතු යැයි නියමවා වදාළහ.

වස් සමාදන්වීමේ පිළිවෙත තවදුරටත් කරුණු පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ පෙර වස පසු වස යනුවෙන් වස් සමාදන්වීමේ ක්‍රම දෙකක් ඇති බවත්, ඇසළ මස අව පෑළවියදා පෙර වස් වසන ලෙසත් එයින් මසකට පසු උදාවන නිකිණි මස අව පෑළවිය දා පසු වස් සමාදන් විය යුතු බවටත් නියම කෙරිණි. වස් කල සියලු උපසපන් භික්‍ෂූන් වහන්සේ වස් සමාදන් විය යුතුය. මෙය බුද්ධ නියමයකි. යම් හෙයකින් පෙර වස් හෝ පසුවස සමාදන් නොවන්නේ නම් එබඳු භික්‍ෂූන්ට දුකුලා ඇවැත් සිදුවන බව දේශනා කරන්නේ “ න භික්ඛවේ වස්සං උපගන්තබ්බං යො න උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙනි. එබැවින් සියලු උපසපන් භික්‍ෂූන් වහන්සේ ආරාධනාවකින් හෝ අනාරාධනාවකින් වස් එළැඹිය යුතුමය.

නියමිත සුදුසු දිනෙක පොහෝ පවුරුණූ සිදු කළ භික්‍ෂූන් වෙත එළැඹෙන දායක පිරිස වැසි සළු පිරිනමා දැහැත් ගොටුවක් පිළිගන්වා වස් ආරාධනා කෙරෙති. බුද්ධ නියමය අනුව ඉතා ගෞරවයෙන් වස් ආරාධනය පිළිගන්නා භික්‍ෂූන් වහන්සේ ස්වකීය වස් වසනාස්ථානයෙහි දී “ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි” යනුවෙන් ප්‍රකාශ කොට වස් සමාදන්වෙති. වස් වසනාස්ථානය අනතුරු රහිත ස්ථානයක් විය යුතුය. වහලක් සහිත ආරක්‍ෂක ස්ථානයක්ම විය යුතු බව විනයෙහි සඳහන්ය. වස් වාසයට නුසුදුසු ස්ථාන රාශියක්ද පෙන්වා දී ඇත. එනම් :– ගස් බිලය, ගස් දෙබල, එළිමහන සුසාන භූ®මිය, කුඩයක් යට වහලය හා දොර නැති තැන සැලියක් යට ආදී වශයෙනි.

වස් වාසයට සුදුසු සෙනසුනක් තිබිය යුතුය. නැතහොත් දුකුලා ඇවැත් සිදුවන බව “න භික්ඛවේ අනේනාසනිකේන වස්සං උපගන්තබ්බං යො උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස“ යනුවෙන් පැහැදිලි කළහ. මෙසේ වස් විසූ භික්‍ෂූන් වහන්සේ අරමින් බැහැරව යන්නාහු නම් එදිනම ආපසු පැමිණෙමියි යන අදටනින් යුතුව පිටත්වීම “සතිකරණ” ය යි. සත් දිනක් තුළ ආපසු පැමිණීමේ අරමුණ ඇතිව යාම “සත්තාහකරණය”යි

මීට අමතරව වස් විසූ ස්ථානයෙහි යම් උවදුරක් වෙත්නම්, විෂඝොර සර්පයන්ගෙන්, ගින්නෙන්,ජලයෙන්, උවදුරු ඇති කල්හිද, ආරාමය පිහිටි ගම වෙනස් වීමෙන්, ආහාරපාන නොලැබීමෙන්, ස්ත්‍රියක විසින් අයුතු යෝජනාවක් කිරීමේදී සංඝභේදක අකුසල කර්මයකට හවුල්වීම යනාදී කරුණු මත ඒවායින් වැළකීමේ අදිටනින් වස් කඩ කිරීම ඇවැතක් නොවන බව වදාළහ. කඨින චීවර පූජාවක් කළ හැක්කේ පෙර වස් විසූ වස්සව්ඡේදනය නොවූ භික්‍ෂූන් සිටින විහාරස්ථානයක පමණි. මෙයද එක් විහාරස්ථානයක එක්වරක් පමණක් කළ හැකි මහාර්ඝ පින්කමකි.

වැසි කාලය තුළ දන් සිල් භාවනාදී පින්කම් කිරීමෙන් ගිහියනට කුසල් රැස් කරගත හැකිය. භික්‍ෂූන් වහන්සේටද ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල යෙදීමෙන් හා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කිරීමෙන් කුසල් රැස් කරගන්නට අවස්ථාව උදාවේ. මෙවර වැසි සමය සාකල්‍යයෙන්ම සාර්ථකව ගත කරන්නට හැකිවේවායි ප්‍රාර්ථනය කරමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.