Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - පාපයෙන් වැළකෙමු

පාපයෙන් වැළකෙමු

බුදුරදුන් හැම විටම දහමේ දි අනුශාසනා කරනු ලැබුවේ යහපත් මඟ ගමන් කරන ලෙසය. “ඉධ නන්දති පෙච්ච නන්දති” මෙලොව හා පරලොව ජීවිත සතුටු වන අන්දමේ ක්‍රියාවන් හෙවත් පින් දහම් සිදු කරන ලෙසත් එවැනි ක්‍රියාවන්හි නියුතු වීම මගින් මෙම සසර කතරින් එතෙර වීම සඳහා මහත් සේ උපකාරී වන බැව් උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තව සියලු ලෝ වැසියන්ට මැනවින් පෙන්වා දී ඇත

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස!!!
ඉධ සෝචති පෙච්ච සෝචති
පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ”
(ධම්ම පදය – යමක වග්ගය)

කාරුණික පින්වත්නි,

සියලු ලෝක සත්වයන් මෙම බියකරු සසර කතරින් එතෙර කිරීම සඳහා මහා කරුණාවෙන් දහම් දෙසූ අප අමාමෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ වටිනා දුර්ලභ මිනිස් දිවිය ආලෝකමත් කර ගැනීම සඳහා මහත් සේ උපකාරී වන දහම් කරුණු කිහිපයක් “ධර්මභාණ්ඩාගාරයක් සාර්ධර්ම සංග්‍රහයක්” මැයෙන් ඔබ අතට පත් වන බුදුසරණ ධර්ම දේශනාව මගින් පහදා දීම සඳහායි බලාපොරොත්තු වන්නේ. ඉහත ගාථා ධර්මයෙන් කියැවෙන සරල අදහස වන්නේ “පව් කරන්නා මෙලොව හා පරලොව යන දොලොවදීම ශෝක කරයි. හෙතෙම තමා විසින් සිදු කරන ලද අපිරිසුදු වූ පාප කර්මයන් දෙස බලා බලවත් සේ ශෝක කරයි. එසේම වෙහෙසට ද පත් වෙයි යනුවෙනි.

සම්මා සම්බුදුපියාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කරනු ලැබුවේ බිම්බිසාර මහ රජු විසින් කරවා පූජා කරන ලද රජගහනුවර වේළුවනාරාමයේ දී “චුන්ද සූකරික” අරමුණු කර ගෙනය.

මොහු ඌරන් ඇති දැඩි කොට තලා පෙළා අවසානයෙහි ඌරන්ගේ මුඛයට ලෝ දිය වක්කොට ඌරන් මරා මස් කොට එයින් කොටසක් විකුණා මුදල් උපයා ගැනීම හා අනෙක් කොටස ආහාර ලෙස ලබාගෙන අඹු දරුවන් පෝෂණය කරමින් මෙලෙස වසර ගණනක්ම පාපකාරි දිවියක් ගෙවීය.වේළුවනාරාමය අසල ජීවත් වුවත් මොහු කිසි දිනක බුදුරදුන් හමුවීමට හෝ උන්වහන්සේගෙන් බණ පදයක් ඇසීම සඳහා විහාරයට පැමිණියේ නැත. බොහෝ සදැහැති උපාසක උපාසිකාවන් පින් දහම් සිදු කිරීම සඳහා දිනපතා වේළුවනාරාමයට පැමිණියද එය චුන්ද සූකරිකට මහත් හිසරදයක් විය. එතරම් මොහු පාපයට යොමුවී සිටී බව පැහැදිලිය . මෙලෙස ඉතා අවාසනාවන්ත දිවියක් ගත කළ මොහු දිනක් බරපතළ ලෙස රෝගී තත්ත්වයට පත් වී දින හතක්ම ඌරන් කෑ ගසන අන්දමට වද වේදනාවන් විඳ අවසාන දිනයෙහි මියගොස් අවීචියෙහි උපන්හ.

මෙම පුවත සැලවීමෙන් පසු අමාමෑණී බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා ධර්මයට අනුව පව් කරන්නා සසර පුරාවට ශෝක වන බව පෙන්වා වදාළහ. මෙම කථා පුවතට අනුව සමාජයෙහි දිවි ගෙවන බොහෝ මිනිසුන්ට තම දිවි මඟ සාර්ථක කර ගැනීමට උපකාරී වන මාර්ගය පෙන්වාදී ඇත. දුර්ලභඤ්ච මනුස්සත්‍ථං” (මිනිසත් බව ලැබීම ඉතා දුර්ලභය) එහෙත් උතුම් මිනිසත් බව විනාශ කර ගනිමින් අයහපත් මගට යොමු වන මිනිසුන්ද දැක ගැනීමට හැකිය.

කිච්ජෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

ඉහත ගාථාවෙන් කියැවෙන්නේ ඉතා වටිනා කරුණු හතරක් පිළිබඳවයි. එනම් “මිනිසත් බව ලැබීම දුෂ්කරය. මිනිසුන්ගේ ජීවිත පැවැත්ම අපහසුය. බණ ඇසීම හා සම්බුදුවරුන්ගේ ලොව පහළ වීම ද දුර්ලභය” යන්නයි.

මෙම වටිනා කරුණු සියල්ලම මිනිසුන්ට හිමි වි තිබිය දී ඔවුහු තම වටිනා දිවි මග නොයෙක් පාපකාරී ක්‍රියාවන් මගින් අඳුරට යොමු කර ගැනීම ඉතා කනගාටුදායක කරුණකි. නිති පන්සිල් නොරකින ඇතැම් පුද්ගලයන් තම “මනුෂ්‍ය” යන උතුම් නාමයට පවා නිගරු කරන අයුරු මනාව දැක ගත හැකි දසුනකි. එහෙත් අප ගමන් කළ යුත්තේ එවැනි අයහපත් මාර්ගයෙහි නොවේ. බුදුරදුන් හැම විටම දහමේ දි අනුශාසනා කරනු ලැබුවේ යහපත් මඟ ගමන් කරන ලෙසය. “ඉධ නන්දති පෙච්ච නන්දති” මෙලොව හා පරලොව ජීවිත සතුටු වන අන්දමේ ක්‍රියාවන් හෙවත් පින් දහම් සිදු කරන ලෙසත් එවැනි ක්‍රියාවන්හි නියුතු වීම මගින් මෙම සසර කතරින් එතෙර වීම සඳහා මහත් සේ උපකාරී වන බැව් උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තව සියලු ලෝ වැසියන්ට මැනවින් පෙන්වා දී ඇත.

බුද්ධ කාලයේ දිවි ගෙවු ධම්මික උපාසකතුමා, සුමනා දේවිය, විශාඛාව ආදි චරිත දෙස අවධානය යොමු කිරීමේ දී ඒ බව මනාව තහවුරු වෙයි.අප හැම විටම දිවිගෙවිය යුත්තේ උතුම් මිනිස් ගුණ ධර්මයන්ට මුල් තැන ලබා දෙමින්ය. යමෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් බවට පත් වන්නේ හෙතෙම සිදු කරන ලද ක්‍රියාවන් අනුවය. ඒ නිසා පින්වත් ඔබත් ඉහත සඳහන් කරුණු මගින් තම මිනිසත් බව අලෝකමත් කර ගැනීම සඳහා උත්සාහ කරන අතරම මෙම බියකරු සසර කතරින් එතෙර වී උතුම් අමාමහ නිවන් සුව ලබන්නට ඔබත් අද සිටම අදිටන් කර ගන්න.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.