Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව

වියෝදුක

ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක්ඛ සත්‍යයට ඇතුළත් කොටසකි. “පිය විප්පයොග දුක්ඛය” හෙවත් වියෝ දුක, සදාකාලික ව හෝ තාවකාලික ව හෝ පි‍්‍රයයකුගෙන් වෙන් වූවකුට මෙම දුක ඇතිවීම ස්වාභාවිකය.

යශෝධරාවගේ වියෝ දුක

සිද්ධාර්ථ රජතුමා ගිහිගෙයින් නික්ම යෑමෙන් වියෝ දුකට පත් යශෝධරාවගේ හැසිරීම් බොහෝ සේ වෙනස් වූවාය. සිය පි‍්‍රයයා හැඳ පෙරවූයේ කසාවත් බව ඇසූ යශෝධරාව අලංකාර ඇඳුම් පැළඳුම් පසෙක දමා කසාවත් ම හැඳ පෙරවූවා ය. එ තුමා රාත්‍රි ආහාර නො ගත් බව අසා යශෝධරාව ද රාත්‍රි ආහාර වර්ජනය කළා ය. එ තුමා උස් අසුන්වල මහ අසුන්වල නො හිඳින බව අසා ඇය ද එ වැනි අසුන්වල හිඳීම නතර කළාය. එතුමා මල් සහ සුවඳ විලවුන් හළ බව අසා ඇය ද ඒ සියල්ල ප්‍රතික්ෂේප කළාය.

මනෝ වෛද්‍ය විද්‍යාත්මක කරුණු

යශෝධරාවගේ හැඟීම් සහ හැසිරීම් රටා එ ලෙස වෙනස් කළ වියෝ දුක මනෝවෛද්‍ය විද්‍යාවේ කොපමණ වැදගත් මාර්තෘකාවක් දැයි කිව හොත්, ‘වියෝ දුකට උපදේශන සහ චිකිත්සක ක්‍රම’ නමින් කැලිපෝනියාවේ මහාචාර්ය ජේ.විලියම් වර්ඩන් (J.William Worden) මෑතකදී ලියූ පොතෙහි ආශි‍්‍රත ග්‍රන්ථ නාමාවලියේ අඩංගු ග්‍රන්ථ නාම සංඛ්‍යාව 493 කි. එංගලන්තයේ මනෝවෛද්‍ය කොලින් මරේ පාක්ස් ˆ (ColinMurray Parkes)  වියෝ දුකින් පෙළුණූ භාර්යාවන් රාශියක් පිළිබඳ පර්යේෂණ පවත්වා ‘වියෝ දුක ‘ (Bereavement)නමින් පොතක් ලියා ඇත.වියෝ දුකින් පෙළුණු ස්වාමිපුරුෂයන් ගැන ද කුඩා ළමුන් ගැන ද පමණක් නොව, තම වර්ගයේ සගයකු මිය ගිය විට වියෝ දුකින් පෙළුණු තිරිසන් සතුන් ගැන ද තොරතුරු පාක්ස්ගේ පොතට ඇතුළත් වෙයි. වියෝ දුකට පත් පාත්තධේනුවන් ගැන ලොරෙන්ස් (Lorenz) හීලෑ බල්ලන්, ඔරං උටන්, චිම්පන්සීන් වැනි වානරයින් ගැන බෝල්බි (Bowlby) සහ වදුරන් ගැන ස්ට්රුසේකර්  (Struhsaker) කළ පර්යේෂණ වාර්තා අනුව වියෝ දුක මනුෂ්‍ය වර්ගයාට පමණක් ඇති වන්නක් නො වන බව අපට වැටහිය යුතුය. ඝාතනයට ලක් වන ගවයා නගන එම අෙඳීනාව අසන අනික් ගවයිනට ද, යාන්ත්‍රික ක්‍රමවලින් මිය යන කුකුළු පැටවා දකින අනික් කුකුළු පැටවුනට ද වියෝ දුක් ඇති වන බව ඝාතකයනට වැටහිය යුතුය. බිලි පූජාවට වෙනත් ආගම්වල ඝාතකයනට සතුන් නසනා අයටද මෙය වැටහේවා!

පාක්ස්ගේ පොතෙහි විස්තර වන භාර්යාවන්ගේ හැඟීම් සහ හැසිරීම් වෙනස් කළ වියෝ දුකට හේතු වූයේ, ස්වාමිපුරුෂයින්ගේ මිය යෑම ය. මිය නො ගියද, පි‍්‍රයයකු තාවකාලිත ව වෙන්වී ගිය විට හටගන්නා අමුතු හැඟීම් සහ හැසිරීම් අවබෝධ කර ගැනීමට ද එම විස්තර උපකාරි වෙයි. එම විස්තර අතර පාක්ස් විශේෂ අවධානයක් යොමු කරන්නේ ‘තදාත්මීකරණය’(Identification) නමැති මානසික සාධකයට ය.

තදාත්මීකරණය

බරපතළ අර්බුදයකදී ඇතිවන අධික කාංසා බලවේගයෙන් ආත්ම ශක්තිය දෙදරා යෑම වළක්වා තාවකාලික ම මනසට සංරක්ෂණය සලසන උපක්‍රම කිහිපයකුත්, සිග්මන් ෆ්‍රොයිඩ් (Sigmund Froud) විස්තර කළේය. මෙම සංරක්ෂණය යෝග (Defense Mechanisms)  අතුරින් එකකි තදාත්මීකරණය. තදාත්මීකරණය යනු එක් පුද්ගලයකු, හැඟීම් මගින් හෝ හැසිරීම් මගින් හෝ, වෙනත් පුද්ගලයකු ලෙස පැවතීම ය. එය තම නො දැනුවත් වම වෙනත් පුද්ගලයකු අනුකරණය කිරීමකි.

යශෝධරාවගේ වෙනස් වීමට හේතුව සිද්ධාර්ථ රජතුමාගේ ගෘහාභිනිෂ්ක්‍රමණය නිසා හටගත් වියෝ දුකින් ඇති වූ තදාත්මීකරණය යි.

පාක්ස්ගේ පර්යේෂණයට යොමු වූ එක් භාර්යාවක්, වියෝ වූ ස්වාමිපුරුෂයා කළ අකාරයටම ගෙවත්ත පිරිසුදු කරන්නටත්, ගෙය ප්‍රතිසංස්කරණය කරන්නටත් කාලය යෙදවූවා ය. වෙනත් භාර්යාවක් ස්වාමිපුරුෂයා කළ ආකාරයටම මෝටර් රථය පැදවීමට පටන් ගත්තා ය. මෙම අනුකරණ, ස්වාමිපුරුෂයා නැති නිසා ප්‍රායෝගික අවශ්‍යතා නැති නිසා ප්‍රායෝගික අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමක් වශයෙන් මතුපිටින් බලා අර්ථකථනය කිරීමට හැකි වුවත්, ඒවායින් යම් සැනැසිල්ලක් ලැබෙන බව ඔවුහු පාක්ස්ට පැවසූහ.

තදාත්මීකරණය අන්තයට ගිය විට ස්වාමිපුරුෂයා තමා අසළම සිටින බවක්, කාමරය තුළ සිටින බවක්, සමහර විට තමාගේ ශරීරය තුළ සිටින බවක්, භාර්යාවනට දැනිණි. විශේෂයෙන් අප රටේ “ තදාත්මීකරණය” ගැන නො දන්නා අය මිය ගිය පුද්ගලයා “ භූතයකු” වී තම ශරීරයට ආරූඪ වී ඇති බව අදහති. එය මිත්‍යා විශ්වාසයක් බව දත යුතුය.

ෆැක්ස් රෝගය

තදාත්මීකරණයෙහි තවත් අංගයකි. මිය ගිය ස්වාමිපුරුෂයාට තිබුණූ රෝග ලක්ෂණ භාර්යාවගේ ශරීරයේ පහළ වීම . 1976 දී සිසුක් සහ ඩිවෝල් (Zisook and Devaul) තදාත්මීකරණය නිසා වියෝ දුකට පත් වන අයකුට වැළදෙන ෆැක්සිමිලි රෝගය හෙවත් ෆැක්ස් රෝගය  (Facsimile Illness) පිළිබඳ විස්තර පළ කළහ. එක් ස්ථානයක තිබෙන උපකරණයක පිට වෙනත් ස්ථානයක තිබෙන උපකරණයකට ෆැක්ස් ක්‍රමයට ලිපියක් යැවෙන විට දෙවන උපකරණයෙන් ලැබෙන පිටපත මුල් ලිපියට සමාන බව අපි දනිමු. ගාල්ලේ සිට මා මේ ලියන රචනය ‘බුදුසරණ’ කර්තෘතුමා වෙත කොළඹට යවන්නේ ‘ෆැක්සිමිලි’ ක්‍රමයට ය. වියෝ වූ පුද්ගලයාගේ රෝග ලක්‍ෂණ වියෝ දුකට පත් වූ පුද්ගලයාට ඒවාට සමාන ව ‘ලැබෙන’ නිසා සිසුක් සහ ඩි වොල් දෙ පොළ ‘ෆැක්සිමිලි’ නමැති අන්වර්ථ නාමය යෙදුවේ, ඉන් පෙර පාක්ස් ‘වියෝ දුක’ පොතෙන් හඳුන්වා දුන් රෝගයට ය.

වසර කිහිපයකට පෙර එක් තරුණියක් බඩ හරහා කැපීම් තුවාලයකින් මෙන් වරින් වර මතු වන අධික වේදනාවකින් පෙළෙමින් මනෝවෛද්‍ය පිළිසරන පතා ආවාය. කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය සහ නාරිවේද වෛද්‍ය විශේෂඥ වාර්තා අනුව ඇයට ශාරිරික ව්‍යථ සාධකයක් නො තුබුණූ හෙයින්, විනිද්‍රාව (Hypnosis) හෙවත් මෝහය මගින් අතීතයට ගමන් කරවීමේදී හෙවත් ප්‍රතිගමනය කරවීමේදී (Regression) නාට්‍ය ජවනිකාවකදී මෙන් ඉදිරිපත් වූයේ, යට ගිය දවසක වූ මතකයෙන් ඈත්ව තිබුණු එක් සිද්ධියකි. ඇගේ පියා පැදවූ වෑන් රථයේ ඇය ගමනේ යෙදී සිටියාය. රථය අනතුරකට භාජන වී ඔහුගේ බඩ හරහා වැදුණූ පහරකින් තුවාල වී ලේ වහනය වනු ඇය දුටුවා ය. විනිද්‍රාවේශයේදි (Hypnotic Trance) ඇය කළ කෑ ගැසීමෙන් එම භයංකාර දර්ශනයෙන් හටගත් දැඩි චිත්තවේග ප්‍රකාශනය වීමෙන් ඇය සුවපත් වූවා ය. එ ලෙස චිත්තවේග ප්‍රකාශනය මනෝ වෛද්‍ය විද්‍යාවේ ‘අපසර්ජනය’  (Abreaction) යනුවෙන් හැඳින්වෙන චිකිත්සක ක්‍රමයකි.

හැම මාසයේම පසළොස් වැනිදින දකුණූ වැලමිටේ දරුණූ වේදනාවකින් පෙළුණු තරුණියක විනිද්‍රාවට භාජන කිරීමෙන්,, ඇගේ ළමා වියෙහිදී වැඩිමහල් සොහොයුරාගේ දකුණූ වැලමිට නයකුගේ දෂ්ඨ කිරීමෙන් ඔහු එම මාසයේ පසළොස් වැනි දින මිය යෑමේ අතීත වත්ථුව හෙළි වූ පසු සිදු වු අපසර්ජනයෙන් ඇය ද සුවපත් වුවාය.

පරමාදර්ශීකරණය

මෙම තරුණියන් දෙදෙනා සහ ඔවුන්ගේ නෑයින් සමග කරන ලද සාකච්ඡා තුළින් මතු වූ එක් පොදු සාධකයක් නම්, බඩේ වේදනාවෙන් පෙළුණු තරුණිය පියා කෙරෙහි සහ වැලමිටේ වේදනාවෙන් පෙළුණු තරුණිය වැඩිමහල් සොහොයුවුරා කෙරෙහි දැක්වූ අසීමිත, අචල භකත්‍යාදරය යි. වියෝ වූ පුද්ගලයකු සම්බන්ධ අයහපත් ගති ලක්‍ෂණ මතකයෙන් ඈත් වී, ගති ලක්‍ෂණ යහපත පමණක් මතකයට ළං වන බව පාක්ස් අවධාරණය කරයි.මෙය ශිෂ්ට සමාජයක එක් චාරිත්‍රයකි. මෙම චාරිත්‍රය නිසා, වියෝ වු පුද්ගලයින්ගේ අඩුලුහුඩුකම පිළිබඳ තමන් කළ පර්යේෂණයට අවශ්‍ය දත්ත විද්‍යාත්මකව සපයා ගැනීමට බාධා ඇති වූ බව පාක්ස් කියයි.

සිද්ධාර්ථ රජතුමා තමාට අතිශයින් හිතවත්ව සිටි යශෝධරාවට නො දන්වා, සිඟිති රාහුල පුතු වරක් හෝ සුරතල් නො කර, මධ්‍යම රාත්‍රියෙහි නික්ම ගිය නිසා යශෝධරාව වියෝ දුකින් පෙළුණ ද ඇය තුළ සිද්ධාර්ථ රජතුමා කෙරෙහි තිබුණේ අසීමිත, අචල භක්ත්‍යාදරයකි.

වියෝ දුකෙහි එක් ලක්‍ෂණයක් වන මෙම හැඟීම, පරමාදර්ශීකරණය (Idealization) නමින් හැඳින්වෙයි.

ස්වර්ණ, වර්ණ අශ්ව රථයෙහි නැග ලක්‍ෂයක් අගනා මුක්තාහාරය ඇතුළු ලක්‍ෂයක් අගනා මුක්තාහාරය ඇතුළු රාජාභරණ පැළඳ, මිණි කිරුළ දරා නගර සංචාරය කළ, තම ස්වාමිපුරුෂයාව සිටි, සිද්ධාර්ථ රජතුමා බුද්ධත්වය ලබා, කෙස්,රවුළු බා සිවුරු දරා, පාත්‍රය අතැතිව කිඹුල්වත් නගරයේ පිඬු සිඟා වඩින බව සැළවූ වහාම යශෝධරාව සිවු මැදුරු කවුළුවෙන් බලා, බුදුරජාණන් වහන්සේගේ සකල ශරීරයේ රූප ශෝභාව නරඹමින් නැඟු උදානය ප්‍රකාශ වන නරසීහ ගාථා පෙළ එතෙක් ඇය තුළ පැවති පරමාදර්ශීකරණයේ ප්‍රකාශනය වෙයි.

එයද අපසර්ජනයකි. මනස තුළ තෙරපෙන දැඩි චිත්තවේග අපසර්ජනය මගින් මුදා හැරිම චිකිත්සක ක්‍රමයක් බව, වියෝ දුකට පත්ව සිටි, බඩේ වේදනාවෙන් සහ වැලමිටේ වේදනාවෙන් පෙළුණු තරුණියන් දෙදෙනාගේ රෝග ඉතිහාස දෙකින් පෙන්වා දුනිමි.

කිඹුල්වත් නගරයේ යශෝධරාවගේ මන්දිරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ, ඇගේ මනස තුළ තෙරපෙමින් තිබුණු දැඩි වියෝ දුක අපසර්ජනය මගින් මුදා හළ ආකාරය මී ළඟ ලිපියෙන් විස්තර කරමි.

තුනුරුවන් සරණයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.