Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති - යේ පමත්තා යථා මථා

මිනිසාගේ ජීවිතය ඉතා වටිනා එකකි. එහි වටිනාකම රඳා පවතින්නේ අප්‍රමාදය මත ය. පමාවීම මළමිණියක් හා සමානය.

දිනක් සැවැත්නුවර ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා “ස්වාමීනී මොලොවටත් පරලොවටත් පිහිට වන එකම ධර්මයක් තිබේද” ? කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ “අප්පමාදො ඛො බ්‍රාහ්මණ” ආදී වශයෙන් මිනිසාගේ දෙ ලොව යහපත ට එක ම ධර්මය අප්‍රමාදය බව පැහැදිලි කළ අයුරු අංගුත්තර නිකායේ අප්පමාද සූත්‍රයේ දක්නට ලැබේ.

මිනිසා ඇස්, කන් නාසාදී ඉන්ද්‍රියවලින් රස විඳ, විඳ සිටීම ප්‍රමාදය යි. ඒ අතර මුදල් සොය සොයා, භාණ්ඩ සොය සොයා ගොඩ ගසා ගැනීමට තරඟයක් දක්නට ලැබේ. මෙලෙස මේ මනුෂ්‍ය ආත්මය කන්න, අඳින්න, සෙවීමට පමණක්ම යොදා ගැනීම මෝඩකමකි. අවශ්‍ය වැදගත්ම දේට කාලය නොයොදා අනවශ්‍ය දේට කාලය වැඩිපුර යොදා ගැනීම බොහෝ දෙනාගේ පුරුද්දක් වී තිබේ. අවශ්‍ය කාරණයට, අවශ්‍ය වෙලාවට නොගොස් මුහුණ සෝදන්න, ආලේපන තවරන්න, ඇඳුම් තෝරන්න, සපත්තු පොලිෂ් කරන්න ආදී කටයුතුවලට අධිකව කාලය යෙදවීම ප්‍රමාදයකි.

එමගින් අරමුණට හෝ ඉලක්කයට යාමට හැකියාවක් නො ලැබේ. ප්‍රමාද වී සහභාගි වන සෑම දෙයක්ම අසාර්ථකය. වැදගත් දෙය අතපසු කර, නොවැදගත් දේ සඳහා කාලය යෙදවීම හොඳ පුරුද්දක් නොවේ.

පරලොව ජීවිතයේ යහපත පිණිස, කෙලෙස් මල දුරු කිරීමට උත්සාහ කළ යුතුය. ඒ සඳහා අප්‍රමාදය අවශ්‍ය වේ. හැම සැපතකම මූලධර්මය අප්‍රමාදය යි. නිවන් දැකීමට අත්‍යවශ්‍ය ගුණයකි. දිව්‍ය, මනුස්ස භව දෙකේම පිරිහීමක් නැතිව නිවන් මඟට යා හැක්කේ අප්‍රමාදී අයට ය. ප්‍රමාදය මරණයට හේතු වන බව “ පමාදෝ මච්චුනෝ පදං “ යයි වදාළේ ඒ නිසාය.

මාගන්දියා විසින් සාමාවතී බිසව ඇතුළු පිරිස අමානුෂික පරිදි විනාශ කළාය. මාගන්දියා බුදුරදුන්ට ද වෛර කළා ය. ඒ නිසා නිතර බුදුන් වඳින්න, බණ අහන්න ගිය සාමාවතී ඇතුළු පිරිස ගිනිබත් කොට විනාශ කරනු ලැබුවාය. බුදුරජාණන් වහන්සේ වදාළේ මාගන්දියා ප්‍රමාද වූ බවයි. සාමාවතී ඇතුළු පිරිස අප්‍රමාදීව කටයුතු කළ නිසා පරලොව ද යහපත් කර ගත් බව වදාළහ. මේ නිසා මිනිසා පටු අරමුණු සඳහා වෛර කරමින්, පලි ගැනීමට මාන බලමින් සිටීම, කල් මැරීම ප්‍රමාදයකි. ඔවුනට නිවන් මඟ ඉතාම දුෂ්කර ය.

පරමාර්ථයක් නැති අයට ද ඉලක්කයක් නැත. ජීවිතේම සොයනවා පමණකි. කළ දෙයක් නැත. ළමයි රට පුරාම පුද්ගලික පන්තිවලට යති. ඔවුහු මහමඟට අධික ලෙස කාලය වැය කරති. ඉන්පසු සමහරු විභාගය ද අවසානයේ අසමත් වී දුක් වෙති. සමහරු මුළු ජීවිතේම ගෙවල් තනති. ජීවිතේ විඳීමක් නැත. ඉදිකිරීම්, වැවීම්, ගොඩගැසීම් සඳහා මුළු දිවියම වැය කරති. පිනකට, දහමකට යොමු වීමකට හෝ තම දරුවන් සමඟ සතුටුවීමට ඔවුන්ට වෙලාවක් නැත.

නගරයට ගිය මිනිසා නගරයේ ලතැවෙයි. නගරයේ කඩයක ඇති රූපවාහිනියක ක්‍රිකට් තරගයක් තිබුණහොත් තමන් පැමිණියේ කුමකටදැ යි සියල්ල අමතක වී ඒ දෙස බලා සිටී. ගෙදර දොර අවශ්‍යතා හා එදිනට නියමිත වැඩ සියල්ල අමතකය. මේ ප්‍රමාද වන හැටිය. ඒ ප්‍රමාදය පිටුපස ඇත්තේ පිරිහීම ය. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ “ අප්පමාදෝ අමත පදං “ යනුවෙන්. අප්‍රමාදය අමෘතයක් බඳුවූ නිවනට හේතු වන බවයි. සුසිරිත්වලට, කුශලයට පමා නොවිය යුතුය. මෙ ලොව දියුණුව සඳහා උත්සාහය, කැපවීම, අවංක බව ආදිය අවශ්‍යය ය. මෙම ගති ලක්‍ෂණ ඇති පුද්ගලයා මෙලොව ජීවිතය ජය ගනී.

“සබ්බා තා කූටංගමා කූට නින්නා සමෝ සරණා” “ වහලක මුදුන හෙවත් කැණිමඬල කුඩා ලී කැබැල්ලකින් මුළු වහලයම දරා සිටී”. එබඳු පරිදි සම්මා දිට්ඨි ආදී සියලු ධර්මවල මූලික දහම අප්‍රමාදය යි.

“බබ්බ ජලායකෝ බබ්බජං ලායිත්වා”

තණකොළ කපන අයෙක් තණකොළ එක් මිටක් අතට ගන්නා සේ සියලු කුසල් එක් මිටියකට ගන්නේ අප්‍රමාදයෙනි.

“අම්බ පිණ්ඩියා වට්ඨච්ඡින්නාය ”අඹ ඉත්තක සියලු අඹ ගෙඩි රැඳී සිටින නටුව මෙන් සියල්ල රැඳී ඇත්තේ අප්‍රමාදය තුළිනි. සියලු කුසල් ඒ තුළ තිබේ.

යේ කේචි කුඩ්ඩරාජානෝ සබ්බේ තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා භවන්ති”

කොපමණ කුඩා රජවරු සිටියත් ඔවුන් චක්‍රවර්ති රජුට යටත් ය. “ අප්‍රමාදය සියලු කුසල්වලට යටත් ය.

අහසේ තරු දහසක් තිබුණ ද එක් පුන් සඳ බබළයි. දානාදී සියලු පින්කම් අතර අප්‍රමාදය ආලෝකයෙන් බබළයි.

මෙම උපමා දේශන තුළින් අපට පැහැදිලි වන්නේ මිනිසාගේ උභයාර්ථයම සලසන මූලික දහම අප්‍රමාදය බවයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.