Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සේරුවිල මංගල මහා සෑය පිවිතුරු සියපතක් සේය

ඓතිහාසික මෙන්ම ශාසනික වටිනාකමකින් අනූන සේරුවිල පින් බිම පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ය.

ත්‍රිකුණාමලයේ සිට මහ සයුරෙන් කි.මී. 14.4 ක් පමණ යාත්‍රා කිරීමෙන් පසුව මුතූර් වලට ගොඩ බැසිය හැකි ය. එතැන් සිට සේරුවිලට කි.මී. 16 කි. ගොඩබිමෙන් පැමිණෙන්නේ නම් කන්තලේ සිට කි.මී. 48 ක දුරක් ගමන් කළ යුතු වෙයි. ත්‍රිකුණාමල මඩකළපු මාර්ගයේ කින්නියාතොට, උප්පුආරු තොට හරහා කි.මී. 41.6 ක දුරක් ගමන් කිරීමෙන් ද සේරුවිල පුද බිම වෙත ලඟා විය හැකි ය.

මෙහි වන සේරු නම් විල නිසා ඊට අයත් ප්‍රදේශයට සේරු නුවර යැයි නම් කළ බව කියැවෙ යි.සේරු -ආ - විල සේරුවා විල ලෙස ද ප්‍රකටව තිබෙ යි. දුරාතීතයේ සිටි රහතන් වහන්සේලා පැන් පහසුව සඳහා මෙම විලට නිබඳව වැඩිය බවත් එසේ සිවුරු ආ විල පසු කලෙක සේරුවාවිල ලෙස කට වහරට සම්බන්ධ වු බවත් ජන වහරේ පැවැත එන තවත් මතයකි.

13 වැනි සියවෙසහි රචිත ධාතු වංශයට අනුව ගෞතම සම්බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩිය අවස්ථාවේ මෙම පුද බිමෙහි චෛත්‍ය රාජයාණන් පිහිට වු ස්ථානයේ නිරෝධ සමාපත්ති සුවයෙන් සම වැදි සිටි බවත් මේ කල්පයේ පෙර බුද්ධත්වය ලද කකුසඳ කෝණාගම, කාශ්‍යප යන තුන් බුදුවරුන්ගේ ධාතූන් පිහිට වූ අසිරිමත් ස්ථානයක් ලෙස පිවිතුරු වු බව සඳහන් වෙයි.

එසේම සියම් දේශයේ ඉතිහාස ග්‍රන්ථයන්හි සේරුවිල පිළිබඳ ඓතිහාසික තොරතුරු සඳහන් වන බව ‘පූජනීය සේරුවිල’ ග්‍රන්ථයේ සටහන් කර තිබෙයි. ‘මහාවාලුකා (මා වැලි) නදියට දකුණූ දෙස පිහිටි සේරුනම විල ඉස්මත්තේ රුහුණු මාගම පුර විසූ කාවන්තිස්ස මහ රජාණන් විසින් සර්වඥයන් වහන්සේගේ ලළාට ධාතුව සහ කේස ධාතු තැන්පත් කොට ගොඩ නගා තිබෙන චෛත්‍යයද එනමින් ප්‍රකට විය”

1960 වසරේ ජුනි මස බෞද්ධාලෝකය පත්‍රයට ලිපියක් ලියන වැඩ බලන පුරා විදු අධිකාරි ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ වියතාණන් පවසන්නේ මෙසේ ය.

13 වැනි ශතවර්ෂයේ ලියන ලද ධාතු වංශයේ ලළාට ධාතු සේරුවිල නිධන් කොට ඇති බව නියත වශයෙන්ම පැවැසේ. ධාතු වංශය නම් ඇත්තෙන්ම ලළාට ධාතු වංශයයි. මෙසේ හෙයින් නුවර අවධියේ කරන ලද යම් යම් භක්ති කාව්‍ය වල එන ප්‍රවෘත්ති වලට වඩා ධාතු වංශයේ පුවත ඉහළින්ම පිළිගත හැකි බව කිව යුතුයි “

‘පූජනීය සේරුවාවිල ‘ ග්‍රන්ථයේ ඉතිහාසයෙන් බිඳක් නම් ලිපිය ලියා ඇත්තේ ධාතු වංශය ඇසුරිනි. එහි සඳහන් වන්නේ මෙසේය. ‘මෙම චෛත්‍යය භූමිය වනාහි අප සර්වඥයන් වහන්සේ බුදු වී අටවැනි අවුරුද්දෙහි ශ්‍රී ලංකාද්වීපයට වැඩ වදාළ තුන්වන ගමනේ පන්සියයක් පමණ මහ රහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියට සමවැදී ශ්‍රී පාදස්පර්ශයෙන් පවිත්‍ර කළ පූජ්‍යතර භූමියක් හෙයින්ද ශ්‍රී ලංකාද්වීපයේ මා වැලි ගඟ දකුණු තෙර සේරු නම ඵල කෙළවර වරාහ සොණ්ඩ නම් වූ ගල් කෙමිය අසල කාවන්තිස්ස නම් රජකු විසින් තමන් වහන්සේලාගේ ලළාට ධාතුන් වහන්සේ පිහිටුවා ඉතා සිත්කළු වූ දා ගැබක් පිහිටනු ලබන්නේය. ආදි වශයෙනි.

මෙම ලිඛිත කරුණූ අනුව පෙනී යන්නේ සර්වඥයන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලෙසින් හැඳින්වෙන ලළාට ධාතුන් වහන්සේ නිධන් කර සේරුවිල මංගල මහා සෑය ඉදිකර ඇති බවයි. එසේ නම් මෙම ඓතිහාසික මහා සෑ රදුන් ලංකාවේ බුදු සසුනේ – සුවිශේෂී වූ ද පූජනීය වූ ද ස්මාරකයක් බව පැහැදිලි ලෙසම පිළිගත යුතුව තිබෙ යි.

ගෞතම බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමියට වැඩි චාරිකාවන් ත්‍රිත්වයේ දී නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටීමට තෝරා බේරා ගත් ස්ථානයන් අති පුජනීය ස්ථාන වශයෙන් සැලකීමට සැදැහැති බෞද්ධ ජනතාව පෙළඹී සිටිති.

සොළොස්මස්ථානයන් වශයෙන් නම් කර තිබෙන්නේ එම අති පාරිශුද්ධ පින් බිම් ස්මරණය කරමින් පුජනීයත්වයට පත් කරලීම උදෙසා ය. එම නාමයන් මෙනෙහි කරමින් පින්පෙත් පිරීම බෞද්ධ සිතට අපමණ වූ සැනසීමකි.

බුදුන් වැඳීමට විහාරස්ථානයකට පැමිණෙන සර්ධාවන්ත බෞද්ධයාගේ මුවින් සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාව කියැවෙන වාරයක් පාසා සම්බුදු ශ්‍රී දේශයේ පහස විඳි පුණ්‍යභූමි මෙනෙහි වීමෙන් ගත සිත ද සන්සිඳුවමින් අපමණ වු සුවපත් භාවයක් දනවනු සුළුය. “මහියංගනං නාගදීපං කල්යාණං” ...ආදි නම් කියැවෙන විට ලංකා බිමේ වෙනත් ග්‍රාම නගර සියලු විශේෂ නාමයන් අභිබවමින් මෙම නාමයන් සැදැහැති බෞද්ධ හද පුදසුන මත වන්දනීය පිවිතුරු කුසුමන් බවට පත්වී තිබෙයි.

මෙවන් පසුබිමක් තුළ අති උත්තම සම්බුදු පහසින් මෙන්ම උත්තම රහත් පහසින් සුපිරිසුදු වූ සේරුවිල නාමය සොළොස්මස්ථාන අතර නොරැෙඳන්නේ ඇයි දැයි ඔබට මෙන්ම මා හට ද ගැටලුවක් පැණ නගියි.

අප සම්ප්‍රදායිකව හඬ නගා කියන සොළොස්මස්ථාන ගාථාව කිසිවිටකත් අවතක්සේරු නොකරමින් එම පිවිතුරු මල් සොළසක් වන් තැන් සොළොස හද පුදසුන මත එලෙසම පූජනීයත්වයෙන් තබා ගනිමින්ම සේරුවිලටත් නිසි අගැයුම ලබා දීමේ අපේක්‍ෂාවෙන් සැකැවින් හෝ බෞද්ධ ඉතිහාස ගත කරුණූ අනුව විමසා බැලීම වටියි.

2500 බුද්ධ ජයන්තිය ඉතිහාසය නමින් පණ්ඩිත අමුණුගම හිමරතන සහ ශාස්ත්‍ර විශාරද කහටපිටියේ ශි‍්‍ර ධීරානන්ද හිමිපාණන් වහන්සේලා විසින් සම්පාදිත ග්‍රන්ථයෙන් ඒ සඳහා හේතු පාඨ ගෙන හැර දැක්විය හැකි ය.

මෙම ග්‍රන්ථයට ප්‍රස්තාවනාවක් ඉදිරිපත් කරන සිංහලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ පවසති.

‘අනවරතයෙන් වෙනස් වන සමාජයකට හසු වුවද ගිහි විනයට පට හැනි නොවන සේ ජීවත්වීමට බුදු දහම ශාසන වංශය හා බෞද්ධ සංස්කෘතියද අරභයා ලත් දැනුමක් බෞද්ධයාට උවමනාය. “ මේ අගනා නිබන්ධනය කියැවීමෙන් ඒ දැනුම ලබන බෞද්ධයන්ට බෞද්ධ සංස්කෘතිය කාල දේශානුරූපව සකස් වෙමින් පමණක් නොව ඇතැම් විට දූෂණය වෙමින් වැඩුණු හැටි ද දත හැකිය. ඒ දැනුම නිසා ලබන තැන්පත් නුවණ දැඩි විශ්වාසය සහ බලාපොරොත්තු ද ඇති බෞද්ධධයන්ට තමන්ගේත් තමන්ගේ රටේත් බුදු සසුනේත් අනාගතය ආකාශ දීපයක් වනු ඇත”

මෙම ග්‍රන්ථයෙන් හඳුන්වාදෙන තිස්ස විහාරය පිළිබඳව සඳහන් වන දිගු විවරණය එසේම සඳහන් කිරීමෙන් ලිපිය දීර්ඝ වන බැවින් සේරුවිලට අදාළ කොටසට පමණක් සිත් යොමු කරමු.

“බුදුරදුන් වැඩි තැන් සාධක වශයෙන් සොළොසක් ලැබෙයි. සොළොස්මස් තැන් වලින් දෙතැනක සාධක නැති හෙයින් ඉවත දමා ඒ වෙනුවට නාග මහා විහාර සේරුවාවිල යන දෙතැන යොදා ගත යුතු වෙයි. “ (වැඩි විස්තර සඳහා 2500 ජයන්ති ඉතිහාසය කියවා බැලිය යුතුය) සොළොස්මස්ථානයේ තිස්ස විහාරය හඳුන්වන තැන එම පොත සඳහන් කරන්නෙ මෙසේ ය. තිස්ස මහා විහාර කීපයක් ඇතත් මහා ස්තූපය වූයේ එයින් කුමක්දැයි හරි හැටි තේරුම් ගැනීම දුෂ්කර ය. මහාවංශාදි සැලකිය යුතු ග්‍රන්ථයක නැති මෙම ස්ථානය ධාතු වංශය සඳහන් කෙරෙයි.

එහි දැක්වෙන්නේ කාවන්තිස්ස රජු සිය නම තබා මාගම එකක් ද සේරුවිල තවකක්දැයි තිස්ස මහා විහාර දෙකක් කළ බවෙකි. ඒ දෙතැනටම බුදුරදුන් වැඩි බව ද එහි දැක්වෙයි. සේරුවිල මංගල චෛත්‍ය ලළාට ධාතු පිහිටිමේ පුවත ඇතුලත් තිස්ස මහා වෙහෙර ධාතු පිළිවෙල කතාව වශයෙන් හැදින්වෙන ධාතුවංශය අනුව සැලකිය හැක්කේ බුදුරදුන් සේරුවිලට වැඩි බවමැයැ.

පුරා වසර 800 ක් පමණ අලි කොටි වලසුන් සරණ මහා ඝන වනයට වසන්වී නටබුන්ව පැවැති මේ මහා සෑ බිම නැවත සොයා ගනිමින් එයට පූජනීය වූ ජීවය ලැබ දෙමින් ලාංකේය බෞද්ධ වංශ කතාවේ සදාතනික ශ්‍රී නාමයක් සටහන් කළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකාර නා හිමියන් වහන්සේ ලියන ලද ලිපියකින් කොටසක්ද මෙහි උපුටා දැක්වීම වටියි.

බුදුරදුන් ලක්දිවට වැඩමවා සමවත් සුව විඳිමින් වැඩ හිඳ ස්පර්ශ කළ ස්ථානයන් පවසා වැඳීම පිණිස ප¼ඩිවරයකු සකස් කළ සොළොස්මස්ථානයන් දැක්වෙන “මහියංගනං නාගදීපං” යනාදි ගාථා වෙහි සේරුවිල සඳහන් නොවෙතැයි බොහෝ දෙනා අප ගෙන් අසති. එය මෙසේ සලකා ගත යුතු ය. තිස්ස මහා විහාරයැයි ඒ ගාථාවෙහි සඳහන් වනුයේ මේ සේරුවිල ලළාට ධාතු චෛත්‍ය ස්ථානය පිළිබඳව ය. ඒ බව සේරුවිල චෛත්‍යය කතාව කියා අවසානයේ තිස්ස මහා විහාරයේ ධාතු පිළිබඳ කතාව නිමි යනු වෙන් දැක්වූ ධාතු වංශයේ අවසාන වාක්‍යයෙන් ඔප්පු වේ. 1979 වසරේ මැද භාගයේ දි සේරු විලින් හමු වූ ගිරිලිපියේ දැක්වෙන පරිදි සිව්වන කසුප් රාජ්‍ය සමයේදී (ක්‍රි.ව. 898 – 914 ) අද ව්‍යවහාරයේ පවතින සේරුවිල යන නාමය වෙනුවට එදා තිස්ස මහා විහාරය යැයි හඳුන්වා ඇත. ගිරිලිපියේ එය මෙසේ සඳහන් වෙයි.

සිරිසඟබෝ මපූ(ර්) මුකා පස්වන්නෙ දුරුත් (තෙ) දාව දසාවක් දාව..සකරැ තිස් මහා වෙහෙරැ...

මේ සියල්ල සම්පිණ්ඩනය කර බැලීමේදි සේරුවිල නාමය තිස්ස මහා විහාරය නමින් සොළොස්මස්ථාන අතර සැඟවී තිබිය හැක. එසේ නොවුවද මාගම පූජනීය වූ තිස්සමහාරාමයට නිසි ඇගැයුම ප්‍රදානය කරමින් සම්බුදු පහසින් පූජනීය වූ ස්ථාන නාමයන් අතරට 17 වැනි ස්ථානය වශයෙන් අප කට වහරට පුරුදු සේරුවිල මංගල මහා ස්තූපයේ පූජනීය නාමය ද එක් කිරීම අසාධාරණයක් නොවේතැයි සිතෙයි. එසේ නැති වුවද සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සුවිසල් ම වූ ලළාට ධාතුව දරා සිටීමට තරම් සුදුසුකම් සපුරා ඇති මේ උත්තරීතර මහා ස්තූපය සදැහැති හද පුදසුන මත තවත් නොමියන පිවිතුරු සියපතක් සේ රඳවා තබා ගැනීමට කිසිවකුගේ අවසර හෝ තහනම් නියෝගයක් අවශ්‍ය නොවෙයි.

“සර්වඥ ධාතු නිධානයෙන් පරම පවිත්‍ර වූ සේරුවිල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ද දොහොත් මුදුන් දී මම වන්දනා කරමි” යැයි පැවැසීමෙන් ඇති වන බුද්ධාලම්භන පී‍්‍රතිය සැදැහැති බෞද්ධ හද තව තවත් ප්‍රබෝධමත් කරනු නම් නියත ය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.