වාදිභසිංහ මොහොට්ටිවත්තේ
ශ්‍රී ගුණානන්ද
නා හිමි
ආචාර්ය සිරිපාල මාදුවගේ
වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි
ජාතියේ ආගමේ පිනට කලාතුරකින් පහළ වූ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමකි.
උන් වහන්සේ අපවත්වී මෙම 21 වන දිනට වසර 122 ක් සපිරෙයි.
බලපිටිය මොහොට්ටිවත්ත ගම් පියසේ ලද්දු මැන්දිස් හා මල්දෝ ද සිල්වා
හාමිනේ දම්පතින් මවුපියන් වී මෙලොව උපත ලද මිගෙල් කුමරුවා දොළොස්
හැවිරිදි වියේදී පැවිදි වූයේය. වරක් උපැවිදිව රැකියාවක් සොයා කොළඹ ආ
මිගෙල්ට මරදාන දුම්රිය පොළ අසළ බෝගස ළඟ බෞද්ධ උපාසිකාවකට පිරිසක් පහර
දෙනු දැක යළිත් සසුන් ගත විය.
ඔහු උපත ලැබුවේ ද හැදී වැඩුනේ ද සිංහලකම, බෞද්ධකම, මුළු ගැන්වුණ, තාඩන
පීඩනයට ලක්වුණු අන්ධකාර කාල පරිච්ඡේදයක් මධ්‍යයේය. අන්‍ය ආගමික බලය
පැතිරෙන යුගයක කොටහේන කුඩා ආවාසයක වැඩවසන ගුණානන්ද හිමියෝ නැතිවී ගෙන
යන බෞද්ධකම, සිංහලකම නංවාලීමට මහඟු ප්‍රයත්නයක් දැරූ සේක.
අන්‍ය ආගමිකයන් විසින් පළකරන ලද අදහස්වලට ප්‍රති පිළිතුරු දීම සඳහා
බෞද්ධ පත්‍රිකා සමාගමක් ඇරැඹූහ. බොහෝ පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරිය
ගුණානන්ද හිමියෝ ප්‍රසිද්ධ වාද ගණනාවක් මගින් අන්‍යආගමික කරුණුවලට පහර
දෙමින් බුදු දහම රැක ගැනීමට මහ¼ගු වෙහෙසක් ගත්සේක. 1865 වරාගොඩ වාදය,
1866 උදන්විට වාදය, 1871 ගම්පල වාදය 1875 පානදුරාවාදය උන්වහන්සේ සිදුකළ
ප්‍රසිද්ධ වාද හතරකි.
මේ සියලු අවස්ථාවල දී බෞද්ධ පක්‍ෂය ජය ගත්තේය. පානදුරා වාදයෙහි තොරතුරු
අමෙරිකාවේ හිටපු සේනාධිනායක හෙන්රි ස්ටිල් ඕල්කට් තුමාට කියවන්නට ලැබී
බුද්ධාගම වැළඳ ගැනීමේ කැමැත්තෙන් ලංකාවට පැමිණියේය. එසේම පසුව
බ්ලැවැස්කි නම් විදේශීය කාන්තාව ද බුදු දහම වැළඳ ගැනීමට මෙ රට ට
පැමිණියාය.
ගුණානන්ද හිමියන් ලියූ පොත්පත් සංඛ්‍යාව විශාලය. ප්‍රසිද්ධ දේශනා
හාරදහසකටත් වැඩියෙන් උන්වහන්සේ සටහන් කර ඇත. භාෂා හතක දැනුමෙන් පෝෂණය
වූ ගුණානන්ද හිමියෝ ප්‍රභූවරුන්ගේ සහායද ලබාගෙන බෝධිරාජ සමිතිය පිහිට
වූ සේක. කැපීමට නියමිත වූ බෝගස් ඒ තුළින් රැක ගත් උන්වහන්සේ ඒවා
බෞද්ධයාගේ පූජනීය වෘක්‍ෂ ලෙස සලකමින් ගරුකළහ. කපන ලද බෝගස් වෙනුවට
අලුතෙන් බෝගස් රෝපණය කළහ. අද කොම්පඤ්ඤවීදිය, නුගේගොඩ, මරදාන, බොරැල්ල,
ආදි නොයෙක් ස්ථානවල දක්නට ලැබෙන්නේ ගුණානන්ද හිමියන් විසින් රෝපණය
කරනලද බෝධින් වහන්සේලාය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ සහාය
අතිශය වැදගත්ය. දොන් අන්ද්‍රියස් සිල්වා ධර්ම ගුණවර්ධන මුහන්දිරම්,
පීටර් ද, සිල්වා මුහන්දිරම්, දොන් පිලිප් ද සිල්වා, ඈපා අප්පුහාමි ආදි
ගිහි ප්‍රභූ®වරුන්ගෙන් ලැබුණු සහාය අගනේය. ඈපා අප්පුහාමි මහතා සමඟ එක්ව
බිහිකළ විද්‍යාධාර සභාව ඔස්සේ විදුදය පිරිවෙන බිහිවීමට මං පෙත්
විවරවිය.
මෝල්ගස්වල බෞද්ධ කොඩි බඳවාගෙන අසිරිමත් වූ පෙරහර උන්වහන්සේගේ එඩිතර බව
පෙන්වීය. බෞද්ධයන්ට ඇතැම් අන්‍ය ආගමිකයන්ගෙන් වන හානිය නිසා ඇතැම්
වැඩපිළිවෙළ තුළින් උන්වහන්සේ සිංහල ජාතියත් බෞද්ධාගමත් අවදි කරලීමට ගත්
තැත ඉමහත්ය. ගුණානන්ද හිමියයෝ1878 දී කොටහේනේ සංඝමිත්ත ඉරුදින දහම්පාසල
ආරම්භ කළ සේක.
කිසිවකට බිය නොවූ උන්වහන්සේ එඩිතර අධිෂ්ඨානයෙන් කැපවීමෙන් ක්‍රියා කළේ
සැබෑ සිංහල බෞද්ධයෙකු ලෙසින්ය. උන්වහන්සේ ගේ උසස් වැඩපිළිවෙළ නො ඉවසූවෝ
උන්වහන්සේට නොයෙක් පීඩා අපහාස කරන්නට වූහ.
අයුක්තිය අසාධාරණය මධ්‍යයේ කේශර සිංහ රාජයකු මෙන් අභීතව වැජඹුනු
උන්වහන්සේ 1890 සැප්තැම්බර් 21 දා 67 වන වියේදී අපවත් වී වදාළහ.
උන්වහන්සේ ගේ ශිෂ්‍යයකු වූ මොහොට්ටිවත්තේ ජනානන්ද හිමියෝද ගුරු හිමි
මෙන් මිසදිටු මත බිඳීමෙහි දක්‍ෂයෙකු වූහ. 1905 දී ඔරුගොඩවත්ත වාදය කළ
උන්වහන්සේ බෞද්ධ පක්‍ෂයට ජය ලබා දී එදිනම අපවත් වූ සේක.
මොහොට්ටිවත්තේ ඉන්දසෝම හිමියෝද ගුණානන්ද හිමියන්ගේ තවත් ශිෂ්‍ය නමකි.
ගුණානන්ද හිමියන් එදා පානදුරා වාදය කළ භූමිභාගය අද ආරක්‍ෂා කරලීම
වැදගත්ය.
අදින් වසර 122කට පෙර අපවත් වී වදාළ සිංහල බෞද්ධයා වෙනුවෙන් අත්‍යුදාර
උත්කෘෂ්ඨ සේවාවක් කළ වීරෝදාර වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද
යතිවරයාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
|