Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ව්‍යාධි දුක

මේ ශරීරය ‘රෝග නිඩ්ඩං’ රෝග කාරක පක්ෂින්ගේ කූඩුවක්. රෝග කැදැල්ලක්. ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍රවල දී දේශනාකර තිබෙනවා ලෙඩ රෝග රැසක් පිළිබඳව. නූතන වෛද්‍ය විද්‍යාවෙන් තවම සොයා නො ගත් ලෙඩ සහ නිරාවරණය වෙමින් පවතින ලෙඩ ගැනත් බුදුරජාණන් වහන්සේ මීට වසර 2600 කට කලින් දේශනා කර තිබෙනවා

තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ දුක් විඳීන සත්ත්වයන් ලෝකයෙන් එතෙර කරවීම පිණිසයි. උන්වහන්සේ වදාළ සෘජු මාර්ගයේ ගමන් කරන්න ට පුළුවන් වුවොත් අපටත් මේ සසරින් එතෙර විය හැකියි. ශ්‍රී ධර්මයේ සඳහන් වන අවබෝධ කළ යුතු දුක් අතර අද අප සාකච්ඡා කරන්නේ ව්‍යාධි දුක ගැනයි.

ස්වාමින් වහන්ස, ව්‍යාධියට පත්වීම නැතිනම් ලෙඩවීමේ දුක කුමක් ද?

ව්‍යාධිය කියන්නේ ලෙඩ රෝගවලට පත්වීම යි. තථාගතයන් වහන්සේ “ව්‍යාධිපි දුක්ඛා” කියලා සඳහන් කළේ ලෙඩවීමත් දුකක් කියලා. ලෙඩ රෝග කියන දේවල් අපේ ශරීරයට වැළදෙන්නේ කුමක් නිසා ද කියලා අප බලන්න ඕන. ප්‍රධාන රෝග දෙකක් තිබෙනවා. ඒ තමයි කායික රෝග හා මානසික රෝග. කායික රෝග භාවය ආවේණික දුකක් ලෙස හඳුන්වන්න පුළුවනි. හේතුව කය කියන්නේ අනිත්‍ය වූ මූල පදාර්ථයන්ගෙන් සකස් වූ දෙයක්. කය එහෙම නැති නම් රූපය හැදිලා තිබෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතරමහ ධාතුන්ගෙන්. සතර මහ ධාතුන්ගේ ආවේණික ලක්ෂණ තුනක් තිබෙනවා. උප්පාදෝ පඥායති (හටගැනීමක් පේන්න තියෙනවා) වයෝ පඥායති (ක්ෂය වීමක් තියෙනවා, (තිදස්ස අඥදස්සං පඥායති (පැවැත්වීමක් වෙනස්වීමේ ස්වභාවයක් තියෙනවා) සරලව කිව්වොත් මේ වචන තුනේ ම කියන්නේ අනිත්‍යය යි. සතර මහා ධාතුන් කියන්නේ අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ මුල පදාර්ථයන්ගෙන් නිෂ්පාදනය වූ ශරීරයත් රූපයත් දෙකම අනිත්‍යය යි. එතකොට එය ඇසුරු කරගෙන ලෙඩ රෝගවලට ගොදුරුවෙන්න වීම ස්වභාවයක්. මොකද ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා කියන්නෙත් රූපය අනිත්‍යයට පත්වීමයි. ඒ වගේම ලෙඩ රෝගවලට පත්වෙනවා. මෙයත් අනිත්‍යයි. ඒ වගේම ලෙඩවීමත් අනිත්‍යයි. සුවවීමත් අනිත්‍යයි.

තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල සඳහන් කරලා තිබෙනවා. මේ ශරීරය ‘රෝග නිඩ්ඩං’ රෝග කාරක පක්ෂින්ගේ කූඩුවක්. රෝග කැදැල්ලක්. ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍රවල දී දේශනාකර තිබෙනවා ලෙඩ රෝග රැසක් පිළිබඳව. නූතන වෛද්‍ය විද්‍යාවෙන් තවම සොයා නො ගත් ලෙඩ සහ නිරාවරණය වෙමින් පවතින ලෙඩ ගැනත් බුදුරජාණන් වහන්සේ මීට වසර 2600 කට කලින් දේශනා කර තිබෙනවා.

සමහර ලෙඩ රෝග වෛද්‍ය විද්‍යාව අනුව නිශ්චිත නිගමනයකට ඒමට නොහැකි රෝග ගැනත් උන්වහන්සේ වදාළා.ඒ කම්ම විපාක වලින් හටගන්නා රෝග ආකාරයට මේ ශරීරයට වැළදෙන ලෙඩ රෝග ලැයිස්තු ගත කරල තියෙනවා. ඒ වගේම කෙලෙස් සහිත වන හැමෝම ‘සබ්බේ පෘතග්ජනා උම්මත්තිකා’ කියන ප්‍රකාශය යටතේ හැමෝම මානසික උම්මත්තිකයෝ කියලා ධර්මයට අනුව පිළිගැනීමක් තිබෙනවා. කායික හා මානසික ව්‍යාධින්ට ගොදුරු වන්නේ කය යි මනස යි පෙලීම යි. පීඩාව ට පත්වීම යි. ඒ පීඩාවට පත්වීම තමයි දුකට පත්වීම. ඒ ව්‍යාධීන්ට ගොදුරුවීමේ දී ඇතිවන කායික හා මානසික පීඩාව තමයි මෙතැනදී ව්‍යාධි දුක කියලා සඳහන් කර තිබෙන්නේ.

බොහෝ විට අප හැමගේම ගත ලෙඩ වෙන එක ස්වාභාවයක්. නමුත් සිත ලෙඩකර ගන්න එක බොහෝ අය විසින් කර ගන්න දෙයක්. අනේපිඬු සිටුතුමාට බුදුරජාණන් වහන්සේ කියා දුන්නා “සිටුතුමනි” ගත ලෙඩ වුවත් සිත ලෙඩ කර ගන්න එපා කියා. ගොඩක් අය ශරීර පීඩාවත් මානසික පීඩාවක් බවට පත්කර ගන්නවා. ඒ ශාරීරික පීඩාවන් හමුවේ ඒක දරාගන්න පුළුවන් මානසිකත්වය ගොඩ නගා ගත්තොත් ශරීරයට දැනෙන පීඩාවන් අවම කර ගන්න පුළුවන් ඒ සඳහා සිත ශක්තිමත් කර ගන්න ඕන

ලෙඩවීමත් සමඟ අසරණවන අපගේ ජීවිතයට තිබෙන රැකවරණය කුමක් ද?

තථාගතයන් වහන්සේ වදාළා “රට්ඨපාල” සුත්‍රයේදී අත්‍රානලෝකේ අනභිස්සරෝ කියලා. ත්‍රාන කියන්නේ ආරක්ෂාව. අත්‍රාන කියන්නේ ආරක්ෂාවක් නැහැ. අනභීස්සරෝ කියන්නේ සර්වබලධාරීත්වයෙන් ලෝකයට තමා පාලනය කරන්න පුළුවන් කමක් නැහැ කියන එක. තව ආකාරයට කියනවා නම් ලෙඩ රෝගයකට ගොදුරුවුනාම එයින් බේරෙන්න පුළුවන්කමක් නැහැ. ලෙඩ රෝගවලට ගොදුරු වූ පසු ඒ පීඩාව ඊට ගොදුරු වූ කෙනාටම දරාගන්න වෙනවා. කෙතරම් කායික බලය තිබුණත් මුදල් හදල් තිබුණත් වේදනාව තව කෙනෙකුට පවරන්න පුළුවන්කමක් නැහැ. රට්ඨපාල රහතන් වහන්සේගෙන් කෝරව්‍යය රජතුමා අහනවා ඔබ වහන්සේ මොනවගේ සිතිවිල්ලකින් ද මහණ වුනේ කියලා.එවිට උන්වහන්සේ වදාළා මේ ලෝකයේ මිනිසුන්ට කිසිම ආරක්ෂාවක් නැති නිසා කියලා. රජතුමා කියනවා ආරක්ෂාවක් නැහැ කියන්නේ ඇයි? මට විශාල බලයක් තියෙනවා. චතුරංග සේනාවක් තිබෙනවා. මම බොහෝම ආරක්ෂා සහිතවයි ඉන්නේ කියලා. එවිට රහතන් වහන්සේ අසනවා ඔබතුමාට කිසි පීඩාවක් නැද්ද? එවිට රජතුමා කියනවා හාමුදුරුවනේ මට වාත අමාරුවක් තියෙනවා කියලා. එවිට මොකද කරන්නේ? ‘මට ඒ වෙලාමට හරි අමාරුයි. කෑ ගසමින් අඬනවා. ඉවසන්න බැහැ. ඉතින් ඔබේ හිතවත් අය ඒ වෙලාවට මොකද කරන්නේ? ඒ අයත් දුකෙන් බලාගෙන ඉන්නවා. ඒ අයටත් පිහිට වෙන්න බැහැනේ. එතකොට රහතන් වහන්සේ කියනවා ඒක තමයි රජතුමනි, අපට ආරක්ෂාවක් නැහැ කියා කිව්වේ යැයි වදාළා.

එනිසා අප එවැනි ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවධානමට යුක්ත අය. මම අනිවාර්යෙන්ම ලෙඩ වෙනවා ම යි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ලෙඩ වෙන්නේ නැහැ කියා කියන්න පුළුවන්කමකුත් නැහැ. ලෙඩ කියන දේ සාමාන්‍යයෙන් බෙහෙත් බීලා හොඳකර ගන්න පුළුවන් ඒවා නේ. නමුත් තථාගතයන් වහන්සේ වදාළේ බඩගින්න පිපාසය කියන්නේ රෝගයක්. ඉපදුන දා සිට තිබෙන රෝගයක් ඒක. ඒවාගේ දේවල් වලට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා නම් කරන්න තිබෙන එක දේ තමයි එයට මුහුණ දීමට අවශ්‍ය කරන චිත්ත ශක්තිය තමා තුළ ගොඩනගා ගැනීම. තමාගේ් සිතේ ශක්තිය ගොඩනගා ගන්න තිබෙන්නේ තමාට විතරයි. අන් අයට නොවේ. මේ ලෝකයේ මාර්ගඵල ලබාගන්න සත්‍යාවබෝධ කර ගන්න පුළුවන්කම තිබෙන්නේත් තමාටයි. අන් අයට කරවන්න පුළුවන් වන්නේ මඟ පෙන්වීම පමණයි. එනිසා අපට කිසියම් දුකක් වේදනාවක් දරා ගන්න වෙනවා නම් එය දරා ගැනීමේ ශක්තියක් අපට තිබිය යුතුයි. ඒ ශක්තිය ඇතිකර ගත් විට මේ ලෙඩ රෝගවලින් මිදීමට තිබෙන එක් ආවරණයක් වෙනවා.

කය වගේම සිතත් නොයෙක් විට ලෙඩ වෙනවා. එවිට අපගේ සිත රැකගත යුත්තේ කොහොම ද?

බොහෝ විට අපේ කය ලෙඩ වෙන්නේ යම් යම් විෂබීජ තුලින්. බිෂබීජ තිබෙන තැන්වලට ගියාම අප ලෙඩ වෙනවා. එහෙම නම් කය ලෙඩ කරන විජබීජ තමයි වෛරස්. ඒ විදිහට හිත ලෙඩ කරන විෂබීජත් තිබෙනවා. ඒ තමයි කෙලෙස්. අපේ සිත ස්වභාවයෙන්ම පිරිසුදු සිතක්. හැබැයි කාලයක් තිස්සේ ගන්නා ලද ආගන්තුක අරමුණු උපක්ලේෂයන් නිසා මේක කිලුටු වෙලා තියෙනවා. අපිරිසුදුවන තැන්වල තිබ්බම සිතත් කිලිටු වෙනවා. හිත දූෂිත වෙන්නේ අපිරිසුදුවෙන්නේ කිලිටි වෙන්නේ කෙලෙස් නිසා. එහෙමනම් කළයුත්තේ සිත කෙලෙසුන්ගෙන් ඈත් කරගෙන තබා ගැනීමයි. සිත කෙලෙසුන්ගෙන් ඈත් කරගත් කෙනාට සිත සුවපත් කරගන්න නිරෝගි කර ගන්න පුළුවන්. එහෙම නම් සිත ලෙඩ වෙන්නේ යම් තැන ද එතැනින් ඈත් වෙන්න ඕන.

අප දන්නවා ශරීරය ලෙඩ වෙන තැන් තිබෙනවා නම් (බෝවෙන ලෙඩ රෝගයක් වැනි) එතැනින් ඈත් වෙනවා. ඒ වගේම සමහර තැන්වලට ගියාම අපේ සිතට නරක සිතිවිලි එනවා. ඒ වගේ තැන් හඳුනාගෙන දැනගෙන ඉන් ඈත් වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ වදාළ යම් තැනක කෙලෙස් වැගිරෙනවා නම් නරක සිතිවිලි වැඩෙනවා නම් එතැනින් ඈත් වෙන්න ඕන. ඒ වගේම ආශ්‍රව සූත්‍රයේ සඳහන් වෙනවා ඇස, කණ, නාසය, දිව, කය, මනස ආදී ඉන්ද්‍රියන් අධික ලෙස පිනවීම තුළින් හිතේ් කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ඇති කර ගත යුතුයි.

ගත ලෙඩ වූ විට ප්‍රාර්ථනාවන් තුළින් සුවකර ගත හැකිද?

ප්‍රාර්ථනාවෙන් සියල්ලම සිදු වෙනවා නම් ලෝකයට මොනවද අඩු ? පංචඉට්ඨිය ධම්ම සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා ආයු, වර්ණ, සැප, බල ආදිය මිනිසුන් ප්‍රාර්ථනා කළා කියලා ප්‍රාර්ථනා කළ පමණින්ම වැඩෙන්නේ නැහැ. ඒ සඳහා ලැබෙන ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. යම් කෙනෙක් මම නිරෝගි වෙම්වා, වෙම්වා, කියමින් වැස්සට තෙමුනොත් ලෙඩ වෙනවා. තමා කායිකව හෝ මානසිකව නිරෝගි වන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාව අනුගමනය කළ කෙනාට ප්‍රාර්ථනා කළත් නො කළත් ඒ දේ ලබාගන්න පුළුවන්කම තිබෙනවා. ශාරීරික සුවය ප්‍රාර්ථනාවකින් කරන්න බැහැ. එහෙමනම් වෛද්‍යවරු අවශ්‍ය වන්නේ් නැහැ. නමුත් ගත ලෙඩ වූ විට සිතත් ලෙඩ වෙන නිසා සිත ශක්තිමත් කරගෙන තෙරුවන් ගුණ සිහිපත් කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඒ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් සම්ප්‍රදායක් තියෙනවා. එහි දී ගොඩක් සුවයක් ලැබෙනවා. බුද්ධානුස්සති භාවනාව කරනවිට සිත පිරිසුදු වෙනව. එතකොට ශරීරයේ ලේ ධාතුවත් පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදුවීම තුළ ප්‍රතිශක්තිකරණය වැඩිවෙනවා. එතකොට විෂබීජවලට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය කායික ශක්තිය සිත තුළම ඇතිවෙනවා. ඒ තුළ සුවපත් වෙනවා. ඒකත් නිකම්ම ප්‍රාර්ථනා වලින් වෙන්නේ නැහැ. යම්කිසි කුසළ පුන්‍ය මාර්ගයක යෙදීමෙන් ඇතිකර ගත යුතු එකක් මිස ප්‍රාර්ථනා කරල ලෙඩ සුවකර ගන්න පුළුවන්කමක් නැහැ. දෙවියන්ට කියලා යාඥා කරල ලෙඩ සුවකර ගැනීම බෞද්ධ සම්ප්‍රදායක් නොවේ.

සාකච්ඡා කළේ
නයනා නිල්මිණි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.