Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අර්ථවත් බව සපිරුණු ධම්මපදයේ උපමා

තමන්ට කිසිම අයුරක ප්‍රයෝජනයක් සලස්වා නොගෙන අනුන් සඳහා කටයුතු කරන අය අද සමාජයේ පවා දැකිය හැකි වේ. මෙසේම යමකු ත්‍රිපිටක ධර්මය බොහෝ උගෙන අනුන්ට කියතත් කියවතත් ඔහු එම ධර්මය නොපිළිපදින පමා වූ කෙනකු වේ නම් හෙතෙම බුදුරජාණන් වහන්සේගේ අවවාදයට ගරු කරන්නකු නොවේ. එම අවවාදයෙහි පිහිටන්නකු නොවේ. මෙවැනි අය පිළිබඳ ධම්මපදය මෙසේ සඳහන් කරයි. “අනුන්ගේ හරක් කුලියට බලන්නාක් මෙන්” යනුවෙනි.

ධම්මපදය යමක වග්ග 19 වැනි ගාථාව මේ බව දක්වයි.

ඒ “ගෝපො’ ව ගාවෝ ගණයං පරේසං” වශයෙනි.

සම්බුද්ධ දේශනාව පොදු ශ්‍රාවකයාට ග්‍රහණය කරගත හැකි අයුරෙන් ඔවුන්ට විෂයවන ආකාරයෙන් දේශිතය. ශ්‍රාවක හුදී ජනයාට නිරන්තර හමුවන අවස්ථා, සිද්ධි මාලාවන් සිය දේශනාවේදී බුදුන් වහන්සේ උපයෝගි කරගත් සේක. සමාජයේ සුලබ, නිරන්තර අවධානයට යොමුවන අවස්ථා සහ දෑ සම්බන්ධ කරගනිමින්, ඉදිරිපත් කරන ගැඹුරු ධර්මය, සුඛනම්‍ය කොට ශ්‍රාවකයාට නවතාවකින් ග්‍රහණය කරගන්නට හැකි පරිදි දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළ සේක.

එබඳු අවස්ථා බොහොමයක් ත්‍රිපිටකයේ අන්තර්ගත දේශනාවන් හි දක්නට ලැබේ. අප මෙහි දී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ඛුද්දක නිකායේ ධම්මපදය ගාථාවන් හි දැක්වෙන උපමා පිළිබඳ යි. මෙම ගාථා රාශියකම උපමා දක්නට ලැබේ. ඒවායින් අදාළ කරුණු මැනැවින් තේරුම් ගන්නට ශ්‍රාවකයාට අවස්ථාව ලබාදෙයි. එවැනි අවස්ථා කිහිපයක් මෙසේ විමසා බලමු.

ධම්මපදය යමක වග්ග පළමුවැනි ගාථාව මනැස සම්බන්ධව දේශිතය. දූෂිත වූ මනැසෙන් කියන කරන දෙයෙහි අනිටු විපාක පුද්ගලයා හා බැඳී පවතින ආකාරය කාහටත් වැටහෙන පරිදි ඉදිරිපත් කරන්නේ මෙසේය. “චක්කං ව වහතෝ පදං” ‘ගොනු පසු පස යන රිය සක මෙන්’ යනුවෙනි. ගොනුගේ ගමන අනුව රිය සක කැරකෙනවා මිස, රිය සකේ කැරකීම අනුව ගොනු ගමන් නොකරන්නේය. කරත්තයක ගොනුගේ ගමන අනුව රෝදයේ ගමන කාහටත් දැක පුරුදුය. නරක (කිලිටි සිතින්) යමක් කියයි ද කරයි ද එමඟින් ඇති වන්නේ අකුසලයකි. අකුසල් පලදීම සසර පුරාවට ම සිදුවිය හැකිය. ඒ සත්වයාගේ භවගාමි භාවය අනුවය. එබැවින් සියල්ලන්ටම වැටහෙන උපමාවක් මඟින් මේ කරුණු පැහැදිලි කර ඇත.

මෙහි ම යහපත් සිතින් (සම්මා දිට්ඨියෙන්) යමක් කියයි ද කරයි ද එහි යහපත් වූ ප්‍රතිඵලය නිරන්තරයෙන් තමන් පසු පස්සෙන් පැමිණෙන බව “ඡායාව අනපායිනී” (තමා අත නොහැර යන සෙවනැල්ල මෙන්) යන ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වේ. උපතේ සිට මරණය දක්වාම අප සමඟ සෙවනැල්ල බැඳී පවතී. එමෙන් ම අප කරන යහපත් කාර්යයෙහි යහපත් විපාකය සසර පුරා අප පසුපස එයි.

දුබල (දිරාගිය) ගසක් පෙරළා දැමීම සුළඟට පහසුය. සවිමත් ගසක් පෙරළා දැමීම අසීරුය.දුර්වල පුද්ගලයා පරාජය කිරීම පහසුය. මේ බව සෑම දෙනෙක්ම දනිති. ධම්මපදයේ යමක වග්ග 7 වැනි ගාථාවේ සඳහන් “වාතෝ රුක්ඛං ව දුබ්බලං” යන්නෙන් ‘සුළඟ දුර්වල ගසක් මුලින් උදුරා බිම පෙරළන්නාක් මෙන්’ යන උපමාව ඉදිරිපත් කර ඇත. වීර්ය රහිතව කුසීතව වසන පුද්ගලයා රාගාධී කෙලෙස් නමැති මරුවා විසින් ඒකාන්තයෙන් මැඩලන බව මින් කියැවේ. ශක්තිමත් මනැසක් ඇත්තකු කිසිදා පරාජයට පත් නොවේ.

තමන්ට කිසිම අයුරක ප්‍රයෝජනයක් සලස්වා නොගෙන අනුන් සඳහා කටයුතු කරන අය අද සමාජයේ පවා දැකිය හැකිවේ. මෙසේම යමකු ත්‍රිපිටක ධර්මය බොහෝ උගෙන අනුන්ට කියතත් කියවතත් ඔහු එම ධර්මය නොපිළිපදින පමා වූ කෙනෙකුවේ නම් හෙතෙම බුදුරජාණන් වහන්සේගේ අවවාදයට ගරු කරන්නකු නොවේ.එම අවවාදයෙහි පිහිටන්නකු නොවේ. මෙවැනි අය පිළිබඳ ධම්මපදය මෙසේ සඳහන් කරයි. “අනුන්ගේ හරක් කුලියට බලන්නාක් මෙන්” යනුවෙනි. ධම්මපදය යමක වග්ග 19 වැනි ගාථාව මේ බව දක්වයි. ඒ “ගෝපො’ ව ගාවෝ ගණයං පරේසං” වශයෙනි.

ධම්මපදය චිත්ත වග්ග ප්‍රථම ගාථාවේ දැක්වෙන “හී වඩුවකු හී දණ්ඩෙහි ඇද හැර සකස් කරන්නාක් මෙන්” යන උපමාව වටහා ගැනීමේදී අපට පෙනී යන්නේ සමාජයේ දක්නට ලැබුණූ කර්මාන්තයක් ඇසුරු කොට කරුණු පැහැදිලි කිරීම සිදුකර ඇති බවයි. ඊතල නිෂ්පාදනය කරන තැනැත්තා ඒවා සකස් කර ගැනීමේදී එහි දණ්ඩ ඍජුව පවත්වා ගත යුතු වේ. එමෙන්ම විමුක්තිය සඳහා යොමුවන තැනැත්තාද පළමුකොට තමාගේ සිත සකස්කර ගත යුතු බව මෙයින් අවධාරණය කෙරේ. (උජුං කරෝති මේධාවි -උසුකාරෝ ව තේජනං)

මාළුවකු ජලයෙන් ඉවත් කර ගොඩ දැමූ කල්හි සිදුවන දේ කවුරුත් දනිති. මාළුවා ජීවිතය වෙනුවෙන් සැලේ. මෙවැනි වූ තත්ත්වයක් දැක ඇතියවුන්ට එය සිහිගන්වමින් කරුණු පැහැදිලි කිරීම නිසා ඔවුන්ට අදාළ ගාථාවෙන් කියැවෙන කාරණය පහසුවෙන් වටහා ගැනීමේ හැකියාව ඇතිවේ. චිත්ත වග්ග දෙවැනි ගාථාවේ එන “වාරිජෝව ථලේ ඛිත්තෝ - ඕකමෝකත උබ්භතෝ” යන පාඨයෙන් ඒ බව තහවුරු වේ. ‘ජලයෙන් ගොඩ දැමූ මසකු මෙන්’ යනුවෙන් දැක්වීම කොතරම් උචිත ද යන්න මෙමඟින් පැහැදිලි වේ. කෙලෙස් සහිත වූ පුද්ගලයාගේ සිත ද නිරන්තරයෙන්ම චංචල භාවයට පත්වේ. තෘෂ්ණාදි කෙලෙස් සහිත වූ සිතේ ස්වරූපය හොඳින් දන්නා උපමාවකින් පහදාදීම නිසා ශ්‍රාවකයාට මැනැවින් තේරුම් ගත හැකිවේ.

පෙණ පිඬුව අප දැක ඇති එකකි. එය ක්ෂණයකින් බිඳී විනාශ වී යයි. අපගේ ශරීරය එබඳුය. අනිත්‍යය. බුදුහිමියෝ එය ඉතා සුදුසුම උපමාවකින් පහදා දෙති.එනම් “ඵෙණුපමං කායමිමං විදිත්වා” යනුවෙනි. එමගින් අර්ථ ගන්වන්නේ ශරීරය පෙණ පිඬුවක් හා සමාන බවයි. මේ බව පුෂ්ප වග්ග 3 වැනි ගාථාවේ සඳහන් වේ.

ව්‍යඤ්ජනයේ රස දන්නේ දිවයි. එම රසවත් භාවය ව්‍යඤ්ජනය හැඳි ගෑමට ගන්නා හැන්ද නොදනී. දුෂ්ප්‍රාඥයා යහපත් වූ ගුණ ධර්මයන් හි අර්ථවත් බව වටහා නො ගන්නා බව පැහැදිලි කරනු පිණිස බුදුරජාණන් වහන්සේ බාල වග්ග 5 වැනි ගාථාවේ දී මෙසේ දේශනා කර ඇත. “දබ්බී සුප රසං යථා” වශයෙනි. එනම් හැන්ද මාළු පිණි රසය නොදන්නාක් මෙන් යනුවෙනි. අනුවණ තැනැත්තා ද දිවි ඇති තාක් පණ්ඩිත සේවනය කළත් ධර්මය (හොඳ නොහොඳ) දැන නොගනී.

උණ ගස මල් දරන්නේ විනාශයටයි. එමෙන්ම යම්කිසි අනුවණ තැනැත්තකු තමන්ට ලාභ සත්කාර පිරිහේය යන බියෙන් උපදවාගත් ලාමක අදහසක් නිසා පින්කම් කරන්නන්ට ඊට ඉඩ නොදේ නම් ඔහුගේ ඒ ලාමක අදහස උණ ගසේ පල හට ගැනීම මෙන් තම විනාශය පිණිස හේතු වෙයි. ඒ බව අත්ත වග්ග 8 වැනි ගාථාවෙන් මෙසේ ප්‍රකාශිතය. “ඵලානි කට්ඨකස්සේව” (උණ ගසේ ඵල හට ගැනීම මෙන්) යනුවෙනි.

සඳ වලාවන්ගෙන් වැසුණේ ආලෝකය නො විහිදුවයි. අවට ඇත්තේ අඳුරයි. එහෙත් එම සඳ වලාවන්ගෙන් මෑත් වූයේ අවට පරිසරය ආලෝකමත් කරයි. එය පි‍්‍රයජනකය, ප්‍රසන්නය. යමකු වරදෙහි යෙදී පසුව එය නිවැරැදි කර ගනියි ද යහපතෙහි හැසිරෙන්නට ක්‍රියා කරයි ද ප්‍රමාදයෙන් මිදෙන්නේද ඔහු බැබළීමට පත්වේ. “වලාකුළෙන් මිදුණූ සඳ මෙන්” (අබ්භා මුත්තෝ ව චන්දිමා) යනුවෙන් ධම්මපදයේ ලෝක වග්ග 6 වැනි ගාථාවේ දැක්වේ.

බැඳීමකට, උගුලකට හසු වූ කල්හි ඉන් මිදීම අපහසු වේ. එහෙත් අපහසුවෙන් හෝ ඉන් මිදුණු විට ඇතිවන සතුට කියා නිමකළ නො හැකිය. “සකුන්තෝ ජාල මුත්තෝ ව” යනුවෙන් ලෝක වග්ග 8 වැනි ගාථාවේ සඳහන් වන්නේ ‘දැලෙන් මිදුණු කුරුල්ලා මෙන්’ යන උපමාවයි. දැලකින්, කූඩුවකින් මිදුණ පක්ෂියා පිළිබඳව කවුරුත් දනිති. පැණැස නැති හෙයින් අන්ධ වූ පෘථග්ජන සමුහයා අතුරෙහි පංචස්කන්ධය අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් දක්නා ස්වල්ප දෙනා නිවනට යති. සසර බැඳීමෙන් නිදහස ලබති.

ප්‍රඥාවන්ත පුද්ගලයෝ දුර සිටියද හිමාලය පර්වතය මෙන් බුදුනුවණට ප්‍රකට වෙති. එහෙත් අනුවණ පුද්ගලයෝ බුදුන් හා ඉතා සමීපයෙන් සිටියද අඳුරෙහි විදින ලද ඊතල මෙන් ප්‍රකට නොවෙති. මේ බව තේරුම් කරදෙනු පිණිස දේශිත උපමාවක් ප්‍රකීර්ණක වග්ගයේ 15 වැනි ගාථාවේ සඳහන් වේ. එය “රත්ති ඛිත්තා යථා සරා” (රෑ විදි ඊතල මෙන් ) යැයි දක්වා ඇත

ඉවසීම ඉතා යහපත් වූ ගුණයකි. එබැවින් ඉවසීම පුහුණු කිරීම වටනේය. අන්‍යයන්ගේ සැර පරුෂ ඇනුම් බැණුම් ඉවසන්නට හැකි නම් එය ඉතා වැදගත් වෙයි. කෙතෙක් ද කිවහොත් යුද බිමෙහි දී දුන්නෙන් මිදී ආ ඊතල පහර ඉවසන ඇතකු මෙනි. මේ බව දැක්වෙන උපමාවක් ධම්මපදයේ නාග වග්ගයේ 1 වැනි ගාථාවේ සඳහන් ය. “නාගෝ ව සංගාමේ චාපාතෝ පතිතං සරං” යනුවෙනි.

ධම්මපද ඉගැන්වීම් පුරා තේරුම් ගැනීමේ පහසුව උදෙසා දේශිත උපමා බහුලය.ඒවායින් කිහිපයක් මෙහි සාකච්ඡා කරන ලදී. ධම්මපදය භාවිතයෙන් තවදුරටත් බොහෝ උපමා හඳුනාගත හැකි අතර එහි හරවත් බව විමසමින් එම ගාථාවන්හි සඳහන් කරුණු ජීවිතයට සමීප කරගැනීම වැදගත්ය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.