Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙලොව සතුට

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඉධ මෝදති පෙච්ච මෝදති
කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමොදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ

පින්වත්නි,

මෙම ගාථා ධර්මය දේශනා කළේ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ ධම්මික උපාසකතුමා අරභයාය.

එම උපාසකතුමා බොහෝ උපාසකයන්ට ආදර්ශමත් පුරෝගාමී වූ ක්‍රියාවෙන්ම ධාර්මික වූ, අනුන්ට උපදෙස් දීමෙහි ආචාර්ය වූ ගුණවත් සිල්වත් කෙනෙකි. මෙතුමාට සත්දෙනෙක් පුත් කුමරුවෝද, දූ කුමරියන් හත්දෙනකුද වශයෙන් දූ පුතුන් දහහතර දෙනෙක් සිටියහ. දරු සම්පත්තියෙන් භාග්‍යවන්ත වූ කෙනෙකි. එමෙන්ම තමාගේ බිරිඳද ගුණවත් සිල්වත් තැනැත්තියක් වූ බැවින් දෙමව්පියන්ට අනුව දු දරුවෝද යහපත් ජීවිතගත කරමින් මුළු පවුලම දම් පින් කිරීමෙහි නිරත වූහ.

මෙසේ දැහැමි ජීවිතයක් ගත කළ ධම්මික උපාසකතුමා ලෙඩ වී මරණාසන්න විය. දූ දරුවෝ තම පියතුමාට දහම් ඇසීමට ඉඩ සලස්වා ගැනීම සඳහා දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේට සැලකොට සංඝයා වහන්සේ සොළොස් නමක් ගෙදරට වැඩමවා ගත්හ. මේ අවස්ථාවේ ධම්මික උපාසකතුමා ඉතා සොම්නස්ව තමාගේ ඇඳ වටා සිල්වතුන් වහන්සේලා වැඩ සිටින විට සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්මය දේශනා කරන්නට යැයි, ආයාචනා කළේය.

පින්වත්නි , මෙසේ මහා සංඝරත්නය ධම්මික උපාසකතුමාට සතිපට්ඨානය දේශනා කරන විට දෙව්ලොව සිට පැමිණි දේවිය දැක ටිකක් නවතින්න යැයි පැවසීය. දෙවියන්ට මේ දැන්වීම කළත් භික්‍ෂූන් වහන්සේ තමන්ට කළ නියමයක් යැයි සිතා ධර්මදේශනාව නවතා වෙහෙරට වැඩියහ. මේ අවස්ථාවේ උපාසකතුමා කලුරිය කොට තුසිත දෙව්ලොව උපන්හ. භික්‍ෂූන්වහන්සේ මේ කාරණය බුදුරදුන්ට සැළකළ විට බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළ සේක. පින්වත්නි, මේ ගාථා ධර්මයේ කෙටි අදහස මෙසේ දක්වන්නට පුළුවනි. “පින් කළ තැනැත්තා මෙලොව සතුටු වෙයි. පරලොවදීත් සතුටු වෙයි. එමෙන්ම තමා කළ පින් මතක් කරගෙන පරලොව දී බොහෝ සැප විඳිමින් සතුටු වන්නේය”.

මේ ලෝකයේ යම් කෙනෙක්, පිනක්, කුසලයක්, යහපත් කටයුත්තක්, කරන විට ඔහුගේ සිතින් ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූලයන් යටපත් විය යුතුය. ඒවා සන්තානයෙන් ඉවත්වන විට සිතන කියන කරන දේවල් කුසල් වශයෙන් ක්‍රියාත්මක වේ. පිනක් කරන විට සිත තුළ පවතින ස්වභාවය අනුව එහි විපාකයද සිද්ධ වන බව අභිධර්මයෙහි විස්තර වන්නේය. දසකුසල් වශයෙන් වෙන්කොට ඇති දානාදී පින්දහම් නිතර නිතර කරන විට සංසාර ගතව පවත්නා ලෝභාදී අකුසල මූලයන් තුනී වේ. භාවනා කිරීමෙන්, සිතීමෙන්, ක්‍රියාකිරීමෙන් අකුසලයන් තුනීවෙන ආකාරය බුදුරදුන් විසින් සූත්‍ර රාශියක් දේශනා කර ඇත. බීජයක් නියම ආකාරයට පොළොවෙහි රෝපණය කළොත් එයින් සාරවත් ගසක් රෝපණය වී මල්ඵල හට ගන්නා සේම පරිසරය අනුව කුසලයක් කළ විට එහි ප්‍රතිවිපාක ද දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ ආත්මයේදීම හෝ උපපජ්ජවේදනීය හෙවත් පරලොවදී හෝ එසේ නොවේ නම් වෙනත් භවයකදි හෝ විපාක ලැබෙන්නේය.

“යා දිසං වපතේ බීජං – තාදිසං හරතෙ ඵලං
කල්‍යාණකාර කල්‍යාණං - පාපකරීච පාපකං”

බීජය අනුව ඵලය ලැබෙන බව බෞද්ධ දර්ශනය අනුවත් විද්‍යාත්මක ඉගැන්වීම අනුවත් ලොව තහවුරු වී ඇති නියාම ධර්මයකි. එහෙත් කර්මය අනුවම තමන්ගේ කටයුතු ප්‍රමාදකර ගැනීමට යහපත් නොවන බව බුදුරදුන් විසින් දේශනා කර ඇත. කර්මය යනු සත්වයාගේ සැප, දුක විවරණය කිරීමේ හා ඒකායන නියාම ධර්මය වුවත් පූර්ව කර්මය අනුවම තම තමන්ගේ වැඩකටයුතු ප්‍රමාද කිරීම නැණවත් ක්‍රියාවක් නොවේ.

සත්වයාගේ සන්තෝසය තහවුරු වන්නේ කුසල පක්‍ෂයේ ක්‍රියාවල ප්‍රතිවිපාක අකුසල් කිරීමෙන් ඇතිවන සතුට තවත් අකුසලයකට මූලික වන අතර කුසලය සිතන තරමට චිත්ත සන්තානය පෝෂණය වේ. එය චිත්ත න්‍යාම ධර්මයකි. මේ නිසා ජීවිත කාලය තුළ කළ පින් දහම් මරණාසන්නයේදී මතක් කර ගැනීමට විවිධ උපයෝගීතාවයන් යෙදීම බෞද්ධයන් අතර බුද්ධකාලයේ පටන් අද දක්වා පවතී. දුටුගැමුණු ආදි රජවරු පින්පොත සකස් කරගෙන මරණාසන්නයේ කියවන්නට සැලැස්වූයේ මේ නිසාය.

සෑම සත්වයාම සැපතට කැමතිය. එහෙත් සත්වයා සැප වශයෙන් සලකන්නේ ඇස්, කන්, නාසා දි පංච ඉන්ද්‍රියයන් පිනවීම සඳහාය. මේ සැප සංකල්පය කාලයක් යන විට මිරිඟුවක් බවට පත්වේ. ජීවිත කාලය පුරාවට විඳින සැප එක් රෝග පීඩාවකින් විනාශයට පත්වේ. එයට හේතුව ලෝභාදි අකුසල මූලයන් හේතුකාරක වීමයි. එය කවදා හෝ ජාති, ජරා, ව්‍යාධි, මරාණාදී අනේක විධ දුක්වලට හේතුවේ. එහෙත් අලෝභාදී කුසලයෙන් පෙරදැරිව ක්‍රියාත්මක වන දස කුශල කර්මයන් නිසා සත්වයා මෙ ලොවත් පරලොවත් සතුටු වේ. එමෙන්ම අවසානයේ ජාති,ජරා, ව්‍යාධි, මරණාදි සංසාර දුක් කෙළවර කිරීමෙන් ලබන උතුම් නිවන් සැපතින් සදාකාලිකවම සැනසීමට පත්වන්නේය.

මෙම ධර්ම දේශනාව පිළිබඳව ඔබ සැමගේ අවධානය යොමුකොට අකුසල් දුරුකොට කුසල් රැස් කිරීමෙන් අප්‍රමාදවන්න.

අප්පමාදෝ අමතපදං ඔබ සැමට තෙරුවන් සරණින් මෙලොව යහපත, පරලොව සුගතිය හා අවසානයේ නිවන් සම්පත් ලබාගැනීමට හේතු වාසනා වේවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.