Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කාර්ය බහුල අග නගරයට ආසන්නයේ වුව ද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාරය නිසාම පරිසරය නිස්කලංකය, දසුන සුවදායකය. බස්නාහිර පලාතේ ඇති ඓතිහාසික සිද්ධස්ථාන අතර මෙම විහාරස්ථානයට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි.

ලාංකේය ඉතිහාසයේ රාජ වංශ කතාවේදී අපට රජවරු විශාල සංඛ්‍යාවක් මුණ ගැසුණද ඒ අතර ඉතිහාස වංශ කතාව වර්ණවත් කළ කීර්තිමත් රජවරුන් හමු වන්නේ ස්වල්ප දෙනෙකි.

ඒ අතරින් කෝට්ටේ යුගයේදී (ක්‍රි.ව. 1412 – 1580) අප මාතෘ භූ®මිය එක්සේසත් කරමින් ස්වර්ණමය යුගයක් උදාකළ එසේම සාහිත්‍යයේ පුණරුදයක් ඇති කළ අභිමානවත් රජතුමකු හමුවෙයි. සවෙනි පරාක්‍රමබාහු නමින් අභිෂේක ලද එතුමා (ක්‍රි.ව. 1412- 1467) විසින් කෝට්ටේ රජ මහා විහාරය ඉදි කරවූ බව කියැවෙයි.

ක්‍රි.ව. 1505 දී පෘතුගීසි ආක්‍රමනිකයන් විසින් සාගරයෙන් වටවූ මේ කුඩා රම්‍ය දිවයිනේ සමුදුර මායිම් වැට කඩා දැමීමට සමත් විය. සමුද්‍රය ආසන්නයේ වූ ගම් බිම්වලට මෙහි අයහපත් බලපෑම තදින් දැනේනට වූයේ ඒ නිසාය. විශේෂයෙන් අපගේ ආගමික සිද්ධස්ථාන බහුතරයක් පෘතුගීසින් විසින් විනාශ කර දමන ලදී.

ඒ අනුව කෝට්ටේ රාජධානියේ ඓතිහාසික සාධක බහුතරයක් විනාශයට පත් විය. ඊට අමතරව පසුකාලීනව අගනගරයේ අතිශය ජනාකීර්ණත්වය මත සීමිත වූ ඉඩකඩම්වලට අසීමිත වටිනාකමක් ඇති වන විට බහුතරයක් ජනතාව සුව පහසුව සඳහා මෙම ප්‍රදේශ කරා පැමිණීම නිසාද මහා පෞරාණික යුගයක වටිනා සාධක මත නවීන නගරත් ගොඩනැගිලිත් ඉදිවන්නට විය.

එම නිසා අනුරාධපුර, පොළොන්නරු, මහනුවර යුග නියෝජනය කරන ඓතිහාසික සැමැරුම් ස්මාරක කෝට්ටේ යුගය නියෝජනයේදී දකින්නට විරල වීම කනගාටුවට හේතුවකි.

ඉතිහාස කතාවට අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සවැනි පැරකුම්බා රජතුමාගේ රාජ මාලිගය ගොඩ නංවා ඇත්තේ අද අප දකින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාර භූමිය සමීපයේ බව ‘ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරාණය හා රජ මහා විහාරය’ නමැති සඟරාවේ සටහන්ව තිබේ. එසේ නම් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වංශකතාවේ ස්වර්ණමය යුගයක් ජනිත කළා වූ සවැනි පැරකුම්බා රජතුමාගේ දායක පන්සල බවට පත්වූ මීට වසර 600 කට පෙර පමණ දුරාතීතයේදී ඉදි කළා වූ මෙම රජමහා විහාරය මොනතරම් නම් ඓතිහාසික ශාසනික වටිනාකමකින් අනූන ස්ථානයක් දැයි සිතෙයි.

එහෙත් ඒ පිළිබඳ ඓතිහාසික භෞතික සාධක ඉතිරි නොකිරීමට වග බලා ගත් ඉහත දැක්වූ හේතුන් මත මෙහි ඉතිහාසයේ අභිමානවත් පෞරාණික දර්ශනය එපරිද්දෙන්ම දැක ඉතිහාසයේ සැරිසරන්නට, එය හාරා අවුස්සා බැලීමට අපට නොහැකි වීම පිළිබඳව ඉපැදෙන්නේ දුකකි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාරයේ ඉතිහාසය පිරික්සීමට අපට සිදුව ඇත්තේ ඓතිහාසික බිමක ශේෂ වූ ස්මාරක මත නොව ඉතිහාසගත කරුණු පරීක්‍ෂා කිරීමෙනි. දිගුකලෙක අපල විපත් මැද විනාශයට පත් වන මෙම රජ මහා විහාරය වන රකුසාට බිලි වී වල් වැද ඇකී මැකී ගිය බවක් කියැවෙයි.

යුග ගණනාවකට පසුව මෙම විහාර භූ®මිය සොයා ගනු ලබන්නේ ක්‍රි.ව. 1813 දී පිලානේ ධර්මකීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත මා හිමිපාණන් වහන්සේ විසිනි. එතැන් සිට මෙම විහාරස්ථානය නැවත පුනර්ජීවය ලබයි.

වත්මන වන විට සකලාංගයන්ගෙන්ම පරිපූර්ණත්වයට පත්ව ඇති විහාරස්ථානයේ බුදු මැදුර පැරැණි විහාර ආකෘතියට අනුගතව නැවත ඉතිහාසය වෙත අපව රැගෙන යන ආකාරයට ගොඩ නැංවී තිබේ. ඒ තුළ ඇති දහ අට රියන් සැතැපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හිටි පිළිම වහන්සේලා මෙන්ම හිඳි පිළිම වහන්සේ නුවර යුගයේ කලා සම්ප්‍රදායට නිර්මාණය කර තිබෙයි.

ඒ අතර නූතන යුගය නියෝජනය කෙරෙන ප්‍රතිමාද වෙයි. එහෙත් ඒ සියල්ලේ කලාත්මක ස්වරූපය උසස් තත්ත්වයක පවතියි. මෙහි වම් උළුවස්සේ මුදුනත ‘ජයවර්ධන කෝට්ටේ ජයවර්ධන මහා විහාරය’යනුවෙන් ලියා ඇත්තේ ඉංගී‍්‍රසි භාෂාවෙනි. මෙම ලාංඡනය මිනිසුන් දෙදෙනකු විසින් දරාගෙන සිටින අතර ඔවුන්ගේ එක් අතකින් ඉංගී‍්‍රසි කොඩිය ඔසවාගෙන සිටියි. මෙහි දකුණූ පස උළුවස්සේ වික්ටෝරියා මහ රැජනගේ රූපය ඇතුළත් ලාංඡනයක් තිබෙයි. මෙය සිත්තම් කර ඇත්තේ මුහුදේ රළ මතය. බ්‍රිතාන්‍යයන්ට අප මාතෲ භූමිය යටත් වූ ආසන්න සමයේ මෙම නිර්මාණයන් කර ඇති නිසා එම ආභාසය මෙහි ඇතැම් සිතුවම්ි කෙරෙහිද බලපා ඇති බව මින් හැඟී යයි.

විහාරයේ පිට මාලයේ සිතුවම් ජාතක කතා අනුසාරයෙන් නිමවා තිබේ. නුවර සම්ප්‍රදායට අනුකූලව නිර්මාණය කර ඇති එම සිතුවම්හි යම් විශේෂත්වයක් ද දක්නට ලැබේ. ඒ නිසාම ඒවා වටිනාකමින්ද අනූන වේ. තෙල්වත්තේ තොටගමු රජ මහා විහාරයේ බිතු සිතුවම් ද මෙම සිතුවම්වලට බොහෝ සෙයින් සමාන බවක්ද කියැවෙයි.

එදා මේ දේශයේ රජවරු තම රාජ්‍යත්වයේ ස්ථීරත්වය තහවුරු කර ගැනීමට මෙන්ම දේශයේ බෞද්ධ අනන්‍යතාවය උදෙසා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රාජ සන්තකයේ සුරක්‍ෂිතව තබා ගැනීමට පෙලඹුණු බවට සාධක බොහොමයක් හමුවෙයි. එම සම්ප්‍රදාය අනුගමනය කරමින් සවැනි පැරකුම්බා රජතුමාද ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ ධාතු මන්දිරයක් තුළ තැන්පත් කර පුද පූජා පැවැත්වූ බවට සනාත කළ හැකි සාක්‍ෂියක් හමුවන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත සැළළිහිණි සංදේශයේ කවියකිනි.

ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොම දා සිරි සඟ මොක් සැප නිසැදී
ලද මුනිදා දම් කඳ පහස මන බැඳී
වඳු දළදා හිමි තෙමහල් පහස රැඳී

විහාරස්ථානයට ඇතුල්වන විටම දිස්වෙන කුඩා වෙහෙර වහන්සේ විහාර භූමියට ප්‍රදානය කරන්නේ සැදැහැති ඉතා රමණීය පෙනුමකි. විහාරස්ථානයේ ඓතිහාසික චෛත්‍ය ඉදිව තිබූ ස්ථානයෙන් මෙම නව චෛත්‍ය ගොඩ නංවා ඇති බව සඳහන් වෙයි.මෙහි කොත පලඳවා ඇත්තේ 1986 වසරේදීයි. විහාර භූමියේ ඇති අපූර්වත්වයෙන් හෙබි දෙමහල් ධාතු මන්දිරය ද මෑතක ඉදිවූවකි.

රජමහා විහාරයේ සුවිශේෂි අංගයක් ලෙස බහුතරයක් බැතිමතුන් අතර ප්‍රසිද්ධ ව ඇති පැරැණි නා වෘක්‍ෂයට පුද පූජා පැවැත්වීමට සතර දිග් භාගයෙන්ම බැතිමත්හු පැමිණෙති. නා ගසට අරක්ගත් දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් අපල උපද්‍රව දුරුවී සැනසීම ලබා ගත හැකි බවට ඇති දැඩි විශ්වාසය බොහෝ දෙනා අතර පැවතීම මෙහි ඇති සුවිශේෂීත්වයකි. බෝධිරාජයාණන් වහන්සේ උපෝසථාගාරය, මෙහි වටිනාකම තීවුර කරවන සුළුය.

කෝට්ටේ යුගයේදී රචනා වී ඇති ගිරා මෙන්ම කොවුල් සන්දේශ කාව්‍යයන්හිදී ද මෙම රජ මහා විහාරය පිළිබඳව සඳහන් වී තිබේ. ජාතික ආගමික සමාජ සේවාවන් රැසක පුරෝගාමීව පවතින ප්‍රචලිත ,කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව බිහිවන්නේද මෙම රජ මහා විහාරස්ථානයේදී ක්‍රි.ව. 1855 වසරේදීය. කෝට්ටේ යුගයේ ස්වර්ණමය ආධිපත්‍යයක මහා සංකේතයක් සේ වැජඹුණූ ශ්‍රී ජයවර්ධනපුර රජ මහා විහාරයේ අභිමානය සහ උරුමයක උදාරත්වයේ උණුසුම දැල්වෙන පහන් සිලක උණුසුම හා පිදෙන මල් පැසක සුසුවඳ හා හෙටත් මතුවටත් සදැහැති හද හද පැතිරේවායි පතමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.