Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් සාහිත කෙත සුලභ කළ පොත් පෙළ

මේ සටහන දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි

“කියවීම” මගින් මිනිසා දැනුමෙන් පෝෂණය කැරේ. දහම් පොත පත කියවන මිනිසා දැනුමෙන් හා ගුණයෙන් ද සංයමයෙන්ද පෝෂණය කැරේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනය සමග මෙරටට පැමිණි බොදු චින්තාව එවකට මෙරට ස්ථාපිතව තිබූ  විවිධ ඇදහිලි පුද පූජා මහඟු පරිවර්තනයකට යොමු කිරීමටත් ඒ ඇසුරෙන් හෙළ බොදු  සංස්කෘතියක් ඇරැඹීමටත් හේතුවිය. මිනිස් සිත් සතන් තුළ මුල් බැස ගත් එම පරිවර්තනය නොබෝ කලකින්ම මෙරට නගර, ගෘහ නිර්මාණ ශිල්පවල සිට වැව්පොකුණු, උද්‍යාන, මාලිගා, ස්ථූප, පෙතිපිළිම නිර්මාණය දක්වා විහිදී ගියේය. එසේ සංවර්ධනය වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ ඊළඟ පියවර වූයේ හෙළටුවා සටහන් කිරීම, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම් ආදි සිද්ධීන් මගින් හෙළ බොදු  ලේඛන කලාවක් බිහිවීමය. එසේ දෙදහස් වසකට අධික කාලයක් පෝෂණය වූ සිංහල බෞද්ධ සාහිත්‍යය ප්‍රබෝධය මහනුවර යුගයෙන් පසු ක්‍රමයෙන් පිරිහී ගොස් මෙරට ගොදුරුවූ බටහිර ආක්‍රමණයන් නිසා බලවත් තර්ජනයකට මුහුණ පෑ බව නොරහසකි. ඒ තර්ජනයෙන් හිස ඔසවා බොදු සාහිත කෙත මෑත යුගයේ පෝෂණය කළ අයුරු මෙම ලිපියෙන්  විමසා බැලේ.


සද්ධර්මාලංකාරය, පූජාවලිය ,අමාවතුර, බුත්සරණ ආදි ග්‍රන්ථ විශේෂයෙන් බෞද්ධ සාමජය තුළ නිතර පරිහරණය කළ ග්‍රන්ථ අතර වේ. එවැනි ග්‍රන්ථ පොත් සාප්පුවල බොහෝවිට නොතිබිණි. ඊට හේතුව එම ග්‍රන්ථ පාඨකයා මිල දී නොගැනීමයි. මිලදී නොගත් එවැනි ග්‍රන්ථ නැවත ප්‍රකාශනයට කිරීමටද පෙළඹුන බවක් දක්නට නොතිබිණි. විශේෂයෙන් මේ යුගයේදී තරුණ පිරිස දහම් මග තේරුම් ගෙන බොදු පොතපත කියවීමේ රුචිය වර්ධනය කරගෙන තිබෙන බවද සිහිපත් කළ යුතුයි. ඒ නිසාම පෙරට වඩා තරුණ පිරිස පන්සල වෙත යොමුවීමේ ප්‍රවණතාවයේ විශේෂ වෙනසක් ද දක්නට ලැබෙන බවද කිරම විමලජෝති හිමියෝ පැවැසූහ.

පූජ්‍ය කිරම විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ පිළිබඳ දැක්වූ අදහස් මෙසේය.

සැප්තැම්බර් මාසය තුළ සාහිත්‍ය මාසය ලෙසින් විශේෂයෙන් ග්‍රන්ථ ප්‍රදර්ශනයක් මෙන්ම ග්‍රන්ථ වැඩි වැඩියෙන් එළිදැක්වෙන සමයකි. 1990 පෙර බෞද්ධ ග්‍රන්ථ සොයා ගැනීමට තරමක් දුර්ලභ කාලයක් ලෙස සඳහන් කළ හැකියි. විවෘත ආර්ථික රටාවත් සමග පැමිණී නවීන විද්‍යුත් මාධ්‍යයට නැඹුරුවීමෙන් ජනතාව පොත්පත්වලින් ඈත්වී ගිය බවක් දක්නට ලැබිණි. විශේෂයෙන් බෞද්ධ පොත්පත් වලිනි.


සූත්‍ර පිටකයේ සිංහල පරිවර්තනය

ඒ නිසා ජාතක පොත් වහන්සේ පවා සොයා ගැනීම දුර්ලභ වී තිබිණි.

සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, අමාවතුර, බුත්සරණ ආදි ග්‍රන්ථ විශේෂයෙන් බෞද්ධ සාමජය තුළ නිතර පරිහරණය කළ ග්‍රන්ථ අතර වේ. එවැනි ග්‍රන්ථ පොත් සාප්පුවල බොහෝවිට නොතිබිණි. ඊට හේතුව එම ග්‍රන්ථ පාඨකයා මිල දී නොගැනීමයි. මිලදී නොගත් එවැනි ග්‍රන්ථ නැවත ප්‍රකාශනයට කිරීමටද පෙළඹුන බවක් දක්නට නොතිබිණි.

ඒ නිසා 1992 ජනවාරි 02 වැනිදා දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ඇරැඹීමට සිදු වුණි. එහිදී මුලින් ම සිදු කරන ලද්දේ ජාතක පොත් වහන්සේ ඇතුළු බෞද්ධ පැරැණි ග්‍රන්ථ සහ රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් සම්පාදිත ග්‍රන්ථද ඇතුළුව 1993 සිට ගාල්ල, මාතර, මහනුවර, රත්නපුර, කුරුණෑගල ආදි නගරවල ග්‍රන්ථ ප්‍රදර්ශන කාලයෙන් කාලයට පැවැත්වීමය.

ඉංගී‍්‍රසි ග්‍රන්ථ ද මුද්‍රණය කරමින් එම ග්‍රන්ථද ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කරන ලදී, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් 1993 ද කොළඹ කලා භවනේදී පවත්වන ලද ග්‍රන්ථ ප්‍රර්ශනයේදී සිංහල ග්‍රන්ථ එතරම් නොතිබූ අතර ඉංගී‍්‍රසි ග්‍රන්ථද එහි විය. අපගේ ඇරැයුම් පිළිගත් ගිහි පැවිදි විශාල පිරිසක් එම ග්‍රන්ථ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියහ. මෙතරම් බෞද්ධ ග්‍රන්ථ ප්‍රමාණයක් තිබේදැයි ඇතැම්විට පුදුමයට පත්විය. ඒ සතිය පුරා ග්‍රන්ථ අලෙවි කර තිබුණේ රු. 29000කය. එම ග්‍රන්ථ ප්‍රදර්ශනයේ වියදම රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි. එහෙත් ඉන් අධෛර්යමත් නොවූ අතර අපගේ අරමුණ වූයේ එමගින් මුදල් ඉපයීම හෝ ප්‍රසිද්ධියක් ලබා ගැනීම වැනි පටු අරමුණක් නොවේ රු. 29000 ක ග්‍රන්ථ අපේ බොදුනුවන් ලබා ගත්තේ යැයි සතුටට පත්විය.

ඒ සමගම ජංගම බස් රථයක් යොදා ගනිමින් එක් දිසාවක මාසය බැගින් ගමෙන් ගමට නගරයෙන් නගරයට ග්‍රන්ථ අලෙවිය සිදු කරන ලදී.

ඒ අතර බෞද්ධ ග්‍රන්ථයන්හි ගුණාත්මක බව වර්ධනය කරමින් සිංහල ග්‍රන්ථ ඉංගී‍්‍රසි මාධ්‍යයෙනුත් ඉංගශ්‍රීසි ග්‍රන්ථ සිංහල මාධ්‍යයෙනුත් ප්‍රකාශයට පත් කරන ලදී.

මේ රටේ උගත් සම්භාවනීය ගිහි පැවිදි පිරිසක් සම්බන්ධ කර ගනිමින් සූත්‍ර පිටකය කාණ්ඩ දහතුනකින් සරල සිංහලයට පරිවර්තනය කිරීමේ භාග්‍යය 1993 වසර වන විට උදාවිය.

ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ආදී ස්වාමින් වහන්සේලා එම ග්‍රන්ථ දෙතුන් වර කියවා ධර්ම රසයට උන්වහන්සේලා නැඹුරු වූ ආකාරය එදා මා සමග පැවැසූ අයුරු මාගේ මතකයේ පවතී.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග අප රටට ලැබුණූ දහම් දායාදය ත්‍රිපිටක දහම වේ.

ත්‍රිපිටක දහම අපේ මහ රහතන් වහන්සේලා කට පාඩමෙන් ආරක්‍ෂා කරගෙන පරපුරෙන් පරපුරට එය සුරැකීම සඳහා දිවිපරදුවට තබා ක්‍රියා කළ අයුරු අප අමතක නොකළ යුතුයි. එම නිර්මල ධර්මය සුරැකීම සඳහා මාතලේ අලුවිහාරයේදි ග්‍රන්ථාරූඪ කරන ලදී.

බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ පැමිණීමෙන් සීහලට්ඨ කථා පාලි භාෂාවට නගන ලදී. එය පැවතියේ පුස්කොළ ග්‍රන්ථවලය.

2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් එදා මෙරට වැඩ සිටි විද්වත් සම්භාවනීය මහ සඟරුවන තිස් නමක් ප්‍රධාන පරිවර්තන මණ්ඩලය ඉතා දීර්ඝ කාලයකදී පරිවර්තනය කරන ලදී.

එම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව වසර තුනක පමණ කාලයකදී ගිහි පැවිදි තිස් දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් මුද්‍රණ දෝෂ මග හරවා රුපියල් කෝටි හත හමාරක වියදමෙන් නැවත වාරයක් සම්භාවනීය මහ සඟරුවන පිරිසුදුව ආරක්‍ෂා කර ගෙන ආ ත්‍රිපිටක ධර්මය පොත් කට්ටල දහසක් පමණ අප මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කරවන ලදී. (ග්‍රන්ථ 57 ත්‍රිපිටකයට ඇතුළත් වේ)

එම ත්‍රිපිටක ග්‍රන්ථ මුදල් ඉපයීමේ අරමුණෙන් බැහැරව මුද්‍රණ වියදම පමණක් අය කර ගනිමින් කැපකරු දායක පිරිස් මගින් තම තමන්ගේ විහාරස්ථාන වෙත පූජා කිරීම සඳහා එසේ සිදු කරන ලදී. එය ඉතා සීඝ්‍රයෙන් පූජාවට යෙදුණූ අතර එය නැවතත් දහස බැගින් මුද්‍රණය කර පූජාවට කටයුතු යෙදවීම තුළින් මේ වන විට බොහෝ විහාරස්ථානවල ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පරිශීලනයට අවස්ථාව සැලසී තිබෙන බව සඳහන් කළ යුතුයි.

ත්‍රිපිටක දහමට වඩාත් අර්ථකථන දක්වා ඇත්තේ අටුවා ග්‍රන්ථ වේ. බුද්ධඝෝෂ හිමියන් වසර 1600 කට පෙර මෙරටට පැමිණ පාලියට පරිවර්තනය කළ සීහලට්ඨ කථා සමග මහා විද්වත් පිරිසක් සම්බන්ධ කර ගනිමින් අප මධ්‍යස්ථානය මගින් පාලි සමග සිංහල, භාෂාවට පරිවර්තනය කරවන ලදී. වසර හතරක පමණ කාලයක් ගෙවී යන විට අටුවා පාලි සිංහල භාෂා දෙකෙන්ම මුද්‍රණය කරවීමට හැකි විය.

රාජ්‍ය අනුග්‍රහයෙන් පොළොන්නරු සමයේදී ලියන ලද ටීකා ග්‍රන්ථ අනාගත පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කර තැබීමේ වගකීම හා යුතුකම මැනවින් අවබෝධ කර ගනිමින් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ටීකා ග්‍රන්ථ දහතුනක් මේ වන විට මුද්‍රණය කරවා තිබේ.


ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ

අටුවා ග්‍රන්ථ ඉංගශ්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී ඉතා අපහසු කාර්යයක් වුවද ඉන් ග්‍රන්ථ හයක් පමණ මේ වන විට අවසන් කරවා තිබේ. වචන විසිපන්දහසකින් පමණ සමන්විත ගැටපද හෙවත් ශබ්ද කෝෂය දැනට සූදානම් කරමින් පවතී. එය තව මාස කීපයකින් එළිදැක්විය හැකියැයි විශ්වාසයේ පවතී.

ත්‍රිපිටක දහමත්, අටුවා සහ ටීකා, ගැටපද ඇතුළුව ජාතක පොත් වහන්සේ සද්ධර්මාලංකාරය, පූජාවලිය, විශුද්ධි මාර්ගය ආදි ග්‍රන්ථත් අනුරාධපුර යුගයේ පටන් සියලු රාජධානිවලදී ලියන ලද පෞරාණික ග්‍රන්ථද මුද්‍රණය කර තිබේ.

ග්‍රන්ථ කියවීමේ ප්‍රවණතාවය වර්ධනය වන විට නව ධර්ම ග්‍රන්ථ විශාල වශයෙන් නිකුත්වන්නට පටන් ගැනිණි. ත්‍රිපිටක දහම ඇතුළු අටුවා ටීකා ග්‍රන්ථ ඇතුළු ග්‍රන්ථ දහසකට ආසන්න ප්‍රමාණයක් සහ ලොව පළවන විශේෂ ඉංගී‍්‍රසි ධර්ම ග්‍රන්ථ ලබා ගැනීමටත් අප ආයතනය මගින් මුද්‍රණය කළ ඉංගශ්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථ හයසීයයක් පමණද මේ වන විට බෞද්ධ සංස්කෘතික මධඨ්‍යස්ථානය මගින් නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර පාසල් ඇරැඹීම නිසා ළමයින්ට අවශ්‍ය ඉංගී‍්‍රසි ළමා ග්‍රන්ථ රැසක්ද මුද්‍රණය කර තිබේ.

ලොව විශාලතම බෞද්ධ පොත් හළ අරඹා තිබෙන අතර නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් සහ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අරඹන ලද කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයෙන් එම ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ ප්‍රධාන පුරාතන සහ පරිවර්තන හා ළමා බෞද්ධ ග්‍රන්ථ සිංහල, ඉංගී‍්‍රසි, ප්‍රංශ, ජර්මන් හා ද්‍රවිඩ භාෂාවෙන් ද එම ග්‍රන්ථ ලබා ගත හැකියි. 1993 කොළඹ කලාභවනේදී කොළඹ පිහිටි ගොඩගේ පොත් මැදුර, සමයවර්ධන ආදී බොහෝ ග්‍රන්ථ ප්‍රකාශන සමාගම්වලටද ඇරැයුම් කර ග්‍රන්ථ ප්‍රදර්ශනයක් පවත්වන ලදී.ග්‍රන්ථ ප්‍රකාශනයන්ගේ සංගමය සමග සාකච්ඡා කර 2000 වසරේ සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එම ග්‍රන්ථ ප්‍රදර්ශනය පැවැත්වීම දක්වා සංවර්ධනය විය.

මේ වන විට දේශීය හා විදේශීය ග්‍රන්ථ ප්‍රකාශන සමාගම් තුන්සිය පනහක් පමණ මේ දිනවල කොළඹදී පැවැත්වෙන ග්‍රන්ථ ප්‍රදර්ශන හා සල්පිල සඳහා සහභාගි වේ. විවිධ ආගම් හා විවිධ භාෂාවලින් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ පළ වූ පොත් එම ප්‍රදර්ශනය මගින් පාඨකයාට ලබා ගත හැකිවේ.

විශේෂයෙන් මේ යුගයේදී තරුණ පිරිස දහම් මග තේරුම් ගෙන බොදු පොතපත කියවීමේ රුචිය වර්ධනය කරගෙන තිබෙන බවද සිහිපත් කළ යුතුයි. ඒ නිසාම පෙරට වඩා තරුණ පිරිස පන්සල වෙත යොමුවීමේ ප්‍රවණතාවයේ විශේෂ වෙනසක් ද දක්නට ලැබෙන බවද කිරම විමලජෝති හිමියෝ පැවැසූහ. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙම 18 වැනිදා ඇරැඹුණු අතර මේ මස 26 වැනිදා දක්වා පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.