Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර දුක නිවෙන ප්‍රතිපදාවන්

මේ ලබා ගත් මිනිස් ජීවිතය තුළ අප කළ යුතු කරුණු කාරණා විමසන විට අපට ඉතාමත් ම නුවණින් සිතන්න විමසන්න වෙනවා. උන්වහන්සේ ගේ දේශනාව ලෞකික හා ලෝකෝත්තර ප්‍රතිපත්ති දෙකකින් යුක්තයි. ඒ ප්‍රතිපදාවන් දෙක පිළිබඳ ව ම යම් වැටහීමක් අප ලබන්න ඕන.

බෝධිසත්වයන් වහන්සේ නමක් කල්ප ගණනක් දුක් විඳලා බුදු වන්නේ කුමක් සඳහා ද? ලෝක සත්වයන් සංසාර සාගරයෙන් එතෙර කරවීමේ අදහසින්. ඒ අදහසින් බුදුවන උන්වහන්සේ බුද්ධත්වයට පත්ව කල්පනා කළා, මේ ධර්මය ලෝකයට දේශනා කරලා වැඩක් නැහැ. කාමයෙහි රැඳුන කාමයෙහි වෙලුනු මේ ලෝකයට ධර්මය දේශනා කිරීම තමන් වහන්සේට වෙහෙසක් පමණයි කියලා. ලෝක වාසීන් මුදවන්න බුදු වූ උත්තමයන් වහන්සේ බුදු වූ මොහොතේ දී ම ලෝකයට මේ බණ කියනව ද? නැද්ද? කියන අදහස ඉපදෙනවා. නමුත් බ‍්‍රහ්මරාජයාගේ ආරාධනාවට පස්සේ නුවණින් විමසා බලා උන්වහන්සේ ලෝකය හඳුනා ගන්නවා. “අල්ප රජස්ස මහා රජස්ස” කියලා දෙ පිරිසක් ලෝකයේ ඉන්නවා. “රජස්ස” කියන්නේ කෙලෙස්වලට. උන්වහන්සේ තේරුම් ගන්නවා “සම රජස්ස” අයට මේ ධර්මය දරන්න බැහැ. ඒක ප්‍රයෝජන නැති වැඩක්. නමුත් අල්ප කෙලෙස් ඇති අයට මේ දහමෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්.

උන්වහන්සේ දකිනවා මඩ ගොඩින් සියුම් කැකුළක් මඩින් උඩින් ඇවිත් දිය මතුපිට ට එනවා. දිය මතුපිට ට ආවාත් හිරුගේ් එළිය වැටුණේ නැත්නම් ඒ මල විකසිත වන්නේ නැහැ. මල විකසිත වන්නනම් හිරුගේ පහස ලැබෙන්න ඕන. ඒ වගේ උන්වහන්සේ දකිනවා මේ මිනිස් සමාජය නමැති මඩ දිය ඉක්මවා ඉහළ ආපු නෙලුම් කැකුලු වගේ් මිනිස් ජීවිත. ධර්ම පහස මේ ජීවිතවලට නො ලැබුණොත් විකසිත වන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ තීරණය කරනවා එබඳු අයට ධර්මය දේශනා කරන්න. එතකොට මඩදිය ඉක්මවූ නැති අය ගැන උන්වහන්සේ අනුකම්පාවක් තිබුණේ නැද්ද? ඒ අය ගැනත් විශාල අනුකම්පාවක් තිබුණා. ඒ නිසාම තමයි දේශනාව කොටස් දෙකකට බෙදෙන්නේ. මඩදිය ඉක්මවා උඩට මතුවූ නෙලුම් කැකුලු එවැනි මිනිස් සන්තාන දුටු බුදුරජාණන් වහන්සේ ඒ සඳහා සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගය ඔවුන්ට කියා දුන්නා. ඊට සුදුසුකම් සම්පූර්ණ කරපු නැති පිරිසක් ලෝකයේ බහුලකොට ඉන්න බව උන්වහන්සේ දුටුවා. මේ හේතුව නිසා තමයි බුදු සිරිත සෑම හිමිදිරියකම මහ කරුණා සමාපත්තියට සම වදිමින් ලෝකය දෙස බලන්නේ. අද මම කාටද පිහිට වෙන්නේ , කාටද මේ සසර ගමනේ නැවැතුමට ගෙනයන්නේ. සසර දුකෙන් එතෙර කරවන්නේ කවුරුන්ද? කියා. එසේ සුදුසුකමක් නැති පිරිසට සුදුස්සන් බවට පත්කර ගන්නට අර සීල සමාධි ප්‍රඥාාවට අතිරේකව දාන, සීල, භාවනා නම් සුන්දර වූ ලෞකික ප්‍රතිපදාවක් දේශනා කළා. මා හමුවේ නො වුවත් මගේ අනාගත ශ්‍රාවකයන් හමුවේ කල්‍යාණ මිත්‍රත්වය ලබා මේ සසර සාගරෙන් එතෙර වේවා යි කරුණාව උන්වහන්සේට තිබුණා.

අප සියලු දෙනා සසර කතරෙන් එතෙර කරවන්න බුදු වූ තථාගතයන් වහන්සේට සිදුවුණා සුදුස්සන් හොයන්න. සුදුස්සන් ඈතක හිටියත්, උන්වහන්සේ එතැනට වැඩම කර ඔහුට පිහිට වෙනවා. ඒ සුදුසුකම් සම්පූර්ණ නොකර ගත් අය සිටින බවත් දැක්කා. ඒ අයට කොහොමද පිහිට වෙන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් අප දන්නවා ඔබ යම් කෙනෙකුට රැකියාවක් දෙන්න ඕනෑකම තිබෙනවා. ඒ වගේම රැකියාවක් ලබාදීමේ හැකියාවත් ඔබට තිබෙනවා. නමුත් ඒ අදාල පුද්ගලයාට රැකියාවේ පිහිටුවීමට අවශ්‍ය කරන අවම සුදුසුකම් ටිකවත් නැත්නම් මොකද කරන්නේ? ඔබේ වුවමනාව තිබුණට, හැකියාව තිබුණට ඒ අවශ්‍යතාව ඉෂ්ඨ කර ගන්න බැහැ. ඔහු අවම සුදුසුකම් ටිකවත් සකසා ගෙන නැති නිසා. දැන් බුදුරජාණන් වහන්සේ ට ඕනකමක් තිබෙනවා හැමෝම සංසාර සාගරයෙන් එතෙර කරවන්න. ඒ සඳහා අවශ්‍ය කරන ධර්මයත්, හැකියාවත් තිබෙනවා. හැබැයි ලෝකයේ බොහෝ

දෙනෙකුට අවම සුදුසුකම නැහැ. දුකෙන් මිදෙන්න ඕනෑකමක් නැත්නම් උන්වහන්සේට පිහිට වෙන්න බැහැ. එනිසා ඒ සුදුසුකම නැති අය සුදුස්සන් බවට පත් කර ගන්න සීල සමාධි ප්‍රඥා තුනට අතිරේකව දාන, සීල භාවනා නමින් ත්‍රිවිධ වූ පුන්‍ය වූ ලෞකික ප්‍රතිපදාවක් ලෝකයට දේශනා කළා.

එනිසා අප ලබාගත් මිනිස් ජීවිතය අර්ථවත් කර ගන්න ක්‍රම දෙකක් උන්වහන්සේ දේශනා කළා. වඩ වඩාත් වටිනාකම වැඩි දියුණු කර ගන්න සසර ගමන නිමකර ගන්න ක්‍රමයකුත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපයාගෙන නැත්නම් ඒ සඳහා සුදුසුකම් සපයා ගැනීම සඳහා ලෞකික ප්‍රතිපදාවකුත් අපට කියා දුන්නා.

පෙර කතා කළ ආකාරයට මිනිස් සැප, දෙවි සැප, බඹ සැප නිවන් සැප පිණිස මේ සිත මෙහෙයවන්න පුළුවන් ප්‍රතිපදාව වන වැඩ පිළිවෙල ලෝක වාසීන්ට උන්වහන්සේ දේශනා කළා. දැන් අපට සිද්ධ වෙලා තියෙනවා මේ දේශනා මගට අවතීරණය වෙන්න. මේ දේශනා මාර්ගයට බැස ගන්නවා කියන එක කාටවත් හිතුමනාපෙට කළයුත්තක් හෝ කළ හැක්කක් නොවේ.

අද දවස වන විට අපට බුදුරජාණන් වහන්සේ දුර්ලභ ධර්මය පිළිබඳ මහත් වූ ගැටලු සහගත තත්ත්වයක් උදාවෙලා තියෙනවා. අද වර්තමාන කාලයේ තරම් නුවණින් මේ ගැන හිතන්න, විමසන්න ඕන කාලයක් ලෝකයේ කවදාවත්ම උදාවෙලා නැහැ. ඔබට සිහි කර ගන්න පුළුවන්නම් අපේ බුදුහාමුදුරුවෝ කාලාම දේශයට වැඩම කළා. කාලාමවරු ඇවිත් උන්වහන්සේට ප්‍රකාශ කලා “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, අපේ ගං දනව්වට නොයෙක් ශාස්තෘවරු එනවා. ඒ හැමෝම ඇවිදින් කියනවා මම සර්වඥයි. මම සම්මා සම්බුද්ධයි කියලා. මගේ ධර්මය ස්වාක්ඛාතයයි. සන්දිට්ඨිකයි. අකාලිකයි. මගේ ශ්‍රාවකයෝ තමයි සුපටිපන්නයි. හැබැයි අපට පේනවා මේ සියලුම දෙනා සර්වඥ නොවේ මේ අය ගේ ධර්මය සන්දිට්ඨික අකාලික වෙන්නත් බැහැ. මේ හැමදෙනාගේම ශ්‍රාවකයෝ සුපටිපන්න වෙන්න බැහැ. ඇයි? මේ ඇත්තෝ කියන දේ එකිනෙකට වෙනස්. එකිනෙකට ගැළපෙන්න බැහැ. ප්‍රතිවිරෝධතා තිබෙනවා.

එහෙම තියෙද්දී මේ හැමෝම කියනවා මම බුදුවෙලා. මගේ ධර්මය ස්වාක්ඛාතයි. මගේ ශ්‍රාවකයෝ සුපටිපන්නයි කියා. මේ හැමෝම කියන දේ අපි කොහොමද පිළිගන්නේ කියා ඇසුවා. තථාගතයන් වහන්සේ වදාළා කාලාමවරුනි, සැක කළයුතු තැනමයි ඔබට සැක පහළ වුණේ කියලා කාලාමවරුන්ගේ සැකය උන්වහන්සේ සාධාරණය කළා.

දැන් බලන්න, වර්තමාන ලෝකය කාලාම දේශය බවට පත්වෙලා. අද අපට අන්‍ය ශාසන වලින් බුදුදහම වෙන්කර ගන්න අමාරු නැහැ. හැබැයි දහම තුළ දහමේ නාමයෙන් පවතින දේ තුළින් සද්ධර්මය වෙන්කර ගන්නා එක නම් එතරම් ලෙහෙසි නැහැ.

ඒ නිසා අප සැමදෙනාම තථාගතයන් වහන්සේ වදාළ මේ සද්ධර්මය හොඳින් අසා දැනගෙන නුවණින් විමසා ඒ කරුණු අපේ ජීවිතයට ද ගලපා ගන්නට මහන්සි වෙන්නඕන. එවිට අපටත් පුලුවන් වේවි ඒ සද්ධර්මය තුළට පිවිසෙන්න. ඒ අමා මහා නිවන් සුව සුවසේ අත් විඳින්න.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.