Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිරිසුදු තපස

මෙම ලිපියේ මුල් කොටස සැප්තැම්බර් 8වැනිදා පත්‍රයේ පළ විය.

බොරුවට තපස් රකින්නට හැකි ය. බොරුවට දන් දෙන්නට ද හැකිය. බොරුවට ඉගෙන ගන්නට ද හැකි ය. එසේ වෙතත් එවන් ව්‍යාජ පැවැත්ම නොව ඇතුළත සංවර්ධනය කිරීම බුදුදහමේ අපේක්‍ෂාවයි. බුද්ධදේශනාවේ මෙසේ දැක්වෙයි.

පතිරූපකො මත්තිකාකුණ්ඩලොව
ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්නො
චරන්ති ලොකෙ පරිවාරඡන්නා
අන්තො අසුද්ධා බහි සොභමානා’ති

මෙහි තේරුම නම්, සමහර කුණ්ඩලාභරණ අලංකාර වනමුත් මැටියෙන් නිර්මිත ය. එහි අගයක් නැත. රත්රන් ගෑ හොර කාසි තිබෙන නමුත් ඒවා අගයෙන් තොර ය. එමෙන් ම සමහර බාලයෝ මැටියෙන් හැදු කුණ්ඩලාභරණ මෙන් පිටතින් සෝබමාන ඇතුළතින් අගයක් නොමැති අය සේ දිවි ගෙවති. හොර තවුස් දිවියක් ගත කරති.

එබඳු වංචක තවුසකු පිළිබඳ තවත් කතාවක් මෙසේ ය. එක් කලෙක කන්දක් මත එක් තවුසකු වාසය කළ අතර රටේ රජු මොහු ගැන දැන ඔහු බැහැ දැකීමට සිතා එහි ගියේ ය. රජුට පෙර රජුගේ ඇමැතිවරුන් එහි ගිය අතර, ඇමැතිවරුන් එහි ගිය කල්හි තවුසා පොකුණක මාළු බිලී බාමින් සිටි අතර පිරිස දුටු ඔහු බිලීපිත්ත විසි කර තවුස්දම රකින්නට විය. කන්ද උඩට පැමිණි රජුට ඇමැතිවරුන් මේ වග දැනුම් දුන් විට රජු කීවේ එසේ වුවත් අප ඔහුට දන්දිය යුතු බවයි. එසේ කීමට හේතුව ලෙස රජු ඉදිරිපත් කළේ එම තවුසාට තවුස් දම් නැති වුවත් ලජ්ජාවක් හෝ ඇති බවයි. සමාජයට ඇති ලජ්ජාවෙන් හෝ යමකු සංවර වන්නේ නම් එය ඉතා හොඳය. එහෙත් එය ව්‍යාජය. මෙම ව්‍යාජ තවුස්දම් බුදුදහම අගය නො කරන්නකි. ප්‍රත්‍ය ලාභය වෙනුවෙන් අන්‍යයන් රැවටීම පාපයකි.

‘තපස’ යනු කුමක්දැයි අප නිරවුල්ව හඳුනාගත යුතුය. ‘තප’ යන වචනය විවිධ තැන්හි විවිධ ලෙස පර්යායන්හි භාවිත වෙයි. අත්තන්තප – තමන් තවන පුද්ගලයා, පරන්තප- අනුන් තවන පුද්ගලයා ආදී තන්හි ‘පීඩාවට පත්කරන්නා’ යන අර්ථය යෙදෙයි. එහෙත් මෙහිදී ‘තප’ වචනයෙන් අදහස් කරන්නේ ක්ලේශයන් දුරු කිරීමට ඇති කර ගන්නා මානසික ව්‍යායාමය යි. විවිධ දේ පාදකව අපට හැඟීම් ඇතිවන අතර මෙම හැඟීම් පාලනය කර ගැනීමට,කළමනාකරණය කර ගැනීමට නොහැකි උදවිය නො හික්මුණූ පිරිසක් ලෙස හඳුන්වමු. රජවරුන්ට සම්පත්, පිළිගැනීම් අධික හෙයින් ඔවුහු වැඩි වශයෙන් තපස හුරු කළ යුතු පුද්ගලයෝ වෙති. ආත්ම පාලනයක් නැති, කළමනාකරණය නොවූ හැඟීම් ඇති සම්පත් බහුල රජවරු සිය රජකම පවා අහිමි කරගන්නවා පමණක් නොව රට ද රට වැසියා ද විනාශයට පත් කරති.

ඉන්දීය සාහිත්‍යයේ රජුන් තුළ ඇති විශේෂ ගුණයක් ලෙස ආත්ම සංයමය දක්වා ඇත. රඝුවංශයේ දිලීප රජුගේ ස්වභාව පිළිබඳ මෙසේ කියයි. “ප්‍රජායෛ ගෘහමේධිනාම්” රජුට අගමෙහෙසියක හා අන්තඞපුරයක් පැවැති නමුත් රජු අන්තඞපුරයට නොගිය අතර, ඔහුට අගමෙහෙසිය අවශ්‍ය වූයේ දරුවන් බිහි කිරීමට ය. අන්තඞපුරය රජකුට ආභරණයක් වෙතත් රජකු එහි නිති ඇලීම දුර්වලකමකි. දිලීප රජු සම්පත් තිබෙද්දී හැඟීම් පාලනය කරගත් සංයත වූ විශේෂ රජකු ලෙස රඝුවංශය හඳුන්වයි. ක්ලේශ ධර්මයන්ට හුරු වූ අයකුට දන්දීම (අත්හැරීම), සිල් රැකීම අපහසු කාර්යයකි. සිල් රැකීමට, දන්දීමට, ඍජු වීමට, පරිත්‍යාගයට, මෘදුවීමට තපස අත්‍යවශ්‍ය කරුණක් වන අතර දසරාජ ධර්මය එකට බැඳුණු අවස්ථාවක් ලෙස තපස දක්වන්නට හැකි ය.

මජ්ඣිම නිකායේ ඉන්ද්‍රිය භාවනා නම් වු සූත්‍රයක් ඇත. මෙහි පාරාසරිය බමුණාගේ ගෝලයා වූ උත්තර මානවක තෙම බුදුන් වහන්සේ හමුවට පැමිණි කල්හි “ ඔබ අදහන්නේ කාගේ දහමක් ද? “ යනුවෙන් බුදුන් වහන්සේ විචාළ සේක. එවිට තමන් පාරාසරිය බමුණාගේ ඉන්ද්‍රිය භාවනාව ඉගෙන ගන්නා බවත් බුදුන් වහන්සේ ඉන්ද්‍රියභාවනාව උගන්වන බව අසා මෙහි පැමිණි බවත් කීවේ ය. “ මම ඔබට ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නම්. එයට පෙර ඔබ ඔබගේ ගුරුවරයාගේ ඉන්ද්‍රියභාවනාව පැහැදිලි කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ ඔහුට ප්‍රකාශ කළ සේක. තම ගුරුවරයා ඉන්ද්‍රියභාවනාව ලෙස

චක්ඛුනා රූපං න පස්සති – ඇහෙන් රූප නො බලන්නේ ය,
සොතෙන සද්දං න සුණාති – කනෙන් ශබ්ද නො අසන්නේ ය,

එනම්, ඇහෙන් රූප නොබලා ,කනෙන් ශබ්ද නොඅසා ඉන්ද්‍රියයන් වසාගෙන ඉන්නැයි උගන්වන්නේ යයි උත්තර මානවක පිළිතුරු දුන්නේ ය.එවිට බුදුන් වහන්සේ මෙසේ පැහැදිලි කළ සේක. උත්තරය, ඉන්ද්‍රිය භාවනාව යනු ඉන්ද්‍රිය වහගෙන සිටීම නම් මෙලොව ඉන්ද්‍රිය භාවනාව වැඩූ අය ලෙස ගොළුවන් ,බිහිරන් , අන්ධයන් ගිණිය හැක. ඉන්ද්‍රිය භාවනාව යනු රූප නොබලා, ශබ්ද නො අසා හිඳීම නොව, රූප පෙනි පෙනී ශබ්ද අසමින් ඒ රූපයන්ගේ ශබ්දයන්ගේ නිමිති අනුනිමිති නො ගැනීමයි. ඇසෙන් රූප දකිමින්ද කනෙන් ශබ්ද අසමින්ද සංවරයට යා යුතු වේ. ඉන්ද්‍රියන් මොට නො කරගෙන ඉන්ද්‍රියයන්ගෙන් අරමුණුගෙන අරමුණුවලට නතු නොවී නොගැලී සිටීම මඟින් අභ්‍යන්තරික සංවරයට යොමු කිරීම බුදුදහමෙන් සිදුවේ. අභ්‍යන්තරික සංවරය නොමැති පුද්ගලයන් ගේ බාහිර සංවරය පමණක් බුදුදහම අගය නොකරයි.

න තෙන ථෙරො හොති
යෙනස්ස පලිතං සිරො

මෙම තත්ත්වයට බුදුහාමුදුරුවන් දුන් හොඳම අර්ථකථනයක් ලෙස ථේර, ස්ථවිර යන්නට දුන් නිර්වචනය පෙන්වා දිය හැකි ය. මෙහි දී බුදුහාමුදුරුවන් දේශනා කරන්නේ කෙස් පැහුණාට ස්ථවිර නොවන බවයි. “ න තාවතා ධම්මධරො - යාවතා බහු භාසති” බොහෝ කතා කළාට ධර්මධරයකු ද නොවේ. “ඛෙමී අවෙරී අභයො පණ්ඩිතොති පවුච්චති “ කිසියම් කෙනකු තුළ ක්‍ෂේම බව තිබේද අවෛරය තිබේද නිර්භය වේද ඒ අනුව හේ පණ්ඩිතයෙක් වෙයි. මෙසේ කායික, වාචසික සංවරය තුළින් මතු වූ අභ්‍යන්තර සංවර්ධනය විනා හොර තපස බුදු දහම පිළි නොගනී.

ජාතක පාළියේ දැක්වෙන එක් කථාවක බෝසතාණන් වහන්සේ හස්තිරාජයෙක් ව සිටියහ. එම ඇත් කණ්ඩායම ඇතුන් සිය ගණනින් සමන්විත වූ අතර ඇතුන් ගමන් කරන මගෙහි ඇත් දළ කපන චෞරයෙක් සිටියේ ය. ඔහු අඳුන් දිවි සළුවක් පැළැඳ ජටාවක් බැඳ තාපස වේශයෙන් සිටියේය. තාපස වේශයෙන් සිටින නිසා ඔහුට ඇතුන්ගෙන් ද කරදරයක් නැත.හෙතෙම දිනපතා අවසානයට යන ඇතා මරා දළ ගත්තේ ය.ඇත් නායකයාට ඇත් කණ්ඩායම කෙමෙන් අඩුවෙනු පෙනෙයි. ඒ දුටු ඇත් නායකයා මේ ගැන කල්පනා කොට එක් දිනක් ඇත් කණ්ඩායමේ අන්තිමට ම ගමන් කළේය. තවුසාගේ කපටි ක්‍රියාව එදින දැනගත් ඇත් නායක තෙම චෞර තවුසාට හිරිහැර නොකොට හොර තාපසකමෙහි ආදීනව පෙන්වා දී තමා ද තම කණ්ඩායම ද බේරා ගත්තේ ය. එම ඇත් රජු අප මහා බෝසතාණන් වහන්සේ වෙති. මෙසේ ඇතැමුන් තපස් බව උදර පූරණය පිණිස යොදා ගන්නා බව මින් පෙනේ.

සසුනට බොහෝ අනුග්‍රහ දැක්වූ අශෝක රජු කල බොහෝ කොට තීර්ථකයෝ විසූහ.රජු සසුනට කළ අනුග්‍රහ හේතුවෙන් මේ අයට කෑමට, ඇඳීමට පවා නැති වූ එක් අවස්ථාවක ඔවුහු කෙස් රැවුල් කපාගෙන ලාභ ප්‍රයෝජන තකා සසුනට ඇතුළු වූහ. තෙවැනි සංගායනාවට හේතු වූයේ ද මෙම කරුණයි. ඇතැමුන් ජීවිකාව සඳහා හොඳම ක්‍රමයක් ලෙස තවුස් බව යොදාගත් බව පෙන්වීමට ඕනෑ තරම් නිදසුන් ඇත.

ධම්මපදයේ විවිධ තවුස් වෘත ගැන කියැවේ.

න නග්ගචරියා න ජටා න පඞ්කා - නානාසකා ථණ්ඩිලසායිකා වා
රජො ච ජල්ලං උක්කුටිකප්පධානං - සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං
(ධම්මපදය –දණ්ඩ වග්ගය)

සමහරු ඇඳුම් නැතුව නග්න චර්යාවෙන් සිටියහ. සමහරු ජටාධරව සිටියහ. තවත් සමහරු ඇඟ හැමතැනම මඩ ගාගෙන සිටියහ. ඇතැමෙක් දණ්ඩක් වගේ වැතිර නිදා ගත්හ. දූවිලි ඇ¼ගේ ගාගෙන සිටියහ. මේ බුදුහාමුදුරුවන් පහළ වන යුගයේ භාරතයේ පැවැති නොයෙක් තාපස චර්යාවන් ය. එහෙත් මේ කිසිවකින් චිත්ත ශුද්ධිය ලැබිය නොහැකි බව බුදුහිමියෝ පෙන්වා දුන්හ. අදද මීට සමාන විවිධාකාර ඇවැතුම් පැවැතුම් ශාසනික ප්‍රතිපදාවක් ලෙස හඳුන්වා දෙමින් සමහරු තම පෞද්ගලික අපේක්‍ෂා ඉටුකර ගනිති.ඒ තුළින් සසුනට ලැදි සමහර දායකයෝ ඉච්ඡාභංගත්වයට ද පත්වෙති.

බුදුදහම ජීවිතයෙන් පලා යාමක් නොව ජීවිතය ක්‍රමානුකූල හා අර්ථ සම්පන්න කරන අතර රාග, දෝස, මෝහ දුරු කිරීමට උගන්වන දහමකි.

පර්වත, ගිරි ,ගුහා, වනාන්තර වැනි ස්ථානවල ඇති නිහඬ බව ජීවිතයේ විමුක්තිය පහසුවෙන් සලසා ගැනීමට උපකාරී වන බව ඇත්තකි. එහෙත් මේ ජීවිතය ක්‍රමානුකූලව ජීවත්වෙමින් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම්ද ඉටුකරමින් කෙලෙස් අඩුකර ගෙන කටයුතු කිරීමට අපට ශක්තිය ඇත. ඒ නිසා පැවිදි වීම ද ගිහි වීමද යන කරුණු දෙකට වඩා වැදගත් වන්නේ තමන් තමන්ගේ අභ්‍යන්තර ගුණධර්ම කොතෙක්දුරට සංවර්ධනය කර ඇද්ද යන්නයි. කාමුක බව හා නිදිබර ගතිය ඇතිවන්නේ ක්ලේශ වැඩි හෙයිනි.ළමයින්ට පවා තපස අවශ්‍ය වනවාක් මෙන්ම රජකුට ප්‍රජාපාලකයකුට විශේෂයෙන් තිබිය යුතු ගුණයකි තපස. රජුන්ට, ප්‍රජාපාලකයන්ට ලැබෙන සම්පත් බහුල ය.එම සම්පත් හි පාලනයක් ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.විපතේ දී ධෛර්යයෙන් යුතුව කටයුතු කළ යුතුවේ. තමන්ට හැකියාව, ශක්තිය, බලය, ඇති විට පවා ඉවසීමෙන් ක්‍රියාත්මක විය යුතු ය. විපතේ දී ධෛර්යමත් වීමත්, සම්පත්තියේ දී ඉවසීමත් නිසි හික්මීමක් ඇති විදග්ධ පාලන තන්ත්‍රයක ලක්‍ෂණය වේ.

තපස ධ්‍යානයට සම්බන්ධ වී සිත සංවර්ධනය කරයි. අපි ඇස් වෙනුවෙන්, දත් වෙනුවෙන්, කෙස් වෙනුවෙන් , සම වෙනුවෙන්, මස් වෙනුවෙන්, උස යෑම වෙනුවෙන් විවිධ පිළියම් යොදමු. ඒ සඳහා කාලය හා වෙහෙස ගනිමු. එහෙත් ඒ සියල්ල අතහැර අප මරණින් මතු ගෙන යනුයේ සංවර්ධනය වූ හිත පමණ ය. ප්‍රථම ධ්‍යාන, ද්වීතිය ධ්‍යාන,තෘතීය ධ්‍යාන,චතුර්ථධ්‍යාන ආදි වශයෙන් ධ්‍යාන තුළින් සිදුවනුයේ මනැස පිවිතුරු කර ක්ලේශ ධර්ම අඩු කිරීමයි; යටපත් කිරීමයි. එමඟින් සිත සැහැල්ලු වේ.

අපට ඇතිවන හැඟීම් පාලනය නො කිරීමෙන් මිනිසුන් තිරිසනුන් බවට පත් වේ. මිනිසා මිනිසත් බව තුළ රඳවා තැබීමටත්, පාලකයාට තමන් ගේ සියලු ශක්තිය ඒකාග්‍රව තබා ගැනීමටත්, තපස අවශ්‍ය ගුණයක් බව ධර්මයේ සඳහන් වේ.

එදා භාරතීය සමාජය තුළ තිබී බුදුහාමුදුරුවන් විසින් සංවර්ධනය කර ඉදිරිපත් කරන ලද දෙයකි දසරාජ ධර්මය. ලංකාවේ පස්වන මිහිදු රජගේ කාමුක,සල්ලාල, බීමත්කමින් රජු පමණක් නොව රට ද වැනැසිණ. සමහර පැරැණි රාජ බිසෝවරුන් ද සිය තපසේ දුර්වලත්වය නිසා වැනැසුණි.

ස්වකීය ජීවන ප්‍රතිපදා වෙනස්කර ගනිමින් කාමභෝගී ජීවිතයට හුරු වූ පාලකයන් පිළිබඳ ඓතිහාසික තොරතුරු සුලබ ය. මෙම ජීවන පැවැත්ම තුළ හුරු වූ චර්යාවන් අගය කරමින් එහි ම ගැලෙමින් කටයුතු කිරීම නිසා ස්වකීය වගකීම් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් සොයා ගැනීමට නො ලැබේ. පාලකයන් ආදර්ශයට ගන්නා රාජ්‍ය නිලධාරීන් මෙන් ම මහජනයා ද මෙවැනි ජීවන ප්‍රතිපදාවකට නැඹුරුවීම මගින් රට තුළ ධනය අධිසුඛ විහරණය සඳහා වැය කිරීමට පසුබිම සැකසේ.

සෑම කාර්යයක දීම තමාගේ සැප පහසුකම් සඳහා ප්‍රමුඛතාව දෙමින් සාඩම්බර ජීවිත අනවශ්‍ය ආකාරයෙන් ගොඩනඟා ගැනීමට දරන උත්සාහය නිසා අනේකවිධ ගැටලු නිර්මාණය වීම නතර කළ නො හැකිය. මෙය රාජ්‍යයන් පවා බිඳ වැටීමට සාධකයක් වන අතර අපරාධ වර්ධනය වී හිංසාකාරි සමාජීය පසුබිමක් ඒ හරහා ඇති කිරීමටද හේතු වේ.

භාවනානුයෝගී තාපසයකුගේ අපිස් ජීවිතයක් පාලකයකු ගතකළ යුතුය යන්න මෙහි අදහස නොවේ. චාම් බව, සරල බව මෙන් ම පිරිසුදු බව ද පාලකයකුගේ ක්‍රියා කලාපයෙහි අන්තර්ගත විය යුතුය. තම ජීවිත පැවැත්ම තමන්ට යාදෙන ආකාරයට සකස් කර ගැනීම තපස තුළ අපේක්‍ෂිත කරුණකි. එය ආදර්ශමත් ලෙස සමාජය කෙරෙහි බලපාන බැවින් සමාජයේ වර්ධනයට හේතුවේ.

සැහැල්ලු ගති පැවැතුම් වලින් යුක්ත වීම පාලකයකුගෙන් අපේක්‍ෂිත කරුණකි.අනවශ්‍ය සාටෝප ජීවිත කරා යොමු වන්නේ මෙම උදාර ගුණය තමා තුළ වර්ධනය කර නො ගැනීම නිසාය. තපස තුළින් ලෞකික දිවියේ දියුණුව සලසාගත හැකිය. අපට තවත් ඉදිරියට යෑමෙන් ධුතංග බවට පත් කොට ගෙන සසර දුක් නිවා ගැනීම පිණිස ද උපයෝගී කරගත හැකිවේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.