පින් වැඩෙන වස්සානය
කළුතර බෝධිසීහ හිමි
කඨින පින්කම උත්සවාකාරයෙන් හා කාගෙත් දායකත්වයෙන් සිදුකෙරෙන මහානුභාව
සම්පන්න පුන්‍යකර්මයකි. වසරක් පාසා පැවැත්වෙන මෙම පින්කමට කුමන
අයුරකින් හෝ දායක නොවු බෞද්ධයකු සොයා ගැනීමට බැරි තරම්ය.
භික්ෂූන් වහන්සේට වස් විසීමට ආරාධනය කරනු ලබන්නේ දායකයන් විසිනි. සමහර
අවස්ථාවලදී ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ පමණක් නොව බැහැරින්ද භික්ෂූන්
වහන්සේ කැඳවා වස් විසීමට ආරාධනය කරනු ලැබේ.
වස් කාලය තුළදී භික්ෂූන් වහන්සේට දිනපතා දානමානාදිය සැපයීම සඳහා දායකයෝ
වැඩපිළිවෙළක් සකස් කර ගනිති. බොහෝ විට වස් තුන් මාසය තුළ දින වෙන්
කරගෙන එක් එක් දායකයා දවසේ හීල්දානය, දහවල් දානය හා හවස ගිලන්පස දානය
රැගෙනවිත් වස් විසූ භික්‍ෂූන් වහන්සේට උවටැන් කිරීම සිරිතක් වශයෙන්
කෙරේ. මේ දාන වස්දාන නමින් හැඳින්වේ.
වස් විසීමේ ආරම්භය පිළිබඳ බොහෝ දෙනා දන්නේ වුවද යළිත් සිහිපත් කිරීම
වටී. “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යන බුදුවදනට අනුව
බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ අවුරුද්ද පුරාම චාරිකාවේ වැඩි සේක. මෙම
භික්ෂූහු අයහපත් කාලගුණය පැවැති ඇතැම් කාල පරිච්ඡේදවලදී දැඩි
අපහසුතාවන්ටද ලක් වූහ. ඇසළ මාසයෙන් පටන් ගන්නා වස්සාන ඍතුවේදී
ඉන්දියාවට අධික වර්ෂාපතනයක් ඇතිවේ.දින ගණනාවක් පමණ නොනවත්වා වැසි
වැසීම, ශීත සුළඟ හා අඳුරු කාලගුණයක් පැවැතීම ආදිය මෙහි විශේෂ ලක්‍ෂණ
වේ.
මෙම වැසි කාලය තුළ ජෛන වැනි වෙනත් ශ්‍රමණයෝ පොළොවේ මතුවන කුඩා සතුන්
ආදිය පයට පෑගී මැරෙන බැවින් සංචාරයේ නොගොස් ඔවුන්ගේ ආරාමවලට වී කාලය ගත
කළහ. එබැවින් බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙසේ වැසි කාලයේ සංචාරයේ යෙදීම
පිළිබඳ මහජන අප්‍රසාදය මතු විය. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ පිරිස දියබත් වූ
සිවුරු පොරවාගෙන ඇවිදින්නේ යැයි මහජනයා දොස් පවරන්නට වූහ. මේ නිසා මහජන
මතයට ගරු කිරීමක් ලෙස බුදුන් වහන්සේ වර්ෂා ඍතුවේදී එක් තැනක විසීමට
භික්ෂූන් වහන්සේට අනු දැන වදාළ සේක.
“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි, වස්සානයේ වස්
එළැඹීමට අනුදනිමි යැයි ශික්ෂා පදය පැනවූ සේක.
උපසපන් සෑම භික්‍ෂුවකම වස් එළැඹිය යුතුය.වස් එළැඹීමේ දින දෙකකි. පෙර
වස් සමාදන්වීම ඇසළ පුර පසළොස්වක පොහොයට පසුදින සිදුවේ. පසු වස් සමාදන්
වීම නිකිණි පුර පසළොස්වක පොහොයට පසු දින සිදුවේ. 2012 වසරේ අධි මාස
පතනයක් යෙදීමේ හේතුවෙන් වස් සමාදන්වීමේ කාලය මේ වසරේ වෙනස් බවට පැමිණේ.
ඒ අනුව 2012 නිකිණි පුර පසළොස්වක පොහොය දින උපසම්පදා භික්ෂූන් අදාළ
පොහොය සීමා මාලකයේදී පොහොය කොට ඊට පසුදින පෙරවස් සමාදන් වීම සිදුවිය.
එදින පෙරවස් සමාදන් වීමට අපොහොසත් වූ භික්ෂූ වහන්සේ අධි බිනර පුර
පසළොස්වක පොහොය දින පොහොය කොට, ඊට පසුදින පසුවස් සමාදන් වූහ. මේ අනුව
මේ වසරේ පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ 2012 ඉල් පුර පසළොස්වක පොහෝ
දින පෙර වස් පවාරණය කළ යුතු අතර පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ
උඳුවප් පුර පසළොස්වක පොහෝ දින පසුවස් පවාරණය කළ යුතු වන්නේය. මෙසේ අධි
මාස පතනයක් නොයෙදුණේ නම් පෙර වස් සමාදන් වූ භික්‍ෂූන් වස් පවාරණය කිරීම
වප් පොහෝ දින සිදුවෙයි. පසු වස් සමාදන් වූ භික්‍ෂූන් වස් පවාරණය කිරීම
ඉල් පොහෝ දින සිදුවෙයි.
වස් පවාරණයෙන් පසුව එළැඹෙන චීවර මාසය තුළ සෑම විහාරස්ථානයකම පාහේ කඨින
පින්කම් පැවැත්වේ. යම්කිසි විහාරස්ථානයක හෝ වෙනත් නිවාස ආදියක හෝ වස්
විසූ භික්‍ෂූන් සඳහා වස් කාලය අවසන්ව එළැඹෙන (චීවර) මාසය තුළදී දායකයන්
විසින් පිරිනමනු ලබන වස්ත්‍රය කඨින නාමයෙන් හඳුන්වනු ලැබේ. කඨින
වස්ත්‍රය භාරගන්නා සංඝරත්නය එදිනම සේදීම, කඩ බෙදීම, කඩ කැපීම, එක්කොට
මැසීම, පඬුපෙවීම හා කප් බිංදු තැබීම යනාදී කරුණු සතක්ම එකම දවසේ සිදු
කරති. එකී පූජා වස්ත්‍රය සිවුරක් කිරීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ වස්
විසූ භික්‍ෂූන් අතරින් වස් සිඳගෙන නැති වැඩි මහලු වූ හෝ දිරාපත් සිවුරු
ඇති හෝ යෝග්‍යතම භික්‍ෂුවකට සංඝයා එක්ව එම චීවරය පවරති.
කඨිනය ලැබූ භික්‍ෂුවට සෙසු භික්‍ෂූන්ට වඩා වැඩි වරප්‍රසාද පහක් හිමි
වේ. අනාමත්තචාරය, අසමාදානචාරය , ගණ භෝජනය , යාවත්ත චීවරය සහ තත්ථ
චීවරුප්පාදාය යනු ඒවායි.
කඨින පූජාවේ ආනිසංස හා බලය අතිමහත්ය. කඨින යන්නට යොදා ඇති අර්ථයෙන්ම
මෙම පූජාවේ ඇති මහානුභාව සම්පන්න බව පැහැදිලිය. යමකුට මහා පෘථිවිය
කම්පා නොකළ හැකිවාක් මෙන්ද මහාමේරු පර්වතය සුළඟකින් සසල විය නොහැක්කාක්
මෙන්ද මහා ඝන වජ්‍ර පර්වතය සුළඟකින් සසල විය නොහැක්කාක් මෙන්ද කඨින
පූජාවේ ආනිසංස නොසෙල් වෙන්නා වූ ස්ථීර වූවක්ම වේ. එම ස්ථිරසාර බව සලකා
‘කඨිනය’ යයි කියනු ලැබේ. බුදුසසුනේ දැක්වෙන උසස්ම ආනිසංස ගෙන දෙන මහා
කුසල් අටෙන් කඨින පුජාවට මුල්තැනක් හිමිවේ. කිසිවකු සිය ජීවිත කාලය තුළ
පංචානන්තරිය පාප කර්මයකට හසුවී නොමැත්තේ නම් මියයන මොහොතේ ඔහුගේ ඊළඟ
ප්‍රතිසන්ධිය සඳහා ඉදිරියට පැමිණ පිහිට වීමට, යටපත් කළ නොහැකි මෙම අට
මහ කුසලයන්ට හැකියාව ඇත. ඉන් කඨින පූජාව ඉදිරියෙන්ම ඇත. කඨින පූජා
පින්කම සිදුකළ හැකි වන්නේ තුන්මසක් වස් වැස වස් ආරක්‍ෂා කරගත් භික්ෂූන්
වහන්සේ වැඩවාසය කරන ස්ථානයක පමණකි. වසරකට වරක් පමණක් සිදු කළ හැකි මේ
පින්කම වෙනත් ඕනෑම පින්කමක් මෙන් කැමැති වේලාවක සිදුකළ හැක්කක් නොවේ.
එබැවින් මුළු ගමම එකතුව කරන මේ පින්කම දුර්ලභ කුසල කර්මයකි.
කඨින පූජාවේ ආනිසංස සම්බන්ධයෙන් උපුටා දැක්විය හැකි වැදගත් සිදුවීමක්
අවසානයේ දැක්වීමට කැමැත්තෙමි. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට
ප්‍රකාශ කර සිටියේ තමන් විසින් සිදුකරන ලද අමතක නොවන මහාපින්කමක්
සිහිපත් කරන ලෙසය. එහිදී නැඟී සිටි නාගිත තෙරුන් වහන්සේ තමන් කල්ප
තිහකට උඩදී කඨින පූජාවක් සිදුකළ බවත් ඒ පින හේතු කරගෙන කල්ප තිහක්
පුරාවට දුගතියක් නොදැක දිව්‍ය හා මනුෂ්‍ය ලෝකයන්හි ඉපදී සැප විඳි බවත්
ප්‍රකාශ කළහ.
සටහන - ජයන්ති කුරේ |