ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි සමහරු බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ප්‍රජා පාලනයට උපදෙස් දුන්
ශාස්තෘවරයකු ලෙස ද සමහරු මහා සෞන්දර්යවාදියකු ලෙස ද තවත් සමහරු
පරිසරවේදියකු ලෙස ද, එසේම ආර්ථික විද්‍යාඥයකු, මනෝවිද්‍යාඥයකු ලෙස ද
අර්ථ දක්වති. පන්සාලිස් වසරක් මුළුල්ලේ උන්වහන්සේ ධර්මය දේශනා කරන
ලද්දේ දෙව් මිනිසුන් සහිත ලෝකයාට ය. උන්වහන්සේ ගේ දේශනා දෙවියන්ට,
බඹුන්ට, රජවරුන්ට, සිටුවරුන්ට, ගොවීන්ට ආදි වශයෙන් විවිධ වර්ගයන්ට
අසන්නට ලැබුණ අතර, ඒ ඒ අවස්ථාව හා ඒ ඒ පුද්ගල විවිධත්වය පරිදි විවිධ
විෂයන් යටතේ තමන්ට ගැළැපෙන අන්දමින් යොදා ගත්හ.
එහෙත් යථෝක්ත විවිධ විෂයන් ඉගැන්වීම උන්වහන්සේ ගේ අපේක්‍ෂාව නොවූ අතර
‘මම සසරින් එතරවීමි, අනෙක් අය ද සසරින් එතෙර කරවමි’ යන්න උන්වහන්සේ ගේ
අධිෂ්ඨානය, අරමුණ විය.
අවසානයේ අප ලබන පරම ශාන්ත වූ නිවන වෙත සත්වයා යොමු කිරීම උන්වහන්සේගේ
පරම අපේක්‍ෂාව වුවත් ඊට පෙර අප ඓහලෞකික සමෘද්ධිය හෙවත් මෙලොව යහපත
අපේක්‍ෂා කරන බැවින් එම යහපත උදා කරගැනීම සඳහා බුද්ධ දේශනාව කොතරම්
උපයෝගීවේද යන්න අප සිතා බැලිය යුතු කරුණකි. දස රාජ ධර්මය ප්‍රකාර
ප්‍රජා පාලකයකු, රාජ්‍ය නායකයකු,දේශපාලකයකු තුළ තිබිය යුතු ලක්‍ෂණ
පිළිබඳ උගනිමු. දසරාජ ධර්මය රජකුට පමණක් අයිති දෙයක් නොව හැම දෙනකු තුළ
ම පැවතිය යුතු වටිනා සාරධර්ම සමුදායකි. රජකුට, පවුලකට, සමාජයක
නායකයකුට,ආයතනයකට අවශ්‍ය වන වැදගත් කරුණු දහයක් මේ මගින් සාකච්ඡා කර
ඇත. මෙහි අප කතා කරන්නේ එහි ඇතුළත් ‘තපස’ යන ගුණය පිළිබඳ යි.
තපස යනු කුමක්ද? බුදුහාමුදුරුවන් ඉන්දියාවේ පහළවන කල්හි ප්‍රධාන ආගමික
කණ්ඩායම් දෙකක් පැවැතිණ. ශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන් ඒ දෙකොටස යි.
බ්‍රාහ්මණ නම් වූ පිරිස ඊශ්වර නිර්මාණවාදය පිළිගනිති. බ්‍රහ්මයා විසින්
ලොව මවන ලදී යන මතයේ පිහිටා බ්‍රහ්මයා පුදමින්, දෙවියන් යාගයෙන්
පුදමින් ජීවිත සාඵල්‍යය උදාකර ගත යුතුය යන අපේක්‍ෂාවෙන් පිරිසක් කටයුතු
කළහ. ඔවුහු බමුණෝ වූහ.
එයට පරිබාහිරව එයට විරුද්ධව පැමිණි කොටස ශ්‍රමණයෝ නම් වෙති. ශ්‍රමණයන්
අතර ආජීවක, නිඝණ්ඨ, අචේලක, පරිබ්‍රාජක හා තාපස යනුවෙන් කොටස් කිහිපයකි.
ගෘහස්ථ ජීවිතයක් ගත නොකොට ආගමික දිවියක් ගෙවමින් තමන්ම විමුක්තිය සොයා
ගැනීම කළ යුතු ය යන මතයේ පිහිටා ක්‍රියාත්මක වූ පිරිසයි ඒ. බ්‍රාහ්මණ
සමාජයේ ‘තපස’ යන වචනය අර්ථ දක්වනුයේ ‘තැවීම’ යන අර්ථයෙනි. ‘තැවීම’
කිසිවක් පුච්චා දැමීම නැතහොත් රත්කර දැමීම යන අදහස මතු කරයි.
බමුණු සමාජය තුළ ඉදිරිපත් කර තිබූ බ්‍රහ්මයාට සැලකීම, යාග කිරීම වෙනුවට
තමන් තමන් වෙතට හැරී තමා තුළ පවතින විවිධ කෙලෙස් ධර්මයන් තැවීම ඔවුන්ගේ
අපේක්‍ෂාව වේ. එහෙත් ඒ සඳහා අනුගමනය කළ පිළිවෙළ අප කල්පනා කරන ආකාරයට
වඩා බොහෝ වෙනස් වේ. එදා තාපසවරු පඤ්චතාපයෙන් තැවුණහ. පඤ්චතාපය යනු හතර
වටේ ගිනි ගොඩ හතරක් ගසා සූර්යාලෝකය ඇති අවස්ථාවේ පස් ගින්නෙන් තැවීමයි.
මෙසේ ක්ලේශ මර්දනයට ගින්නෙන් තැවීම එක් තාපස ක්‍රමයකි. තවත් සමහර තාපස
පිරිස් හිමිදිරියේ සීතලේ ගැහෙමින් ගංගා නදියේ තොටුපොළවල බැස පව් සෝදා
දැමීමට උත්සාහ කළහ. අදටත් එම සම්ප්‍රදාය භාරතීය තාපසයින් අතර දක්නට ඇත.
බුදුරජාණන් වහන්සේ මේ අය පිළිබඳ සාකච්ඡා කර විවේචනයට බඳුන් කර ඇත. ගිනි
තැපීමෙන් කෙලෙස් තවනුයේ නම් වැඩියෙන් ම කෙලෙස් තවන්නෝ ගඩොල් පෝරණුවල හා
බේකරිවල සේවක පිරිස වෙති. එසේ කීමට හේතුව ගිනි රශ්මියට වැඩිපුර ශරීරය
නිරාවරණය කර සිටිනුයේ ඔවුන් වන බැවිනි.තවද වතුරෙන් පව් සෝදා හැරිය හැකි
වේ නම් වැඩිපුර පව් සේදෙන්නේ දියේ සිටින මාළුන් ඇතුළු ජලජ සත්වයන්ගේ ය.
මෙසේ ශාරීරිකව ලබන පීඩාව තුළින් පව් නැති කිරීම බුදුදහම අනුමත නො කරයි.
බුදුදහම තපසට සමගාමීව ඉදිරිපත් කරන සංකල්පය ධ්‍යාන නමින් හැඳින්වේ.
ධ්‍යාන යනු කෙලෙස් දැවීමයි. කෙලෙස් පුච්චනවා යන අදහසයි. මෙම පිච්චීම
ගින්දරින් සිදුවන්නක් නොව තමන් තමන්ගේ ඇතුළතට ගොස් ඇතුළත ඇත්තා වූ ලෝභ,
ද්වේශ,මෝහ නැති කිරීමට ඇති කරගනු ලබන මානසික ක්‍රියාවලියකි.
1. දානං - දන්දීම
2. සීලං - සිල්වත් බව
3. පරිච්චාගං - අත්හැරීම
4. අජ්ජවං - ඍජු බව
5.ම ද්දවං - මෘදු බව
6. තපං - තපස
7. අක්කොධො – ක්‍රෝධ නොකිරීම
8. අවිහිංසා – හිංසා නොකිරීම
9. ඛන්ති – ඉවසීම
10. අවිරෝධන – විරුද්ධ නොවීම
මින් දානය හා පරිත්‍යාගය හැර සෙසු කාරණා සියල්ල බෙහෙවින් අභ්‍යන්තරයට
සම්බන්ධ වේ. දානයට අභ්‍යන්තරික සම්බන්ධයක් නැතැයි මින් අදහස් නො කෙරේ.
මේ බුදුදහම මඟ පෙන්වනුයේ ද්‍රව්‍යාත්මක විමුක්තියක් සඳහා නොව මානසික
ක්‍රියාවලියක් තුළ ලබන විමුක්තියකට ය.
අප මෙහි දී තපස පිළිබඳව සාකච්ඡා කිරීමට ධම්මපදපාළියේ පහත ගාථාව මාතෘකා
කර ගනිමු. එහි තේරුම නම් ‘මෝඩය, නුඹ ඔය පැළැද ඉන්න ජටාව කුමකටද? නුඹ ඔය
ඇඳගෙන ඉන්න අඳුන් දිවි සම කුමකටද? ඇතුළත අපිරිසුදු වී සිටින ඔබ බාහිරව
සෝබමානව සිටින්නේ නොවේ ද?’ යන්නයි.
කිං තෙ ජටාහි දුම්මේධ
කිං තෙ අජිනසාටියා
අබ්භන්තරං තෙ ගහණං
බාහිරං පරිමජ්ජසි
(ධම්මපදය – බ්‍රාහ්මණ වග්ගය)
මෙම දේශනාවට හේතු වූ කථාව මෙසේ ය. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ
වැඩසිටි සමයක හාමුදුරුවන් පිණ්ඩපාතයේ වඩින කල්හි එක් තාපස චීවරධාරියකු
දැක ඇත. ඔහු තාපස චෞරයෙකි. මොහු එක් වෘක්‍ෂයකට නැඟී දෙබළක් අතරින් පාද
දමාගෙන හිස පහළට එල්ලෙන්න හැර “ මට කහවනු දෙව, මට රත්තරං දෙව, මට රිදී
දෙව, එසේ නැතහොත් මම මේ පාද ගසෙන් නිදහස් කොට ගෙන වැටී මැරී නගරය විනාශ
කරමි”යි කියමින් කෑ මොර දුන්නේ ය.මෙය අද ද දක්නට ලැබෙන උපවාසයක් මෙනි.
නගරං අනගරං කරොමි – නගරය නො නගරයක් කරමි’යි ද රට්ඨං අරට්ඨං කරොමි – රට
නොරටක් කරමි’යි ද හේ මිනිසුන් බියවද්දයි. නගරය විනාශ වේය යන බියෙන් හා
තාපස වේශය පිළිබඳ තිබූ භක්තියෙන් නගරවාසීහු රන්, රිදී, මුතු, මැණික්
පොදි බැඳ තවුසාට දුන්හ. එසේ ම ඒවා ලැබූ තවුසා තම ඉල්ලීම් දිනා ගනී.මේ
පුවත හාමුදුරුවන් වහන්සේ වෙතින් දැනගත් බුදුහාමුදුරුවෝ මෙම හොර තවුසා
අද පමණක් නොව සසර පුරාම මෙසේ බොරුවෙන් දිවි ගෙවූ බව පෙන්වා දුන් සේක.
ව්‍යාජ තවුසා පිළිබඳ මුලින් කී ගාථාව හා බැඳි ජාතක කථා පුවතක් ද ඇත.
එනම් ජාතකපාළියේ ඒකකනිපාතයෙහි එන ගෝධජාතකය යි. එක්කැලෑවක තවුසකු සිටි
අතර ආසන්න ගමේ ගම්පතියා ඔහු ගැන පැහැදී දන් දුන්නේ ය. දිනක් ගම්පති
නිවෙසට ආහාර පිණිස වැඩි තවුසාට එදා ලැබුණේ තලගොයි මස් ව්‍යඤ්ජනයකි. එහි
රස වැටුණු තවුසා දින කිහිපයක් තිස්සේ අවශ්‍ය දුරු පහේ වර්ග රැස් කරගෙන
අසපුවට එන තලගොයි රාජයකු මරාගෙන කෑමට අදහස් කරගෙන කෙටේරියක් සිය තාපස
ඇඳුම තුළ සඟවාගෙන සිටියේ ය. අසපුවට එන තලගොයා තවුසාගේ ආවේගශීලී වේශය
හැඳීන තුඹසට රිංගා මුලින් කී ගාථාව කීවේ ය. එම තලගොයා අන් කිසිවෙක් නොව
අප මහා බෝසතාණෝ ම වෙති.
එහෙයින් පින්වතුනි, බුදුදහම අගය කරනුයේ පිටතින් ශෝභමාන වූ ඔපවත් වූ
තවුස් දිවිය නොව ඇතුළතින් සංවර්ධිත පුද්ගලයා බව මෙයින් පැහැදිලි ය.
“චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා”
මෙලොව මෝඩ නුනුවණ පුද්ගලයන් තමන්ටම සතුරන් වී ජීවත්වන බව ඉන් ප්‍රකාශිත
ය. මක්නිසා ද ඔවුන් පව්කම් කරමින් මෙලොව සමෘද්ධිය අපේක්‍ෂා කළත්
සැබැවින් ම හිමිකර ගන්නේ සසර දුකම බැවිනි.
බොරුවට තපස් රකින්නට හැකි ය. බොරුවට දන් දෙන්නට ද හැකිය. බොරුවට ඉගෙන
ගන්නට ද හැකි ය. එසේ වෙතත් එවන් ව්‍යාජ පැවැත්ම නොව ඇතුළත සංවර්ධනය
කිරීම බුදුදහමේ අපේක්‍ෂාවයි.
(මෙහි ඉතිරි කොටස
සැප්තැම්බර් 15 වැනිදා පත්‍රයේ පළ වේ) |